මේ සිසුන් කිහිප දෙනා තම උපාධි සහතිකය සරසවියේ කුලපතිධුරය වෙති ලබා නොගැනීම සහ කුලපති ධුරය හොබවන හාමුදුරුවන් අපහසුතාවයට පත් කිරීම ඔවුන්ගේ පෞද්ගලික චර්යාවන් හා සම්බන්ධ දෙයකි. එතැන දේශපාලනික විරෝධයක් හෝ වෙනයම් දෙයක් ඇති බවට නැගෙන ඝෝෂව නම් සංවිධානාත්මක ක්‍රියාවලියක් බව පෙනෙයි. ඒ කුපති ධුරයට අභයාරාමාධිපති පුජ්‍ය මුරුතෙට්‍ටුවේ ආනන්ද හිමි පත් කිරීම වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ තේරීමක් වන නිසාය. සිසුන් විරෝධය දැක්වූයේ කුලපතිට නොව වත්මන් ජනපතිට බව මතයක් රෝපණය කිරීමට රාජපක්ෂ විරෝධීන් කටයුතු කරමින් සිටී.
ඒ කෙසේ වෙතත් සිසුන් කළ කී දෙයෙහි වැරදි කීම මේ සටහනෙහි අපේක්ෂාව නොවේ. මෙහිදී අප මතක තබා ගත යුතු දෙය නම් කුලපති ධුරය කවුරු ඉසුලූවත් ඒ උපාධි සහතිකය සිසුන් වෙත ප්‍රදානය කරන්නේ සරසවියේ කුලපති ධුරය විසින් මිසක ආනන්ද හිමි විසින් නොවන බවය. සරසවියක කුලපති ධුරය යනු ගෞරවණීය තනතුරකි. ඒ සරසවියක කුලපති ධුරය සඳහා ජනාධිපතිවරයා කෙනෙකු පත් කරන්නේ එම පුද්ගලයාට සමාජයේ ඇති ගෞරවය ප්‍රකාශ කිරීමක් ලෙසය. එය දේශපාලනික පත්වීමක් හෝ පෞද්ගලික ආසාවක් මුදුන්පත් කිරීමක් ලෙස බාහිර සමාජයට අර්ථකථනය කළ හැකි නමුත් උපාධි ප්‍රධානොත්සවයේදී ඒ සිදුකරන්නේ සරසවි කුලපති මිසක් වෙන පෞද්ගලික අනන්‍යතාවයක් ඇති අයකු නොවේ. මේ නිසා කුලපති වෙතින් උපාධි සහතිකය ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීමට තරම් පදනම්ක් සහිත වෙනත් සාධාරණ හේතුවක් නැත.
මුලින් කිව්වා සේ එම ප්‍රතික්ෂේප කිරීම කළ සිසුන්ගේ පෞද්ගලික චර්යාවේ ඇති නොපනත්කම මිසක් මෙතැන වෙනකක් නැත. ඒ එසේ කිරීම නිසා ඒ මොහොතේ ඔවුන්ට වෙන වාසියකුත් අවාසියකුත් නැත. සමාජයට ඇති වැඩකුත් නැත. මේ උපාධිධාරීන් මේ රටේ ජනතාව ගේ මුදලින් ඉගෙන ගෙන රටට වැඩදායි දෙයක් කරන්නෙ නම් ඒ සමාජයට වැදගත්ය. එම සිසුන්ගේ පවුලේ අයට හෝ වැදගත්ය. එහෙත් මෙතැන සිදු වූ දෙයින් වූයේ සිසුන් තමන්වත්, තමන්ගේ පවුලේ සාමාජිකයන්වත්,තමන් උගත් සරසවියත්, ශ්‍රී ලාංකීය සමාජයත් අපවාදයකට ලක් කරගැනීමකි. එය නම් ඔවුන්ට සිදුවන අවාසියකි. මෙවැනි උපාධිධාරීන්ට රැකියාවක් හෝ ලබා දීමට කිසිවකු කැමති වෙයිද කියන ගැටළුව පැන නොනගී කියා කල්පනා කළ හැකිද නොවේ.
කුලපති වරයා අතින් උපාධි සහතිකය ලබා නොගැනීමට යම් හෝ හේතුවක් තිබේ නම් එම අවස්ථාවට සහභාගී නොවී තමන්ගේ ශිෂ්ඨකම, හික්මීම, විනය ආරක්ෂා කර ගත හැකිව තිබිණි. පසු අවස්ථාවක එය කාර්යාලය තුළදී ලබාගැනීමේ පහසු අවස්ථාවක් තිබිණි. නමුත් වේදිකාවට ගොඩ වී තමන්ගේම සරසවියේ කුලපතිධුරය හෑල්ලුවට ලක් කිරීමට ගත් තීන්දුව ඔවුන්ගේ අශිෂ්ඨකම ප්‍රදර්ශනය කිරීම පමණන් බව පැහැදිලි කරුණකි. දැන් මේ සිසුන්ගේ දෙමාපියන්ට තමන් මේ ගේ දරුවන් පට්ට රැඩිකල් වැඩක් කළාය කියා සතුටු විය හැකිද..? ඊටත් වඩා මේ කුලපතිධුරය හෙබවූයේ බුද්ධ චීවරය ඇඟලා ගත් හිමි නමකි. මේ ප්‍රසිද්ධියේ අගෞරව කළේ බුද්ධ පුත්‍රයෙකුටය. මෙය මෙරට බෞද්ධ සමාජයට හෝ ආගමක් ධර්මයක් අදහන කිසිදු ජන කොටසකට අනුමත කළ හැකි නොවේ.
සරසවි සිසුන් රැඩිකල් ආස්ථානයන් ගැනීම විය යුතුය. එසේ නොවෙන්නේ නම් ඒකත් ප්‍රශ්නයකි. සමාජයේ සුබ සිද්ධිය තකා අලුතෙන් හිතන, දේවල් වෙනස් කරන්න වැඩ නොකරන්නේ නම් ඒ සරසවි අධ්‍යපානයෙනුත් ඒ සරසවි ජීවිතයෙනුත් වැඩක් නැත. එහෙත් රැඩිකල් විය යුත්තේ පටු දේශපාලනික හෝ පෞද්ගලික වාසි තකා නොවේ. මේ උපාධි සහතිකය ලබාගැනීම ප්‍රතික්ෂේප කළ සිසුන් මේ සිදු කළේ රැඩිකල් වැඩක් නම් එහි පළ ප්‍රයෝජනය කුමක්ද යන්න පෙන්වා දිය යුතුය. මොනවා හෝ දෙයක් එයින් වෙනස් වන්නේද? නැත. සමාජයට වැඩක් තියේද? ඒත් නැත. මේවාට කියන්නේ මෝඩ චූන් වැඩ කියාය.
මෙලෙස තමන්ට ලැබුණු සම්මාන, තෑගී, වරප්‍රසාද ආදිය ප්‍රතික්ෂේප කළ පිරිස් ඉතිහාසයේ තවත් සිටිති. එහෙත් එම ප්‍රතික්ෂේප කිරීම් නිසා සිදුවූ යමක් නැත. මේවාට දේශපාලනික රැඩිකල්කම් ආදේශ කිරීමට පිටස්තරයන් උත්සහ ගත්තද ඒවායෙන් වැඩකද වී නැත.
මේ අතර මුහුණු පොතේම රැඩිකල් කලාකාමී ප්‍රතිරූපයක් නඩත්තු කරමින් සිටින චාමර ගුරුගේ නම් කලාකරුවකු අපූර්ව සටහනක් එක් කර තිබිණි ඒ මෙසේය.
" මට පළමු වරට රාජ්‍ය නාට්‍ය උළෙලේදී සම්මානයක් ලැබුනේ 2001අවුරුද්දේ ය..එය මට එවැනි මට්ටමේ සම්මානයක් ලැබුණු පළමු අවස්ථාව වූවාසේම එම උළෙලේ පළමුව පිරිනැමුනු සම්මානය හිමි වූ සම්මාන ලාභියා ද මම වීමි....මගෙ නම කියවෙද්දීම මා යම් කිසි තිගැස්මකට ලක් වුනු බව මෙහි දී කිව යුතු ය...වේදිකාව මත සම්මානය පිරිනැමීමටම හතර පස් දෙනෙක් පමණ සිටි අතර එක සම්මානයක් දීමට එතරම් ප්‍රමාණයක් සිටියේ ඇයි ද යන්න මම නොදනිමි...කෙසේ වෙතත් සම්මානය හරියට ගත්තා ද? හරියට ආචාර කරා ද? හරියට අතට අත දුන්නා ද...ප්‍රේක්ශකාගාරය දෙසට හිස නැමුවා ද?...සම්මානය උස්සා එයි ඇති අගය ප්‍රේක්ශකාගාරයට පෙන්නුවා ද?...මේ සියල්ල හරි හැටි කළා දැයි මම නොදනිමි ...කකුල් පටල නොගෙන වේදිකාවෙන් බැස්සෙ ඉතා අමාරුවෙනි...ඉන්පසු සමහරු මගේ ළඟට පැමිණ මට සුබ පැතුම් එක්කළ අතර...ඔවුන්ගෙ සමහර සුබ පැතුම් මා මවිත කළේ ය..."මචං උඹ අර පොලිටීශන්ට අතට අත දුන්නෙ නැති එක නං මරු...ඌ උඹට අත දික්කරලාත් උඹ ඌ දිහා බැලුවෙවත් නැහැ ...වැඩේ කියන්නෙ උඹෙන් පස්සෙ සම්මාන ගත්තු උන්ටත් දිගටම උඹ කරපු වැඩේම කරන්න වුනා...ඒක මාර හයිය නිර්භීත වැඩක් මචං... හොඳ ට්‍රෙන්ඩ් එකක්....ඌ හොඳටම නෝන්ඩි උනා"....ඒ වෙලාවෙ මං ඒක ඉතින් නිවැරැදි කරන්න ගියේ නැහැ ...නමුත් අවුරුදු 20 කින් පස්සෙ අද මට මෙහෙම කියන්න හිතුනා...ඒ වෙලාවෙ මට වේදිකා තිගැස්ම හැදිලා තිබ්බා...ඒ හැරෙන්න මට කවුරුහරි අත දික් කරොත් පෙරළා මගේ අත දික් නොකර ඉන්න තරම් ප්‍රශ්නයක් කා එක්කවත් තිබ්බෙ නැහැ ..."
එළියේ සමාජය මේවා තෙරුම් ගන්නෙ කෙසේද යනන් ගැන මෙය හොඳ උදාහරණයකි. මේ කොළඹ සරස්වියේ සිදුවීම අරඹයාද දැන් එළියේ සිදුවන්නෙ මෙවැනිම විකාරයකි.
තමන්ගේ ජීව විද්‍යත්මක පිය හොරෙක් වංචාකරයෙක් අපරාධකාරයෙක් වුවා කියා ඔහුව තමන්ගේ පිය තනතුරෙන් ඉවත් කළ නොහැකිය. එසේම පියා ලෙස ඔහුට ඇති ගෞරවය කෙලසා දැමීමටද යහපත් දරුවෝ මැලි වෙති. පියාවත් රැකගෙන තමන්ගේත් ගෞරවය රැකගැනීමට ඒ දරුවෝ කටයුතු කරයි. සරසවි කුලපති තනතුරත් එසේය. ඒ බව මේ සිසුන් තේරුම ගත යුතුය.
- The Novemberist