මෙම පනත් කෙටුම්පත මේ මොහොත වන විට ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ පාර්ශ්ව 15 ක පමණ පිරිසක් අභියෝගයට ලක්කර ඇති අතර මේ සම්බන්ධ දේශපාලනික විවාදයද වඩාත් උණුසුම් වෙමින් ඇත. එහෙත් මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත්වන එකඟතාවයන් සහ විරුද්ධ අදහස්වල එතරම් පැහැදිලිතාවයක්ද නැත. මීට එකඟ වන පිරිස් මූලික වශයෙන් පවසන්නේ මෙම නගරය නිසා මෙරට ආසියාවේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් වෙනු ඇති බවත් එය ශ්‍රීලංකාවේ සංවර්ධනය සම්බන්ධන්යෙන් හැරැවුමක් වනු ඇති බවත්ය. කාලයක් තිස්සේ තිබු සිංගප්පූරු සිහිනය අභිබවා යන තත්වයක් මෙරටට අත්පත් කරගත හැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.
එහෙත් මීට එරෙහි පාර්ශ්ව විසින් මතුකරන්නේ මෙය චීන කොළනියක් වනු ඇති බවය. මෙම භූමි කොටස චීනයට අයත් වන අතර මෙරට නීතියෙන් පරිබාහිරව පවතිනු ඇති බවත් ය. ඒ තුළ වෙනම රාජ්‍යයක ලක්ෂණ සම්පූර්ණ වී ඇති බවත් පෙඩරල් සංකල්පයත් ඉක්මවා යන තරමේ බලය ලබාදීමක් සිදුව ඇති බවත්ය. මීට අමතරව සූදුව, ගනිකා වෘත්තිය, කළු සල්ලි සුදු කිරීම්, ආදී දුරාචාරයන්, සිදුවෙනු ඇති බවත් මෙම නගරයේ ආදායම් රටට නොලැබෙන බවත් මෙරට වැසියාට මේ නගරයට ඇතුල් වීමෙදී වීසා ගැනීමට සහ බදු මුදල් ආදිය ගෙවීමට සිදුවෙනු ඇති බවත් ආදී වශයෙන් කරුණු කාරණා රැසක් ගෙන හැර පාමින් තිබේ.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සම් මඟින් කියන්නේ මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන බවය. විශේෂයෙන්ම ව්‍යවස්ථාවේ 1,2,3, 12(1), 14 (1) යන වගන්ති උල්ලංඝණය වෙන බවය. එම නිසා පනත් කෙටුම්පත බලාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය සහ ජනමත විචාරණයකට ලක්කළ යුතු බවය. ව්‍යවස්ථාවේ මේ කියන වගන්ති උල්ලංඝණය වන නීතියක් සම්මත කෙරෙනවා නම් මෙම ක්‍රියාමාර්ග ගැනීම ව්‍යවස්ථාව අනුව තිබෙන නීතිමය තත්වයයි. කෙසේ නමුත් එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කෙරෙනු ඇත.
ව්‍යස්ථාවේ මේ කියන වගන්ති වලින් පනවා ඇති නීති අනුව 1 වෙනි වගන්තිය තුළ ශ්‍රි ලංකාව ස්වෛරී, ස්වාධීන ජනරජයක් ලෙස සඳහන්ය. 2 වෙනි වගන්තිය තුළ මෙරට ඒකීය රටක් ලෙස හඳුන්වයි. 3 වැනි වගන්තියෙන් රාජ්‍යයේ පරමාධිපත්‍යයික බලය ජනතාව සතු බවත් එය අත්හල නොහැකි බවත් සඳහන්ය. ඒ තුළ පාලන බලය මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ජනතා පරමාධිපත්‍යය තුළ අඩංගු බව පැහැදිලි කරයි.
මි ලඟට 12(1) වගන්තිය ගත් විට නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම නීතියේ රැකවරණය සර්වසාධාරණ විය යුතු බව දැක්වේ. 14(1) වගන්තියෙන් මෙරට පුරවැසියාට හිමි භාෂණයේ රැස්වීමේ සමාගමයේ රැකියාවේ නිදහස, වෘත්තීය සමිති පිහිටුවීමේ නිදහස සහ යාම් ඊම් සහ අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස යනාදිය වශයෙන් වන අයිතිවාසිකම් රැසක් සඳහන් කර ඇත. වරාය නගරය ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම් පතින් මෙම නීති උල්ලංඝණය වන බව පෙත්සම් වලින් පෙන්වා දී ඇත.
කෙසේ නමුත් මෙම පනත් කෙටුම්පත මඟින් විශේෂිත ආර්ථික කලාපයක් පිහිටුවීම වෙනුවෙන් යෝජනා කර ඇති දේ බැලු බැල්මටම මෙම ව්‍යස්ථාමය වගන්ති උල්ලංඝණය වන බව පෙනී යයි. පනතේ අඩංගු උප ලේඛනයන් තුළ මෙම ආර්ථික කලාපයට බලනොපාන අණපනත් රැසක්ද සඳහන් කර ඇත. සෘජුවම පනත් 7 ක සහ අවශ්‍ය විට වෙනස්කම් කිරීමට ඉඩ දී තිබෙන පනත් 14 ක් ගැනද සඳහන් වේ. මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව් තුළ සම්මත වුවහොත් එමඟින් පිහිටුවනු ලබන වරාය නගර ආර්ථික කොමිසන් සභාවට පනත ප්‍රකාරව ලැබෙන බලය හමුවේ මෙම පනතට යටත් කර ඇති නීතිමය තත්වයන් සමඟ කටයුතු කිරීමේ හැකියාව ලැබේ. දැන් විපක්ෂ කොටස් මතු කරන අනතුර මෙයය. පනත නීතියක්වීම තුළ ඊට පාර්ලිමේන්තුවෙන් කරනු ලබන වෙනස්කමක් මත මිස ඊට වෙනයම් අභියෝගයක් කළ නොහැක. එහෙත් වරාය නගරය ගොඩනැගීමෙන් අනතුරුව ඒ වෙනස් කිරීමක් ගැන සිතන්නටවත් නොහැකි වෙනු ද ඇත.
එහෙත් මෙම පනත් කෙටුම් පත සාවධානව කියවීමේදී තේරුම් ගතයුත්ත නම් මේ කියන විශේෂිත ආර්ථික කලාපය යනු ශ්‍රී ලංකාව නම් රජයට අයත් ස්වභාවික භුමියක් නොවන බවය. මෙය විශේෂිත වුවමණාවක් මත කෘතිමව රටේ භූමියට එකතු කරගත් කොටසක් බවය. මේ තුළ ජනාවාස නැත, වනාන්තරයක් හෝ ජල මුලාශ්‍ර හෝ නැත. වෙනත් අත්පත් කරගත හැකි ස්වභාවික සම්පත් කිසිවක් නැත. මුහුදු වැල්ලෙන් පුරවා සකසා ගත් කෘතිම බිම් කඩකි. එය ගොඩනැගීම වෙනුවෙන් රජයේ හෝ මේ රටේ කිසිදු පුරවැසියෙකුගේ සතයක් හෝ වියදම්ව නැත. මෙහි සම්පූර්ණ වියදම දැරුවේ චීන සමාගමක් විසිනි. ඒ කාර්යයට සම්බන්ධ වී යම් ආදායම් ලැබූ පිරිස් සිටියද එය විදේශ සමාගමකට සේවා සපයා ලත් මුදලකි. චීන සමාගමක් මෙය ගොඩනැගුව බැවින් එම බිම් කඩ සින්නක්කරේටම එම සමාගමට අයිතියක් නැත. ඔවුන් ඉටු කළේ ශ්‍රී ලංකා රජය ලබාදුන් කොන්ත්‍රාත්තුවකි. එහි පූර්ණ අයිතිවාසිකම ඇත්තේ ශ්‍රී ලංකාවටය.
ව්‍යපෘති පිරිවැය දරූ සමාගමට ඒ වෙනුවෙන් මෙම වරාය නගරයේ බිම් කොටසක් පවරා ඇති නමුත් එහි ඉඩම් බදු දීම, එහි ව්‍යාපාරික කටයුතු, නේවාසිකයන් ආදී සම්බන්ධ සියලු තීන්දු තීරණ මෙම වරාය නගර කොමිසම් සභාව මගින් තීරණය කරනු ලබයි. කොමිසම පත්කරන්නෙ ජනාධිපතිවරයා විසින්ය එයද වසර තුනෙන් තුනට අලුත් කෙරෙයි. එසේම කොමිසම් ගන්නා තීන්දු තීරණ ජනාධිපතිවරයාට යටත්ය. කොමිසමේ ගිණුම් වර්තා ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. නීතිමය කටයුතු ශ්‍රී ලංකාවේ අධිකරණයට යටත්ය. ජාත්‍යන්තර වෙළදාම් (අක්වෙරළ) සම්බන්ධයෙන් පමණක් ජාත්‍යන්තර බේරුම්කරන මධ්‍යස්ථාන හරහා එම කටයුතු සිදුවේ. එය සාමාන්‍ය තත්වයකි. මෙම වරාය නගරයේ ව්‍යාපාර කටයුතු සිදුකිරීමේ අයිතිය ඇත්තේ චීන ජාතිකයන්ට පමණක් නොවේ. ඒ සියළු රාජ්‍යයන්ට විවෘතය. මේ වන විටත් යුරෝපීය සමාගම් රැසක් මෙහි අයෝජනය කිරීමට කැමැත්ත පළකර තිබේ. මෙම භුමි භාගය ශ්‍රී ලාංකිකයන්ට තහනම් නැත. ඊට ඇතුල්වීමට වීසා ගැනීමක් කළයුතු නැත. ශ්‍රී ලාංකිකයන් ව්‍යාපාර කටයුතු සිදුකරන්නේ නම් ඒ කළ යුතු ආකාරය පනතේ දක්වා ඇත. එය මේ රටේ ජාතික ආර්ථිකයට ශක්තියක් ගෙන එන ලෙස සිදුකෙරෙන විදිහ දක්වා ඇත.
එසේම වරාය නගරය සම්බන්ධයෙන් එල්ල වෙන විවේචන බොහොමයක්ම පදනම් වී ඇත්තේ බොරු කටකතා මත මිස පනත නියමාකාරයෙන් කියවා බලා නොවන බවත් ඉතා පැහැදිලි කරුණකි. පනත් කෙටුම්පත ගැසට්කර එය මේවන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබේ. එය සිංහල දෙමළ ඉංග්‍රීසී භාෂා තුනෙන්ම තිබේ. අන්තර්ජාලයෙහි මේ පිටපත් තුනම ප්‍රසිද්ධකරද තිබේ. මෙහිදී පරිවර්තන තුළ යම් වෙනස් කමක් සිදුව තිබේ නම් බලපවත්වන්නේ සිංහල පිටපත බවද සඳහන්ය. ඒ නිසා මේ පනත ඇතුලේ වගන්ති සඟවා නැත. සිංහල දන්න, මේ ආර්ථික ක්‍රියාකාරකම් ගැන දන්න, නීතිය ගැන දන්නා ඕනෑම අයකුට මෙය කියවා පැහැදිලිව තේරුම් ගත හැක.
දැන් මෙම කෘතිමව ගොඩනැගු හිස් බිම්කඩට ශ්‍රි ලංකා ආණ්ඩුක්ර්ම ව්‍යවස්ථාව ප්‍රකාරව නීතිය බලපැවැත්විය යුතු බව කියන්නේ කුමන දේශපාලනික පදනමකින්ද යන්න විමසීම කළ යුතුය. සත්‍යවශයෙන්ම මේ සිදුකළ යුත්තේ වරාය නගර පනත් කෙටුම්පතට එරෙහි පිරිස විසින්ය. වරාය නගරය ශ්‍රී ලංකාව නැමැති රාජ්‍යයට අයත් පැවැති භුමි භාගය තුළ ඉදිකළානම් මේ කියන විරෝධයන් රැසකට ඇත්ත දේශපාලනික සහ නීතිමය පදනමක් තිබිය හැකි නමුත් මේ අලුතෙන් රටේ ආර්ථිකය සංවර්ධනය කරගැනීම වෙනුවෙන් විශේෂයෙන් ඉදිකළ භුමි භාගය සම්බන්ධයෙන් ඒවායේ වලංගුතාවය මේ අය පෙන්වා දිය යුතුය.
වරාය නගරය ඉදිකිරීමෙන් බලාපොරොත්තු වන ආර්ථික සංවර්ධනය, මෙම නගරය ශ්‍රී ලංකාවේ දේශපාලන අධිකාරියකට යටත් කිරීමෙන් සහ මෙරට පවතින නීති ප්‍රකාරව පාලනය කිරීමෙන් අත්පත් කරගත නොහැකි බව අමුතුවෙන් කිව යුතු නැත. මේ වෙනුවෙන් වෙනම ආර්ථික කොමිසම් සභාවක් පත්කර විශේෂිත නීති පද්ධතියකට යටත්කර එයට සුවිශේෂී පාලන ක්‍රමවේදයකට අනුව සැකසුවේම මෙහි අරමුණ ජයගැනීම වෙනුවෙනි. නිකමට හෝ හිතුවොත් මෙය කොළඹ නගර සභාවෙන් හෝ නාගරික සංවර්ධන අධිකාරියෙන් හෝ එවැනි ආයතනයකින් පාලනය කිරීමකට යටත්කිරීමෙන් පසු සිදුවිය හැක්කේ කුමක්ද යන්න ගැන අමුතුවෙන් කිවයුතුද නැත.
එහෙත් මෙය මුළුමනින්ම කොමිසන් සභාවේ පාලනය යටතේ හිතුවක්කාරී ලෙස පාලනය කළ නොහැක.රටේ පවතින තවත් නීති රීත අණපනත් රැසක් මේ වරාය නගරයට බලපානු ලබයි. කොමිසන් සභා පනත් යටතේ මෙරට රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වය යටතේ තවත් නියාමන අධිකාරී කිහිපයක් සහ තවත් සමාගම් පිහිටුවීමද සිදුවේ. ඒවා රටේ නීතියට යටතේ ක්‍රියාත්මක වෙනු ඇත. වංචා දූෂණ අක්‍රමිකතා සිදුවීම වැලැක්වීම වෙනුවෙන් දැඩි නීති රීති පද්ධතියක්ද පනතෙන් හඳුන්වා දී ඇත. ඒවා රටේ පවතින නීතියට වඩා බලවත්ය.
මේ විරෝධය පාන පිරිස් වරාය නගරය ඉදිකිරීමෙහි අරමුණු ගැන ඇති විශේෂිත තත්වයන් තේරුම් ගත යුතුය. එහි තේරුම මෙය ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ආකාරයෙන්ම පිළිගත යුතු බව නොවේ. මෙහි උපරිම වාසිය මෙරටට අත්පත්කර ගන්නා ආකාරය ගැන සාධනීය විවේචන ඉදිරිපත් කිරීමෙහි අයිතිය මේ අයට තිබේ. කොටින්ම මේ වරාය නගර පනත නිසා රටට හෝ රට වැසියාට නැති වෙන්නෙ මොනවද කියන එක මේ විරුද්ධවාදීන් පැහැදිලි කරනවා නම් එය වැදගත්ය. එහෙත් හුදු දේපාලනික පක්ෂපාතකම් තුළ හිඳිමින් පැරණි යල් පැන ගිය හණ මිටි අදහස් තුල හිඳිමින් ඒ සිදු කළ නොහැක.
දැන් සිදුවෙමින් පවතින්නේ ඒ පජාත දේශපාලනික භාවිතාවය. එහිදී කෙතරම් කුහක මතිමතාන්තරවල මෙම පිරිස් සිටිනවාද යන්න ගැන මේ අයගේ පෙර ක්‍රියාකාරකම් සැසදීමෙන් පැහැදිලිව පෙන්නුම් කරයි.
තවත් විහිළු සහගත තත්වයක් නම් රටේ ඒකීයභාවය, ස්වෛරීත්වය ගැන මරාගෙන මැරෙන පවා ඉදිරිපත් වු කොටස් මේ වරාය නගරය පනත වෙනුවෙන් කොන්දේසි විරහිත පෙනී සිටීමේ තත්වයය. හම්බන්තොට වරාය ගිවිසුමකින් චීන සමාගමකට පැවැරීමේදී ඊට එරෙහි වූවන් වරාය නගර පනතට පක්ෂය. බලය බෙදාහැරීමට විරුද්ධ කොටස් වරාය නගරය පනතට එකඟය. පළාත් සභා එපා කිව් කොටස් වරාය නගර පනතට එකඟය. එම්සීසී ගිවිසුමට විරුද්ධවූවන් වරාය නගර පනතට එකඟය. මේ පිරිසත් ඒ දේශපාලනය කුමක්ද යන්න ගැන පැහැදිලි කිරීමක් කරනවා නම් මේ ප්‍රශ්නය සරලව දේශපාලනිකව බේරාගැනීමට මහෝපකාරී වෙනු ඇත.
- සුජය