පාස්කු ප්‍රහාරයට වසර දෙකයි! එන්න අපි නටමු. Featured

Friday, 16 April 2021 10:34

තව දින කිහිපයකින් එනම් අප්‍රේල් 21 වන දිනට පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී වසර දෙකක් සම්පූර්ණ වේ. වසර දෙකක් සම්පූර්ණ වීමෙහි විශේෂයක් නැති නමුත් මේ සිදුවීම අලලා විපක්ෂ කොටස්වල නහයෙන් ඇඬීම්, ඩෙඟා නැටීම්, වලින් සමන්විත රංගනයක් ‍රැසක් මේ දිනවල දැකගැනීමට හැකි වෙනු ඇත.

 

මේ වන තෙක් මෙම ප්‍රහාරයට වගකිව යුත්තන් හෝ ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් අදාල වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීම ගැන නිශ්චිත අපේක්ෂාවක් තැබීමේ හැකියාව මේ මොහොතේත් ජනතාවට තහවුරු කිරීමට ආණ්ඩුව සමත් නොවීම මේ තත්වයට හේතුවක්ව පවතින බව පැහැදිලිය.

එහෙත් මේ සම්බන්ධයෙන් ගත යුතු නීතිමය පියවරගැනීම ආණ්ඩුව මඟහැර නැත. නිතිපතිවරයාගේ වගකීමක් බවට එය මේ මොහොතේ පත්ව ඇත. එතැනින් එහාට ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් පැවැරී ඇති වගකීමවන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සහ පහසුකම් සලසාදීම පමණකි. නමුත් තවදුරටත් මේ සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයෙහි පලවන අදහස් ආණ්ඩුවට හිතකර නොවන්නා සේම ආණ්ඩු පාර්ශ්වයෙන්ද නැගෙන ඇතැම් අදහස් විශ්වාසනීයත්වයෙන් තොරව පවතී.

එයට හේතුව වී ඇත්තේ මේ සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩුවත් වත්මන් ආණ්ඩුවත් ගෙන තිබෙන පියවරයන් නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයකුත් තව චුට්ටකුත් ඕනෑ කියන්නා ආකාරයෙන දිගින් දිගටම විවිධ අවශ්‍යතාවයන් ඉදිරිපත් කරමින් කල් මරමින් තිබෙන බවක් බැලුබැල්මටම පෙනෙන්නට තිබීම නිසාය.

එහෙත් මෙය ඇත්ත තත්වය නොවේ. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් රජය මුහුණ පා සිටින ඇතැම් ගැටළු හමුවේ ගාල කඩා ගත් හරකුන් මෙන් හදිස්සි තීන්දුතීරණ ගත නොහැක. කිසිවකුට හෝ චෝදනා එලල් කිරීම පහසුවූවද ඒ අධිකරණය හමුවේ ඔප්පු කිරීම පහසු නැත. සැකයකින් තොර නිශ්චිත සාක්ෂි ගොනුකරගැනීම ඒ සඳහා අත්‍යාවශ්‍යය. එමෙන්ම අතිශය සංවේදී පැති ගනනාවක් මේ ගැටළුව විසඳා ගැනීමට අදාලව මතුව තිබේ. විශේෂයෙන්ම රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන සංවේදී කරුණු මෙන්ම ජාතිය ආගම හා බැඳුනු සංවේදී කාරණා මෙම ගැටළුව විසඳා ගැනීමේ මාර්ග අවහිර කර ඇත.

පොලිස් වාර්ථා, කාරකසභා, කොමිසම්, කමිටු

පසුගිය යහපාලන යුගයේදී මෙම ප්‍රහාරය එල්ලවූ සැනින් ඊට අදාල විමර්ශනයන් කඩිනමින් සිදුවිය. පුද්ගලයන් ගනණාවක් අත්අඩංගුවට ගැනීම සහ ඉදිරියේදී සිදුවිය හැකිව තිබූ තවත් විනාශකාරී අවස්ථාවන් මැඩ පැවැත්වීමද සිදුවිය. ආයුධ ගබඩා වටලා එම ආයුධ අත්අඩංගුවට ගැනීම් මෙන්ම එම සංවිධාන ජාලා වල ක්‍රියාකාරිත්වයන් අවහිර කරනු ලැබිය. එසේම එම පොලිස් හා හමුදා බුද්ධි අංශ විමර්ශන හරහා විශාල තොරතුරු ප්‍රමාණයක් ඒකරාශි කරගත් අතර පොලිස් විමර්ශනවල දී පදනම් කරගන්න ක්‍රියාමාර්ග සහ නීතිමය තත්වයන් අනුව ඔවුන් විසින් කළ නිගමනයන් සහිත වාර්ථාව මේ වන විට නීතිපතිවරයාට බාර දී තිබේ. එම ආරංචි මාර්ග වලට අනුව මෙම ප්‍රහාර සිදුවීම කෙරෙහි බලපැවැත්වුණු දුර්වලතා හඳුනාගැනීම් සහ ඊට හේතුභූත වූ දේශපාලකයනගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකාරිත්වයන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නඩු පැවැරීම සිදුකළ යුතු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිගමනය කර තිබේ. ඒ අතර 30 දෙනෙකුට වැඩි පිරිසක් ඒ ඒ මට්ටමින් වගකීම පැහැරහැර ඇති බවත් රජයේ නීතිය අනුව ඔවුන්ට දඬුවම් පැමිණවීමත් සිදුකළ හැකි බව එම විමර්ශකයන්ගේ අදහස වී තිබේ.

ඒ අතර මෙම ප්‍රහාරය සමඟ පැනනැගුණු දේශපාලනික සහ ආගමික කම්පනය නිසා මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පැවැති යහපාලන යුගයේම පාර්ලිමේන්තුවට පියවරක් ගැනීමට සිදුවිය. ඒ අනුව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කාරක සභාවක් පත්කරමින් ඒ සම්බන්ධ විවෘත්ත සාකච්ඡාවක්ද සිදු කරනු ලැබීය. එම වාර්ථාවද එවකටම පාර්ලිමේන්තු කතානායකවරයාට ලබාදීම සිදුකරනු ලැබීය. එම වාර්ථාවද දැන් නීතිපතිවරයා සතුව ඇත.

එසේම එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෙම ප්‍රහාරය සම්බන්ධ තොරතුරු සොයා බැලීම වෙනුවෙන් පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කරනු ලැබිය. ඉතා පුළුල් මටමින් සිදුවූ මෙම කොමිසන් සභාවේ කටයුත්ත අහවර කෙරී එහි වාර්ථාව පසුගිය පෙබරවාරී මස පළමුවනදා වත්මන් ජනාධිපතිවරයා වෙත බාර දෙනු ලැබීය. මේ වන විට එයද නීතිපතිවරයා අතට පත්කර ඇත. ඒ තුළ චූදිතයන්ට එරෙහිව ගත යුතු නීතිමය පියවරයන් සහ රජය විසින් සිදුකළ යුතුබවට තවත් නිර්දේශ ගනනාවක් ඉදිරිපත්කර ඇත.

හිතුවට කරන්න බෑ

මෙහි වැදගත් කාරණය නම් මෙම පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිසන් සභාව නිර්දේශකර තිබෙන නෛතික කටයුතු, මෙන්ම යළි මෙවැනි තත්වයන් ඇතිවීම වැලැක්වීම පිණිස ගතයුතු නෛතික ප්‍රතිසංස්කරණයන්, දේශපාලනික ප්‍රතිසංස්කරණයන් පිළිබඳව රජය ගත යුතු පියවරයන් රට තුළ දේශපාලනික සමාජ ආර්ථික සහ සංස්කෘතික කළඹලයන් ඇති නොවන සේ උපක්‍රමිකවත් වඩා නිවැරදී ස්ථාවරයන් අනුව විය යුතුව තිබීමය. විශේෂයෙන්ම රටේ අනාගතය සුරක්ෂිතවීම වියයුතුය. එය පහසු කටයුත්තක් නොවේ. දශක ගනනාවක් තිස්සේ යම් ක්‍රමවේදකට, යාන්ත්‍රණයකට, සංස්කෘතියකට හැඩ ගැසී තිබෙන දේවල් කෙතරම් නොගැලපෙන වැරැදි සහගත දේ වූවත් හදිස්සියේ වෙනස් කිරීම සිදුකළ හැකි නොවේ. වත්මන් ජනාධිපති ගෝඨාභයය රාජපක්ෂ පසුගිය වසරක කාලය තුළදී මෙරට අකාර්යක්ෂම දූෂිත රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය ප්‍රතිසංස්කරණය කිරීම ගැන ගත් පියවරයන් හෝ පහසුවෙන් ක්‍රියාවට නැගීමට හැකි නොවීම තුල මෙහි ඇති අසීරුතාවය වටහාගත හැකිය.

එසේම සමාජය තුළ එක් එක් පාර්ශ්වයන් තමන්ට වාසිදායක් තීන්දු තීරණ වෙනුවෙන් බලවේග මෙහෙයවමින් රජයට එල්ල කරන බලපෑම් සුළුපටු ඒවා නොවේ. විශේෂයෙන්ම වත්මන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බලයට පත්කිරීම වෙනුවෙන් පෙනී සිටි ජාති ආගමික බලවේගවල පාර්ශ්වික ඉල්ලීම් වුවමනාවන් මඟ හැර යෑමට පාලකයන්ට අවස්ථාවක් නැති බව පසුගියදා කොළඹ වරාය නැගෙනහිර ජැටිය පිළිබඳ ප්‍රශ්නයෙදී පැහැදිලිවම කැපී පෙනුනු අවස්ථාවක් විය. එසේම රටේ සෑම ජාතියකටම ආගමකට සමාන ලෙස සැලකීම වෙනස්කම් නොකිරීම පිළිබඳ දැඩි වගකීමක්ද රජය සතුව තිබේ.

සෙල්ලම් කළ නොහැක

මේ ආදී බරපතල ගැටලු සමූහයක් නිවැරදිව කළමණාකරණය කරගැනීමේ අභියෝගය රජයට තිබේ. තවත් වැදගත් කරුණක් නම් ජාත්‍යන්තර ප්‍රජාවද මෙම ගැටළුව ශ්‍රී ලංකාව විසින් විසඳා ගන්නා ආකාරය දෙස විමසිල්ලෙන් බලා හිඳීමයි. ඒ වෙනුවෙන් ඔවුන්ගෙන් ලැබිය හැකි ප්‍රතිචාර ආණ්ඩුවේ පැවැත්මට ද, රටේ අනාගතය වෙනුවෙන් ද බලපෑමක් කරනු ඇත. මේ නිසා කවර දේශපාලන පක්ෂයක් බලයේ සිටියද කවර පාලකයෙක් බලයේ සිටියද මේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ සුල මුල සොයා වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර යළි මෙවැනි තත්වයන ඇතිවීම වලක්වා ගැනීම සම්බන්ධයෙන් හොරා පොලිස් සෙල්ලම් කිරීමට කිසිවෙකුට හැකියාවක් නැත.

කමිටුව වටවංගුවක් ද?

පසුගියදා ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ කොමිෂන් සභා වාර්තාවත් ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික කාරක සභා වර්තාවත් පිළිබඳ ගැඹුරු අධ්‍යනයක් සිදුකර රජය ගත යුතු පියවරයන් සම්බන්ධ යෝජනා සහ නිර්දේශයන් ඉදිරිපත් කිරීම වෙනුවෙන් තවත් කමි‍ටුවක් පත්කරනු ලැබුවේ මේ රටේ අමස්ත ජනතාවටම වගකිව යුතු පාලකයෙකු ලෙස ඔහුට කටයුතු කිරීමට සිදුව තිබෙන නිසාය.

මෙම කමි‍ටුව පත්කිරීම සම්බන්ධයෙන් වැරදි අර්ථ කතන සපයමින් ඇතැම් විපක්ෂ කොටස් ආගමික කොටස් මේ දිනවල මතු කරමින් සිටින්නේ පාස්කු ඉරිදා ප්‍රහාරකයන්ට දඬුවම් ලබාදීම වත්මන් පාලනය විසින් මඟහැරීමට කටයුතු කරමින් සිටින බවය. එහෙත් ඒවා ඇත්ත නොවේ. මාධ්‍ය මඟින් සහ ඇතැම් දේශපාලකයන්, ආගමික නායකයන් විටින් විට මතු කරන කරුණු කාරණා හරහා ඇත්ත තේරුම් ගත නොහැක. පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් රජය ඒ ඒ අවස්ථාවල ගත් පියවරයන් සහ මෙම කමි‍ටු, කොමිසම් ආදියෙහි මුඛ්‍ය අරමුණු, ඒවායේ විෂය සීමාවන් සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් නොමැතිව, මේ සම්බන්ධයෙන් මතුකරන කාරණා ජනතාව නොමඟ යවන සුළු ඒවාය. තමන් විසින් උපකල්පනය කර, තීන්දු තීරණවලට පැමිණ, චූදිතයන් ලෙස නම් කරගෙන සිටින පාස්කු ප්‍රහාරකයන්ට දඬුවම්දීම සිදුවියයුතු බවට වැරදි මත සමාජ ගතවී තිබීම නිසා පහසුවෙන්ම මේ ගැටළුව ගැන පට්ටපල් බොරු පතුරුවා හැරීමට විපක්ෂ කොටස්වලට හැකිව තිබේ.

නීතිය ක්‍රියාත්මකයි

විපක්ෂය කවර මතයක් ප්‍රකාශයට පත් කළද වත්මන් පාලනයට කිසිසේත්ම ප්‍රහාරය සම්බන්ධ ගැටළුව නොවිසඳා එය මඟහැර යෑම දේශපාලනිකවත් සදාචාරසම්පන්නවත් සිදුකළ නොහැක. මේ වන විට කොමිසමේ නිර්දේශ මත අන්තවාදී සංවිධාන 11 ක් තහනම් කර ඇත. නුදුරේම තවත් නිර්දේශ කිහිපයක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සුදානමක් පවතී.

පාස්කු ඉරිදා ප්‍රහාරකයන් සහ එය වලක්වා නොගැනීමට කටයුතු කළවුන් සම්බන්ධයෙන් දඬුවම් පැමිණවීමට අදාල නෛතික ක්‍රියාමාර්ග ගැනීම මේ වන විටත් නීතිපති දෙපාර්තමේන්තුව අරඹා ඇත. එම කටයුතු වලට කිසිදු බාධාවක් ජනාධිපතිවරයාගෙන් හෝ ආණ්ඩුවෙන් සිදු නොවනු ඇත. තවදුරටත් විමර්ශනයන් සිදුවෙමින් ශක්තිමත් නඩුවක් ගොනු කිරීම වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව මේ මොහොතේත් ක්‍රියාත්මකය.

ඇත්ත තේරුම් ගමු

පාස්කු ප්‍රහාරය වැනි සැකකරුවන් අති විශාල පිරිසකගේ සහභගිත්වයක් සහිතව කෙරුණු බරපතල අපරාධමය සිද්ධියක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම පහසු නොවේ. ඒ සෑම සිදුවීමක් සම්බන්ධයෙන්ම අදාල සාක්ෂි සියල්ල එක් ‍රැස් කරගැනීම පමණක් නොව ඒවා රටේ පිළිගත් නීති පද්ධතිය සමඟ සලකා බලා චෝදනා නියමාකාරයෙන් ගොනු කරගැනීමත් විය යුතුය. එක් තැනක් දුර්වල වුවහොත් අධිකරණයට සමස්ත නඩුවම වුව අහක දැමිය හැකි වෙනු ඇත. මෙය අතිශය සංකීර්ණ කාර්යයකි. එසේම නඩු විභාගය වුව වසර ගනනාවක් ඇදී යා හැක. එය වසර දහයක් පහළොවක්ද විය හැකිය. මේ නිසා හෙට අනිද්දාට පාස්කු ප්‍රහාරයට වසර දෙකක් පිරෙන තැන මෙහි චූදිතයන් හිරේ විලංගුවේ වැටී නොසිටීම ගැන ආණඩුවට කිසිවකු හෝ චෝදනාවක් කරනවා නම් ඒ කිසිදු දැනුම් තේරුම්කමක් නැති තනිකර මුග්ධභාවයය. එසේ නොමැති නම් දේශපාලනික බල පෙරේතකම මත සිදුකරන අමු තකක්ඩිකමකි.

මේ නිසා පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් ආණ්ඩු විරෝධි කොටස් විසින් මතු කරනු ලබන බොහෝ කරුණු කාරණාවල පදනමක් නැති බව නැවතත් කිව යුතුය. සමාජ මාධ්‍ය හරහා ගෙනයන අභූත ප්‍රචාරයන් ආණ්ඩුවට එරෙහි හුදු ප්‍රචාරක වාසි වෙනුවෙන් පාස්කු ඉරිදා ප්‍රශ්නයේ ඇත්ත මුහුණුවර විකෘති කිරීම හැර මේවා තුල වෙන යමක් නැත.

එහෙත් සැබවින්ම සිදුවිය යුත්තේ මේ රටේ ජාති ආගමික සම්බන්ධ සංවේදී ප්‍රශ්න මෙන්ම ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය පක්ෂ විපක්ෂ කොටස් එකතු වී කිසිදු පාර්ශ්වයකට හානියන් නොවන හොඳම විසඳුම් යෝජනා කර, ඒවා බාරගෙන විසඳා ගැනීමය. එහෙත් එතරම් දියුණු දේශපාලනික භාවිතාවක් මේ රටේ නැතිවීම සමස්ත පුරවැසියාගේම අවාසනාවකි. පුරවැසියන් ලෙස අප සියලු පාර්ශ්වවලට බල කළයුත්තේ එවැනි දියුණු ශිෂ්ඨසම්පන්න දේශපාලන භාවිතාවක් වෙනුවෙන් හැඩ ගැසෙන ලෙසය. මේ මොහොත වැදගත්වන්නේ ඒ වෙනුවෙන් මිස පාර්ශ්වික කුලල් කා ගැනීමකට නොවේ.

 

- the novemberist

Leave a comment

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us