තෙල් මිළ වැඩි වෙනකොට දේශීය ආර්ථිකය වර්ධනය වෙනවාද? Featured

Wednesday, 16 June 2021 12:33

මෙරට ඉන්ධන මිළ වැඩි කරනු ලැබුවේ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමෙහි පොදු වැඩ පිළිවෙලෙහි තවත් එක් ප්‍රධාන අංගයක් ලෙස බව පසුගියදා ජනාධිපති මධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත්කරමින් පවසා සිටියා.

ඉන්ධන මිළ වැඩි කිරීම සම්බන්ධයෙන් එල්ල වූ බරපතල විවේචන සහ ආණඩු පක්ෂයේම මත ගැටුම් හමුවේ, ඊට පිළිතුරු දෙමින් විදේශ විනිමය වියදම් අඩු කර විනිමය අනුපාත ශක්තිමත් කර ගැනීම, රටේ බංකු පද්ධතිය ශක්තිමත් කර අඩු පොලී අනුපාතය තවදුරටත් පවත්වාගෙන යෑම, ජනතාවගේ සෞඛ්‍ය හා සුබ සාධනය සුරක්ෂිත කරගැනීමටත්, ආනයන මත මහ රඳා පවතින පාරිභෝජන ආර්ථිකය දේශීය නිශපාදන මත රඳා පවතින ආයෝජන සහ පාරිභෝජන ආර්ථිකයක් බවට පත්කර ගැනීමේ අවශ්‍යතාවය මත ඉන්ධන මිළ වැඩි කිරීම කෙරෙහි බලපැවැත්වූ බව එම නිවේදනයේ පෙන්වා දී තිබෙනවා..

වතමන් කොවිඩ් 19 තත්වයන් හමුවේ මුහුණ දීමට සිදුව තිබෙන ආර්ථික ගැටලු නිසා අලුත් අභියෝග රැසකට පිළිතුරු සෙවීමට රජයට සිදුව තිබෙනවා. විශේෂයෙන්ම ශ්‍රි ලංකාව වර්තමානයේ මුහණ දෙමින් සිටින විදේශ විනිමය පිළිබඳ ගැටලුව ඉන් ප්‍රධාන තැනක් ගන්නවා..

ශ්‍රී ලංකාව මෙතෙක් විදේශ විනිමය උපයනු ලැබූ මාර්ග ගනනාවක් කොවිඩ් තත්වය හමුවේ ඇහිරීයාම මෙයට ප්‍රධාන හේතුවක්ව තිබෙනවා, විදේශ ශ්‍රමිකයන් මඟින් ලැබුණු විදේශ විනිමය සීමා වීම. නිමි ඇඟලුම් ඇතුළුව භාණ්ඩ රැසක අපනයන සීමා වීම, සංචාරක ව්‍යාපාරය අඩපණවීම ආදිය නිසා විදේශ විනිමය ගැටළුව උග්‍ර වී තිබෙනවා. මේ නිසා මෙරටට ආනයනය කරන භාණ්ඩ රැසක්ම සීමා කිරීමට ද පසුගිය කාලයෙහි රජය තීන්දු කර තිබෙනවා. ඒ අනුව අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ දෙදහසකට වඩා ආනයනය තහනම් කර තිබෙනවා.

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ පවා මෙරටට ගෙන්වීමට අවසරය ලබා දී තිබෙන්නේ සීමා කිරීම් යටතේයි. එමඟින් රට තුළ ඇති විදේශ විනිමය නැතිනම් ඩොලර් ඉතිරි කර ගැනීමට හැකි වූවද එම භාණ්ඩ හරහා රටට ලැබෙන බදු ආදායම් අහිමි කර ගැනීමට සිදුව තිබීමෙන් රාජ්‍ය ආදායම් යම් පමණකට අහිමිව තිබෙනවා. විශේෂයෙන්ම වාහන ආනයනය මඟින් අත්පත් කරගත් විශාල තීරු බදු ප්‍රමාණය මුළුමනින්ම පාහේ අහිමිවුණා. ඉන්ධන මිල ඉහළ දැමීම (තීරුබදු වැඩිකිරීම) මඟින් ඉන්ධන භාවිතය අධෛර්යමත් කර මෙරටට ඉන්ධන ගෙන්වීම සීමා කිරීමේ තීන්දුව නිසාද එම බදු ආදායම් යම් පමණකට දුර්වල වෙනවා. රජයේ ප්‍රමුඛතම ආදායම් මාර්ගය වන බදු ආදායම් අඩුවීම එක් පසකින් සිදුවෙමින් තිබියදී අනෙක් පසකින් ඩොලර් හිඟයට මුහුණ දෙමින් අමාරු තීන්දු තීරණ සමඟ රජයට කටයුතු කරන්න සිදුව තිබෙන බව පැහැදිලියි. රටේ පැවැති තත්වයන් කොඩිඩ් 19 බලපෑමෙන් අතිශය උග්‍ර තැනකට පත් වූ බව කිසිවකුට ප්‍රතික්ෂේප කළ නොහැකි සත්‍යයකි.

කෙසේ නමුත් මෙරට ඉන්ධන පාරිභෝජනය වෙනුවෙන් වැය කරන අති විශාල පිරිවැය යම් තරමකට සීමා කරගැනීමට සිදුව ඇත්තේ විශේෂයෙන්ම විදේශ විනිමය පිළිබඳ ගැටලුව නිසා බව පැහැදිලි කරුණක්. ලෝක වෙළඳපොළේ ඉන්ධන මිළ මේ දිනවල ඉහළ යෑමේ නරක ප්‍රතිපළ අපට ලැබෙන්නේ තවත් මාස 6 කින් පමණයි. මන්ද අද ගෙන්වන ඉන්ධනවලට ගෙවන්න වෙන්නේ එම කාලයට නිසාය. මේ අනුව පැහැදිලි වන්නේ මීට මාස 6 කට හෝ ඊට පෙර ගෙන්වන ලද ඉන්ධන වෙනුවෙන් ගෙවිය යුතු මුදල හෝ ගෙවා ගැනීමේ හැකියාව අසීරු බවයි. අනෙක් වැදගත් කරුණ වන්නේ ඒ පෙර ගෙන්වන ලද ඉන්ධන මිළට ගත්තේ එදා ලෝක වෙළඳපොළෙහි අඩු මිළට ඒ ලබාගෙන තිබු තත්වයන් යටතේයි. එනම් ඒ සඳහා ගෙවිය යුතු මුදල අඩු මට්ටමක පවතින තතු යටතේය. අර්බුධයේ තරම දැන් පැහැදිලියි.

2019 වසරේදී ඉන්ධන ආනයනය වෙනුවෙන් අමරිකානු ඩොලර් මිලියන 3,677 ක වැය කර තිබෙනවා. ඒ එම වසරේ ලෝක වෙළඳපොළේ ඉන්ධන බැරළයක මිල ඩොලර් 68.80 ක සාමාන්‍ය අගයක තිබියදීයි. 2020 වසරේදී බැරලයක මිල ඩොලර් 45.57 දක්වා අඩු වීම නිසා ඉන්ධන වෙනුවෙන් වැය කරන්න සිදු වූයේ ඩොලර් මිලියන 2,325 ක් පමණයි. අද රජයට ගෙවන්න සිදුව ඇත්තේ එම අඩු මුදලයි.

එහෙත් මෙම 2021 වසරේ දී බැර්ලයක මිල ඩොලර් 70 ව ඉක්මවා යෑමත් ඉදිරියේදී තව දුරටත් එය වැඩි විය හැකි බවට කර තිබෙන උපකල්පනයන් මත මෙම වසර සඳහා ඩොලර් මිලියන 4000 කට වැඩි මුදලක් අවශ්‍ය වන බව රජයේ අදහස වී තිබේ.

ඒ අනුව 2019 වර්ෂයට වඩා ඩොලර් මිලියන 300 කට වඩා, එනම් රුපියල් බිලියන 60 කට වැඩි මුදලක් ද 2020 වසරට වඩා ඩොලර් මිලියන 1800 ක් එනම් රුපියල් බිලියන 360 ක් පමණ වැය කිරීමට සිදුවනවා.

විවිධ හේතු මත මෑත ඉතිහාසය පුරා ඛනිජ තෙල් සංස්ථාව දිගින් දිගටම පාඩු ලබමින් සිටින රාජ්‍ය ආයතනයක්. නමුත් 2019 වසරේ රුපියල් බිලියන 11.9 ක මෙහෙයුම් අලාබයක් ලැබුණද 2020 වසරේදී බිලියන 39.9 ක ලාබයක් ලැබුණා. ඒ එම වසරේ ලෝක වෙළඳපොළ මිළගනන් පහළ යෑම නිසායි. නමුත් ඩොලරයේ අගය රුපියලට සාපේක්ෂව ඉහළ යෑම මත අවසන් වශයෙන් ලැබූ ලාබය රුපියල් බිලියන 2.4 ක බව 2020 මහ බැංකු වාර්ථාව පෙන්වා දෙනවා. එය එතරම් සැලකිය යුතු තරමේ ලාබයක් නොවේ. ඩොලරයේ අගය ඉහළ යෑමද මෙරට ඩොලර් හිඟය මත රඳා පවතින්නක්.

මේ අනුව මෙරට පැවැති ඉන්ධන මිළ ගනන් මත මෙම වසර තුලදී අධික අලාබයක් ලැබීමේ වැඩි ඉඩක් පවතිබ බවට උපකල්පනය කෙරෙනවා.
මේ නිසා ඉන්ධන භාවිතය අධෛර්යමත් කර, ඉන්ධන ආනයන ප්‍රමාණය අඩු කරගැනීමත්, රජයේ පාඩුව අවම කරගැනීමත් වෙනුවෙන් ඉන්ධන මිල ඉහළ දැමීමේ උපක්‍රමික තීන්දුව ගැනීමට රජයට සිදුව තිබුණා.

ඒ කෙසේ නමුත් තෙල් සංස්ථාව පාඩු ලැබූවද රටේ ඉන්ධන අවශ්‍යතාවය සැපිරීමට රජයට (භාණ්ඩාගාරයට) සිදුවෙනවා. මේ නිසා රටේ වෙනත් අවශ්‍යතාවයන් වෙනුවෙන් වෙන්කළ මුදල් පවා ඉන්ධන මිලදී ගැනීම වෙනුවෙන් වැය කිරීමට සිදුවෙනවා.

අද කොවිඩ් තත්වය මැඩ පැවැත්වීම වෙනුවෙන් රජය දැවැන්ත මුදලක් වැය කරමින් සිටිනවා. සාමාන්‍යයෙන් රජයේ රොහල්වල ඖෂධ අවශ්‍යතාවය වෙනුවෙන් වසරකට වැය කරන මුදලට වඩා වැඩි මුදලක් මේ වන විටත් කොවිඩ් එන්නත්කරණ වැඩ පිළිවෙල වෙනුවෙන් පමණක් වැය කර තිබෙනවා. කොවිඩ් මර්දනය වෙනුවෙන් මෙලෙස මුදල් වෙන්කරන්නට සිදුවන්නේ පෙර සැලසුම් අනුව වෙන්කරගත් ප්‍රතිපාදන යොදවා නොවේ. මෙය හදිසි තත්වයකි. හදිසි අවස්ථා වෙනුවෙන් සාමාන්‍යයෙන් රජය යම් අරමුදල් වෙන්කර තිබුණද එය ඉක්මවා යන තැනට අද මේ තත්වයන් පත්ව තිබෙනවා. මේ නිසා රජයේ අනෙක් ආදායම් කොවිඩ් මර්දනය වෙනුවෙන් සෘජුවත් වක්‍රවත් වැය කරන්න සිදුව තිබෙනවා පමණක් නොව මේ වෙනුවෙන් ජනතාවගේ ආධාර පවා පතන්න රජයට සිදුවුණා.

කොවිඩ් මර්දනය වෙනුවෙන් රජය මුදල් වැය කෙරෙන්නේ රජය ලබන බදු ආදායම් වලින්. නමුත් රාජ්‍ය අදායම් සීමාවීම නිසා රජයේ වියදම් අඩුකර නව අදායම් මාර්ග නිර්මාණය කරගනිමින් නව උපක්‍රම තෝරමින් කොවිඩ් තත්වය ජය ගැනීමටත් රට ආර්ථික අර්බුධයක් කරා යන ගමන වලක්වා ගැනීමටත් සිදුව තිබෙනවා.

අධික හෝ අවශ්‍යතාවයට වඩා ඉන්ධන පාරිභෝජනය නිසා රජය මුහුණ දෙන ආර්ථික ගැටළුව ජය ගන්නා අතරම පාරිසරික දූෂණය, නාගරික රථවාහන තදබදය නිසා වන හානිවන කාලය, ශ්‍රමය, උපරීමයෙන් වලක්වා ගැනීමත් ඉන්ධන මිළ ඉහළ දැමීම මඟින් වන අමතර වාසිසහගත තත්වයන් ද තිබෙනවා. මේ අතර විදේශයන්ගෙන් ගෙන්වනු ලබන ආහාර සහ අනෙක් භාණ්ඩ රැසක් මෙරටදීම නිශ්පාදනය කරමින් මෙරට පාරිභෝගික අවශ්‍යතා සපුරමින් ආර්ථිකය සවිමත් කිරීම වෙනුවෙන්ද රජය පියවර ගනනාවක් මේ වන විටත් ක්‍රියාත්මක කර තිබෙනවා.

කොහොම වුණත් අද රට මුහුණ දෙමින් තිබෙන සකලාකාර අර්බුධවලට, ගැටළුවලට යම් පක්ෂයක් ආණ්ඩුවක් හෝ ජනතාව තනිව වගකිවයුත්තක් නොවේ. ඒ සියළු පාර්ශ්ව අඩු වැඩි වශයෙන් මීට දායක වී තිබෙන බව විවාදයක් නොමැතිව පිළිගැනීමට සිදුවෙනවා. ඒ අනුව අද අප ඉදිරියෙහි ඇත්තේ සාමුහිකව ජය ගතයුතු තත්වයකි. එසේ නොවුණහොත් අපට තවදුරටත් ඉදිරිගමනක් නොමැති බව අද මේ මුහුණ දෙමින් තිබෙන බරපතල තත්වයන් අපට බලකරමින් පෙන්වා දෙමින් තිබෙන සත්‍යයයි.

රජය, රට ආර්ථික අර්බුධයක් කරා යෑම වලක්වමින් මේ කොවිඩ් තත්වයන් අසීරුවෙන් වුව දරා ගනිමින් සියළුම අත්‍යාවශ්‍ය රාජ්‍ය වියදම්, සංවර්ධන කටයුතු, ජනතා සුබ සාධනය ආදී සියල්ලත් මෙතෙක් ඉටුකරමින් පවතිනවා. තවමත් අප සිටින්නේ ජයග්‍රාහී තැනක.

ඉන්ධන මිළ වැඩි කිරීමෙන් දේශීය ආර්ථිකය ශක්තිමත් වන්නේ කොහාමදැයි ප්‍රශ්න කරමින් ජනාධිපති මාධ්‍ය අංශ ප්‍රධානින්ව විහිළුවට ලක්කරන විවේචනයට ලක්කරන පාර්ශ්වවලට ඉන්ධන මිළ වැඩි කිරීමෙන් දේශීය ආර්ථිකය ශක්තිමත් වන්නේ කොහොමදැයි යළි සිතන්න තරම් දෙයක් හැබවින්ම පවතින නමුත් ඔවුන් ඒ නොදන්නා නොදැක්කා සේ සිටීම කණගාටුවට කරුණක්.

මේ නිසා රාජ්‍යයට එරෙහි, ජනාධිපතිවරයාට එරෙහි, ආණ්ඩුවට එරෙහි, නැතිනම් මේ රටේ ජනතාවට එරෙහි, දුෂ්ඨ බලවේගයන්ට අවශ්‍ය නම් මේ සියල්ල විනාශ කිරීමේ හැකියාවද විවෘතව තිබෙන බවත් පෙන්වා දිය යුතුයි. ඒ වලක්වා ගැනීමේ අභියෝගය ද අප ඉදිරියේ පවතිනවා.

මේ සියළු තත්වයන් සිහිබුද්ධියෙන් විමසා කිරා මැන බලන්නේ නම් අපට මේ මොහොතේ රට මුහුණ දෙමින් තිබෙන අර්බුදයේ සමස්ථ වගකීම වත්මන් ආණ්ඩුව මත පැටවිය නොහැකිය. එය අසාධාරණය. එය නිවැරදි නොවේ. ආණ්ඩුව බිත්තියට හේත්තු කර පහරදීමට උත්සහකරන බලවේග මේ සත්‍ය තත්වයන් මඟහැර යනවා නම්, බොරුව ප්‍රචලිත කරනවා නම් එතැන ඇත්තේ තදුරටත් මෙරට ජනතාව නොමඟ යවා බලය කෙල්ලකා ගැනීමට දරණ අවස්ථාවාදී උත්සාහයන් පමණක් බවත් අවසන් වශයෙන් අවධාරණය කර කිව යුතුය.


- the novemberist

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us