මිනිස් ජීවිත මිල කරන්න බැහැ. ඒ නිසා රට වහලා ජීවිත රැකගන්න කියලා තමයි හැමෝම කියන්නේ. පවතින තත්වය හමුවේ ඒක තමයි ජනප්‍රිය ඉල්ලීම. කලිනුත් කිවුවා වගේ මට මේ ගැන තියෙන්නේ වෙන අදහසක්.
මීට අවුරුදු 12 කට ඉස්සර, දශක තුනක් තිස්සේ පැවතුනු යුද්ධයක් කෙළවර වුනා. එදා යුද්ධයේදී දහස් ගණනින් මිය ගියේ දුප්පත් පවුල් වල තරුණ දරුවන්. ඒ ජීවිත වලට මිලක් තිබුණා. ඒ තමයි ඔවුනට ලැබුණු වැටුප. මරණින් පස්සේ ඥාතින් ට ලැබුණු වන්දිය. ගමේ හේනක් කුඹුරක් වගා කරගත්තම ලැබෙන මුදලට වඩා වැඩි මිලක් ඒක. ඒ නිසයි ඒ තරුණ ගැමි දරුවන් ඒ බිහිසුණු තෝරාගැනීම කලේ. කවුරුත් කිවුවේ නැහැ මිනිස් ජීවිත අමිලයි, අමිල වූ මිනිස් ජීවිත බිලිගන්නා මේ යුද්ධය නවත්තන්න කියලා. (එහෙම කියපු අපිට දේශද්‍රෝහීන් කියල ලේබල් ගැහුවා). රටේ ඊනියා මැද පන්තිය කලේ තමන් ආරක්ෂිතව ඉන්න ගමන් බෝධි පූජා තියමින්, රණවිරුවන් ලෙස අන්දමින් ඔවුන් යුද්ධයට තල්ලු කරපු එක. මිනිස් ජීවිත වලට මිලක් නැහැ කියන්නේ රොමැන්ටික් කතා.
දැන් වෙන්නෙත් ඒක. වෙනසකට තියෙන්නේ, එදිනෙදා වැඩක්, සුළු ව්‍යාපාරයක් කර ගනිමින් ජීවිතය සරි කරගන්න ඔවුනට මෙදා පාර චොයිස් එකක් , තේරීමක් නැහැ. බලෙන් එතැනට තල්ලු කරලා දානවා.
"මිනිස් ජීවිත බේරාගන්න රට වහන්න" කියලා මේ දිනවල කෙරෙන මේ උද්ඝෝෂණ බැලූ බැල්මට මාර මානුෂිකයි. ඒත් ඇත්ත ඒක නෙවෙයි. කොරෝනා පහර දෙන්නේ තෝරලා බේරලා නෙවෙයි. මේ උද්ඝෝෂණ කරන්නේ ආරක්ෂිතව ගෙවල් වලට වෙලා තමන්ට ඉන්න ( පුළුවන් කියලා හිතන ) මාසිකව නිත්‍ය ආදායමක් ලබන පිරිස්. ජීවිතේ ගෙනියන්න එදිනෙදා කීයක් හරි හොයාගන්න එලියට බහින මිනිස්සුන්ව ගෙවල් වලට ගාල් කලාම, තමන්ට කොරෝනා හැදෙන්නේ නැතිව ආරක්ෂා වෙන්න පුළුවන් කියලා හිතන අය.
සමහර දොස්තර ලා දවස් දහයකට රට වහන්න කියලා ඉල්ලනවා. ඒ කීමට සහයෝගය දක්වමින් ලකුණු දාගන්නට වසන්ත සමරසිංහලා වගේ සමහරු එයම පුනරුච්චාරනය කරනවා. දවස් දහයකට හෝ සතියකට හෝ රට වැසීමෙන් සිදුවෙන සෙතක් නැහැ.
සමාජයේ කොවිඩ් ආසාදිතයින් හතර පස් දෙනෙකු පමණක් ඉඳිද්දී රට ඇරියාට පසු එය නැවත පැතිරුණු අත්දැකීම අපට තියෙනවා. වහනවානම් කවදා හරි එක්කෙනෙකු වත් නැතිවන තෙක් වසා දැමිය යුතු වෙනවා. එක කොරෝනා රෝගියෙකු මතු වූ සැණින් නවසීලන්තය රටම කිහිප දවසකට වසා දැමුවේ ඒ නිසා. එක්කෙනෙකු තුල බාහිරට පෙනෙන රෝග ලක්ෂණ මතු වුනාට රෝග ලක්ෂණ මතු නොවී ආසාදිතයින් තව කී දෙනෙකු සමාජයේ ඉන්නවා දැයි දන්නේ නැති නිසා. ඔවුන් වයිරස් වාහකයින් විය හැකි නිසා.
ඒ තත්වයට ලංකාව පත්වන්නට නම්, කොයිතරම් කාලයක් වසා තබන්න වේ දැයි පුරෝකථනය කිරීම පහසු නැහැ.
ආණ්ඩුවේ භාණ්ඩාගාරයේ පතුල ගැලවිලා බොහෝ කල්. අවිනිශ්චිත කාලයක් රට වසාගන ඉන්න ආණ්ඩුවට පුළුවන් කමක් නැත්තේ ඒ නිසා.
රට වහනවා නම් කොරෝනා තුරන් වනතුරු වසා දමන්න. අඩු තරමින් මාසයක් වත්. ඒ වසා දමන කාලය තුල තම ආදායම් මාර්ග අහිමිවන පිරිසට යැපුම් මාර්ගයක් සලසා දීම රජයේ වගකීමක්. රජයට එහෙම වැඩපිළිවෙලක් නැත්නම්, වසා දමන යෝජනාව කරන අය සුදුසු වැඩපිළිවෙලක් යෝජනා කරන්න.
කාටවත් එහෙම වැඩපිලිවෙලකුත් නැත්නම් යුද්ධයේදී කළාක් මෙන් අහිංසක නැති බැරි මිනිසුන් විතරක් බිලි නොදී පවතින යතාර්ථය තේරුම් ගෙන එයට මුහුණ දෙන්නට හිත හදා ගනිමු.
කොරෝනා යනු ඇත්තක් මිස භූතයෙක් නෙවෙයි. භූතයෙකුට බය වෙන්නාක් මෙන් බිය වී ඇත්තකින් ගැලවෙන්නට බැහැ. ඇත්තට මුහුණ දෙන්න වෙනවා. ඇත්ත තිත්ත යි.
- අශෝක හඳගම
( මුහුණු පොතෙන් උපුටාගන්නා ලදී)