සංචාරක කර්මාන්තය තවත් ඉදිරියට ! Featured

Tuesday, 14 December 2021 10:56

සංචාරක ගමනාන්ත නවයක්, තිරසර සංවාරක ගමනාන්ත ලෙස සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබේ. පළාත් නවයම ආවරණය වන පරිදි සංචාරක ගමනාන්ත තෝරාගෙන ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

සීගිරිය , කිලිකුත්තුව , වනාතවිල්ලුව , ගගේවාඩිය , එල්ලාවල ඇල්ල, වවුල්පනේ හුණුගල් ගුහාව , ඩෙල්ෆ් දූපත, මදුනාගල උණුදිය උල්පත් , පානම ප්‍රජා ගම්මානය සහ මිහින්තලේ සංචාරක ගමනාන්ත ලෙස සංවර්ධනය කෙරෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ ජෛව විවිධත්ව මූල්‍ය ව්‍යාපෘතිය සහාය ලබා දෙයි.

සීගිරිය සහ යාල ප්ලාස්ටික් භාවිතයෙන් තොර පළමු පරිසර හිතකාමී තිරසර සංචාරක ගමනාන්තය ලෙස ප්‍රවර්ධනයට ද පියවර ගැනෙයි. කොවිඩ් වසංගතයත් සමඟ පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් වැඩි ආකර්ශනයක් සිදුව ඇති බව සංචාරක අමාත්‍යංශය පෙන්වා දෙයි. මේ සඳහා සහය ලබා දීමට තිරසර සංචාරක ප්‍රවර්ධන හා සංවර්ධනය උදෙසා වන අභ්‍යන්තර ඒකකයක් සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ පිහිටුවීමට ද නියමිතය.

ලෝකයේ ශීඝ්‍රයෙන් දියුණු වන කර්මාන්ත අතුරින් සංචාරක කර්මාන්තයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. වර්තමානය වන විට ලොව බොහෝ රටවල ප්‍රධානතම ආදායම් මාර්ගය බවට සංචාරක කර්මාන්තය පත්ව තිබේ. එහෙත් 2020 වසරේදී ලෝ පුරා සංචාරකයන්ට මුහුණ දෙන්නට සිදු වූයේ නොසිතූ අකරතැබ්බයකටය.

චීනයෙන් ආරම්භ වී සෑම රටකම පාහේ පැතිර ගිය කොවිඩ් 19 වසංගතය හේතුවෙන් බොහෝ රටවල් වසා දැමුණු අතර සංචාරයට තහංචි වැටිණි. රට රටවල් අතර තබා අල්ලපු නිවෙසටවත් යා ගත නොහැකි ආකාරයට රටවල් ලොක්ඩවුන් කිරීමට පාලකයන් පියවර ගෙන තිබුණි. මේ නිසා 2020 වසර තුළ සංචාරක කර්මාන්තය මෑතකාලීන ඉතිහාසයේ මෙතෙක් අත්නොදුටු ආකාරයේ පසුබෑමකට ලක් විය.

මෙම තත්ත්වයෙන් ගැලවීමට ශ්‍රී ලංකාවටද හැකියාවක් ලැබුණේ නැත. ශ්‍රී ලංකාවේ ලක්ෂ 30ක පමණ සෘජු හා වක්‍ර යැපෙන්නෝ ප්‍රමාණයක් සංචාරක කර්මාන්තය හා බැඳී සිටිති. මෙරට ප්‍රධානතම ආදායම් මාර්ග අතරින් එකක් වන සංචාරක කර්මාන්තයෙන් 2018 වසරේදී ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් බිලියන 4.3ක් උපයන්නට සමත්විය. කොවිඩ් වසංගතයටත් පෙර මෙරට සංචාරක කර්මාන්තයට කණකොකා හඬා තිබුණේ 2019 වසරේදී එල්ල වූ පාස්කු දා ත්‍රස්ත ප්‍රහාරයත් සමඟය. අන්තවාදීන් විසින් මෙරට කතෝලික දේවස්ථාන සහ ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් 2019 අප්‍රේල් මස 21 වැනිදා එල්ල කළ අමානුෂික ප්‍රහාරය හේතුවෙන් සංචාරක ව්‍යාපාරය අර්බුදයකට මුහුණ දුන්නේය. අමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපයේ රටවල් වහාම ශ්‍රී ලංකාව සංචාරයට නුසුදුසු රටවල ලයිස්තුවට ඇතුළත් කළේය.

2009 වසර වන තුරුම ශ්‍රී ලංකාව සිටියේ ලෝකයේ සංචාරයට නුසුදුසු ලයිස්තුවේ ඉහළිනි. එහෙත් 2009 වසරේ කොටි ත්‍රස්තවාදය නිමා කිරීමත් සමඟ ලෝකයේ දියුණු රටවල් සියල්ලම ශ්‍රී ලංකාව එම ලයිස්තුවෙන් ඉවත් කිරීමට පියවර ගත්තේය. එතෙක් ශ්‍රී ලංකාවට නොපැමිණි සංචාරකයෝ ඒ සමඟ සිය ප්‍රියතම ගමනාන්තය බවට ශ්‍රී ලංකාව පත්කර ගත්හ. වසර හයක කාලයක් තුළ සියයට 300ක වර්ධනයක් අත්පත් කර ගැනුමට මෙරට සංචාරක කර්මාන්තය සමත්විය.

සංචාරකයන්ගේ පැමිණීම 2019 වසරේදී නැවත වරක් ලක්ෂ 19 දක්වා පහත වැටුණේ පාස්කු ඉරිදා අන්තවාදී ප්‍රහාරය නිසාය. 2019 මාර්තු මාසයේදී ලක්ෂ දෙකහමාරකට ආසන්න වූ සංචාරක පැමිණීම මැයි මාසය වන විට තිස්හත්දහස දක්වා පහත වැටුණේය. වර්ෂයේ අවසාන භාගයේදී නැවත වරක් සංචාරක පැමිණීම යහපත් තත්ත්වයට පත් විය. එහෙත් ඒ වන විට සංචාරක කර්මාන්තයෙන් යැපෙන්නෝ දැඩි පීඩාවකට පත්ව සිටියහ.

2019 වසරේ අවසන් භාගයේදී එතෙක් පැවැති යහපාලන ආණ්ඩුව වෙනුවට ගෝඨාභය රාජපක්ෂයන්ගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුව රාජ්‍ය පාලනය භාර ගන්නේ මෙවන් පසුබිමකය. ගෝඨාභය රාජපක්ෂ සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් අදහස් දක්වමින් යෝජනා කර තිබුණේ ඩොලර් බිලියන 10ක ආදායමක් එම ක්ෂේත්‍රයෙන් ඉපැයීමට බලාපොරොත්තු වන බවය.

වර්ෂ 2030 වන විට මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව මිලියන 70 දක්වා ඉහළ දැමීම තුළින් ඩොලර් බිලියන 10 ආදායමක් ඉපැයීමට ඔහු සැලසුම් කර තිබුණි. 2020 නව වර්ෂය ආරම්භ වන්නේ එවන් බලාපොරොත්තු සහිතවය. එහෙත් 2019 දෙසැම්බර් වන විට චීනයේ වුහාන් පළාතෙන් වාර්තා වන්නට පටන් ගත් කොවිඩ් 19 වසංගතය එම බලාපොරොත්තු වර්ෂයකින් ආපස්සට ගෙන යාමට සමත්විය. සංචාරක ව්‍යාපාරය මුහුණදුන් අර්බුදය රටේ ආර්ථිකයට සෘජුව බලපාන අතරම ඉන් යැපුණු ලක්ෂ 20ක පමණ පිරිසකට ආදායම් මාර්ග අහිමිව තිබීමත් නොසලකා හැරිය නොහැකි විය. සංචාරක කර්මාන්තයේ බිඳැවැටීම තරාතිරම් භේදයකින් තොරව සියලු දෙනාටම එකහා සමානව බලපෑවේය.

එහෙත් ඒ සියලු අභියෝග මැද වත්මන් ආණ්ඩුව කඩා වැටුණ සංචාරක ක්ෂේත්‍රය නැවත පණ ගැන්වීමට කළ හැකි සෑම දෙයක්ම මේ වන විටත් කරමින් පවතී.සංචාරක ගමනාන්ත නවයක් තිරසර සංවාරක ගමනාන්ත ලෙස සංවර්ධනය කිරීමටද පියවර ගෙන ඇත්තේ ඒ අනුවය.

තිරසාර සංචාරක ව්‍යාපාරය යනු ශ්‍රී ලංකාවේ දිගුකාලීන ඉලක්කයක් වන අතර සංචාරකයින්ට සහ ප්‍රදේශවාසීන්ට පාරිසරික, සමාජ-සංස්කෘතික, ආර්ථික හා අත්දැකීමමය බලපෑම්වල සමතුලිතතාවයක් ඇති කිරීම සඳහා තිරසාර සංචාරක ව්‍යාපාරයේ වැදගත්කම රජය අවබෝධකර ගෙන තිබේ.

ඉදිරි වර්ෂවලදී දිවයිනට පැමිණෙන සංචාරකයින්ගේ විශාල වර්ධනයක් මේ හරහා අපට දකින්නට ලැබෙණු ඇත. සංචාරක ක්‍ෂේත්‍රය විසින් ඇති කරන ලද ආර්ථික වර්ධනයෙන් අපේ ජාතියට සැලකිය යුතු ප්‍රතිලාභයක් මේ හරහා ලැබෙන බව පුරවැසියාගේ විශ්වාසය වනු ඇත.

-පංචාලි

Leave a comment

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us