තවද වසර 20 කට වඩා කල් දීර්ගකාලීනව සිරදඬුවම් විඳි ජීවිතාන්තය දක්වා සිරදඩුවම් පමුණුවා සිටි රැඳවියන් නිදහස් කෙරෙන්නේ වසර 19 කට පසුව වීම විශේෂ සිදුවීමකි.
එසේම ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියමව සිට එය වසර 20 ක් ගෙවු සිරකරුවන් 247 දෙනෙකු අතරින් 194 දෙනා සාමාන්‍ය සිරකරුවන් බවට දඬුවම් ලිහිල් කිරීම සිදුකෙරිණි. එම පිරිස වසර 25ක උපරිම දඬුවම් කාලය ගත කිරීමෙන් පසුව ඔවුන්ට පූර්ණ නිදහස නිදුරේම ලැබීමට නියමිතය.
අපරාධ මර්දනය සඳහා දඬුවම් නියම කිරීමේ ක්‍රමවේදයෙහි ඇති අඩුපාඩු ගැන අද ලෝකය පුරාම සාකච්ඡා වන මාතෘකාවක් වී තිබේ. දඬුවම් මඟින් අපරාධ වැලැක්විය හැකිද යන්නත් , මෙම සංවාදවලදී දඬුවම් ලබාදීම වෙනුවෙන් බන්ධනාගාර ගත කිරීමේ දී තවතවත් අපරාධකරුවන්ම බිහි වීමේ ප්‍රවණතාවයන් ගැනද හඳුනාගෙන තිබේ. මන්ද බන්ධනාගාර තුලදී පුනරුත්තාපන ක්‍රියාවලිය නියමාකාරයෙන් සිදු නොවීම මෙයට එක් හේතුවක් ලෙස හැදින්විය හැකිය. එසේම විවිධ තලයේ අපරාධකරුවන් වෙන් කිරීමකින් තොරව රැඳවීම නිසා සුළු අපරාධකරුවන් පවා අපරාදමය සංවිධාන ජාලවලට එකතුවීම වැනි දේ සිදුව ඇති බව නිරීක්ෂණය වී තිබේ.
එසේම මෙහිදී තවදුරටත් අපරාධමය මනසින් බැහැර වුන වඩා හොඳ ශිෂ්ඨ සම්පන්න දිවියක් ගත කිරීමේ අධිෂ්ඨානය සහිත පිරිස් ද දීර්ග කාලීනව දඬුවම් ලබමින් නිරපරාදේ කාලය ගත කිරීමට සිදුව තිබෙන බවත් හඳුනාගෙන ඇත. ඇතැම් විට ජීවිතාන්තය දක්වා දඬුවම් ලැබ සිටින මෙම පිරිස් රටක සංවර්ධනය වෙනුවෙන් දායක කරගත හැකි එවැනි හැකියාවන් සහිත අය වේ. එසේනම් එවැනි අයට එම අවස්ථා මේම දඬුවම් ක්‍රමය නිසා මඟහැරී ඇත. එවැනි පිරිස් වෙත දඬුවම් ලිහිල් කර නිදහස ප්‍රදානය කිරීම දැන් ලෝකය පුරා සිදුවෙමින් පවතින්නකි. මේ නිසා අද බන්ධනාගාර ගත කිරීම හුදු සිර දඬුවමකට වඩා පුනරුත්තාපන ක්‍රියාවලියක් දක්වා දියුණු කිරීම වැදගත්ය.
එහි වැදගත් කම මැනවින් අවබෝධ කරගෙන සිටින වත්මන් රජය මෙරට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් විදින පිරිසේ උපරිම දඬුවම් කාලය වසර 25ක් දක්වා ලිහිල් කිරීමත්, පුනරුත්පාපන ක්‍රියාවලිය සඳහා වැඩි අවධානයක් මේ වන විටත් යොමුව තිබීමත් ගත් වැදගත් තීන්දු ලෙස සැලකිය හැකිය.
අද ඊයේ පමණක් නොව ඓතිහාසිකවම මෙරට බන්ධනාගාර ක්‍රමය ගැටළු රැසක මූලයක් ලෙස සැලකිය හැකිය . විශේෂයෙන්ම ලංකාවේ බන්ධනාගාරවල රැඳවා සිටිය හැකි උපරිමය ඉක්මවා රැඳවියන් විශාල පිරිස් වශයෙන් බන්ධනාගාර තුළ සිටීම ජාතික හා ජාත්‍යන්තර අවධානයට පවා වරින් වර ලක්වූ ප්‍රශ්නයකි. ඒ ප්‍රශ්නය මහා ව්‍යසනයක් බවට දිග්ගැස්සෙන්නේ කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය සමඟ බන්ධනාගාර රැඳවියන් එහි ගොදුරක් වීම නිසාය.
ශ්‍රී ලංකා බන්ධනාගාර සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන පරිදි බන්ධනාගාර ප්‍රජාවෙන් අඩක්ම සැකකරුවන්ය. එයින් 49%ක් උසාවියෙන් නියම කළ ඇප මුදල් ගෙවා ගැනීමට නොහැකි වූ අයය. බන්ධනාගාරගත කරන සිරකරුවන්ගෙන් තවත් 36%කට ආසන්න පිරිසක් මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදිකරුවන්ය. තවත් 25%කට ආසන්න පිරිසක් සුරා බදු වැරදි එනම් නීතිවිරෝධී මත්පැන් හේතුවෙන් බන්ධනාගාරගත වූ අයයි. එකී නොකී සියල්ල අතරින් 46%කට වඩා වැඩි පිරිසක් සිරකරුවන් ලෙස බන්ධනාගාරගතව සිටින්නේ මාස 6කට වඩා අඩු කාලයකි. එනම් සුළු වැරදි ගනයට යටත් වන්නන්ය. මෙම සුළු වැරදිකරුවන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සමඟ එකට තැබීමෙන් සිදුවන විනාශය බරපතල බව වටහා ගැනීම අපහසු නැත.
මේ අතර රටේ සිදුවන අපරාධවලින් පොලිසියට පැමිණිලි කරන්නේ 40%කටත් වඩා අඩු පිරිසක් බව ද හඳුනාගෙන ඇත. මෙම ඇතැම් පැමිණිලි බරපතළ අපරාධ ලෙස සැකකරමින් අධිකරණය හමුවට ගෙන ආවද අධිකරණයෙන් වැරදිකරුවන් වනුයේද ඉන් 4% ක පමණ ප්‍රමාණයක් බවද එම තොරතුරු අනුව පැහැදිලිය.
අද ශ්‍රී ලංකාවේ බන්ධනාගාර 28ක රැඳවියන් 28,951ක් සිටී. එහෙත් සැබැවින්ම ඉඩ කඩ පවතින්නේ ඉන් අඩක තරම් ප්‍රමාණයකටය. බන්ධනාගාර තුළ පවතින මෙම අධික තදබදය හේතුවෙන් කොවිඩ් වලින් ආරක්ෂා වීමේ සෞඛ්‍ය උපදෙස් ක්‍රියාත්මක කිරීම පහසු නැති බව පසුගිය කාලයේ පැහැදිලි වූ ඇත්තකි. මහර බන්ධනාගාර ගැටුමද එහි ප්‍රතිපලයක් වේ.
එවැනි පරිසරයක් තුළ මෙවැනි වෛරසයකින් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් පිළිපැදීම සැබැවින්ම දුෂ්කරය. එමෙන්ම මෙරට බන්ධනාගාර තුළ අපරාධ සිදුවූ සෑම අවස්ථාවකම ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඒ සම්බන්ධයෙන් සොයා බලා විවිධ මට්ටමින් නිර්දේශ නිකුත් කර තිබෙන අතර ඒ සෑම අවස්ථාවකම එහි පවත්නා අධික තදබදය දැඩි අවධානයට ලක්ව ඇති බව නිරීක්ෂණය කළ හැක.
ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව 2018 වසරේ අප්‍රේල් හා සැප්තැම්බර් අතර කාලය තුළ මෙරට බන්ධනාගාර, රිමාන්ඩ් බන්ධනාගාර, වැඩ කඳවුරු සහ පුනරුත්තාපන කඳවුරු 20ක් සම්බන්ධයෙන් සිදුකරන ලද අධ්‍යයනයක් ඇසුරින් වාර්තාවක් නිකුත් කිරීමට කටයුතු කර තිබේ. එම අධ්‍යයනයේද ප්‍රධාන නිරීක්ෂණයක්ව පැවතියේ මෙම බන්ධනාගාර තුළ ඇති අධික තදබදයයි.
මෙයට පිළියමක් ලෙස විවිධ මට්ටමින් යෝජනා ඉදිරිපත්ව තිබූ අතර පසුගියදා සුළු දඬුවම් නියම වූවන් දසදහසකට ආසන්න පිරිසක් නිදහස් කිරීමට කටයුතු කළ අතර ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියමව දීර්ඝ කාලයක් දඬුවම් විඳි රැඳවියන්ට නිදහස ලබාදීමට ආණ්ඩුව කටයුතු කළේය. එසේම පුනරුත්තාපන ක්‍රියාවලියද විධිමත්ම කඩිනමින් සිදුවිය යුතුය. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දඬුවම් ලබන්නන් සහ සුළු වැරදිකරුවන් වෙනම රඳවා තබා ගෙන මෙය සිදුවිය යුතුවීම අතිශය වැදගත්ය.
කෙසේවෙතත් දැඩි අවධානම් සහගත තත්ත්වයන් යටතේ බන්ධනාගාර තුළ සිටින රැඳවියන් යම් ප්‍රමාණයක් හෝ නිදහස් කිරීම මෙලෙස ආරම්භ කිරීම සාධනීය වන්නේ ඒ අර්ථයෙනි.
-පංචාලි