ලෝකයේ සංචාරක කර්මාන්තය පිළිබඳ විමසා බැලීමේදී විවිධ සංකල්පයන් වශයෙන් එම කර්මාන්තය ක්‍රියාත්මක වේ. ඒ ඒ රට රාජ්‍යයන්ට ගැලපෙන පරිදී මේ සංකල්පයන් ගොඩනඟා ගැනීම මෙහිදී කැපී පෙනෙයි. සංස්කෘතික,පාරිසරික, කෘෂිකාර්මික ක්‍රීඩාමය, ආදී වශයෙන් සංචාරක කර්මාන්තය සංකල්පගතවී ඇත.
මෙරට තුළද මේ වන විට සංචාරක කර්මාන්තය ගොඩනැංවීම වෙනුවෙන් හඳුනාගත් සංකල්පයන් බිහිවී තිබේ. එය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. එනම්: සංස්කෘතික සංචාරක කර්මාන්තය හා පාරිසරික සංචාරක කර්මාන්තය ලෙසය.
එහිදී පරිසරය වනාහි සංචාරක කර්මාන්තයේ මුදුන් මුල ලෙස හැඳින්විය හැකිය. මෙය පාරිසරික සංචාරක ව්‍යාපාරයක් හා විකල්ප සංචාරක ආකල්පයක් ලෙස අද වඩාත් පෙරමුණට පැමිණ ඇත.
පරිසරය සංරක්ෂණය කෙරෙන අතරම දේශීය ජනතාවගේ සුභසාධනය පදනම් කර ගත් ස්වාභාවික හා පරිසර පද්ධතියට වගකීම් සහගතව සංචරණය කිරීම පාරිසරික සංචාරක ව්‍යාපාරය ලෙස නිර්වචනය කර ඇත.
පාරිසරික සංචාරක ව්‍යාපාරය කරුණු කිහිපයක් නිසාම මෙතෙක් ලොව පවතින ගතානුගතික සංචාරක ව්‍යාපාරයට වඩා වෙනස් වේ. ස්වාභාවික සහ සංස්කෘතික පරිසරයන්ට අනුකූල වන සේ සම්ප්‍රදායානුකූල ගොඩනැඟිලි ද්‍රව්‍ය යොදා ගනිමින් ඉදි කරන ලද පාරිසරික නිවහන්හි ගත කිරීම මෙන්ම පක්ෂින් නැරඹීම, ස්වාභාවික මං පෙත් අතුරින් ඇවිද යෑම, හබල්ගාමින් ගංගා, ඇළදොළවල සැරිසැරීම වැනි දෑවලින් යුතුව ස්වභාවධර්මය විඳ දරා ගැනීම පාරිසරික සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන අංග කිහිපයකි. මේ අනුව ගත් කල සංචාරක කර්මාන්තය හා පරිසරය අතර ඇත්තේ නොබිඳිය හැකි සබඳතාවයකි.
වර්තමානයේ ලොව පුරා පාරිසරික සංචාරක ව්‍යාපාරය සෑම වසරකම ජනප්‍රිය වෙමින් පවතී. අප ශ්‍රීලංකාව තුළත් පරිසරය ආශ්‍රිත සංචාරක ආකර්ෂණය ලබා ගත හැකි ස්ථාන රැසක් මෙරට තුළ පවති නමුත් තවමත් පාරිසරික සංචාරක කර්මාන්තය විධිමත් පරිදි සංවර්ධනය වී නොමැත. ඉංග්‍රීසින් මෙරට අත්පත්කරගෙන සිටි සමයේදීද ඔවුන් මෙරටට සංචාරකයන් ගෙනවා ගැනීම වෙනුවෙන් යොදා ගත්තේ මෙරට පරිසරයේ සුන්දරත්වය, පැරණි නටබුන් සහ වනාන්තර ගත ක්‍රීඩාවන්ය (දඩයම්).
අද වන විටත් දෙස් විදෙස් ජනතාවගේ ආකර්ෂණයට පත්‍ර වූ බොහෝ ස්වාභාවික සම්පත්වලින් අනුන රටක් ලෙස ශ්‍රීලංකාව ජාත්‍යන්තරව පිළිගෙන හමාරය. එහෙත් තවමත් ශ්‍රිලංකාවේ පිහිටි එම සුන්දරත්වයෙන් නියමාකාරයෙන් ප්‍රයෝජන ගැනීමට තරම් අප අසමත් ප්‍රජාවක් වීම අවාසනාවකි.
මෙම හේතුන් නිසාම පාරිසරික සංචාරක කර්මාන්තයට සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් පාරිසරික සංචාරක උපාය මාර්ගික සැළැස්මක් සකස් කිරීමට වත්මන් රජය තීරණය කර ඇති අතර පරිසර සහ සංචාරක අමාත්‍යාංශ ඒකාබද්ධව මේ සඳහා විද්වත් කමිටුවක් පත් කරනු ඇති බවත් වාර්තා වේ.
මේ සම්බන්ධ සාකච්ඡාවක් පරිසර අමාත්‍යාංශයේදී පරිසර අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වාද ඇත. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් හරිත කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් මෙරට වසවිසෙන් තොර කාබනික වගාව ප්‍රචලිත කිරීමට ගන්නා උත්සාහය තුළත් අපට සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ සංකල්පයක් ලෙස මෙම හරිත කෘෂිකර්මාන්ත සංකල්පය යොදා ගැනීමේ හැකියාවක් තිබේ. කෙසේවෙතත් මෙම තීරණය රටේ ඉදිරි ආර්ථිකයට ඉතා සුබදායි තීරණයක් වනු ඇති බව අපගේ අපේක්ෂාවයි.
-පංචාලි