පරාජය වෙමින් තිබෙන රසායනික පොහොර මා‍ෆියාව Featured

Tuesday, 02 November 2021 13:55

 රසායනික පොහොර, වල් නාශක, කෘමිනාශ, භාවිතය තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගත් තීරණය අභියෝගයට ලක් කිරීමට රසායනික කෘෂි මා‍ෆියාකරුවන් ගත් තීරණය මේ වන විට බරපතල පරාජයකට ලක්වෙමින් තිබෙන බව පෙනෙන්නට තිබේ.

රසායනික පොහොර යනු ද ලෝකයේ දැවන්ත ජාවාරමක් බවට පත්ව තිබෙන අවි ආයුධ, මත්ද්‍රව්‍ය සහ ඖෂධ මා‍ෆියාව වැනිම වර්ගයේ මා‍ෆියාවකි. රසායනික කෘෂි ද්‍රව්‍ය හරහා ඩොලර් බිලියන් ගනනින් ආදායම් උපයන ඒවා නිශ්පාදනය කරන්නෝ සහ අලෙවි කරුවෝ තමන්ගේ ජාවාරම තව දුරටත් පවත්ගෙන යොෑම සඳහා මේ මොහොතේත් තමන්ට කළ හැකි සෑම ප්‍රයෝගයක්ම යොදමින් තිබේ. ශ්‍රී ලංකාව තුළද මේ වන විට ක්‍රියාත්මකව ඇත්තේ මේ මා‍ෆියාවේ ක්‍රියාකාරකම්ය. ඔවුන්ට මේ රසායනික ද්‍රව්‍ය නිසා මිනිස් වර්ගයාට සත්ව වර්ගයාට සහ පරිසරයට වන හානිය ගැන වගක් නැත.

දශක ගනනාවක් තිස්සෙ සෑම රටකම පාහේ කෘෂි කර්ම ක්ෂේත්‍රයේ මුලික පදනම ලෙස ක්‍රියාත්මක වූයේ මේ රසායනික කෘෂි ද්‍රව්‍ය යොදා කරන නිශ්පාදන වැඩ පිළිවෙලය. මේ අනුව මේ සෑම රටකම පාහේ අධ්‍යාපන ක්‍රමය තුළද වැඩි මනත් අවධානය යොමු කරනු ලැබුවේ මේ කෘෂි රසායනයන් සම්බන්ධ වගාව ප්‍රවර්ධනය කිරීමටය. එමෙන්ම විශ්ව විද්‍යාල ආදී උසස් අධ්‍යාපන ආයතන හරහාද සිදු කෙරුනේ මේ රසායනික කෘෂි කර්මය තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යෑම සඳහා වන විද්‍යර්ථින් බිහි කිරීමට සහ ඒ සම්බන්ධයෙන් පර්යේෂණ කිරීමටය. මේ නිසා අද අප හමුවේ සිටින කෘෂි කර්මය සම්බන්ධ ආචාර්යවරු මහාචාර්යවරු හෝ ඒ සම්බන්ධ විශේෂඥයන් අති බහුතරය පෙනී සිටින්නෙ මේ රසායනික කෘෂි කර්මාන්තය වෙනුවෙනි.

බොහො වෛද්‍යවරුන්ට ඖෂධ මා‍ෆියා කරුවන්ගෙන් සං‍තෝසම් ලැබෙන්නා සේ මේ කෘෂිකර්ම විද්වතුන්ටත් කෘෂි රසායන මා‍ෆියාවෙන් මිලියන් ගනනින් සං‍තෝසම් ලැබේ. මෙරටට කෘෂි රසායනික ගෙන්වන නියෝජිත සමාගම් හරහා මේ කෘෂි කර්මන්ත විද්වතුන්ට ලැබෙන සංතොසම් අනුව ඒ ඒ සමාගම ගෙන්වනු ලබන කෘෂි රසායනයන් ප්‍රවර්ධනය කිරීම සඳහා මේ විද්වතුන් දෙවරක් නොසිතා පෙනී සිටී. මෙරට ප්‍රකට ඉහළම පෙළේ කෘෂි විද්වතුන්ගේ පැටිකිරිය සොයා බැලුවහොත් මේ සමාගම් සමඟ තිබෙන නිල හා නොනිල සම්බන්ධයන් පහසුවෙන් හඳුනා ගත හැක. ඇතැම් ප්‍රදේශයක කෘෂි ක්ෂේත්‍රයේ පහළම රාජ්‍ය නිලධාරීන් පවා මේ සමාගම් වල සල්ලි හෝ වෙනයම් වරදාන වලට හෝ යටවී ක්‍රියාකරන බව සොයාගත හැකිය.

කොහොම නමුත් ජනාධිපති ගෝඨාභය රජපක්ෂ තිර ලෙසම තමන් ගත් තීරණය තුළ සිටිමින් මේ කෘෂි රසායන මා‍ෆියාවේ තාඩන පීඩන නොතකා කටයුතු කිරීම තුළ දැන් මේ මා‍ෆියාව හතර හන්දි කඩාගෙන සිටින බව පෙන්නට තිබේ. ඇතැම් සමාගමක් තමන්ගේ පරාජය පිළිගෙන දැන් කාබනික පොහොර වෙනුවෙන් අවධානය යොමු කිරීමටද සැදී පැහැදී සිටින බවත් පෙන්නෙට තිබේ. ඇතැම් විට මේ සමාගම් කරුවන් කාබනික පොහොර අලෙවියත් ජාවාරමක් කරගන්නට බලාගෙන සිටිනවාද විය හැකියි.

ඒ කොහොම වුණත් සිදු විය යුත්තේ මේ පොහොර ජාවාරම වලක්වා කාබනික පොහොර නිපදවා ඒ අලෙවි කිරීම අවස්ථාවන්ද මෙරට ගොවි සහ සුළු ව්‍යාපාරික මහතුන් අතට පත් කිරීමය. කාබනික පොහොර ඇති පදමින් මෙරට තුළම නිපදවා ගත හැකිය. අද වන විට මේ සම්බන්ධයෙන් මෙරට දක්ෂ ගොවි මහතුන් සහ ඇතැම් පර්යේෂකයන් කාබනික පොහොර නිශ්පාදනය සම්බන්ධයෙන් ලබා තිබෙන අත්දැකීම් සහ එම සාර්ථක ප්‍රතිපළ අනුව ඒවාට රජයේ අනුග්‍රහය දී ඔවුන්ව තවදුරටත් උනන්දු කර, ධෛර්යමත් කර කාබනික පොහොර ප්‍රවර්ධනයට අත හිත දිය යුතුය. එමඟින් මෙරට ගොවි ජනතාව පමණක් නොව තවත් විශාල පිරිසකට නව ආදායම් අවස්ථා ඇති කරයි. එමෙන්ම කාබනික භෝග වලට රට තුළ ඉල්ලුම වර්ධනය කිරීම සඳහා අවශ්‍ය අධ්‍යාපනික සහ ප්‍රචාරක මෙහෙයුම් රජය මැදිහත් වී කළ යුතුය. රටේ පාසල් අධ්‍යාපන ක්‍රමයට මේ කාබනික වගාව ගැන වන අධ්‍යාපනය ඇතුළත් කළ යුතුය.

එපමණක් නොවේ. අද ලෝකය පුරා කාබනික ආහාර සදහා තිබෙන, වර්ධනය වෙමින් තිබෙන ඉල්ලුම තේරුම් ගෙන මේ කාබනික ආහාර හා ඒ ආශ්‍රිත නිශ්පාදන විදේශ රටවලට අපනයනය කිරීම අවස්ථා සොයා බලා ඒ අවස්ථා මෙරට ජනතාවට අත්පත් කර දිය යුතුය. ඒ වෙනුවෙන් තිබෙන අපනයන බාධා හැකි තරම් දුරලා එම අවස්ථා පහසුවෙන් අත්පත් කරගැනීමට හැකි ක්‍රමවේදයන්, ආයතන, නිලධාරීන් හඳුන්වා දිය යුතුය.

චීනය, ඉංදියාව වැනි රටවත් මෑත දශකය තුළ විශාල ආර්ථික සංවර්ධන වේගයක් අත් පත් කර ගත්තේ ඒ රටවල ගම් නියම්ගම් වලත් සිදුවන නිශ්පාදන ලෝකය පුරා විකුණා ගැනීමට ඇති සෑම අවස්ථාවක්ම සොයා බලා ඒ වෙනුවෙන් එම රජයන් කටයුතු කිරීම නිසාය. අති දුෂ්කර ගම්මාන වල අතු පැළේ පවා අපනයන බෝග සහ වෙනත් අපනයන භාණ්ඩ නිශ්පාදකයන් විශාල වශයෙන් බිහි වූයේ එම රජයන් ඒ වෙනුවෙන් දැක්වූ දායකත්වය නිසාය. යමෙකුට කුමක් හෝ ගුණාත්මකවත් ප්‍රමාණාත්මකවත් නිශ්පාදනය කිරීමේ හැකියාවන් ඔප මට්ටම කරගැනීමට පහසුකම් සලසා දී ඒ හැකියාවේ උපරීමය ලබාගැනීමට රජය සමත්වීම මේ රටවල සාර්ථකත්වයට හේතු විය.

විශේෂයෙන්ම අද ශ්‍රී ලංකාව මුහුණ පා සිටින් විදේශ විනිමය අර්බුධය විසඳා ගැනීම වෙනුවෙන් මේ කාබනික ආහාර අපනයන කර්මාන්තයන් කෙරෙහි වැඩිම අවදානයක් දීම විය යුතුව තිබේ. මෙමගින් රටට විදේශ විනිමය ලැබෙනවා සේම ඈත ගම් නියම්ගම් වල සිටින ජනතාවගේ ආර්ථික සංවර්ධනද සිදුවේ. ගම දියුණු වේ. රටේ ඒක පුද්ගල ආදායම් තත්වය ඉහළ යෑම ඇඟ පතට නොදැනීම සිදුවෙයි.

වර්තමාන ලොකයෙහි වෙළඳපොළ සම්බන්ධ සංඛ්‍ය දත්ත පරික්ෂා කිරීමේ දී ලෝකයේ භාණ්ඩ හා සේවා පාරිභෝජනය කරන ජනතාවගෙන් බහුතරයක් එනම් දිනකට ඩොලර් 11 කට් වඩා වියදම් කරන සියයට 55 ක් පමණ ජනතාව වෙසෙන්නේ චීනය සහ ඉන්දියාව කේන්ද්‍ර කරගෙනය. මේ අතරය ඉන්දුනිසීයාව , බංග්ලාදේශය වැනි රටවල ජනතාවද මෙයට ඉහළ දායකත්වයක් ලබාදෙමින් ලෝකයෙ නැගී එන වෙළඳ පොළවල් බවට එම රටවල් පත් කරමින් තිබේ. ඒ අනුව මේ පාරිභෝජන පංතිකයන්ගේ (මධ්‍යම පංතිකයන්ගේ) ලැයිස්තුවේ ඇමරිකාව සහ යුරෝපා රටවල් ක්‍රමයෙන් පහළට ගමන් කරමින් තිබේ. මේ ආසියානු කලාපයේම රටක් වන ශ්‍රී ලංකාවට මෙම ආසියානු වෙළඳපොළ තුළ ඉඩක් වෙන් කරගැනීම අපහසු නොවෙයි. මේ රටවලට පමණක් හෝ කාබනික ආහාර වර්ග අපනයන කර විශාල ආදායම් උපයාගැනීමේ අවස්ථාව අප මඟ හැරිය යුතු නැත.

කොහොම නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කාබනික වගාව කෙරෙහි දක්වන දැඩි උනන්දුව සහ ඒ වෙනුවෙන් තිර ලෙස පෙනී සිටීම පහසු, ජනප්‍රිය තීන්දුවක් නොවුණත් අද ඒ අනුව මෙරට ගොවි ජනතාව කටයුතු කරන්න පෙළඹී තිබීම ශ්‍රි ලංකාව මෑත ඉතිහාසය තුළ ලබා ගත් ඉහළ ජයග්‍රහණයක් බව කිව යුතුය. රසායනික කෘෂි කර්මය වෙනුවෙන් පෙනී සිටින කෘෂි විද්වතුන් මෙන්ම මේ වන විට ආණ්ඩු විරෝධයම සිය දේශපාලන ප්‍රතිපත්තිය කරගෙන සිටින දේශපාලන පක්ෂ මෙම කාබනික කෘෂි කර්මාන්තයට එරෙහිව කවරක් කිව්වත් කළත් මෙරට ගොවි ජනතාව ක්‍රමයෙන් කාබනික ගොවිතැනට යොමු වී සිටී.

ඉදිරියේදී මහා ආහාර හිඟයක් ඇති වෙන බවට විශාල ජන මතයක් ගොඩනැගීමට විපක්ෂ කොටස් උත්සහ ගත්තද ඒ එසේ නොවෙන බව දැන් සහතිකය. මේ වන විටත් විශේෂයෙන්ම වී වගා කරන ගොවි ප්‍රජාවගෙන් බහුතරයක් කාබනික වී වගාවට මාරු වී අවසන්ය. මෙවර මහ කන්නය වෙනුවෙන් මේ රටේ පවතින කුඹුරු හෙක්ටයාර් ලක්ෂ අටෙන් පහකම, වී වගාව දැන් ආරම්බ කර තිබේ. බරපතල ප්‍රශ්නයක්ව තිබෙන බවට මැසිවිලි නැගුවේ වී වගාව කෙරෙහිය. එහෙත් දැන් ඒ ගැටළුව සමතයකට පත්වෙමින් තිබෙන අතර අනෙක් එළවලු හා පලතුරු ආදී වගාවන් සම්බන්ධ ප්‍රශ්න නැතිම ගානය. එහෙත් ඒ කියන්නේ සියල්ල දැන් සම්පූර්ණ බව නොවේ. තව දුරටත් සකස්විය යුතු තත්වයන් තිබේ. තේ වගාව වැනි මහ පරිමාණ කෘෂි වගාවන්ට රසායනික කෘෂි ද්‍රව්‍ය වල අවශ්‍යතාවය තවදුරටත් තිබේ. ඒවාට විකල්ප ක්‍රමවේදයන් සොයා ගත යුතුය. නමුත් කාබනික තේ වගාවද දැන් කාලාන්තරයක් තිස්සෙ මෙරට සිදු වෙමින්ද තිබෙන්නකි. එහෙත් වියදම් අධිකය. මේ නිසා ඒවායෙන් ගත හැකි ආදර්ශයන් තිබේ නම් ඒවා ගැන හෝ නව ක්‍රමවේදයන් ගැන තව දුරටත් පර්යේෂණ කර දියුණු කර පහසු විසඳුම් සොයා ගත යුතුව ඇත.

 කොහොම වෙතත් අද මේ තත්වයට හෝ රට මාරු වුණේ ජනාධිපතිවරයා තමන්ගේ තීරණය තුළ දැඩිව සිටීම නිසාය. මීට පෙර යුගවලද කාබනික වගාව වෙනුවෙන් හිටපු පාලකයන් කතා කළද නීති රීති සම්මත කළද, ඒ සියල්ල කළේ රසායනික පොහොර වෙළඳාමට අත නොතියාය. එදා පාලකයන්ට මේ රසායනික කෘෂි මා‍ෆියාව සමඟ හැප්පෙන්න කොන්ද පණ නොතිබීම සහ තමන් ගත් තීරණය ක්‍රියාත්මක කර එය මහ පොළොවේ යථාර්තයක් කිරීමේ අධිෂ්ඨානය, අවංකකම ඔවුන්ට තිබුණේ නැත. සංදර්ශන වලින් බොරුවෙන් ඔවුගේ වැඩ අහවර විය.

රසායනික කෘෂි ද්‍රව්‍ය හිටි හැටියේ තහනම් කිරීම තුළ එල්ල වූ අභියෝගයට ඊට විකල්ප සෙවීමට ගොවියාගේ සිට ඉහළට වන සියලු දෙනාටම සිදුව තිබිණි. ඒ අනුව නව අත්හදා බැලීම පර්යේෂණ සිදු කරන්න බල කෙරෙන තත්වයක් ඇති කෙරිනි. හිත ඇත්නම් පත කුඩාද කියන්නා සේ අද එහි හොඳම ප්‍රතිපල රටට ලැබෙමින් තිබේ. රටක නායකයන් දැඩි තීන්දු තීරණ ගත යුත්තේ ඒවා ක්‍රියාත්මක කළ යුත්තේ එහෙමය. කැප කිරීම් නොකර ලැබිය හැකි ජයග්‍රහණ නැත. මඩ අවලාද කප්පරකට මුහුණ දෙමින් වුවත් අධිෂ්ඨානපූර්කව ජනාධිපතිවරයා තම ඉලක්කය කරා යෑම එක අතකින් මේ රටේ ජනතාවගේ, අනාගත පරපුරේ වාසනා මහිමය නිසා සිදු වූවක්ද විය හැකිය. එහෙම නායකයන් ලබන්න ජනතාව වාසනාවන්ත විය යුතුය.

අවසාන වශයෙන් කිව යුත්තේ අද මේ ගත් පියවර ආපසු හැරවීමට කිසිදු ඉඩක් නොතැබීම මෙරටේ ජනතාවගෙත් වගකීමක් වන බවය. යායුතු මාර්ගය දුෂ්කර විය හැකිය. එහෙත් වැදගත්ම දේ නිවැරදි තැනට අප ගමන් කිරීමය. පහසු මාර්ග ඔස්සෙ ගොස් බොරු වළවලට වැටි රටම විනාශ කරගැනීමට වඩා අද දවසේ දුෂ්කර කොන්දේසි යටතේ වුව නිවැරදි දේ කිරීම හෙට දවසේ සෞභාග්‍යය උදාකර ගැනීම වෙනුවෙන් වඩා වැදගත්ය.

-the novemberist
 
 
 
Last modified on Tuesday, 02 November 2021 14:01

Leave a comment

Gossip

චම්පිකගේ කරුමය

චම්පිකගේ කරුමය

රාජගිරියේදී වූ රිය අනතුරට අදාලව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට එරෙහිව පසුගි...

වඳ සැත්කම් කළා කිව් දොස්තර සාෆිට සියලු හිඟ වැටුප් ගෙවයි   

වඳ සැත්කම් කළා කිව් දොස්තර සාෆිට සියලු හිඟ වැටුප් ගෙවයි  

සිංහල කාන්තාවන් දහස් ගණනකට වඳ සැත්කම් කරන ලදැයි චෝදනා කරමින් දීර්ඝ කාලයක් අත් අඩංගුවේ රදවාගෙන සිට නි...

බෝම්බ ප්‍රහාරයෙන් ආබාධිත වූ මහින්ද විජේසේකරට කළ අපහාසයට මනූෂට දැඩි විරෝධයක්..

බෝම්බ ප්‍රහාරයෙන් ආබාධිත වූ මහින්ද විජේසේකරට කළ අපහාසයට මනූෂට දැඩි විරෝධයක්..

ධීවර රාජ්‍ය ඇමති කාංචන විජේසේකර මහතාගේ පියා වූ හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර එල්ටීටීඊ බෝම්බ ප්‍රහාරය...

අනුරයියාගේ ‍රැල්ල...

අනුරයියාගේ ‍රැල්ල...

බුකියේ ‍රැළි හැදීම සාමාන්‍ය දෙයක්..ඒවාත් මුහුදු රැළි වගේ එනවා යනවා. සමහර ඒවා අතරමඟදී සුනුවිසුනු වෙයි...

අනං මනං

ආත්මය විකුණු ප්‍රේමය ...

ආත්මය විකුණු ප්‍රේමය ...

එදාත් හරි ලස්සනට ඉර පායපු දවසක්උඹ ඇවිත් මගේ ලෝකේ පාට කරා බලාපොරොත්තු හින පෙන්නුවාමාත් හරි අසාව...

Connet With Us