ඒ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පිහිටුවනු ලැබූ ජනාධිපති කොමිසමේ වාර්තාවය. මෙය දැන් ප්‍රසිද්ධ කර ඇති නිසා එය සිංහල දන්නා කාට කාටත් කියවා අවබෝධ කරගත හැක.
මේ නිසා එහිදී විභාගයට ලක් කළ පැමිණිලි 97 ගැන එකින් එක පැහැදිලි කළ යුතු නැත. මෙම කොමිසමට පැමිණිලි 1971 ක් ඉදිරිපත් වූ අතර කොමිසමේ විෂය පථයට නොනැගෙන පැමිණිලි වැඩි ප්‍රමාණයක් විය. එ්වා කොමිසම බාරගත්තෙ නැති වූවද ඒවාද පසුගිය යහපාලන යුගයේදී මේ රටේ පුරවැසියන් මත සිදුවූ අසධාරණකම් වේ. මෙලෙස විභාගයට ගත් පැමිණිලි ගැන සියලු විස්තර කොමිසම් සභා වාර්ථාවේ අඩංගුය.
ඒ අනුව යහපාලන යුගයේදී දේශපාලනික හේතුන් මතම දේශපාලකයන් සහ රාජ්‍ය නිලධාරීන් ඉලක්ක කර නීතියට එපිටින් ගොස් අධිකරණ ක්‍රියාමාර්ග ගත් නඩු 79 ක් ගැන කොමිසම නිර්දේශ කර සිටින්නේ එම නඩු ඉවත් කරගැනීම රජය විසින් සිදු කළ යුතු බවටය. එසේම තවත් නිර්දේශයකින් කියන්නේ මෙලෙස දේශපාලන පළිගැනීම් වෙනුවෙන් එවකට අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පිහිටුවනු ලැබූ ඊනියා 'දූෂණ මර්දන කමිටුවට' සම්බන්ධ වූ විසි දෙදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම පිණිස ඒ සඳහා බලය ලත් කොමිසමක් පිහිටු විය යුතු බවය. ඒ ඇයිද කියන කාරණ ඉතා පැහැදිලිව කොමිසම් සභා වාර්තාවේ සටහන් කර තිබේ.
මේ වාර්තාව ගැන ජවිපෙ තමන්ගේ විරෝධය කාටත් කලින් ප්‍රකාශ කර තිබුණද මෙහිදී චෝදනා ලබන අනෙක් පාර්ශ්වයන් තවමත් කටක් ඇර නැත. ඇත්තම කතාව මේ කොමිසම් සභා වාර්තාව මඟින් කරන චෝදනා එම චූදිතයන්ට ගැලවීමේ මාර්ගයක් හදා නොදෙන නිසා කටවල් වහගෙන ඉන්න සිදුව තිබෙන බවය. ජවිපෙ සාමාන්‍ය පිළිවෙත ඕනෑම බඩකඩිත්තුවකට විරෝධය ප්‍රකාශ කිරීම නිසා ජවිපෙ කෑ ගැසීම ගැන එතරම් හිතන්න දෙයක් නැත.
කොහොම නමුත් මේ කොමිසම් සභාවේ නිර්දේශයන් ප්‍රකාරව නෛතික ක්‍රියාමාර්ග නියමාකරයෙන් ගතයුතු වීම වැදගත් දෙයකි. එය මේ රටේ නීතියේ ආධිපත්‍යට, ස්වාධීන අධිකරණයට තිබෙන වැදගත් පිළිගැනීම ආරක්ෂා කිරීමක් වනවා සේම රාජ්‍යයේ දේශපාලන බලය අත්පත් කරගන්නා කාටවුව බලය අයුතු ලෙස පාවිච්චි කිරීමෙහි ආදීනව ගැන කියා දෙන ලොකු පාඩමක්ද වනවා ඇත.
රාජ්‍යයේ දේශපාලන බලය අත්පත් කරගත් විට තමන්ට හිතෙන හිතෙන දේ සිදු කළ හැකි බව සිතන එක අපේ රටේ දේශපාලකයන්ට වැළදෙන රෝගයකි. මේ නිසා රාජ්‍ය යාන්ත්‍රණයම දූෂිත වී තිබේ. රාජ්‍ය නිල්ධාරීන්වද මේ දූෂිත කටයුතුවලට හවුල් කරගැනීම නිසා අද රාජ්‍ය යාන්ත්‍රණයෙහි දූෂණය වංචාව එහි අනුෂාංගික කොටස් බවට පත්ව තිබේ. මේ නිසා කවර පාලකයකු අතට බලය ගියද නිවැරදි දේ වෙනුවෙන් එම පාලකයාට පියවරක් ගන්න බැරි තරම් මේ දුෂිත යාන්ත්‍රණය ශක්තිමත්ව තිබේ. ජනාධිපතිවරයා මේ රාජ්‍ය යාන්ත්‍රණය ප්‍රතිසංස්කරණය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළේද මේ නිසා රටට සිදුවන හානිය විනාශය වැලැක්වීම ඔහුගේ අවංක අභිප්‍රාය වන නිසාය.
දේශපාලන පළි ගැනිම් කොමිසමේ වාර්තාවේ පසුගිය යහපාලන යුගයේදී වූ සිදුවීම් රැසක් සම්බන්ධයෙන් දේශපාලකයන් , පොලිසිය සහ රජ්‍ය නිලධාරීන් යොදවා කළ කී දෑ රැසක් අඩංගුය. ඉන් වඩාත් බයංකරම කාරණා වන්නේ මහින්ද රාජපක්ෂ යුගයේ වූ ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් අභූත චෝදනා නඟා රාජ්‍ය නිලධාරීන්ගෙන් බලහත්කාරි ව්‍යාජ ප්‍රකාශයන් ගැනීමට සහ සහ නීතිය රකින ආයතනය වූ පොලිසිය මඟින් බොරු සාක්ෂි ඉදිරිපත් කරවා නඩු පැවැරීමට ගත් උත්සාහයයන්ය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම / පොලිස් කොමිසම ආදි ස්වාධීන කොමිසම් වල ප්‍රධානින් කෙලින්ම මේ දේශපාලන පළිගැනීම් වෙනුවෙන් පාවිච්චි කිරීම ගැන බලවත් සාක්ෂි ඉදිරිපත්ව තිබීම මේ ස්වාධීන කොමිසන් සභා යනුවෙන් කළ යහපාලන බොරුව හෙළිදරව් වෙන අවස්ථාවක් ලෙසද සැලැකිය හැකිය.
උදාහරණයක් ලෙස අල්ලස් කොමිසම, ඇවන්ට් ගාර්ඩ් සිද්ධිය සම්බන්ධයෙන් තනිකරම බොරු චෝදනා තොගයක් ඉදිරිපත්කර ඒ හරහා ගෝඨාභය රාජපක්ෂ මහතා සිරගත කිරීමට ගත් උත්සාහයත් කැපී පෙනුනු සිද්ධියකි. ඒවගේම ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේදී තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් මරා දැමීම ගැන සිදුවීමෙදී සුමිත් රණසිංහ , ඩී.කේ.පී. දසනායක වැනි නාවික හමුදාවේ කීර්තිමත් නිලධාරීන්ට එරෙහිව පොලිසිය ක්‍රියාත්මක වූ ආකාරය ද පෙන්වා දිය හැකිය. එම සිද්ධියට කිසිසේත්ම සම්බන්ධ නැති මෙම නිලධාරීන් දෙදෙනාට එරෙහිව බොරු සාක්ෂි මත චෝදනා කර මාස ගනන් සිරබත් කෑමට පොලිසිය කටයුතු කර තිබිණි. මෙයට පෞද්ගලික කොන්තරයක් බලපා තිබිණි. එසේම තවත් සිදුවීම් රැසක් සම්බන්ධයෙන් සාක්ෂි නොමැතිව බුද්ධි අංශ හමුදා නිලධාරීන් රැසකට හිරබත් කෑමට සිදු විය.
එදා රහස් පොලිසියේ පිළිවෙත වූයේ සාක්ෂි හමුවෙන තෙක් හෝ බොරු සාක්ෂි හදන තෙක් හෝ සැකකරුවන් කියා අත්අඩංගුවට ගන්නා සෑම දෙනාම සිරගත කිරීමය. අනෙක් කැත පුරුද්දක් වූයේ මාධ්‍ය හරහා මේ සැකකරුවන්ව අපරාධකරුවන් ලෙස හඳුන්වා අවලාද නැඟීමය. එවකට රහස් පොලිසියේ අධ්‍යක්ෂ ජනරාල්ව සිටි ශානි අබේසේකර, පාස්කු කොමිසම හමුවේදී තමන්ට සැකකරුවන් අත්ඩංගුවේ තබාගැනීම ගැන චෝදනා එල්ල වී ඇති බව පිළිගත්තේ එය ඔහුගේ පිළිවෙත නිසාය. මේ නිසා මාස ගනන් අවුරුදු ගනන් බොහෝ දෙනෙකුට සිරගත වීමට සිදුවී තිබිණි. මේ නිසා ඔවුන්ට වෘත්තීමය වශයෙන් බලවත් පාඩුව සිදුවිය, එය නිවැරදි කර ගැනීමට හැකි නමුත් ඔවුන්ට සහ එම පවුල්වල පිරිස්වලට සිදුවූ නින්දාව අපකීර්තිය ඔවුන් නිවැරදිකරුවන් වූවත් ඉන් පිරිමැහෙන්නේ නැත.
ඇවන්ට් ගාර්ඩ් සිද්ධිය නිසා රණවිරුවන් 5000 කට පමණ රැකියා අහිමිවීම මත එම පවුල් වලට සිදුවූ හානි පූර්ණය අධිකරණයකින්වත් ඉටු නොවෙන දෙයකි. අවුරුදු 5ක් තිස්සෙ එම ආයතනයට කළ නින්දා අපහාස මඩ අවලාද නිසා එම ආයතනයේ කීර්තිනාමයට ජාත්‍යන්තර වශයෙන් වූ කැළල් මකාගැනීම පහසු වන්නේ නැත. මෙම ඇවන්ට්ගාර්ඩ් සිද්ධිය මෙතරම් දුරදිග යන්නට යහපාලන අමැතිවරුන් කිහිපදෙනෙකු තමන්ට කප්පන් නොගෙවීම නිසා ඇතිවූ පෞද්ගලික ආරවුල තදින්ම බලපා තිබිණි. දේශපාලන බලය ලැබුණු විට එම බලය අයුතු ලෙස යොදවාගෙන තමන්ගේ බඩගෝස්තරය හොයා ගන්නා දේශපාලුවන් අද සමාජයටම පිළිලයක් වී තිබෙන විට ඊට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කිරීමට ද රජයකට හැකියාවක් ඇති බව කට කාටත් දැනෙන්න නම් මේ යහපාලනයේ දේශපාලන පළිගැනීම පිළිබඳ කොමිසමෙහි නිර්දේශයන් වහා ක්‍රියාත්මක කරපෙන්වීම අනාගතය වෙනුවෙන් යහපත් ක්‍රියාමාර්ගයක් වනවාට සැක නැත.
- the novemberist