මේ කැම්පේන් සිද්ද වෙන්නේ ඉහල දේශපාලන අධිකාරීවල වුවමනාවටද කියන එකත් ගැටලුවක්. මොකද මේවායෙන් බලාපොරොත්තු වන සාධනීය දෙයක් පෙනෙන්නට නැති නිසා. රටක දේශපාලනයේ මාධ්‍යවල සංවාද ඇති විය යුත්තේ ඒ රටටත් එහි ජනතාවටත් වඩා යහපත් තත්වයන් ඇති කරන්න මිසක් තව තවත් දුර්වල කරන්න පහළට ඇද දමන්න නෙවෙයි. එහෙත් දවසින් දවස පෙනුම් කරමින් ඉන්නේ අන්තිම පහත් වුවමනාවන් වෙනුවෙන් ජන මනස හැඩ ගස්වන එක. විය යුත්තෙ ඒක නෙවෙයි. මෙතනින් ඉදිරියට යන්න විදිහක් ගැන යෝජනා කරන එකයි විය යුත්තේ. එක එක පක්ෂවල බත් බැලයන් වහලුන් වෙලා නැතිනම් උන්ට විකිණිලා මේවා ගැන කතා කරන්න බෑ.
පැවැති යහපාලන ආණ්ඩුව මිනිස්සු පරාජයට පත් කළා. ඒකට සාධාරණ හේතු තිබුණා. ඒ හේතු විවිධයි. ඒ ගැන ඒ පාලනයට සම්බන්ධ අය ගැඹුරෙන් හිතන්න ඕන. ඒ ගැන සාකච්ඡාවක් තියෙන්න ඕන. පැරණි වැරදි නිවැරදි කරගන්න උත්සහයක් තියෙන ඕන. ඒවා මොකවත් නැතුව වර්තමාන පාලනය ෆේල් කිව්වට වැඩක් වෙන් නෑ.. ඊගාවට වර්තමාන පාලකයන් දැනගන්න ඕන පැවැති පාලනය ඉවත් කරලා තමුන්ට මිනිස්සු බලය පැවැරුවේ මොන වුවමනාවකටද කියලා. පැවැති පාලනය වැරදි කියමින් තමන් ෆේල් නෑ කිව්වට වැඩක් නෑ. තමන්ගේ සමත්කම කරල පෙන්වන්න ඕන. ඒක මිනිස්සුන්ට දැනෙන්න ඕන. මිනිස්සු ඒක පිළිගන්න ඕන. ඒක කළ යුත්තේ බොරුවෙන් මාධ්‍ය සංදර්ශන වලින් නෙවෙයි. රටේ ඇත්ත තත්වය ගැන මිනිස්සු එක්ක සාකච්ඡාවක් කරන ගමන්. ඒකට අවංක වෙන්න ඕන. ඒත් එහෙම ගතියක් පෙනෙන්නටත් නෑ.
කොහොම වුණත් අපිට තේරුම් ගන්න පුලුවන් ඇත්ත තත්වය තමයි රටක් ජනතාවක් විදිහට අපි ෆේල් කියන එක. සුද්ද රට දාල ගියාට පස්සෙ මේ අවුරුදු හැත්තෑ ගානටම අපිට බැරි වෙලා තියෙනව මේ රට සමත් රාජ්‍යයක් බවට පත්කරන්න. හැමදාම වරද්ද ගත්තා. මේ වැරදි නිවැරදි කරගන්න අවංක උත්සාහයන් සහිත නිවැරදී දැක්මක් සහිත සෘජු නායකත්වයන් අපට තිබ්බෙ නෑ. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව බලයට ගේන්නෙත් එහි එකම බලාපොරොත්තුව වුණේත් රටට අවශ්‍ය ඒ නායකත්වය ඔහුගෙන් ලැබෙනු ඇතැයි කියන ලොකු විශ්වාසයක් එක්ක. ඔහු වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ මිනිස්සු තවදුරටත් ඔහු එම විශ්වාසය රකිනු ඇතැයි කියන බලපොරොත්තුව අත්හැරලා නෑ. සමාජ මාධ්‍ය තුල බරපතල විවේචනයකට ඔහු ලක්ව තිබුණත් මහ පොළොවේ තියෙන ඇත්ත ජනමතය ඔහු ගැන විශ්වාසය පදනම්ව තිබෙනවා. ඔහුට ඡන්ද පාවිච්චි නොකරපු ජන කොටස් පවා ඔහු වෙතින් යමක් සිදු වෙනු ඇති බව විශ්වාස කරනවා. ඒක තමයි ඇත්තම දේ.
මේ ගෙවුණු වසරක් කාලය තුල ජනාධිපතිවරයා හෝ ඔහුට පක්ෂපාති කොටස් හෝ බලාපොරොත්තු වූ ඉලක්ක වලට ආසන්න වෙන්නත් අවස්ථාව ලැබුණේ නෑ. විශේෂයෙන්ම කොවිඩ් තත්වය නිසා අති විශාල පසුබෑමකට ලක්වුණා. තව මාස ගනනාවකට ඒකෙන් ගැලවීමේ අවස්ථාව නැති වෙන්න පුලුවන්. රටේ ආර්ථිකය විශාල කඩා වැටීමකට ලක් වෙලා සමාජ අර්බුද ගනනාවක් මතු කරමින් තියෙනවා.ඒක එහෙම නෙවෙයි කියලා ආණ්ඩුවට කියන්න බෑ. මොකද ඇත්ත සාධාරණ හේතු ඊට තියෙන නිසා. මේ තත්වය රටේ ජනතාවට පැහැදිලි නොකර ආණ්ඩුවට තව ඉදිරියට යන්නත් බෑ. බොරුවක් නඩත්තු කරමින් යනවා නම් එහි තේරුම මේ රට මේ අර්බූදයන්ගෙන් මුදවා ගන්න අවංක වුවමනාවක් පාලකයන්ට නැහැයි කියන් එක මිසක් කොහොම හරි මේක ගොඩගන්නවා කියන අධිෂ්ඨානය නෙවෙයි.
අපි තේරුම් ගන්න ඕන මේ රට අද මුහුණ දීල තියෙන අර්බූදය ජය ගැනීම එක නායකයකුට එක ආණ්ඩුවකට පක්ෂයකට හෝ කරන්න බැරි බව. අප හමුවේ තිබෙන්නෙ පොදු අර්බුදයක්. දෙතුන් පැත්ත බෙදිලා මඩ අවලාද නගමින් මේක බේරගන්න බෑ. අපි හැමෝගෙම වගකීමක් කරගෙන මේ රට වෙනුවෙන් කළයුතු කැපකිරීමක් තමයි දැනට ඉතුරු එකම විසඳුම. ඒකට විපක්ෂ කොටසුත් ආණ්ඩුවේ කොටසුත් එකතුවෙන්න වෙනවා. පොදු සාකච්ඡාවක් ඉලක්කයක් ඇතිව ඒක විය යුතුයි. පටු දේශපාලන වුවමනාවන් අත් හරින්න ඕන.
පොදු එකඟතාවයක් නැතිව තවදුරටත් ඉදිරියට යනවා කියන්නේ නිදහසෙන් පසුව එකතු වෙන අවුරුදු ගානට තවත් අවුරුදු කිහිපයක් එකතුවෙලා නැවතත් අපි ෆේල් වීමක් පමණයි වෙන්නේ.