මේ වසංගතය තවදුරටත් පැතිරීම වලක්වා යළි ශ්‍රී ලංකාව යථා තත්වයට පත් කරගැනීම මේ රටේ සියලු පුරවැසියන්ගේ අභිප්‍රාය වෙනවාට සැක නැත. මේ වසංගත තත්වය නිසා සෑම සියලු දෙනාම මේ වන විට බරපතල පීඩනයකට ලක්ව සිටී.
ප්‍රධාන ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඇසුරු කරන විට වංසගතයෙන් බේරීම සඳහා පළ කරන අදහස් වල කෙලවරක් නැත. එසේම එකිනෙකා කෙරෙහි කරගන්නා චෝද්නාවන් සියල්ලට වඩා වැඩිය එමෙන්ම බරපතලය.
පසුගිය සති දෙක ගෙවුනේ 'රට වැසිය යුතුය' කියන මතය වඩාත් අවධාරණය කෙරුණු තොරතුරු වලිනි. නමුත් ජනාධිපතිවරයා ඇතුලු කොවිඩ් මර්දන බලකායේ ස්ථාවරය වූයේ රට නොවසා තත්වය පාලනය කිරීමට පියවර ගන්නා බවටය. රජයේ මෙම තීන්දුව විපක්ෂ ක්‍රියාකාරීන්ගේ දැඩී විවෙච්නයට පත්ව තිබිණි. එසේම සාමාන්‍ය ජන මනස තුලද රට වැසිය යුතු බවට වන මතය හොල්මන් කරනු ලැබීය.
සත්‍ය වශයෙන්ම රට වසා මේ වසංගතයෙන් ගැලවිය හැකිද යන්න ගැන මීට පෙර ලැබුණු අත්දැකීම් ඇසුරෙන් වුවත් තේරුම ගත හැකිය. තාවකාලික පාලනයකට වසංගතය යටත් වනවා මිස ඉන් වැඩක් වූයේ නැති තරම්ය. ඒ කොහොම වුණත් වැදගත්ම දේ රට වැසීමෙන් සිදුවෙන අනෙක් පීඩාවන්ට රටට මුහුණ දීමට සිදුවීම ගැන සාකච්ඡාවය.
රට වසා දැමීමෙන් ගෙදරට වෙලා කකා බිබී සිටීමෙ හැකියාව රටේ බහුතරයකට නැත. මාසෙ පඩිය බැංකු ගිණුමට වැටෙන රජයේ සේවකයන් හා පෞද්ගලික අංශයේ සුළු පිරිසක් සිටී. ගෙදර ඉඳන් වැඩ කර, රාජකාරී කටයුතු ඉටු කළ හැකි පිරිසද ඉතා සුළුය. අනෙක් සියලු දෙනා එදිනෙදා වැඩ කරන්න තමන්ගේ ක්ෂේත්‍රයට යා යුතුය. ඒ අතර දවසෙ කුලියට වැඩකරන අති විශාල පිරිසක් සිටී. එදිනෙදාට තමන්ගෙ කුලිය නොලැබුණොත් පහු වෙනිදාට තමනුත් තමන්ගෙන් යැපෙන පිරිසටත් බඩගින්නේ ඉන්න සිදුවෙන මේ කණ්ඩායමට, වැහුණු රටක දවසකට දෙකකට වඩා ඉවසිය නොහැක. රටෙ බහුතරය එවැනි පිරිසකගෙන් සමන්විත වන විට රජයකට රට වැසීමේ තීන්දුවක් ගත නොහැක. එලෙස තීන්දුවක් ගැනීමට සිදුවන විට මේ පිරිසේ බඩ පුරවන වගකීම රජයට වෙයි. පසුගිය වතාවත් වල රු. පන්දහසෙ දීමනා ලබාදීමට රජයට සිදු වූයේ ඒ නිසාය. නමුත් මෙය දිගින් දිගටම කිරීමේ හැකියාව රජයට නොමැත. දැන් වසර එකාමාරක කාලයක සිට වසංගත තත්වය නිසාම රටේ ආර්ථිකය සුපුරුදු තත්වයෙන් පවත්වාගෙන යැමට නොහැකි වූ බව අමුතුවෙන් කිව යුතු නැත. රජයේ ආදායම් මාර්ග ඇහිරී තිබේ. විදේශ විනිමය ලැබීම් අඩපණ වී තිබේ. විදේශ ණය ගෙවාගැනීම බරපතල අර්බූදයකට ලකව තිබේ. මේ ඇත්ත තත්වය වසංකර කිසිවකුට කිසිවක් ගැන කතාකළ නොහැකිය.
එහෙත් වසංගතයෙ පැතිරීම වේගවත්ව බයංකරව සිදු වෙමින් තිබියදී අපට ගත හැකි තීන්දුවක්ද නොමැති තරම් අසරණ තත්වයකට රට පත්වීමද සිදුව තිබේ. වසංගතයෙ බරපතල කම මේ රටේ ජනතාවට දැඩිව දැන්නෙට පටන් ගෙන ඇත්තේද දැන්ය. කලින් තේරුම් ගැනීමක් තිබුණා නම් අද පවතින අවදානම් තත්වයට අත්දකින්න නොලැබෙන්න ඉඩ තිබිණි. එහෙත් දැන් කරනන් දෙයක් නැත. නිතිපතා වාර්තාවක මරණ සංඛ්‍යාව විසින් රටම භීතියට පත් කර ඇත.
අද රටේ ප්‍රධාන නගර ගනනාවක වෙළඳපොළ වසා දමා, කර්මාන්ත ශාලා වසා දමා, ආයතන වසා දමා, කටයුතු කිරීමට වගකිව යුතු පුරවැසියන් ස්වයං තීරණයට ආවේ මේ නිසාය. එහි වරදක් නැත. සියල්ලට වඩා මිනිස් ජීවිත වටිනා බව ඔවුන් තීරණය කර තිබේ. එහෙත් මේ මොහොතේ බඩ ගින්නෙ සිටීමට සිදුවන ජනතාව තවත් අසරණ වී ඇත. රජයේ නිආමනයකින් තොරව සිදුවෙන මෙම ස්වයං වසා ගැනීම මත රජයේ පිළිසරණද ඔවුන්ට නැත.
මේ අතර රට මුහුණ දෙමින් සිටින ආර්ථිකමය ගැටලුව ගැන කිසි වගක් නොමැතිව වෘත්තීය සංගම් දැඩි තීන්දුවක් ගෙන තිබෙන බවත් වාර්ථා වී ඇත. එනම් ලබන සඳුදා සිට ඔවුන් වැඩ වරණ බවය. රජය රට වසන්නෙ නැති නම් ඔවුන් රටම වසන බවට තර්ජන්යක් ඒ තුළ තිබේ. රාජ්‍ය සේවය මුල් කරගත් මේ වෘත්තීය සමිති විසින් පසුගිය කාලය මුලුල්ලේම ආණ්ඩුවට බරපතල පීඩනයක් ගෙන එන ලෙස කටයුතු කරමින් තිබිණි. වෘත්තීය ඉල්ලීම මුවාවෙන් ආණ්ඩුව අපහසුතාවයට පත්කරන දේශපාලන තීන්දු තීරණ රැසක් ක්‍රියාත්මක කළේය. අවසන් වශයෙන් ගුරු වැඩ වර්ජනය රජයට බරපතල ලෙස පීඩාවක් ගෙන දුන්නක් විය. වෘත්තීය අයිතීන් කෙසේ වෙතත් වසංගතය පැතිර යාමට මෙම උද්ඝොෂණ රැළි ආදිය හේතු වෙනු ඇති බවට බියක් ද ඒ වන විට වර්ධනය වී තිබිණි. කෙසේ නමුත් සෞඛ්‍ය අංශ වල ඉල්ලීම මත මේ උද්ඝෝෂණ ආදී ක්‍රියාවලිය නැවැතිනි.
ඒ කොහොම වෙතත් ලබන සඳුදා සිට වැඩ වරා. රට වැසීමේ වුවමණාව මත වෘත්තීය සමිති විසින් ගෙන තිබෙන තීන්දුව ක්‍රියාවට නැංවෙම සිදු වුවහොත් එය බලයේ සිටින ආණ්ඩුවට පමණක් නොව රටේ සියළු පුරවැසියන් කෙරෙහි ඉතා අහිතකරව බලපැවැත්වේ. විශේෂයෙන්ම රටේ සුපුරුදු ආර්ථික ක්‍රියාවලිය අවහිර වීම තුළ දැන් හතර ගාතෙන් යනවා නම් ඉදිරියේදී හොම්බෙන් යන තැනට පත් විය හැක. රට තුල මුදල් සංසරණය අවම වීම, නිශ්පාදන අත්හිටුවීම, වෙළඳපොළ අඩපණ වීම, බංකු කටයුතු මන්දගාමී වීම.... ආදී කරුණු කාරණා රැසක් නිසා රජයට මුහුණ දෙන්න සිදුවෙන ගැටලු හමුවේ රාජ්‍ය පාලනය තවදුරටත් දුෂ්කර විය හැකිය. ඒවායේ අහිතකර ප්‍රතිපළ වලින් අවසන් වශයෙන් පිඩාවට පත් වන්නෙ රටේ සමස්ත පුරවැසියාය.
මේ තත්වය මේ වෘත්තීය සමිති හො විපක්ෂය හෝ නොදනන්වා නොවේ. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ මේ වසංගත අවස්ථාව පාවිච්චි කරමින් ආණ්ඩුව තව තවත් දුර්වල කර පාලකයන්, රාජ්‍ය පාලනයෙහි අසමත් බව පෙන්වීමය. මේ සෙල්ලම නොදත් රටේ බහුතර ජනතාවක් පාලකයාට දෙස්දොවොල් තබමින් යළිත් වතාවක් ආණ්ඩු වෙනස් කිරීමක් දක්වා ජනමතය ගොඩනැගීම මේ ආණ්ඩු විරෝධී කොටස් වල මූලිකම අපේක්ෂාවය. එය ඉතා පැහැදිලි තත්වයකි. මෙය දේශපාලන කුමන්ත්‍රණයකි.
රටේ පුරවැසියා දඩමීමා කරගනිමින් කරන මේ නරුම සෙල්ලම කොහෙන් කෙලවර වෙයිද කියා දැන්ම කියන්නට නොහැකිය. ආණ්ඩුව මේ තත්වයන් තේරුම් ගෙන අවශ්‍ය පිළියම් ගැන කල්පනා නොකළහොත් තව මාස කිහිපයකින් රටම බංකොලොත් වී යළි ගොඩනේන තැනට වැටිය හැකිය.
අද රාජ්‍ය පාලනය සඳහා රටේ බහුතරය විසින් තෝරා ගත් පිරිසට තවත් වසර 4 කට ආසන ප්‍රමාණයක් තෙක් වගකීම් පැවැරී තිබුණත් එම කාලය තෙක් හෝ ඔවුන්ට අවස්ථාවක් නොදෙන්න ආණ්ඩු විරෝධී කොටස් අද මේ කටයුතු කරන ආකාරය ගැන පුරවැසියන් තේරුම් නොගන්නේ නම් තමනුත් නිකරුණේ වළට වැටෙන බව දැන ගෙන සිටිය යුතුය.
වසංගතයට මුවා කළ මහා සමූහ මිනිස් සංහාරයක් මුවවිට අප සිටින බව සිහියේ තබා ගත යුතුය.
-the novemberist