ඒ අතරින් නාමල් රාජපක්ෂ, හරීන් ප්‍රනාන්දු, අනුර කුමාර වැනි මන්ත්‍රීවරුන් තමන්ගේ තාරුණ්‍යයේ ජවය පෙන්වමින් තිබේ. මොවුන්ගේ දැක්ම ප්‍රතිපත්තීන් සහ ක්‍රියාකාරිත්වයන් තුලින් රටේ අනාගත නායකත්වය සඳහා සුදුසුකම් පෙන්වයි. එහෙත් ඒ නිවැරදි ස්ථාවරයක තිබිය යුතුය. එමෙන්ම රටේ සමස්ත පුරවැසියාගේ විශ්වාසය ගොඩනඟා ගැනීමට තරම් නිවැරදි තැනක නොපිහිටා පෙන්නුම් කරන කවර හැකියාවක් වූවද රටේ අභිවෘද්ධිය පිණිස නොවේ නම් ඒ හැකියාවෙන් වැඩක් වන්නේද නැත.
එහෙත් අද පාර්ලිමේන්තුව තුළ සිටින නවක තරුණයන් අතරින් කෙනෙකු රාජ්‍ය නායකත්වය බාරදිය හැකි නිවැරදී ස්ථාවරයක් සහිත සුවිශේෂ හැකියාවක් පෙන්නු කරමින් සිටී. ඒ ඉහළම සුදුසුකම් පෙන්වා ඇති දැනට සිටින එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, ශානකියන් රාජාපුතිරන් රාසමානිකම් මන්ත්‍රීවරයා පමණි.
ඔහු විශේෂ වන්නේ භාෂා තුනෙන්ම චතුරව වේගවත්ව කතා කිරීමේ හැකියාවෙන් නොවේ. ඔහූ තරුණයකු හෝ දෙමළ ජාතිකයකු හෝ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයකු හෝ නිසාද නොවේ. ඔහුගේ සීයා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නිසා නොවේ. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදී සිසුවකු වීම හෝ ඔහුගේ උගත්කම හෝ නිසා නොවේ. එහෙත් ඒ සියල්ල ඔහුගේ සුවිශේෂත්වය ඔප් නැංවීමට හේතු වෙනවා ඇත. එහෙත් වැදගත්ම දේ ඔහුගේ දැක්මය.
ඔහු මෙරට දෙමළ ජාතිකත්වය මත පදනම් වූ දේශපාලනයේ සුවිශේෂී හැරවුම් ලක්ෂයක් මේ වනවිට ප්‍රකටකර ඇත. විශේෂයෙන්ම උතුරු-නැගෙනහිර දෙමළ ජාතික දේශපාලනය බොහෝ සීමා සහිතකම් අනුව පැවැති අතර ඔවුන්ගේ ගැටළුව වූයේ දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ ගැටළුව පමණි. ජාතික දේශපාලනය හා අනන්‍යවීම අතිශය සීමාසහිත විය. පාර්ලිමේන්තුව තුල සැලකිය යුතු ප්‍රතිශතයක් ඔවුන් විසින් දිනාගනු ලැබූවද ඒ තුල පවා දෙමළ ජනතාවගේ ගැටළුවට සීමා විය. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය දෙවරකදීම උතුරේ දේශපාලන නියොජිතයන්ට ලැබුණත් ඔවුන්ගේ දේශපාලනය වෙනස් වූයේ නැත. මෑත කාලීනව ජාතික දේශපාලනය ගැන යම් අවධානයක් දැක්වූයේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ඒ සුමන්දිරම් මහතා පමණි. ඊට හේතුව ඔහු කොළඹ වැසියකු වීමත් සිය වෘත්තීය ජීවිතය කොළඹ කේන්ද්‍රකරගෙන සිටීමත් විය හැකිය. එහෙත් ඔහු පක්ෂයේ සම්ප්‍රදායික දේශපාලනයෙන් පිට පැන්නේ නැත.
කොහොම නමුත් රාසමානිකම් මන්ත්‍රී වරයා මේ වන විට මේ උතුරේ දෙමළ දේශපාලනයේ සාම්ප්‍රදායික සීමා ඉර පැන තිබේ. පාර්ලිමේන්තුව තුළ ඔහු සිදුකළ මංගල කතාවේ සිට මේ දක්වා ඔහු ඉතා වේගයෙන් මේ සීමා ඉර පසුකර ඉදිරියට පැමිණ තිබේ. ඔහුගේ දේශපාලන පදනම දෙමළ ජනතාව මත පමණක් පදනම් නොවී සමස්ථ ශ්‍රී ලාංකික ජනතාව මත පිහිටුවා ඇති බව මේ වන විටත් පෙන්නුම් කරයි. ඔහු මඩකලපුවේ දෙමළ ජතාවගේ ගැටළුව ගැන කතා කරයි. මුස්ලිම් ජනතාවගේ ගැටලුව ගැන කතා කරයි. සිංහල ජනතාවගේ ගැටළුව ගැන කතා කරයි. ඔහු එතැනින් නෙනැවතී මඩකලපුවේ පුරවැසියාගේ සිට ලංකාවේ හතර දිග්භාගයේ සිටින දෙමළාගේද මුසල්මානුවාගේද සිංහලයාගෙනද ගැටළුව ගැන කතා කරයි. ඒ නිකම්ම නොවේ. ඒ ගැන දියුණු අවබෝධයක් සහිතවය. වටිනාම දේ ගැටලුවට විසඳුම් ගැනත් ඔහු අවබෝධයක සිටින බවද පෙන්වා තිබීමය. එමෙන්ම තමන් දරණ ස්ථාවරය වෙනුවෙන් සෘජුව පෙනී සිටීමේ කශේරුකාවක් ඔහුට තිබේ. වැනෙන්නෙකු නොවේ. බය නැත. අභියෝගයට මුහුණ දීමට සූදානම් බව ඔහු තහවුරු කර ඇත.ජාතික දේශපාලනයට ඔහුට ඇති සුදුසුමක මේ කෙටිකාලය තුලදී මතුකර පෙන්වීමට ඔහු දැක්වූ දක්ෂතාවය මේ පාර්ලිමේන්තු කාලය තුල තවත්වත් ඔප් නැවීම නියත වශයෙන් සිදුවෙනුද ඇත..
අනෙක් කරණය උතුරේ දෙමළ දේශපාලනයේ සාම්ප්‍රදායික සීමාව අතික්‍රමණය කිරීම මේ රටේ ජාතීන් අතර වන අර්බූදය සමනය කිරීම වෙනුවෙන්ද වටිනා අවස්ථාවක් ඔහු විසින් නිර්මාණය කිරීමය. එය ජාතීන් අතර බෙදීම පදනම් කරගෙන ශ්‍රි ලංකාව මුහුණ දුන් විනාශකාරී අතීතයෙන් මිදිමට ඒ උපකාරී වනු ඇත. දකුණේ මාධ්‍යය තුළ ඔහුට වැඩි අවස්ථාවක් විවර වේනම් අප පැටැලී සිටින බොහෝ දේශපාලනික මිත්‍යාවන්ගෙන් මිදීමට පුරවැසියාට අවස්ථාවක් ලැබෙනු ඇත.
මෙවැනි සුවිශේෂී දේශපාලන චරිත ලංකාවේ දේශපාලනය තුල ඉතා විරලය. ඔහුගේ ජාතිය ආගම හෝ දේශපාලන පක්ෂය කුමක් වූවත් මෙවැනි ජව සම්පන්න තරුණ දේශපාලකයන් ලංකාවට අවශ්‍යය. ඔහුට ජාතික දේශපාලනය තුල ඉඩ කඩ විවර වෙන තරමට ඔහුගේ සේවය රටට ලබාගැනිමට හැකිය.
ඔහුට ඒ අවස්ථාව ලබා දීමට රට ගැන වගවීමක් ඇති වැඩිහිටි දේශපාලනඥයන් උත්සුක විය යුතුය. පුරවැසියාද ඒ ගැන කල්පනා කළ යුතුය. මන්ද මෙවැනි සුවිශේෂයන් හැමදාම අපට නොලැබෙන නිසාය.
ඒ කොහොම වෙතත් ඇතැම් විට මේ ලියමන අවශ්‍ය අතරමට වඩා ඉක්මන් වීමක් යැයි කිසිවකු කියනු ඇත. එහෙත් මේ ඉක්මන්කම එන්නේ මෙවැනි සුවිශේෂි චරිත දේශපාලනයෙන් විනාශ වන තැනට කටයුතු කරන හෝ මර්දන කිරීමට සමත් බලවේග අපට වඩා ඉක්මන් වන නිසාය.