නැගෙනහිර පර්යන්තය සහ පුස් දේශපාලන රිළා නැටුම් Featured

Thursday, 14 January 2021 20:57

ජාතික සම්පත් පිටරට විකුණනවා කියන සටන් පාඨය 1978 විවෘත ආර්ථිකය හඳුන්වා දීමත් සමඟ අලුත් පණක් ලබා ගොඩනැගුනකි. 78 සිට සෑම දේශපාලන පක්ෂයක්ම මෙය අඩු වැඩි වශයෙන් සිය දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් පට්ට ගසා ඇත.

පෞද්ගලිකකරණ යන්නත් මේ හා ඈඳුන් අනෙක් සටන් පාඨයයි. මේ දෙකම මරි මෝඩ පුස් සටන් පාඨ බවට ඕනැතරම් ඔප්පු වී ඇති නමුත් තව දුරටත් ඊට වලංගු බාවයක් ලබා දීමට හණ මිටි කර ගහගෙන යන දේශපාලන ව්‍යාපෘති විසින් සිදු කරමින් තිබේ.

ජාතික සම්පත් රැක ගතයුතු වීම ගැන විවාදයක් නැත. නමුත් ඒ ජාතික සම්පත් රෙද්ද අස්සේ ගසාගෙන රැක්කාට රටට වෙන ලාබයක් නැත. මේ රටේ වටිනා කියන සම්පත් අති විශාල ප්‍රමාණයක් ගැන බොහො අතීතයේ සිට කතා කර ඇත. එහෙත් ඒ සියල්ලම පාහේ තවදුරටත් ‍රැක ගතයුතුය කියමින් ‍රැකගෙන සිටියා කියා අපට වෙච්ච වාසියකදු නැත. රටේ අභිවෘද්ධිය තකා ඒ කිසිවක් හරියාකාරව ප්‍රයෝජනයට ගෙන නැත.

සුද්දා හදලා දීලා ගිය ජාතික සම්පත
----------------------------------------------

වරාය සම්බන්ධයෙන්ද අද ගොඩනැගී ඇති කතිකාවද එයමය. ශ්‍රි ලංකාවේ භූ පිහිටීම අනුව රටේ වරාය පහසුකම්වල වැදගත්කම රජ දවස පටන්ම තිබිණි. ක්‍රිස්තු පූර්ව යුගයේ සිටම මේ රට ලෝකයේ සතර දිග්භාගයෙන්ම වෙළදුන් ආව ගියේ රට වටේ ස්වභාවික නැව් තොටවල් කිහිපයක්ම පිහිටීම නිසා නිසාය. කොළඹ වරායද එහෙම ස්වභාවික පිහිටීමක් නිසා වසර දෙදහසකට පෙර සිටම නැව් තොටක් බවට පත්ව තිබුණකි. 18 වන සියවසේ කාර්මික විප්ලව යුගයටත් පෙර සිටම මුහුදු මාර්ගයෙන් භාණ්ඩ ප්‍රවාහණය සීග්‍රව වර්ධනය වූ අතර ජාත්‍යන්තර මුහුදු මාර්ගවල ව්‍යාප්තිය වැඩි වෙමින් ඒවා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් පොදු මාර්ග පද්ධති සැකසිණි. එම මාර්ග පද්ධතිය ගොඩනැගෙන විට ශ්‍රී ලංකාවේ පිහිටීම නාවික ක්ෂේත්‍රයට වැදගත් මධ්‍යස්ථානයක් විය. ඒ අනුව වඩා පහසු කොළඹ වරායේ පිහිටීම සංවර්ධනය කිරීම එම යුගයේ මෙරට බලය අත්පත් කරගෙන සිටි යුරෝපීයයන් විසින් සිදු කරන ලදී. ඒ අනුව කොළඹ වරාය රටේ ප්‍රධානතම වරාය බවට පත් විය. ඉංග්‍රීසින් විසින් විශාල ආයෝජනයක් කරමින් සංවර්ධනය කළ කොළඹ වරාය සත්‍ය ලෙසම එවකටම ජාතික සම්පතක් විය. ලංකාව ලෝකය හා ගැට ගැසුනේ එතැනිනි. ජාත්‍යන්තර වෙළඳ ජාලය සමඟ ලංකාව සම්බන්ධ වුයේ එතැනිනි. අදත් එය එසේම පවතී.

එහෙත් ඉංග්‍රීසින් මේ රට අත්හැර යාමෙන් පසුව කොළඹ වරායේ සංවර්ධනයද එතැනින් නතර වුවා කීමෙහි වරදක් නැත. එය තවදුරටත් ජාත්‍යන්තර නාවික ක්ෂෙත්‍රයේ වර්ධනයන්ට අනුපාතිකව සංවර්ධනය වූයේ නැති තරම්ය. සුද්දා කළ හරියෙන් පමණක් යැපෙන තැනට පත්විය. කොළඹ වරායට අමතරව හම්බන්තොට වරාය සංවර්ධනය කිරීම ගැනද මුල්ම යෝජනාව ඉදිරිපත් වූයේද සුද්දාගේ කාලයේය. එහෙත් ඊට අත තැබීමට සුද්දාටත් නොහැකි වූයේ ඔවුන්ගේ පාලන කාලය අවසන් භාගය වන විට ඔවුන්ද ආර්ථික වශයෙන් බලොකොලොත් වීම නිසාය. ඔවුන් සැලසුම්කර තිබූ සංවර්ධන ව්‍යාපෘති ගනනාවක්ම අත්හැර දැමීමට මේ නිසා සිදු විය.

සුද්දා අපිට ඕනෑ හැටියට රට කරගන්න දී ගියද අපට සුද්දාගේ සැලසුමවත් ක්‍රියාත්මක කරගන්න හැකි වුයේ නැත. අපට වෙන සැලසුම් තිබුණේද නැත. එවැනි අදහසක් ගැන මුලින් සාකච්ඡාවට ගැනෙන්නේ 1950 දී ජේ ආර් ජයවර්ධන විසින් කැඳවා තිබූ කොළඹ ක්‍රමය සමුළුවත් සමඟය. කොළඹ නාගරික සංවර්ධනය ගැන වන සැලසුමකට අඩිතාලම දැම්මේ ඔහුය. අදටත් කොළඹ නාගරික සංවර්ධනය සම්බන්ධයෙන් වන මූලික පදනම එයය.

කොළඹ වරාය සංවර්ධනය ගැන එදාත් කතා බහට ලක්වුණද ඒ වෙනුවෙන් යොදවන්න තරම් ආර්ථික හැකියාවක් අපට තිබුණේ නැත. වරායේ ඒ වන විට ලැබුණු ආදායම හෝ රටේ ආදායම් වරාය සංවර්ධනය වෙනුවෙන් වන මහ පිරිවැය පියවන්න සමත් වූයේ නැත. 1956න් පසුව වූ ජනසතුකරණ වැඩ පිළිවෙල නිසා මෙරට සංවර්ධනය වෙනුවෙන් දායක වූ යුරෝපීය ආයෝජකයන් මුළුමනින්ම පාහේ රට අත්හැර සිංගප්පූරුවට යෑම මෙරට ආර්ථිකයට වූ මාරාන්තික ප්‍රහාරයක් ද විය. එදා තිබු 'ස්ලෝන් ඔයිල් ප්‍රයිස් ඉන්ඩෙක්ස්' එක වෙනුවට 'සිංගපෝ ඔයිල් ප්‍රයිස් ඉන්ඩෙක්ස්' එක බිහිවීම ඒ කතාවේ ඛේදනීය සංඛේතයකි.

සුද්දගෙන් පස්සේ වරාය
----------------------------

එහෙත් පසු කාලීනව එනම් 1978 න් පසුව කොළඹ වරාය සංවර්ධනය වෙනුවෙන් උපක්‍රමයක් යෙදිනි. ඒ වරාය සංවර්ධනය කිරීම පදනම් කරගෙන වරාය මෙහෙයුම් කටයුතු සඳහා වෙනත් ප්‍රාග්ධන ආයෝජකයන් සොයා ගැනීමට තීරණය කිරීමය. වරාය අධිකාරිය ද බිහිකෙරිණි. ඒ අනුව කොළඹ වරායේ පර්යන්ත කිහිපයක් නිර්මාණය කර ඒ ඒ පර්යන්තයේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් ජාත්‍යන්තර ආයෝජකයන් හා ගිවිසුමකට බැදී එම ව්‍යාපාරික කටයුත්තට රජය අත ගැසුවේය. ඒ අනුව කොළඹ වරායේ සීඅයිසීටී නමින් වන පර්යන්තයේ මෙහෙයුම් වෙනුවෙන් චීන සමාගමක් හා ගිවිසුමකට බැඳුනේ මෙරටට සියට 15 කුත් අනෙක් 85% චීන සමාගමටත් වන පරිද්දෙනි. මෙය බැලු බැල්මටම අතිශය අවාසිදායක ගිවිසුමක් බව පෙනේ. එහෙත් කොළඹ වරාය එවකට තිබූ තත්වය අනුව අපට කේවල් කිරීමට තරම් හැකියාවක් තිබුණේ නැත. අනෙක මූලිකම ඉලක්කය වූයේ වරාය සංවර්ධනය කර එහි හැකියාව වැඩි දියුණු කරගැනීමය. ඒ අනුව මෙම ගිවිසුම ප්‍රකාරව කටයුතු සිදු වූ අතර කොළඹ වරායේ සංවර්ධනය වේගවත් විය. දකුණු ආසියානු කලාපයේ ගැඹුරුතම පර්යන්තය බවට එය සංවර්ධනය විය. ඉන් අනතුරුව 1999 එස්ඒජීටී පර්යන්තයේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් ද ආයෝජකයන් කැඳවිණි. යුරෝපීය පදනම්කරගත් සමාගම් කිහිපයක් සහ මෙරට පෞද්ගලික සමාගමක් ඊට ආයෝජනය කෙරිණි. එහි වැඩි පංගුව යුරෝපා සමාගම් සතුය. මේ වන තෙක් කොළඹ වරායේ ප්‍රධාන ජැටි දෙකෙහි කටයුතු වන්නේ එම සමාගම් දෙක සමඟ වන ව්‍යාපාරික ගිවිසුම අනුවය. එහෙත් එය වරාය විකිණීමක් හෝ බදු දීමක් වූයේ නැත. ඒවා රජය සමඟ වන ඒකාබද්ධ ව්‍යාපාරයන්ය. අද කොළඹ වරාය ආසියාවේ ප්‍රමුඛතම වරායක් ලෙසත් ලෝක පරිමාණයෙන් වැදගත්ම වරායක් ලෙසත් ගොඩනැගුනේ එම ආයෝජන හා තවත් විදේශීය අයෝජන ලෙස ලැබුණු සංවර්ධන ව්‍යාපෘති ගනනාවකට පින් සිදුවන්නය. මීට අමතරව තවත් පර්යන්තයන් 3 ක් කොළඹ වරාය අධිකාරිය සතුව තිබුණත් ඒවායේ අපේකම නිසා නැතිනම් දුප්පත්කම, ක්‍රියාකාරිත්වය, ආදායම් වියදම් සලකා බැලීමේදී සැලකිය යුතු වාසියක් රටට තිබුණේ නැත.

කොහෙම නමුත් අද ලෝක ශ්‍රේණිගත කිරීම අනුව කොළඹ වරාය 23 වැනි තැන පවතී. ලෝකයේ කාර්ය බහුලම වරායන් කිහිපයෙන් එකකි. නමුත් එදා විදේශීය ආයෝජන නොමැතිව සුද්දා හදලා දීපු වරාය ජාතික සම්පතක්ය කියාගෙන රැකගන්න ගියා නම් අද අපි ඉන්න තැන ඉතා ශෝචනීයවීම ගැන සැකයක් නැත.

හම්බන්තොට පිහිණුම් තටාකය
----------------------------------------

හම්බන්තොට වරාය ඉදිකිරීමට අප පියවර ගත්තේ සුද්ද එය යෝජනා කර වසර සියයකුත් ඉක්මවා ගිය තැනය. එහෙත් ඒ වෙනකොට අප ගොඩක් ප්‍රමාදය. හම්බන්තොට වරායට ගෙන්වා ගත හැකිව තිබූ නැව් ඒ වෙන කොට සිංගප්පුරු වරාය ‍තෝරාගෙන තිබිණි. කොළඹ වරාය අභිබවා සිංගප්පුරු වරාය පහසුකම් රැසකින් යුතුව ගොඩනැගීමට සිංගප්පුරු දේශපාලන අධිකාරිය ගත් කඩිනම් පියවරයන් නිසා කොළඹ වරායට තිබූ වැදගත්කමද එයින් අපට ලබාගත හැකිව තිබූ ආදායම්ද සීමා කර තිබේ. අද වෙන කොට සිංගප්පුරු වරායටත් අභියෝගයක් වෙමින් ඒ අතර මාර්ගයෙහි වරායන් කිහිපයක් අලුතෙන් ගොඩනැගෙමින්ද තිබේ. විශේෂයෙන්ම ඉන්දියාව විසින් අන්දමන් නිකොබාර් දූපත් හී දැවැන්ත වරායක් ගොඩනැගීමෙහි යෙදී සිටී. ඉංදියාවට සහ ඉංදියාවෙන් ප්‍රවාහණය කෙරෙන භාණ්ඩ නැව් වලින් සියයට 40 ක්ම ප්‍රතිඅපනයනය කෙරෙන්නේ කොළඹ වරායේය. ඒ ඉංදියාවට විශාල නැව් ගෙන්වා ගැනීමට තරම් වරාය පහසුකම් නොමැතිවීම සහ ජාත්‍යන්තර මුහුදු මාර්ගයෙන් දුරස්වීම නිසාය. එහෙත් අන්දමන් දූපත් වරාය ගොඩනැගීමෙන් පසුව ඉංදියාවට කොළඹ එතරම් අවශ්‍ය නොවනු ඇත. ඒ අනුව කොළඹ වරාය සමඟ ඉංදියානු සම්බන්ධය තවදුරටත් පවත්වාගෙන වියයුතුව තිබේ.

චීනයෙන් ලැබුණු ණය යොදාගෙන හම්බන්තොට වරාය යන්තම් වරායක් ලෙස පෙනෙන පරිදි ගොඩනැගීම හැර වරාය පහසුකම් හෝ සම්පූර්ණ කිරීමට අපට හැකි වූයේ නැත. එම ණය ගෙවීමට තරම් අදායමක් හම්බන්තොටින් කොහොමටත් ලැබුණේ නැත. ඒ ණය ගෙවන්ට සිදුව තිබුණේ කොළඹ වරායේ ආදායමෙනි. හම්බන්තොට වරාය අවශ්‍ය පහසුකම් සහිතව සංවර්ධනය කිරීම මෙන්ම හම්බන්තොට නිදහස් කාර්මික කලාප යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමකින් තොරව එම වරායේ දියුණුවක් අපේක්ෂා කළ නොහැකි විය. ඒවා කරන්නට තබා වරාය හදන්නට ගත් ණය ගෙවාගැනීමද අභියෝගයක්ව මතුවීම මත එම වරාය මෙහෙයුමද චීනය සමඟ වන ගිවිසුමකට යටත්කර යම් අදායමක් ලබාගන්නා තැනට පත් කරගැනීමට පසුගිය සමයේදී සිදු කෙරිනි. එයද බැලු බැල්මටම අවාසිදායක ගිවිසුමක් බව පෙනෙයි. එහෙත් කරන්න දෙයක් නැත. හම්බන්තොට වරාය යැයි කීවාට ඇත්තටම එහෙම සක්‍රීය වරායක් එතැන තිබුණේ නැත. චිනය ගිවිසුමකට එළබෙන්නේ එම තත්වයන් සහ ඔවුන්ගේ ජාත්‍යන්තර භූ දේශපාලනික වුවමනාවන් ද කිරා මැන බලාය. එහෙත් චීනයට පවා මේ හම්බන්තොට වරාය වෙනුවෙන් දැවැන්ත ආයෝජනයක් කිරීමට සිදු වෙනු ඇත. චීනය තායිලන්තය හරහා 'ක්‍රා ඇල' කපා කෙළින්ම චීනයට නව මුහුදු මාර්ගයක් විවරකර ගැනීමට උත්සහ කළද මාස කිහිපයකට පෙර තායිලන්තය එම ව්‍යාපෘතිය අත්හරින ලදී. ඒ ඉංදියාවෙන් එල්ල වූ ( මිලිටරිම) අනතුරු හැඟවීම් නිසාය. ක්‍රා ඇල කැපුවා නම් හම්බන්තොට වරාය කොහොමත් පාවිච්චි කරන්න වෙන්නේ අර කිව්වත් වගේ පිහිණුම් තටාකයකටය. සිංගප්පූරු වරායටත් අනිවාර්ය බලපෑමක් එල්ලවීමේ හැකියාවද තිබිණි. ක්‍රා ඇල කැපීම නතරවීම නිසා හම්බන්තොට වරාය සංවර්ධනයට චීනය උනන්දු විය හැකිය.

චීන - ඉන්දු සටන
---------------------

ලෝක ආර්ථික බලවතුන් වන චීනය සහ ඉංදියාව තමන්ගේ කලාපීය බලය වෙනුවෙන් අනෙකා වෙත සැකමුසුව බැලීම නිසා ලංකාව වැනි රටවල්වලට දෙපැත්තේම පීඩනයට හසුවන්නට සිදුව තිබෙන බව දැන් කාටත් පැහැදිලි කරුණකි. මේ තත්වය නිසා රටට විය හැකි අනාගත අනතුරු වලක්වා ගැනීමට කාගෙත් සුන්දරී මෙන් කටයුතු කරන්නට සෑම ආණ්ඩුවකටම සිදුව තිබෙන බවත් අප තේරුම්ගත යුතුය. හම්බන්තොට චීනාට දෙනකොට මත්තල ඉංදියාව දෙන්නවීම අනුලෝම සමානුපාතිකව සිදුවන දෙයකි. අපිට සරම කැහැපට ගහගෙන චණ්ඩිකමෙන් ඒවා බේරගැනීමේ හැකියාවක් නැත. අපට ඉතුරු වී තිබෙන්නේ එළඹෙන අවස්ථාවන් රටට වඩාත් වාසිදායක ලෙස කළමණාකරනය කරගැනීමය. ඊට දක්ෂවීම මත ආණ්ඩුවල පැවැත්ම ද තීරණය වනවා කිමෙහිද වරදක් නැත.

කොහොම නමුත් පවතින තත්වයන් මත රට සංවර්ධනය කරා මෙහෙයවා ගැනීමට වත්මන් ආණ්ඩුවටද හැකිවිය යුතුය. කොළඹ වරායේ ඉතිරි පර්යන්ත තුන ජය, යුනිටි සහ නැගෙනහිර පර්යන්තයන් වේ. වරාය අධිකාරියට සෘජුවම යම් අදායමක් ලැබිය හැකිවුයේ මෙමගිනි. එහෙත් මේවා ක්‍රියාත්මක වූයේ කුඩා පරිමාණයේ නැව් වෙනුවෙන් හෝ ඉතා සුළු පරිමාණයේ මෙහෙයුම් වෙනුවෙනි. නොගැඹුරු ජය බහලුම් පර්යන්තය වසර පහ හයක සිට ක්‍රියාත්මකව නැත. නැගෙනහිර පර්යන්තය දෙවැනියට ගැඹුරු පර්යන්තය වූවද මහා පරිමාණයේ මෙහෙයුම්වලට අවශ්‍ය තරම් පහසුකම් තිබුණේ නැත. එම තත්වයන්ට මේවා සංවර්ධනය කිරීම වෙනුවෙන් දැරිය යුතු පිරිවැය වරාය අධිකාරියට කොහොමටවත් නැති අතර ශ්‍රී ලංකා රජයටද එය පහසු කරුණක් වූයේ නැත. නැගෙනහිර පර්යන්තය සංවර්ධනය වෙනුවෙන් ඩොලර් මිලියන 600 කට වැඩි මුදලක් ආයෝජනය කිරීමට සිදුව තිබිණි. පසුව සකස් කළ සැලසුම් අනුව වත්මන් වරාය ඇමැතිවරයා කියන්නේ ඩොලර් මිලියන් 750 ක් අවශ්‍ය බවය. මේ සංවර්ධනය වෙනුවෙන් වරාය අධිකාරියට යෙදවිය හැකි උපරීම වත්කම ඩොලර් මිලියන් 70 කට අඩුය. මේ තත්වය මත නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර ආයෝජකයකු සම්බන්ධ කරගැනීම අත්‍යවශ්‍ය විය. පසුගිය යහපාලන රජයේ ප්‍රතිපත්තිමය තීන්දුව වූයේ කොළඹ වරාය ආසියාවේ ප්‍රධාන නාවික මධ්‍යස්ථානය කිරීමය. ඔවුන්ගේ යෝජනාවක් ලෙස නැගෙනහිර පර්යන්තය විදේශ අයෝජකයන් වෙනුවෙන් ඉඩ විවර කළ අතර ඉංදියානු රජයේ මැදිහත් විමෙන් අදානි සමාගම ඉදිරිපත් කෙරෙන අතර තවත් සමාගම් කිහිපයක් ඒකාබද්ධව මෙම සංවර්ධන කටයුත්තට මුල පුරා තිබිණි. ඉංදියාවේ වරාය කිහිපයක මෙහෙයුම් හිමිකාරිත්වය ඇති අදානි සමාගමට කොළඹ වරායේ ඉඩක් ලබා දීමෙන් ඉංදියාවේ අන්දමන් දූපත් වරාය නිසා කොළඹ වරායට සිදුවිය හැකි හානිය පාලනය කරගැනීමේ හැකියාවක් තිබේ.

ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාජ පුස් සටන් පාඨය
--------------------------------------------------------------

එහෙත් ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාජ පුස් සටන් පාඨය කරපින්නා ගත් වුන් නැගෙනහිර පර්යන්තය සංවර්ධනය එරෙහිව සිටී. එදා විපක්ෂය නියෝජනය කළ අද ආණ්ඩුවේ කොටස්ද එම විරෝධය බරපතල ලෙස ගෙන ගියේය. හම්බන්තොට වරාය මෙහෙයුම් චීනය සමඟ වන ගිවිසුමකට යටත් කිරීමද වරාය විකිණිමක් ලෙස අර්ථකතනය කරමින් ඊට එරෙහි වීමද සිදු කෙරිණි. යහපාලන ආණ්ඩුව පෙරළා දැමිම සඳහා ද මේ පදනම් විරහිත සටන් පාඨ හේතු විය.

කොහොම නමුත් එදා ජාතික සම්පත් නොවිකිණිය යුතුය කියන සටන් පාඨයේ එල්ලි බලය ලබාගත් පසුව වත්මන් ආණ්ඩු පක්ෂයටද යථාර්තයට මුහුණ දීමට සිදුව තිබේ. හම්බන්තොට යළි පවරාගන්නවා යැයි කිව් කතාව අකුලාගෙන එම ගිවිසුම නිවැරදි බව පිළිගැනිමට සිදු විය. අද නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් යහපාලකයන් ගෙන ආ යෝජනාව සහ එම මුල් අවබෝධතා ගිවිසුම අනුවම කටයුතු කරන්නට සිදුව තිබේ. දේශපාලන බලය වෙනුවෙන් මොනවා කිව්වත් රට කරවීමේ දී ඇත්තට මුහුණ දිය යුතුය. පසුගියදා ජනාධිපතිවරයා වරාය වෘත්තීය සමිති නායකයන් හමුවේ පැහැදිලි කර දුන්නෙ මේ ඇත්තය.

එමෙන්ම මේ වනවිට ජය බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීමේ යෝජනාවක් ද චීනයෙන් ඉදිරිපත්ව තිබේ. දැන ගැනීමට තිබෙන තොරතුරු අනුව ඊටත් වත්මන් ආණ්ඩුවේ කැමැත්ත හිමිවනු ඇත.

ගෝඨාභය සමත් වෙයිද ?
--------------------------------

ව්‍යාජ සටන් පාඨ සමඟ වන බලවේග වල ප්‍රායෝගික නොවන, හණ මිටි අදහස් සහ පටු දේශපාලන වුවමනාව අනුව ජනාධිපතිවරයා කටයුතු නොකර, රටේ උන්නතිය වෙනුවෙන් නොපසුබැස කටයුතු කිරීමට තරම් සෘජු කොන්ද සහිතව සිටීම ගැන අප සතු‍ටු විය යුතුය. රටට වඩා වාසිදායක, ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සහ ඒ ක්‍රියාවට නැඟීම රටට වගකියන පාලකයකුගේ වගකීමය. තමන් බලයට පත්කළ ජන කොටස් වල විවිධ වුවමණාවන් තිබිය හැකිය. එහෙත් ඒවා බොහොමයක්ම ඒ ඒ දේශපාලන මොහොත තුල ගොඩනැගෙන වුවමණාවන්ය. ඒ සියල්ල ඉටු කරන්නට යෑම වත්මන් මොහොතේ මෝඩකම් ලෙස ඉතිහාසයට එකතු විය යුතු නැත. නමුත් එය ඔවුන් සමඟ වන සංවාදයකින් සමනය කරගැනීමත් මේ මොහොතේ සිදු විය යුතුය. ඒ පැහැදිලි කරවීම වෙනුවෙන් හොඳම ආදර්ශය ලෙස අද විපක්ෂය නියෝජනය කරන යහපාලන හිතෛශීන්ව පෙන්විය හැකිය. හම්බන්තොට වරාය චීනට දෙන විට, නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න හදන විට ඒ වෙනුවෙන් පෙනී සිටිමින් එය සාධාරණීයකරමින් මේ අය කතා කළේය. එහෙත් වත්මන් පාලනය එයම සිදු කරනවිට ඊට එරෙහිව විශාල මතවාදී ව්‍යාපෘතියක සිටින්නේ ද එම පිරිසමය. එම තත්වය 69 ලක්ෂය අසීරුතාවයට ලක්කිරීමේ උපහාසාත්මක ප්‍රචාරක මෙහෙයුමක් බව කිසිවකුට පෙන්වා දිය හැකි වුවත් ඇත්ත එය නොවේ. ආණ්ඩුවට එරෙහි සටන් පාඨ හිඟකම නිසා නැගෙනහිර පර්යන්තයේ ගනුදෙනුවට එරෙහි සටන් පාඨය ඔවුන් මේ මොහොතේ තෝරාගෙන ඇත. මේ දකුණු ආසියානු කලාපයේ දේශපාලනයෙ හැටි එහෙමය. ප්‍රතිපත්ති දේශපාලනය මේ රටවලට හුරු නැත. බලය වෙනුවෙන් කබරගොයාත් තලගොයා කරගැනීම කිසි හිරිකිතයකින් ලැජ්ජාවකින් තොරව සිදු කිරීම සාමාන්‍ය තත්වයය. එම නිසා දියුණු ආර්ථික ප්‍රතිපත්තියක් මත පිහිටා තීන්දු තීරණ ගැනීම පාලකයාට අතිශය අසීරුය එසේම මරාන්තිකය.

එහෙත් සම්ප්‍රදායික දේශපාලනඥයකු නොවන එසේම අභියෝග හමුවේ නොසැලෙන්නෙකු ලෙසත් සෘජූ තීන්දු තීරණ අනුව තමන් විසින් ජනතාව හමුවේ තැබී ආර්ථික ප්‍රතිපත්තිය අනුව ඊට වටිනාකම් එකතු කරමින් කටයුතු කරන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට මේ බාධාකාරී බලපෑම දියාරු කර අවශ්‍ය නිවැරදි දේ සිදු කිරීමේ හැකියාව ඇති බවට සැකයක් නැත.

ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති පු‍ටුවේ ඉන්දවීමට 69 ලක්ෂයක දෙනා මූලික වශයෙන්ම අරමුණු කළේ කොන්ද පණ ඇති සෘජු තීන්දු තීරණ ගන්නා දැඩි නායකයකුගේ අවශ්‍යතාවය වෙනුවෙනි. ජනාධිපති ගෝඨා වෙනුවට හිටපු ආරක්ෂක ලේකම් වරයා අවශ්‍ය බවට දැන් මතයක් නිර්මාණය වන්නෙත් පසුගිය කාලයෙහි තීන්දු ගැනීමෙහි අලස බවක් පෙන්වීම නිසාය. මේ 69 ලක්ෂය අපේක්ෂා කළ පාලකයා ගැන වන විශ්වාසයට තවමත් දැඩි ප්‍රහාරයක් එලල් වී නැත. එල්ල වූ ප්‍රහාරයන්ද පුස් වෙඩි වී යටපත්ව තිබේ. එහෙත් මේ 69 ලක්ෂයේ සහය ජනාධිපතිවරයාට අත්හැරුණහොත් අපේක්ෂා කළ පාලකයා අහිමි වනු ඇත. නැවතත් විපක්ෂ බලවේගයන් බලයට පත්වෙනු ඇත. එම අවස්ථාවට ඉඩ නොතබා ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් රැකගෙන වැඩ කිරීම 69 ලක්ෂය වෙතින් සිදු වියයුතු වගකීමකි. එසේම ජනාධිපතිවරයාද මේ 69 ලක්ෂයේ පමණක් නොව සමස්ත පුරවැසියා අපේක්ෂා භංගත්වයට පත් නොකර පොරොන්දු වූ සෞභාග්‍යමත් දේශය බිහි කිරීම වෙනුවෙන් දැඩිව සිටිය යුතුය. එකල්හී කිසිදු දේශීය හෝ විදේශීය සතුරු බලවේගයකට මේ රටට පුංචි තුවාලයක් හෝ කිරීමට නොහැකි වනු ඇත.

- සුජය

Leave a comment

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us