මිනිස් ජීවිතයේ සෑම තැනක්ම ස්පර්ශ කළ සේකරයන් ඒ අත්දැකීම් එක මිටට කැටිකොට තමන්ගේ ජිවිතයේ අවසන් සමයේ ඒ කවි පොතකට අකුරු කළේය. ඒ අරුම පුදුම පොත ''ප්‍රබුද්ධ'' නම් විය. ඒ ඔහුගේ මහන්සියේ අග්‍රඑලය ලෙස හැඳින්වූවාටද වරදක් නැත. ප්‍රබුද්ධ එක තැනැක මෙසේ කියයි.
''ඔප් නැගු විසල් මේසයක් මත
තබා සුදු සුමුදු කරදාසියක්
එ මත පාකර් පෑන් තුඩකින්
ලියන්නට මට නො මැත කවියක්....
වැඩ ඇරී එන කලට ඔබ සමඟ
සෙනඟින් පිරී ගිය දුම්රියක
අහුලාගෙන හිස් සිගරට් පැකට්ටුවක්
ඒ මත පැන්සල් කෙටියකින්
කුරුටු ගාන්නට මට ඇත කවියක් ''
එදා සේකරයන්ට සුදු සුමුදු කඩදාසිවල කවි ලියවුණේ නැත. පාකර් පැන් තුඩකින් කවි ලියවුණේ නැත. සැප යහනක් මත හිද කවි ලියවුණේ නැත. බස් එකක කෝච්චියක නැඟ යන සේකරයන්ට දුහුවිල්ලෙන් පිරුණු කොන්ක්‍රීට් වනාන්තර වලදී ජීවිතය හමුවිණි. මිනිස් ප්‍රාණින්ගේ දහදිය දුගද සමඟ,අහුලාගෙන හිස් සිගරට් පැකට්ටුවක පුංචි පැන්සල් කෙටියකින් ලියන්නට කවි ඕනෑ තරම් ඔහුට තිබුණි. ඒ නිසාමදෝ අපේ ජිවිත කතා සේකරයන්ගේ පොත්වල පිටු අතර හරි අපුරුවට ලියවුණි.
ෆැන්ටසි සිහින වෙනුවට ජීවිතයේ යථාර්තය කවියෙන් ඉගැන්වූ සේකරයන් 1976 ජනවාරි 14වන දින සදහටම දෑස් පියාගත්තේය.
මේ හදිස්සියේ සේකරයන් මතක් වුණේ සේකර ගැන ලියන්න හිතුණු නිසා නොවෙයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගැන ජවිපෙ අනුර කුමාර කියපු දෙයක් ගැන ලියන්නට සිතුණු නිසාය.
අද ගෝඨාභය රජ පුටුවේ හිමිකාරයා වුණත් ඒ මිනිසුන් විසින් තමන් වෙනුවෙන් පත්කර ගත් නායකයාය. ඔහු මෙරට 7වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ජනතාව සබුද්ධියෙන් තීන්දු කරනකොට ඔහු ජනතාවට දුන් පොරොන්දු පත්‍රයක් විය. එය සෞභාගයේ දැක්ම නම් විය. ඔහුගේ ඒකායන පරමාර්ථය වුයේ මේ පුංචි රට සෞභාගය කරා ගෙන යෑමය. අද කොතරම් අභියෝග මැද්දේ වුවද ජනතාවට දුන් පොරොන්දු එකිනෙක ඉටු වෙමින් තිබේ. එදා කළ නාගරික සංවර්ධනය ගැන පමණක් නොසිතා අද ග්‍රාමීය සංවර්ධනයද අත්පත් කර දීමට පොරොන්දු වූ ජනාධිපතිවරයා ''ගම සමග පිළිසදරක්'' තුළින් දුෂ්කරම ගම් නියංගම් සොයාගොස් ජනතාවගේ ගැටළු වලට විසදුම් ලබා දෙමින් සිටි. මෙරට රජ මැදුරු වල සිට රජ කම්කළ යුගය නිමා කෙරුවේ රාජපක්ෂලා බවද අමුතුවෙන් කිව යුතු නැත.
ගම සහ රාජපක්ෂලා අතර තිබෙන වෙන් කළ නොහැකි සම්බන්ධය ලංකාවේ දේශපාලනයේ මහ සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකියි. දශක කිහිපයකට පෙර ගම අල්ලාගන්නට ජනතා විමුක්ති පෙරමුණ කැරැලි ද ගැහුවේය.
හැබැයි ලංකාවේ කොල්ලන් කෙල්ලන් දසදහස් ගනනක් අමු අමුවේ මරා දමා රට අදුරුතම යුගයක් කරා ගෙන යෑමෙන් පසුව ජවිපෙට ගම නැතිවිය. අද එය නාගරික විගඩම් කල්ලියකට වඩා දෙයක් පෙන්වන්නේ නැත. මේ පක්ෂ නායක අනුර කුමාර ජනාධිපතිවරයාගේ ගම සමග පිළිසදර වැඩසටහන හෑල්ලුවට ලක් කරමින් පසුගියදා තවත් කොමඩියක් රගදක්වුවේය. අනුර කුමාර සුපුරුදු උරුවෙන් කියන්නේ ජනාධිපතිවරයා ගමේ සංවර්ධනයට ගමට යා යුතු නැති බවයි. එහෙම ගිහින් ගම් දියුණු කරන්න පුලුවන් ද කියලා අනුර අපෙන් අහනවා.... ටී. එන්. එල්. රූපවාහිනී වැඩසටහනක දී තමයි ඔහු මේ සාහසික ප්‍රකාශය රටට කළේ..
ඒත් ඇත්තම කතාව තමයි ගමේ අපි, ගමේ ප්‍රශ්නයට විසඳුම් අරගෙන ජනාධිපති එනකම් බලන් ඉන්නවාය කියන එකය. එහෙම වෙලා තියෙන්නේ මේ ප්‍රශ්නවලට හරි උත්තර හරි වෙලාවට නිලළාරීන්ගෙන් නොලැබෙන නිසාය. හරි හමන් කාර්යක්ෂමතාවයකින් යුතු නිලධාරීන් නැති නිසාය. නැතිනම් දේශපාලන කඹ ඇදිලි/ ගසා කෑම් නිසා ගමේ සංවර්ධනය අහිමි වීමය. ජනාධිපති වරයාගේ පැමිණීම කියන්නේ ඒ වැරැදි නිවැරදිවීමය. මිනිස්සුන්ට ඕන එයය.
ගම සමග පිළිසදර වැඩ සටහන අද ආණ්ඩුවේ ජනප්‍රියතම වැඩසටහන මෙන්ම සංවේදිතම වැඩසටහන ලෙස හැඳින්වුවාට වරදක් නැත. එය එතරම්ම ජනතාව අතරට ගිය වැඩ සටහනකි. ලංකාවේ පෙර කාලයේ කිසිදු පාලකයකු රජයේ වැඩසටනක් අරගෙන සතිපතා ජනතාවගෙ දෙපතුල ළඟට ගියේ නැත. විශේෂන්ම අති දුෂ්කර ගම්වලට ගියේ නැත. මේකේ තියෙන වැදගත්ම කෑල්ල ඒක නෙවෙයි. ජනතාවගේ ගැටළුවට ජනතාවගේ උත්තරය මොකක්ද කියා විමසා ප්‍රශ්නය විසැදීමය. මහ පොළොවේ පය නොගහපු, නැතිනම් ඒ වගේ පෙන්වන්න උත්සහ කරන ටයිකෝට් මහත්වරු කොළඹ සීත කාමරවල සිට හදන විසඳුම් යෝජනා අරගෙන ජනාධිපති ගමට ගියේ නැත. මහගමසේකර තම කාව්‍යක්කරණයේ අග්‍රඵලය මිනිසුන් අතර සිට මිනිසුන්ගේ දහඩිය සුවඳ විඳිමින් නෙළා ගත්තා සේම, ජනපති ගෝඨාභය රාජපක්ෂ තම නායකත්වයේ විශිෂ්ටත්වය ප්‍රකට කරන්නේ මේ ගමේ මිනිහා එක්ක කරන දේශපාලනය තුළින්ය.
ගම සමග පිළිසිඳර නිසා ගම්වල සිටින මහජන නියෝජිතයන්ද රාජ්‍ය නිලධාරීන්ද දැන් දැන් තකහනියේ වැඩපටන් ගෙන ඇත. ජනපති එන්න කලින්ම ප්‍රශ්න ටික විසඳා අහවර කරන්න කට්ටිය දැන් යමෙරට වැඩය. මන්ද වැඩ වැරදුනොත් වෙන දේ ගැන දැන් රටම දැනුවත්ය. ගමෙන් නගරයටත් මේ වැඩ කිරීමේ කලාව බෝවෙමින් තිබේ . දැන් රටක සිදුවිය යුතු දේ සිදු වෙමින් පවතිනවා.
ඇයි දැන් අනුර කුමාරලා මේවා නවත්තන්න කියන්නේ..? හරි සරළයි.. ඒ කුහකකම.
-පංචාලි අබේසේකර