දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක විය යුත්තේ ඇයි?

Wednesday, 10 February 2021 13:17

පසුගිය යහපාලන ආණ්ඩු සමයේ සිදු වූ දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ ඇතුළත් ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගියදා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් ද පත් කළේය.

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව පිහිටුවා ගත් 'ජාතික විධායක සභාව'ක් මගින් සහ 'දූෂණ මර්දන කමිටුව' නම් දේශපාලන සංවිධානයක් විසින් සිය විරුද්ධාදීන් ඍජුව හෝ වක්‍රව දේශපාලන පළිගැනීම්වලට ලක් කිරීම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධිවිධානවලට පටහැනිව පිහිටවූ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, පොලිස් විශේෂ විමර්ශන ඒකකය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදා ගෙන ඇති ආකාරය පිළිබඳ වෙනම විමර්ශනක් සිදු කළයුතු බවට දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම නි‍ර්දේශ කර තිබිණි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධම්මික ප්‍රියන්ත සමරකෝන් ජයවර්ධනගේ ‍සභාපතිත්වයෙන් යුතුව ලෙස නව ජනාධිපති පරීක්ෂණ කොමිසම පත් කෙරිණි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඛේමා කුමුදිනී වික්‍රමසිංහ සහ අභියාචානාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ කොමිසමේ සෙසු සාමාජිකයන් වශයෙන් නම් කොට තිබේ.

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශන කොමිසම විසින් දූෂණ මර්දන කමිටුව නමින් වූ සංවිධානය නියෝජනය කළ හා එහි සේවය කළ දේශපාලකයන්, නීතිවේදීන් සහ රජයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් ඇතැමෙකුගේ ප්‍රජා අයිතිය තහනම් කළ යුතුව ඇති බවත් නිර්දේශයන් ඉදිරිපත්ව තිබේ. එසේම පසුගිය යහපාලනය විසින් අදාල පැමිණිලිකරුවන්ට එරෙහිව පැනවූ නඩු 79 ක් ඉවත්කර ගැනීමත් විය යුතු බවත් එහි සඳහන්ය,

මේ ආදි වශයෙන් දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම විසින් ලබා දී නිර්දේශයන් සම්බන්ධයෙන් චූදිත පාර්ශ්වයන් දැඩි කළබලයකට පත්ව තිබෙන බව මේ වනවිට පෙනෙන්ට තිබේ. එය වඩාත්ම බරපතල ගැටලුවක් කරගෙන තිබුණේ ජනතා විමුක්ති පෙරමුණය. ඔවුන් ඊට එරෙහිව කැරළි ගහන්නට වුව සූදානම් බව ද දැනටමත් හඟවා තිබේ. එසේම මෙම දූෂණ විරෝධි කමි‍ටුවේ සක්‍රීයම ක්‍රියාකාරිකයා වූ පාඨලී චම්පික රණවක ඇතුලු එම පාර්ශ්වයද බොහො සෙයින් බියට පත්ව තිබෙන බව එම පාර්ශ්වයෙන් නැගෙන ආඳෝනා අනුව වැටහේ.

ඔවුන් මේ නිර්දේශයන්ට එරෙහිව මතු කරන කතා බහේදී මෙම කොමිසම් මඟින් නීතියේ ආධිපත්‍යට මරු පහරක් එල්ල කරන බවත් අධිකරණයට බලපෑමක්, අපහාසයක් වන බවටත් බොහෝ කරුණු සාධක ඇද දමමින් තර්කානුකූල මතයන් ඉදිරිපත් කරන්න උත්සාහයයන් ගනිමින් ද තිබේ.

එහෙත් ඇත්තම කතන්දරය නම් මේ ඉදිරිපත් කරන කරුණුම දුෂණ විරෝධි කමි‍ටුව අටවන වෙලාවේදීත් මේ අය ඉදිරිපත් කළා නම් අද මේ තරම් සෝචනීය තැනකට මොවුන් ඇද වැටෙන්නේ නැත. එදා යහපාලකයෝ නීතියේ ආධිපත්‍යය ඉක්මවා යමින් අධිකරණයට බලපැම් කරමින් සිදු කළ දේශපාලන දඩයම නොවන්න වත්මන් ජනාධිපතිවරයාට ඒ වරද නිවැරදි කිරීමට අද කොමිසම් දැමීමට සිදුවන්නේ ද නැත.

කළින්ම කළ සැළසුමක්
----------------------------

යහපාලනයේ දේශපාලන දඩයම පටන්ගත්තේ 2015 ජනවාරි මාසයේදීමය. යහපාලනය පිහි‍ටුවා සති දෙකක් ඉක්මයන්නත් පෙර එම මාසයේ 21 වනදා වන විට අගමැති රනිල් වික්‍රමසිංහ විසින් මේ දේශපාලන දඩයම වෙනුවෙන් ජාතික විධායක සභාව පත් කිරීමට කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර තිබිණි. මෙම පළමු සංදේශයෙන්ම පුද්ගලයන් නම් කර ඔවුන්ට එරෙහිව කෙටි කාලීන, දිගු කාලීන හා වෙනත් ආකාරවලින් දඬුවම් කළ යුතු බව යෝජනා කර තිබිණි. මෙය පෙර සැලසුමක් අනුව ක්‍රියාත්මක වූවකි. මන්ද ජනාධිපතිවරණයටත් පෙරම මෙම 'ජාතික විධයක සභාව' පිහි‍ටුවීම ගැන අදහස් එවකට විපක්ෂය් නියෝජනය කළ එජාපය සහ ජවිපෙ අතර තිබුණු නිසාය. කොහොමත් එසේ නොමැතිව සති දෙකකටත් අඩු කාලයක් තුල මෙය සැලසුම් කිරීමේ හැකියාවක් නොමැති නිසාය. මෙම 'ජාතික විධයක සභාව' පිහිටුවීමත් රටේ කිසිදු නීතියකට හෝ අනුකූලව සිදුවූවක් නොවේ. එය කොමිසම හමුවේ රනිල් වික්‍රමසිංහට පවා පිළිගන්න සිදුවිය.

එහි දෙවැනි පියවර ලෙස 'ජාතික විධයක සභාව' යටතේ පසු සතියේම 'දූෂණ මර්දන කමි‍ටුව' නැමැති දේශපාලන දඩයම් යාන්ත්‍රණය පිහිටුවීම සිදු විය. වැදගත් කරුණ නම් මෙම කමි‍ටුවේ අධ්‍යක්ෂවරයා ලෙස නම් කරන්නේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායකගේ පෞද්ගලික ලේකම්වරයා ලෙසත් කටයුතු කළ ජවිපෙ ප්‍රබල නායකයකු වන ආනන්ද විජේපාල තැනැත්තාය. කමි‍ටුවේ අනුමැතිය පරිදි කාවද දඩයම් කරන්නේ මොනවද දෙන්න‍ ඕන දඩුවම් ආදිය ගැන පොලිසියට, නීතිපතිවරයාට නිර්දේශ කළේ මේ පුද්ගලයාය. මෙහිදී රටේ පැවැති අපරාධ නීතිය සම්බන්ධ වගන්ති ගනනාවක් අවභාවිතා කරමින් මෙය සිදුව තිබෙන බවත් කොමිසම හමුවේ හෙළිදරව් විය. මෙම මුල් පියවරේ ක්‍රියාදාමය මඟින්ම මෙම දේශපාලන දඩයමෙහි නීති විරෝධී බවත් පාර්ශ්වික දේශපාලන වුවමණාවත් පැහැදිලිය.

කොමිසම නීති විරෝධී හෝ ප්‍රජාතන්ත්‍ර විරෝධී නොවේ
-------------------------------------------------------------------------

ඒ කොහොම නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවයා විසින් පත්කළ මෙම නව කොමිසම් මඟින් නීතියේ ආධිපත්‍යයට පහරක් එල්ල වීම හෝ අධිකරණයට බලපෑමක් අපහාසයක් වෙනවා කීමෙහි කිසිදු පදනමක් නැත. අනෙක මෙම කොමිසම් පත්කිරීම නීති විරෝධී හෝ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග නොවේ. එය ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයා වෙත පවරා ඇති බලතල අනුව ගත් නිවැරදි ක්‍රියාමාර්ගයකි. එම බලතල අද ඊයෙක නොව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැනවූ යුගයේ සිටම තිබෙන්නකි. 1978 අංක 7 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනත ප්‍රකාරව ජනාධිපතිවරයා මෙම කොමිසම පත් කර තිබේ. වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 20 වරක් සංශෝධනයට ලක්ව තිබුණත් ජනාධිපතිවරයා සතුව තිබෙන එම බලය අහෝසි කිරීමක් තබා මොට කිරීමටවත් ඒ ඉතිහාසය තුල කිසිවකුත් කතා කර නැත. එම නිසා වත්මන් ආණ්ඩුවට හිමි බලය නිසා හෝ විධායක ජනාධිපතිවරයාගේ බලය හිතුවක්කාරීව යොදාගෙන මෙවැනි පියවරක් ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කරනවා නොවේ. මෙම නව කොමිසම මඟින් වූවද එහි නිර්දේශ ප්‍රකාරව යම් අයකුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට නිර්දේශ කළද එය ක්‍රියාත්මක කළ හැක්කේ පාර්ලිමේන්තුවේ සම්පූර්ණ මන්ත්‍රී ගනනෙන් තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් පමණි. මේ නිසා ව්‍යවස්ථාදායකය ගන්නා තීන්දුවක් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි හෝ නීතියේ ආධිපත්‍යයට ඉහළින් වන තීන්දුවක් බවට ගොඩනඟන්න තැත්කරන මතයට කිසිදු නෛතිකමය පදනමක් නැත.

ජනාධිපතිවරයාට හිමි බලය
----------------------------------------

එමෙන්ම මෙම කොමිසම පත්කිරීම වෙනුවෙන් ව්‍යවස්ථාවෙන්ම විධායක ජනාධිපතිවරයට බලය ලබා දී ඇත්තේ හේතු ගනනාවක් මතය. පළමු කාරණය ඔහු මහජන ඡන්දයෙන් පත්වන රාජ්‍ය නායකයා වීම සහ ව්‍යවස්ථානුකූලව ජනතාවගේ 'විධායක පරමාධිපත්‍යය' දරන්නා ද වන නිසාය. ඒ අනුව ජනතාවගේ පරමාධිපත්‍යයික බලය බෙදීයන විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන බල කුළුණු ත්‍රිත්වයෙහි බල තුලනය සඳහා විධායක ජනාධිතිවරයාට විශේෂ බලතල ලැබී තිබේ. මේ ක්‍රියාත්මකවන්නේ එම නීතියයි. ව්‍යවස්ථාදායකය හෝ අධිකරණය මඟින් ජනතා යහපතට හානි වන යමක් සිදුවේ නම් ඊට මැදිහත් වීමේ බලය ජනාධිපතිවරයාට තිබේ, එමෙන්ම අනෙක් බල කුළුණු දෙකට ද එසේම බලයක් තිබේ. එකක් අනෙකකට කරන මැදිහත්වීම කිසිසේත්ම නීති විරෝධී හෝ ප්‍රජාතන්ත්‍ර විරෝධී හෝ නොවේ. එය ජනතා සම්මුතියක් ලෙස පුරවැසියා පිළිගෙන තිබෙන ක්‍රමවේදයයි.

මෙ අනුව කොමිසම් හරහා නීතියේ ආධිපතයට මරු පහරක් එල්ල කරනවාය කියන කාරණයට පදනමක් නැත. අනෙක මෙම කොමිසම පිහි‍ටු වූයේම නීතියේ ආධිපත්‍යය අභිබවා ගොස් නීතිය දේශපාලනික හෝ පෞද්ගලික එදිරිවාදිකම් වෙනුවෙන් යොදා ගැනීමට එදා යහපාලනයේ කෙරුම්කාරයන් විසින් කටයුතුකර තිබෙන බවට එල්ලවූ චෝදනා පිරික්සීමටය. එය අද තහවුරු වී තිබේ. කොමිසම් වාර්තාව කියවා බැලු විට එම කතන්දරය සිදුව තිබෙන ආකාරය පිළිවෙලකට පැහැදිලිව සාක්ෂි සාධක මඟින්ම තේරුම් ගත හැක.

නඩු ඉවත් කරගැනීමෙන් අධිකරණයට බලපෑමක් නැත
-------------------------------------------------------------------------

අධිකරණයෙහි විභාග වෙමින් පවතින නඩු 79 ක් ඉවත් කරගැනීම වියයුතු බවට කර තිබෙන නිර්දේශය අධිකරණයට කරන බලපෑමක් හෝ අපහාසයක් වන බවට කරන චොදනාවටද පදනමක් නැත. මන්ද මෙමගින් අධිකරණයට හෝ එහි විනිසුරුවරුන්ගේ තීන්දු තීරණ වලට හෝ අභියෝග කර නොමැති නිසාය. අනෙක නඩුවක් ඉවත් කරගැනීම කියන්නෙ අධිකරණයට කරන බලපෑමක් නොවේ. මන්ද මෙම නඩු පැවැරුවේ අධිකරණය නොවන නිසාය, අධිකරණය මෙම නඩුවල පැමිණිල්ල හෝ විත්තිය නොවේ. අධිකරණයේ කාර්යභාර්යය පැමිණිල්ලත් විත්තියත් ගෙන එන සාක්ෂි, හා නෛතික තර්ක විතර්ක මත යුක්තිය පසිඳලීමය. පැහැදිලිවම අධිකරණ විනිසකරුවක් තීන්දුවක් දෙන්නේ ඉදිරිපත් වන එම තොරතුරු කරුණු කාරණා මතය.

කවර හෝ පාර්ශ්වයක් ලබාදෙන තොරතුරු වල සත්‍යතාවය, පොලිස් විමර්ශන හා ඒ හා බැඳුනු වෙනත් රාජ්‍ය ආයතනයක් (රස පරීක්ෂක දෙපාර්තමේන්තුව / රජයේ පිළිගත් වෛද්‍ය විශෙෂඥයන් වැනි ) මඟින් ලබා දෙන සහතිකය මත අධිකරණය ඒ ගැන විශ්වාසය තබයි. දැන් ගැටලුව තිබෙන්නේ මෙලෙස සහතික කොට ලබාදෙන පුද්ගල හෝ වෙනත් සාක්ෂි නිවැරදි නොවේ නම් අධිකරණය නොමඟ යෑම සිදුවිය හැකිවීම ගැනය. බොරු සාක්ෂි, විකෘතිකරන ලද සාක්ෂි, නැතිනම් සාක්ෂි සැගවීම ආදිය මත අධිකරණයකට නිවැරදී තීන්දු ගැනීමෙ හැකියාවක් නැත. ඒ අනුව නිවැරදිකරුවන් වැරදිකරුවන් වීමටත් වැරදිකරුවන් නිවැරදිකරුවන් වීමත් විය හැකිය. එහෙම වූ අවස්ථා මෙරට අධිකරණ ඉතිහාසයේ නැතුවා නොවේ.

යහපාලනය නඩු අහපු හැටි
-------------------------------------

පසුගිය යහපාලන කාලයේදී නීතිපති දෙපාර්තමේන්තුව හෝ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම හෝ ගොනු කරන ලද නඩු බොහොමයක්ම මෙලෙස අධිකරණය නොමඟ යවන සාක්ෂි වලින් සමන්විත වූ බව මෙම කොමිසම හමුවේ දිගින් දිගටම තහවුරු වූ කාරණවක් විය. මෙලෙස බොරු චෝදනා නඟා බොරු සාක්ෂි පදනම් කරගෙන නඩු පැවැරීම ගැන අධිකරණයට කරන්න දෙයක් නැත. බැලු බැල්මටම සාක්ෂි තිබෙන බව පෙනෙන්නේ නම් එමඟින් නීතිය කඩවී ඇති පෙනෙන්නේ නම් නඩුවක් විභාග කිරීමට අධිකරණයට සිදුවේ. විනිසුරුවරයාත් දූෂිතයෙකු වී යම් බලපෑමකට යටත්ව සිටී නම් ඒ අනුවත් නඩු ගැන තීරණ ගතහැකිය. මේ තත්වයන් මත විත්තිකාර පාර්ශ්වයට තමන්ගේ සත්‍යතාවය ඔප්පු කිරීමට ඇති හැකියාව දුර්වල වුවහොත් ඔවුන්ට දඬුවම් නියම කිරීමත් අධිකරණය සිදු කරයි.

කොමිසම හමුවේ යහපාලනය විසින් ගොනුකර තිබෙන නඩු 79 ක් සම්බන්ධයෙන් ඇත්ත තත්වය හෙළිව තිබිණි. එම නඩු අධිකරණය හමුවේ තව දුරටත් විභාග වෙනවා නම් විත්තිකරුවන්ට සිදුවිය හැකි අගතිය කොමිසම දැක තිබේ. නීතිපතිවරයා පවරණ බොහෝ නඩු පරාජයට පත්වීම හෝ අතර මගදී ඉල්ලා අස්කරගැනීම හෝ විවිධ අඩු පාඩු නිසා නඩු විසි කිරීම හෝ නිරන්තරයෙන්ම සිදුවන්නේ මේ නඩු පැවැරිල්ල සත්‍ය සාක්ෂි නොමැතිවීම හෝ සත්‍ය ලෙසම නීති විරෝධී යමක් සිදුව නොමැති තත්වයන් මත බවට පසුගිය කාලයේ ඕනෑ තරම් උදාහරණ තිබිණි. බොහෝ විටම මෙලෙස නඩු පැවරීම සිදුවන්නෙත් චූදියන්ට අධිකරණය හරහා යුක්තිය පසිඳලා දඬුවම් පැමිණවීමටත් නොවේ. දේශපාලනික එදිරිවාදිකම් නිසා තමන්ගේ සතුරු දේශපාලන පාර්ශ්වයේ තෝරාගත් අය චූදිතයන් කර, නින්දාවට අපකීර්තියට පත්කර, ඔවුන්ව මානසික හා ශාරීරික පීඩාවට පත්කර, පළිගැනීමේ චේතනාවෙනි. චූදිතයන් කෙටි කලකට හෝ සිරගෙවල් වල තැබීමත් ඇතැම් විට මොවුන්ට ප්‍රමාණවත්ය. කොමිසම ඉවත් කරගත යුතුය කී නඩු 79 න් සාතිශය බහුතරයක් එහෙම නඩුය. මෙම බොරු නඩු ඉවත් කරගැනීම එම නඩු පැවැරූ නීතිපතිවරයා හෝ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් සිදු කළ යුතුය.

මේ අනුව කොමිසමේ නිර්දේශ මත දැන් අධිකරණයට බලපෑමක් හෝ අපහාසයක් හෝ සිදුනෙවන බව පැහැදිලි කරුණකි. නීතියේ ආධිපත්‍යට මරු පහරක් තබා හීන් කෙනිත්තිලක් හෝ වී නැති බව පැහැදිලිය.

නීතිය හෝ අධිකරණය සෙල්ලම් බඩු නොවේ
-------------------------------------------------------------

ඇත්ත වශයෙන්ම මෙම ජනාධිපති කොමිසම මඟින් සිදු කළේ නීතියේ අධිපත්‍යට යහපාලනයෙන් එලල් වූ මරු පහරෙන් එය බේරාගැනීමය. අධිකරණය නොමඟ යවා, අනිසි බලපෑම් කර, එය විහිළුවක් කර, අධිකරණයේ ස්වාධීනත්වයට ,උත්තරීතරත්වයට යහපාලන විසින් කළ හානීය යළි නිවැරදි කිරීමය.

රටක දේශපාලන බලය අතට ගැනීම කියන්නෙ නීතිය සමග සෙල්ලම් කිරීමට වරමක් ලැබීමත් අධිකරණ සෙල්ලම් මඩුවක් කරගැනීමටත් බලයක් ලැබිමක් හෝ නොවේ. දේශපාලන බලය ක්‍රියාත්මක විය යුත්තේ එම ආයතන තව දුරටත් සර්වසාධාරණත්ව පදනම් කරගෙන යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය තව දුරටත් පෝෂණය කිරීම වෙනුවෙනි. එහෙත් යහපාලනය කළේ එහි අනෙක් පැත්තය.

මේ වැරදි, පූර්වාදර්ශයන් ලෙස ඉදිරියට පවත්වාගෙන යෑමට වත්මන් පාලකයාටත් පහසුවෙන් කළ හැකිව තිබිණි. වත්මන් පාලනයට ලැබී තිබෙන දැවැන්ත ජනවරම හමුවේ ඕනෑම පිස්සුවක් කෙලීමේ හැකියාවක් ඇත. එහෙත් වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ නීති ගරුක රටක්, විනය ගරුක රටක් වෙනුවෙන් පුරවැසියාට පොරොන්දු වූ ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාව ගැන පොරොන්දුව ඉ‍ටු කිරීම වෙනුවෙන් ඇප කැපවී සිටින්නෙකි. නිතිය තිබෙන්නේ ජනතාවගේ යහපත පිණිස මිස බලධරයන්ගේ නිලධරයන්ගේ වුවමනා එපාකම් වෙනුවෙන් නොවන බව ඔහු කිහිප විටක්ම මෑතකදීත් ප්‍රකාශ කර තිබේ. ඒ අනුව යල්පැන ගිය නීති රීති පවා වහ වහා වෙනස් කරමින් ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන්, සියලු දෙනාගේ අයිතිවාසිකම් හා නිදහස වෙනුවෙන් යුක්තිගරුක දේශයක් නිර්මාණය කිරීම වෙනුවෙන් මෙතෙක් පියවරයන් රැසක්ද ගෙන තිබේ.

මේ කොමිසම් සභා යනු යළිත් නීතියේ අධිපත්‍යය නිවැරදි ලෙස ස්ථාපනය කිරීමටත් අධිකරණයේ ස්වාධීනත්වය සහ එහි උත්තරීතරත්වය නැවත නියමිත තැනට ඔසවා තැබීමටත් ගත් පියවරක් ලෙස පෙන්වා දිය හැකිය.

මෙම කොමිසමෙහි නිර්දේශයන් ක්‍රියාත්මක වීම සිදුවන්නේ නම් වත්මන් යුගයේ හෝ වේවා අනාගත යුගයකදී හෝ වේවා දෙශපාලන බලය භාවිත කළ යුත්තේ කෙසේද යන්න ගැන වටිනා පාඩමක් ද රටට ඉතුරු කරනු ඇත. එය මෙහි ඇති වැදගත්ම කරුණකි.

කොමිසම මඟින් තමන්ට අගතියක් වී ඇති නම් කොමිසමේ නිර්දේශයන් පිළිගත නොහැකි නම් මේ යහපාලන දේශපාලන දඩයම්කරුවන්ට ඊට එරෙහිව අධිකරණය හමුවට යෑමේ බාධාවක්ද නැත. ඒ ඉඩ අහුරාලීම වත්මන් පාලකයන් සිදුකර නැත. නීතියේ ආධිපත්‍යය, අධිකරණයෙහි ස්වාධීනත්වය මෙන්ම සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී යහපාලන ආණ්ඩුක්‍රමයත් පිළිගන්න වත්මන් ආණ්ඩුව සැම විටම ඊට අනුගතව කටයුතු කරන බවත් පෙන්වා දී ඇත.

-the novemberist

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us