කිරිපිටි හා බටර් ආනයනය සීමා කරමින් විදේශීය විනිමය ඉතිරි කර ගැනීම මෙහි අරමුණ වෙයි. මෙහිදී දෛනිකව කිරි ලීටර් දෙලක්ෂ හතළිස් දහසක් භාවිතා කරමින් කිරිපිටි හා බටර් නිෂ්පාදනය කරන අතර එක් කර්මාන්ත ශාලාවක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන විසිපහක ( රුපියල් බිලියන 5 ) ආයෝජනයකි.
ශ්‍රී ලංකාවේ වාර්ෂික දියර කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 460කට ආසන්න මට්ටමක තිබේ. එහෙත් එය ලංකාවේ දියර කිරි අවශ්‍යතාවයෙන් සියයට 35 - 40 ක අතර ප්‍රමාණයකි.
මෙරටට කිරිපිටි කිලෝ ග්‍රෑම් මිලියන 98 කට ආසන්න ප්‍රමාණයක් 2020 වසරේදී ආනයනය කර තිබේ. බටර් චීස් ආදී කිරි ආශ්‍රිත සියළුම නිශ්පාදන වෙනුවෙන් එම වසරේදී අමරිකානු ඩොලර් මිලියන 300 කට අධික ප්‍රමාණයන් වැයකර ද තිබේ.
මේ තත්වය හමුවේ දේශීය කිරි කර්මාන්තය වර්තමානයේ මුහුණ දී තිබෙන බාධක දුරලා එය දියුණු කිරීමට අදාළ යෝජනා කිහිපයක් ද අමාත්‍යාංශ හඳුනා ගෙන ඇත.
ඒ අනුව දේශීය නිෂ්පාදන පිරිවැය සැලකිල්ලට ගෙන මිල සූත්‍රයක් හඳුන්වාදීම, කිරි ගොවියාට හොඳ මිළක් ලබා දීම, කිරිපිටි හා බටර්වලට පාම්තෙල් වැනි තෙල් වර්ග මිශ්‍ර කිරීම වැළැක්වීම, වැනි යෝජනා ඊට ඇතුළත්ය.
කෙසේ නමුත් විදේශ ආනයනයන් සීමා කිරීමට මෙරට කිරි ආශ්‍රිත නිශ්පාදන ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම සඳහා දේශීය දියර කිරි නිශ්පාදනය දෙගුණයකින් පමණ වර්ධනය කිරීම මූලික අවශ්‍යතාවයක් පවතී. ශ්‍රී ලංකාවේ මේ වන විට සුළු පරිමාණ සහ මහා පරිමාණ ගොවි පොළවල් 30.000 ක් පමණ තිබේ. ඒවායේ කිරි එළදෙනුන් ලක්ෂ 12 ක් පමණ සිටින නමුත් එතැනින් සක්‍රීය දෙනුන් සිටින්නේ දෙලක්ෂ පනස් දහසක් 2,50,000 ට ආසන්න ප්‍රමාණයකි.
මේ අතරින් වැඩිම කිරි ප්‍රමාණයක් ලබාදෙන කිරිදෙනුන් සිටින්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙ වන අතර එම එක් එළදෙනෙකුගෙන් සාමාන්‍යයක් වශයෙන් දිනකට කිරි ලීටර් 10 ක පමණ ලැබෙයි. ඊට අමතර මහනුවර සහ මාතලේ දිස්තික්කයන් හී කිරි ලීටර් පහක හයක පමණ කිරි ලබාදෙන දෙනුන් සිටී.
දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක අතර බදුල්ල කොළඹ ගම්පහ කුරුණෑගල ආදී දිස්ත්‍රික්ක වල කිරි ලීටර් 3 ක පමණ දෛනිකව නිශ්පාදනය කරන කිරි එළදෙනුන් සිටියත් අනෙක් දිස්ත්‍රිකයන් හී තත්වය දෛනිකව එක් කිරි ලීටරයකට සීමා වී පවතී. සමස්ථයක් වශයෙන් දිවයිනේම එක් කිරි දෙනෙකුගෙන් ලැබෙන සාමාන්‍යය ලීටර් 3 කි. මේ අගය අවම වශයෙන් 5 කට වඩා වර්ධනය කරගත යුතුව තිබේ. මේ වෙනුවෙන් සුදුසු කිරි එළදෙනුන් මෙරටට අවශ්‍යය. එම දෙනුන්ගේ උපරීම නිශ්පාදන හැකියාව ලබාගැනීමට නම් ඊට සුදුසු හොඳම තණ බිම, හොඳම ජලය සහ දේශගුණික තත්වයන් අවශ්‍ය බව පැහැදිලි කරුණකි.
මේ නිසා මෙරට කිරි නිශ්පාදනය ඉහළ දැමීමට නම් ඊට සුදුසු කිරි එළදෙනුන් මෙන්ම එම සතුන්ට ජීවත් වීමට සුදුසු පරිසර තත්වයන් තිබිය යුතුය. නමුත් මේ වන විට මුහුණ දෙන බරපතල ගැටලුව වී ඇත්තේ සුදුසු තණ බිම් සහ ජල ප්‍රබවයන් සීමා සහිත වීමය.
කොහොම නමුත් මෙරට කිරි නිශ්පාදනය වැඩි කිරීමට අවශ්‍ය මෙරටට සුදුසු කිරි එළදෙනුන් විදේශ රටවලින් ගෙන්වීම විය යුතුව තිබේ. එය කවර මිලක් ගෙවා සිදු කළත් එම සතුන්ට අවශ්‍ය පරිසර තත්වයන් මෙරට තිබිය යුතුය. මීට පෙර අවස්ථා ගනනාවකදී කිරි එළදෙනුන් මෙරටට ආනයන කර කිරි ගොවියන්ට බෙදාහැරීම සිදු කළද අපේක්ෂිත පළදාව තබා මේ කිරි දෙනුන් වැඩි කලක් ජීවත් කරවා ගැනීමට නොහැකි විය. මේ නිසා මෙරටදී කරන කෘතිම සිංචන ක්‍රියාවලියන් මෙන්ම රෝගාබාධවලින් ආරක්ෂා කිරීමේ වෛද්‍යම ක්‍රියාවලියන් ද විශිෂ්ට විය යුතුය.
කෙසේ නමුත් වත්මන් රජය 2025 වන විට නව කිරි දෙනුන් 25,000 ක් මෙරටට ගෙන්වීමට සැලසුම් කරමින් සිටී. මේ අතර පෞද්ගලික අංශයේ නව කිරි නිශ්පාදන සමාගම් කිහිපයක් වෙනුවෙන් රජයේ ඉඩම් අක්කර 2,771 ක් ලබා දීම ද සිදු කර තිබේ. මෙම සමාගම් වල ආයෝජනය රුපියල් බිලියන 8 ක පමණ වන අතර කිරි ගවයන් 4200 ක පමණ එම සමාගම් විසින් මෙම වසර තුළ මෙරටට ගෙන්වීමට නියමිතය.
ලංකාවේ දියර කිරි නිශ්පාදනය ඉහළ දැමීම ගැන යෝජනා කෙතරම් ඉදිරිපත් වූවද එය පමණක් හුදකලා කරගෙන එම ගැටළුව ජය ගැනීම සිදු කළ නොහැක. ඉඩම් ප්‍රශ්න ජලය පිළිබඳ ප්‍රශ්න විසඳා ගැනීම බරපතල කාරණයකි. පසුගිය කාලයේ මෙම ගෘහාශ්‍රිතව සිටින කිරි ගවයන්ගේ ආහාර ප්‍රශ්නය නිසාම රක්ෂිත වනාන්තර හානියට පත් වීම ගැන විශාල කතිකාවක්ද පැවැතිනි. ලංකාවේ කිරි දෙනුනගෙන් සියයට 20 ක් පමණ ගෘහාශ්‍රිතය. මේ ගෘහාශ්‍රිත සතුන්ගේ ආහාර පිණිස රක්ෂිත තුළට මුදා හැරීම එය පාරිසරික වශයෙන් බරපතල හානි ගෙන දෙන්නක් බවට පරිසර වේදීන්ගෙන් සහ වන සංරක්ෂණ නිලධාරීන්ගෙන් චෝදනා එල්ල විය.
එමෙන්ම තවත් බරපතල ගැටළුවක් වන්නේ කිරි නිශ්පාදනය නොකරන කිරි දෙනුන් සම්බන්ධ ප්‍රශ්නයයි. දැනට කිරි ලබා දෙන සක්‍රීය දෙනුන් 2,50,000 ක් පමණ සිටින විට නිශ්ක්‍රීය තත්වයේ කිරි දෙනුන් මිලියනයකට ආසන්න ප්‍රමාණයක් රට පුරා නිදැල්ලේ සිටී. මේ නිශ්ක්‍රීය සතුන් නිකරුණේ පෝෂණය කිරීම ගැටළුවක් තිබේ. ලංකාවේ කිරි එළදෙනුන් මසට ඝාතනය කිරීම තහනම් කිරීමේ යෝජනා ක්‍රියාත්මක වන විට තත්වයන් තවත් බරපතල වෙනු ඇත. මේවාට විසඳුම් තිබිය යුතුය. එසේ නොමැතිව ලංකාව කිරි වලින් ස්වයං පෝෂිත කිරීම පහසු කාරණයක් නොවේ.