අපි නොදන්න නිදහසේ ලේක් හවුස් මාධ්‍ය මා‍ෆියාව Featured

Sunday, 03 February 2019 19:52

මුළුමනින්ම මහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිතයක්ව තිබී 'ඩොමීනියන් රාජ්‍යක්' ලෙස නිල වශයෙන් රාජ්‍ය පාලනයෙහි වූ සීරුමාරුව 'නිදහස' ලෙස හඳුන්වා ගනිමින් එහි 71 වැනි වර්ෂය සමරන මේ මොහොතේ ඒ ලබාගත් නිදහස උත්කර්ෂයට නැංවෙන සේ කියන්නට ඕනෑ තරම් කයි කතන්දර තිබේ.

එදත්, අදත් මේ එකම කයිකතන්දර ටික මුල සිට අගටත්, අග සිට මුලටත්, මුල, මැද, අග මාරුකරමිනුත් කියැවෙයි. එහෙත් මේ පෙබරවාරි 04 වන දිනයේ කතාව කියන්නේ කෙටියෙන්ම කියහොත් සුද්දට කරන් වෙන වැඩ ඇති නිසා මෙරට පාලනය සුද්දන් විසින්ම බිහි කළ මේ රටේ කළු සුද්දන් කිහිපදෙනෙකුට පවරා දෙනු ලැබිමේ කතාවය.

අද නිදහස් සටනේ වීරයන් ලෙසට ඉතිහාසය ගත කර ඇති නායකයෝ බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවට ඩොමීනියන් තත්ත්වයේ හෝ නිදහසක් ලබාදීමට ඉදිරිපත් වීම ගැන ඉංග්‍රීසි පාලකයාට දොස් කීවෝය. තවත් නායකයෙක් ඉන්දියාවද ලංකාවද බ්‍රිතාන්‍ය යටත්විජිත බැවින් ඉන්දියාවට නිදහස ලැබෙන විට ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කරගන්නට ද යෝජනා කළේය. එහෙත් ඉතිහාසය ලියුවේද ඔවුන් නිසා සිදු වූ බොහෝ දේ නොසිදුවූදේ ලෙසත් නොසිදු වූ බොහෝ දේ සිදු වූ දේ ලෙසත් ලියැවුණු ඉතිහාසයක් ඉතිරිව තිබේ.

ලංකාවේ ඩොමීනීයන් නිදහස දීමට ඉංග්‍රීසීන් තීරණය කළේ ඉන්දියාවේ පාලනය ඉංග්‍රීසීන්ගෙන් මුදාගැනීමට එරට ජාතික නායකයන් සමත් වීම නිසා මේ කුඩා දූපත නඩත්තු කිරීමට බ්‍රිතාන්‍යයේ සම්පත් තවදුරටත් නාස්ති කිරීම තේරුමක් නැති නිසාය. එහෙත් තමන්ගේ රට බාරගන්න මෙරට ජාතික නායකයෝ බොහොමයක් පසුබට වූහ. ඒ සුද්දට රට බාරදී යන්නට තරම් විශ්වාසය තැබිය හැකි නායකයකු මෙරට සිටියේ නැත. මේ ඇබෑර්තුව පිරවීමේ කතාව මෙරට ඊනියා නිදහසේ ඇත්ත කතාවය.

lanka 1

1990 වසරේ මුල් කාලයේදී ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලැබූ එංගලන්ත විශ්වවිද්‍යාලවලින් අධ්‍යාපය ලැබූ මෙරට ප්‍රභූ හා වෙළෙඳ සමාජයේ පවුල්වල දරුවෝ මෙරට රාජ්‍ය පාලනයට හා ව්‍යාපාර පාලනයට සම්බන්ධ වූහ. ඉංග්‍රීසීන්ගෙන් දේශපාලනය, ආර්ථිකය, සංස්කෘතිය ඉගෙන ගත්තද, මෙරට ජාතික මූලයන්ගෙන් මුළුමනින්ම නොගැලවුනු මේ පරම්පරාවේම කොටසක් තමන්ට අත්විඳින්නට වූ දුෂ්කරතා පදනම් කරගෙන විවිධ සමාගමයන් පැවැත්වූහ. ඉන් බොහෝමයක් වාණිජමය කරුණු මුල්කරගත් ඒවා විය. කෘෂි ආර්ථිකය නැඟ ගෙන ආ මේ කාලයේ බිහි වූ නව ධනපති පන්තියට දේපළ සම්බන්ධතා මත රාජ්‍ය පාලනයට සම්බන්ධ වීමේ අවස්ථාවද හිමි විය. දේපළ ශක්තිය තිබූ, ඉංග්‍රීසීන්ගේ විශ්වාසය දිනාගත් පාරම්පරික රදල පවුල්වල තරුණයෝ ද ඊට හවුල් විය. වාණිජමය අරමුණෙන් ගත් බොහෝ සමාගමයන් ජාතික අරමුණු වෙනුවෙන් පැහැදෙන්නට වූහ. මේ හරහා දක්ෂ, ජාතික තලයේ ස්වදේශික නායකයන් බොහෝ දෙනකු මතු විය. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ආදී සියලු ජාතිකත්වයන් ඔවුන් විසින නියෝජනය කරන ලදී.

ඉංග්‍රීසීන්ට, මෙරට පරිපාලනය භාරදීම සඳහා සුදුසු පුද්ගලයන් තෝරා ගන්නට සිදුවූයේ ඔවුන් අතරෙනි. එමෙන්ම ඊට ගැළපෙන ආණ්ඩුක්‍රම ආකෘති කිහිපයක්ද වරින් වර මෙරටට හඳුන්වා දීමට ඉංග්‍රීසීහු පියවර ගත්හ. ඒ ඉංග්‍රීසි පන්නයේ දේශපාලනය මෙරට නායකයන්ට හුරුකරන්නටය.

කෙසේ නමුත් අවසානයේ මෙරට ප්‍රථම අගමැතිවරයා වූයේ ඩී.එස්. සේනානායකය. ඩී.එස්. යනු ඉංග්‍රීසීන් බලාපොරොත්තු වූ නායකයෙක් නොවේ. පසුව ඔහු ඉංග්‍රීසීන් බලාපොරොත්තු වූවාටත් වඩා අධිරාජ්‍ය ගැත්තකු විය. එහෙත් ඉංග්‍රීසීන්ට අවශ්‍ය වූයේ එංගලන්තයේ ඉහළ අධ්‍යාපනයක් ලැබූ ඉංග්‍රීසි උගත් ඉංග්‍රීසි සංස්කෘතිය පිළිගත් එංගලන්ත කිරීටයට පක්ෂපාතී විශ්වාසදායක පුද්ගලයෙකි. ඉංග්‍රීසීහු බොහෝ කාලයක් එවැන්නකු වෙනුවෙන් බලා සිටියහ. ඩී.එස්.ට ඉංග්‍රීසීන් බලාපොරොත්තු වූ සුදුසුකම් තිබුණේ නැත. ඩී.එස්. ප්‍රථම අගමැතිවරයා වූයේ ඉංග්‍රීසීන්ගෙ තෝරා ගැනීම නිසා නොවේ. ඉංග්‍රීසීන්ට තෝරා ගන්නට ඉතිරි වූයේ ඩී.එස්. පමණක් වීමට වඩා මෙහිදි වූයේ ඉංග්‍රීසීන්ට ඩී.එස්ට.ව තෝරා දීමය. එය සිදුකළේ ඩී.ආර්. විජේවර්ධනය.
(1886 - 1950)

people2

මෙරට අද සමරන නිදහසේ සැබෑ අයිතිකාරයා ඩී.ආර්. විජේවර්ධනය. එපමණක් නොවේ. තිරය පිටුපස සිට සියල්ල මෙහෙය වූයේ ඔහුය. නවසිය ගණන්වල මුල් දශක වල සිටම අද දක්වාම රටේ දේශපාලනය මෙහෙයවන්නේ ඩී.ආර්. විජේවර්ධනලා බව කීවද ඒ ඔහුට කරන අපහාසයක් නොවේ. මන්ද මේ රටේ දේශපාලන ඉතිහාසයම කුමන්ත්‍රණ වලින් ගහන නිසාය. ඩී.එස්. සේනානායක රටේ ප්‍රථම අගමැති වීම, ඩී.ආර්. කළ දේශපාලන කුමන්ත්‍රණයකි. ‘නිදහස’ කියන්නේ එහි ව්‍යාතිරේකයක් පමණි.

ඩී.ආර්. විජේවර්ධන යනු මෙරට නැඟී ආ වෙළෙඳ පරපුරක පුරුකකි. ඔහු උසස් අධ්‍යාපනය ලැබුවේ එංගලන්තයේ කේම්බ්‍රිජ් සරසවියෙනි. ඔහු බැරිස්ටර් විභාගය සමත් වී මෙරටට එන විට මෙරට ඉංග්‍රීසි උගත් තරුණ නායකයන් කිහිපදෙනකු ස්වදේශීය ඉල්ලීම් වෙනුවෙන් ජාතික ව්‍යාපාර කිහිපයක්ම ආරම්භ කර තිබුණි. ඩී.ආර්.ට එංගලන්තයේදී මුණගැහෙන ඉන්දීය නිදහස් සටනට පණ පෙවූ තරුණ නායකයන් නිසාත් මෙරට ජාතික නිදහස දිනාගැනීම සඳහා අරගලයක් කළ යුතු යැයි යන මතයේ එල්බ සිටි සමකාලීන ශිෂ්‍ය නායකයන් නිසාත් ඩී.ආර්.ට ද ජාතික නිදහස් සටන ගැන හැඟීමක් පහළ විය. මේ නිසා මෙරට ජාතික ව්‍යාපාරය ගැන ඔහු උනන්දු විය. 1909 දී ‘දිනමිණ’ පුවත්පත ආරම්භ කරන්නේ ද ඒ වෙනුවෙනි. මේ සඳහා සේනානායකවරුන් ගේද මූල්‍ය උපකාරය ලැබිණි. විජේවර්ධනලා සහ සේනානායකලා යනු එකම පවුල් පරම්පරාවක ළඟම ඥාතීන්ය. බණ්ඩාරනායක, කොතලාවල, ජයවර්ධන ද මේ පවුල්වල ඥාති සම්බන්ධතා ඇති පෙළ පත් නාමයන්ය. එහෙත් විජේවර්ධනලා සහ සේනානායකලා දේපළ සම්බන්ධතා නිසා බලවත් වූ අතර, ඔවුනොවුන් අතර සමීප සම්බන්ධකම් තිබිණි. ඩී.ආර්.ගේ සමීපතමයා වූයේ එෆ්.ආර්. සේනානායකය. ඔහු ඩී.එස්. සේනානායකගේ වැඩිමහල් සොහොයුරාය. එෆ්.ආර්. ජාතික නිදහස් ව්‍යාපාරයේ සිටියෙකි.

Untitled 2182

එංගලන්තයේ දී ඊ.ඩබ්ලිව්. පෙරේරා සමග එක්ව සිංහලයේ අවසන් රජු ලෙස හැඳින්වෙන ශ්‍රී වික්‍රමරාජසිංහගේ නිල කොඩිය සොයා ගැනීමට ඩී.ආර්.ට හැකිවීම මෙරට ජාතික ව්‍යාපාරයේ එක්තරා හැරවුම් ලක්ෂ්‍යයක් විය. ඩී.ආර්. ජාතික ව්‍යාපාරයට සම්බන්ධ වීමට එය බලවත් උත්තේජකයක්ද විය. මේ කාලයේදී ශ්‍රීමත් බාරොන් ජයතිලක, එෆ්.ආර්. සේනානායක, මාකස් ප්‍රනාන්දු, බටුවන්කුඩාවේ එච්.ජේ.සී. පෙරේරා, ශ්‍රීමත් ජේම්ස් පෙරේයිරා, පොන්නම්බලම් අරුණාචලම් ආදී නායකයෝ රැසක් මෙම ජාතික ව්‍යාපාරයන් හා බද්ධව සිටියහ. ඔවුහු කිහිපදෙනෙක් ව්‍යවස්ථාදායකයේ නියෝජිතයෝ ද වූහ. මේ අතරෙන් වඩාත්ම ජනප්‍රිය හා ප්‍රබලම නායකයා වූයේ බාරොන් ජයතිලකය. ඔහු උසස් ප්‍රභූ පවුල් පසුබිමක් සහිත අයකු නොවුවද උගත්කමින්, අත්දැකීමෙන්, මෙන්ම ජාති හිතෛෂී භාවයෙන් පෙරමුණෙහි විය. ඔහු විද්‍යාලංකාර පිරිවෙනින් අධයාපනය ලබා ඉන්දියාවේ හා එංගලන්තයේ සරසවිවලින් ද වැඩිදුර අධ්‍යාපනය ලැබූවෙකි. සිංහල, පාලි, සංස්කෘත භාෂා විශාරදයෙකි. බැරිස්ටර්වරයෙකි. මෙරට දී ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිනීතිඥවරයකු ලෙස කටයුතු කළේය. සෙනට් සභිකයෙකි. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක, ජේ.ආර්. ජයවර්ධන, ජෝන් කොතලාවල මේ කාලය ජනප්‍රිය තරුණ නායකයෝ වූහ. මාතර හේවාවිතාරණ පවුලේ කිහිපදෙනෙක් ජාතික ව්‍යාපාරයන් සටනෙහි වූහ. ඒ අතර අනගාරික ධර්මපාලද, අමද්‍යප ව්‍යාපාරය, ගවමස් විරෝධි ව්‍යාපාරය, බෞද්ධ ප්‍රබෝධය මුල්කරගත් ව්‍යාපාර ආදිය නිසා මේ සමයේ අතිශය ජනප්‍රිය චරිතයක් විය. මෙම ව්‍යාපාරයන සමඟ බාරොන් ජයතිලක වැනි නායකයෝ ද කටයුතු කළහ.

ඉංග්‍රීසීන්ට මෙරට අනාගත පාලකයා ලෙස යම්තාක් දුරකට හෝ බලාපොරොත්තු සහගත විය හැකිව තිබුණේ බාරොන් ජයතිලක ගැනය. ඔහුගේ වරදකට වූයේ විටින් විට ඉංග්‍රීසි පාලකයන් රිදවීමය. ඇතැම් ප්‍රශ්නවලදී ජයතිලක සිංහල ජාති හිතෛෂියකු ලෙස කටයුතු කිරීම ඉංග්‍රීසි පාලකයන් ඉවසුවේ නැත. බරොන් ජයතිලකගේ ගෝලයකු වූ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා දැරූ මාක්ස්වාදී මතයට ද ඔහු එරෙහිව සිටියේය. ඇන්.ඇම්.ද ඉංග්‍රීසීන්ට අවශ්‍ය සුදුසුකම් සපුරා තිබුණේ නැත. එහෙත් වංසවත් ප්‍රභූ පරම්පරාවල තරුණ නායකයන් කෙරෙහි ද ඉංග්‍රීසිහු සිය අවධානය යොමු කළහ. බණ්ඩාරනායකලා, හේවාවිතාරණලා, කොරයලා, කොතලාවලලා ගැන ඉංග්‍රීසීන්ට යම් බලාපොරොත්තුවක්ද තිබිණි. ඉංග්‍රීසීන් මුහුණ පා සිටි තත්ත්වය දැනගෙන සිටි පුද්ගලයා වූයේ ඩී.ආර්. විජේවර්ධනය. ඔහුට ඉංග්‍රීසීන්ගේ ප්‍රශ්නය නිශ්චිත වන්නේ 1927 දී ඩොනමෝර් කොමිසම සාමාජිකයන් මෙරටට නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට පැමිණිමෙන් පසුය.

1931 දී සර්වජන ඡන්ද ක්‍රමය හඳුන්වා දීමේ සිටම 1947 දක්වා රටේ ආණ්ඩුක්‍රමය වූයේ ඩොනමෝර් කොමිසමයි. එය ක්‍රමය හඳුන්වාදීම වෙනුවෙන් මෙම කොමිසමේ සාමාජිකයන් ලෙස මෙරටට පැමිණි ඉංග්‍රීසිකාරයන් හතරදෙනාගෙන් තුන්දෙනෙක්ම ඩී.ආර්. විජේවර්ධන සමග කේම්බ්‍රිජ් සරසවියේ එකට ශිල්ප හැදෑරුවෝ වෙති. මෙම කොමිසම පත්කරන විට එෆ්.ආර්. සේනානායක ජීවතුන් අතර සිටියේ නැත. (ඇෆ්. ආර්. 1926. 01 . 01 දින කල්කටාවේ දී අභාවප‍්‍රාප්ත විය.) ඔහු උගත් ජාතිමාමකයකු වූ අතර දේශපාලන වශයෙන් ක්‍රියාකාරී පුද්ගලයෙකි. ඔහුගේ අභාවයෙන් පසුව ඩී.එස්. සේනානායක ඒ තැන ගත්තේය. එහෙත් ඩී.එස්. යනු සාමාන්‍ය අධ්‍යාපනයක් ලැබූවෙකි. ද්විතීයික මට්ටමෙන් එහාට ගියේ නැත. මේ සම්බන්ධ සුප්‍රසිද්ධ කතාවක් තිබේ. පාසල් වාර අවසානයේ පැවැත්වෙන විභාගයේ ප්‍රතිඵල ඩී.එස්.ගේ පියා විසින් විමසද්දී ඩී.එස්. උජාරුවෙන් කීවේ තමන් පන්තියේ හතැරවැනියා බවය. පසුව පියාට දැනගන්නට ලැබුණේ පන්තියේ ඉන්නේ ළමයින් හතරදෙනකු පමණක් බවය. ඩී.එස්.ගේ අධ්‍යාපනයේ තරම එවැනිය. පසුව මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ රැකියාවක් කළ අතර ටික කාලයකින් ඉන් ඉවත් වී පළමු ලෝක යුද සමයේදී කොළඹ නගර ආරක්ෂක සේවයේ කටයුතු කර ඇත. නමුත් 1915 සිංහල - මුස්ලිම් කෝලහාල වේලාවේ ඉන් ඉවත් වී ගමට ගියේය. මීරිගම බෝතලේ වලව්වට වී සිය පියාගේ කෘෂි වගාවන් හා ව්‍යාපාර බලාකියාගෙන ගැමියකු සේම කල් ගෙව්වේය. එෆ්.ආර්.ගේ පසුපස යමින් සමාජ සේවා කටයුතුවලට ද ඔහු විටින් විට සහභාගී වී තිබිණි. පසුව දේශපාලනය කිරීමේ හිතක් පහළ වී ඔහු ඊට යොමුවිය. එහිදී දේශපාලනයට ඔබින සටකපටකමෙන් ඔහු අන් අයට වඩා ඉදිරියෙන් විය. 1931 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයකු වන්නට ද ඔහු සමත් විය. එහි කෘෂිකර්ම ඇමැතිවරයාද විය. මේ වෙනුවෙන් ඩී.ආර්. ද විශාල වශයෙන් මහන්සි විය.

ds 1

එෆ්.ආර්.ගේ මරණයෙන් පසුව ඩී.ආර්. හා ඩී.එස්.ගේ සමීප සම්බන්ධතා දැඩි විය. ඉංග්‍රීසි රටේ අනාගත පාලකයා සම්බන්ධයෙන් දරණ අදහස ඩී.ආර්. දැන සිටියේය. පරම්පරාවේ තමාගේ මිනිහකු රටේ රජ කරවන්නට ඩී.ආර්ත ට අවශ්‍ය විය . ඊට සිටි එකම පුද්ගලයා වූයේ ඩී.එස්. ය. නමුත් ඩී.එස්. අගමැතිකමට සුදුසු පුද්ගලයකු වූයේ නැත. ඔහුට අඩු තරමින් ඉහළ කතිකත්වයක් හෝ පිහිටා තිබුණේ නැත. ඉංග්‍රීසි උගතකු වූයේ නැත. විදේශීය සබඳතා තිබුණේම නැත. ඩී.ආර්.ගේ දේශපාලන කුමන්ත්‍රණය ඇරඹෙන්නේ එතැණිනි.

ඩී.එස්. අගමැතිකමට සුදුසු නොවේ නම් ඩී.එස්.ට වඩා සුදුසුකම් තිබෙන ඔහුට වඩා ඉදිරියෙන් සිටින පුද්ගලයන් කවුරුන් ද යන්න ඩී.ආර්. සොයා බැලුවේය. ඔවුන් ඉවත් කළ හොත් සුදුස්සා වන්නේ ඩී.එස්.ය.
ඩී.ආර්.ගේ තිබූ සම්බන්ධතා හා ඔහුගේ හැකියාව අනුව අවශ්‍ය නම් රටේ අගමැතිකම ඔහුට පහසුවෙන් ලබා ගැනීමට හැකි විය. එහෙත් ඩී.ආර්. කැමැති වූයේ දාම් පෙතේ ඉත්තන් එහාට මෙහාට කිරීමේ සෙල්ලමටය. ඔහු ප්‍රසිද්ධයේ එළියට පහළියට බැස කෑකෝ ගසමින් වැඩ කළ පුද්ගලයෙක් නොවීය. ඔහු නිහඬ සූක්ෂම පුද්ගලයෙකි. ඔහු සිටියේ නිවසේ නැතිනම් ලේක්හවුස්හි කාර්යාලයේය. ඔහුට ඉංග්‍රීසි පාලකයන් හා තිබුණු සමීප සම්බන්ධතා නිසා රටේ හිටපු තරම් නායකයෝ පාලකයන් හා ගනුදෙනු බේරාගන්න ආවේ ඩී.ආර්. ළඟටය. ඔහුගේ කාර්යාල කාමරයේ වැඩ ඉවර කර මිස ඩී.ආර්. ඒ කිසිවකු හමුවූයේ නැත. ඩී.ආර්. හමුවන්නට පැමිණි අයගේ පෝළිමේ ඩී.එස්. සේනානායකට පවා කල්මරන්නට වූ අවස්ථා එමටය. ඩී.ආර්.ගේ බලය ඒ තරමටම විය. රටේ නව ආණ්ඩුක්‍රම සැකසීමේදී මෙන්ම ඇමැති මණ්ඩලයේ සැලසීමේදීත් රාජ්‍ය සේවයේ තනතුරු පිරිනැමීමේදීත් ඩී.ආර්.ගේ බලපෑම එහි විය.


ජාතික ව්‍යාපාරයට සමගාමීව ගොඩනැගුණු බොහෝ ව්‍යාපාර එකතුකර ගොඩනැගූ ලංකා ජාතික සංගමයේ ලේකම්වරයා වූයේ ද ඩී.ආර්. විජේවර්ධනය. මෙම සංගමයට එකතු වූ බොහෝ නායකයෝ රටේ අගමැති ධුරය සුදුකම් සැපිරිය හැකි ඩී.එස්.ට වඩා ඉදිරියෙන් සිටි නායකයෝ වූහ. නමුත් ජාතික සංගමය මෙහෙය වූයේ ඩී.ආර්.ය. ඩී.එස්. සේනානායක හැර ජාතික සංගමයේ අන් නායකයෝ තුළ ඔවුන්ට අගමැති ධුරය ලැබීමේ සුදුසුකම් තිබෙන බව හඟවමින් ඩී.ආර්. හා ඩී.එස්. තමන්ගේ අවස්ථාව එන තුරු සුක්ෂමව කටයුතු කළහ. තම තමන් කෙරෙහි බලාපොරොත්තු තබාගෙන සිටි අන් නායකයෝ අනෙකාගේ නුසුදුසුකම් ගැන දොඩවන්නට වූහ. මේ නිසා ඔවුන්නොවුන් අතර ගැටුම් ඇති විය. ප්‍රසිද්ධම ගැටුම වූයේ ජෝන් කොතලාවල හා බණ්ඩාරනායක අතරය. මෙහිදී ඩී.ආර්.ගේ ලේක්හවුස් ආයතන මගින් ඊට ප්‍රසිද්ධියක් දුන් අතර, කොතලාවල විකටයකු බවට පත් කළේය.


බණ්ඩාරනායක ‘සෙවල බණ්ඩා’ කළේය. ඩී.එස්.ව ඇගයුවේය. ඇන්.ඇම්. පෙරේරාට පහර ගැසුවේය. එසේම අනගාරික ධර්මපාලට එළවා එළවා ගහන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. අනගාරික ධර්මපාලට අගමැතිකම ලැබෙන්න ඔහු දේශපාලනය නොකළ ද ඔහුගේ සහෝදරයෝ ජනප්‍රිය දේශපාලකයෝ වූහ. මේ නිසා හේවාවිතාරණ පවුලේ කෙනෙකුට අගමැතිකම යනු ඇතැයි බියක් ඩී.ආර්.ට විය. අවසානයේ අනගාරික ධර්මපාල රට හැර ගියේ ලේක්හවුස් ප්‍රහාරය ඉවසනු නොහැකිවය. ඔහු 1933 දී ඉන්දියාවේදී මිය ගියෙය්.

එදා රටේ ප්‍රබල මාධ්‍ය වූයේ ලේක්හවුස් පුවත්පත් සමූහයය. රටේ ජනමතය හැසිරවූයේ ලේක්හවුසිය මගිනි. මිනිසකු රජකු කරන්නත්, මිනිසකු මරන්නත් ලේක්හවුසියට පුළුවන් යැයි කතාවක් හැදුනේද මේ කාලයෙහි ලේක්හවුස් මාධ්‍ය භූමිකාව නිසාය.

මේ අතර ඩී.එස්.ට තිබූ බලවත්ම බාධාකය වූ බාරොන් ජයතිලක සම්බන්ධයෙන් ඩී.ආර්. අනුගමනය කළේ වෙනත් උපක්‍රමයකි. බාරොන් ජයතිලකව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස පත්කරන්නට ඉංග්‍රීසි පාලකයන්ව පොළඹවා ගන්නට ඩී.ආර්. සමත් විය. රටේ අගමැතිවරයා වන්නට සිටි පුද්ගලයාව නවදිල්ලියට යවන විට ඔහුගේ වයස අවුරුදු හැත්තෑ ගණනක් විය. නවදිල්ලියේ සීතල දේශගුණය නිසා අසනීපව යළි මෙරටට එන අතරතුරදී ඔහු හෘදයාබාධයකින් මියගියේය. ඒ 1944 මැයි මාසයේදීය. මෙසේම කළුතර මන්ත්‍රීවරයා වූ ශ්‍රීමත් ක්ලෝඞ් කොරයාව එංගලන්තයේ මහකොමසාරිස් කර යැව්වේය. ශ්‍රීමත් ජේම්ස් පීරිස්, බඩුවන්තුඩාවේ වැනි නායකයන්වද සූක්ෂමව ඉවත් කළේය. ජේ.ආර්. ජයවර්ධන ඉදිරියට ඒම වැළැක්වූයේය. විජේවර්ධන පවුල හා ජයවර්ධන පවුල අතර කාලාන්තරයක් තිස්සේ පවුල් ආරවුලක් ද තිබිණි. එය ද මීට බලපෑවේය. බණ්ඩාරනායක හා කොතලාවල දිගටම රණ්ඩු වූහ. රටේ මිනිස්සු ද ඒ දිහා බලාගෙන සිටියහ. ඒ අර්බුදය විසඳා ගැනීමට නොහැකි වීමෙන් ඔවුන් දෙදෙනාට වූ විසඳුම වූයේ දේපළ ඉඩකඩම් හා ධනයෙන් බලවත් වූ ඩී.එස්.ගේ නායකත්වය පිළිගන්නටය. අනෙක ඩී.එස්. වයසෙන් වැඩිමහලු වීම නිසා දෙවැනි අවස්ථාවක් ගැන ඔවුන්ගේ බලාපොරොත්තුව විය. ඩී එස් ව ඉංග්‍රීසින්ට ඕනෑ විදිහට හැඩ ගැස්සවීමට ඩී ආර් සමත්ව සිටියේය. ඉංග්‍රීසින්ට වඩා ඉංග්‍රීසි කාරයකු ලෙස ඩී එස් වැඩ කටයුතු කරන බවට එදා මහා බ්‍රිතන්‍ය දේශපාලන අධිකාරිය තුල ද ඔහු පැසසුමටද ලක්ව සිටියේය. මේ නිසා ඩී එස් හැර අන් කිසිවකු නිදහස් ලංකාවේ පාලකයා ලෙස අවශ්‍ය සුදුසුකම් සපුරාලූවේ නැත.

මෙහිදී ඩී.ආර්. විජේවර්ධන කළේ රටේ සිටි සියලු ජාතික නායකයන් එක්කොට මල්ලකට දමා ගැටගසා ඩී.එස්. සේනානායකව පමණක් ඉන් එළියට ගැනීමය.

ලංකා ජාතික සංගමය වෙනුවට 1946 දී තැනූ එක්සත් ජාතික පක්ෂයේ නායකයා වූයේ ඩී.එස්. සේනානායකය. ඩී.ආර්. හා ඩී.එස්. දේශපාලනයේදී මොනතරම් සටකපට වූවත් 1947 මහමැතිවරණයේදී එජාපය බලාපොරොත්තු නොවූ ලෙස ඇන්.ඇම් පෙරේරාගේ සම සමාජය කරට කර තරගයක් දී සම තත්ත්වයට පත් විය. ආණ්ඩුව පිහිටුවන්නේ කවුරුද යන්න තීරණය වූයේ ස්වාධීන මන්ත්‍රීවරුන් කිහිප දෙනොගේ කැමැත්ත අනුවය. දෙපාර්ශ්වයම ඔවුන් සමඟ සාකච්ඡා කළ අතර, සම සමාජය හා සාකච්ඡා කිරීමේදී ස්වාධීන මන්ත්‍රීවරුන්ට ස්ථිර ප්‍රතිපත්තියක් නොමැතිව සාකච්ඡා ඇදෙමින් තිබියදී සම සමාජයේ කොල්වින් ආර්. ද සිල්වා ස්වාධීන මන්ත්‍රීවරුන් ඔලු තුනේ බූරුවන් යැයි ප්‍රසිද්ධියේ කීවේය. ඊට ලේක්හවුස් පත්තරවලින්ද විශාල ප්‍රසිද්ධියක් දුන්නේය. පසුව ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ සහයෙන් එජාපයට ආණ්ඩුවක් පිහිටුවන්නට හැකි විය. ඩී.එස්. අගමැති විය. ඩී.එස්. ගේ ආණ්ඩුවේ ජාතික නිදහස් ව්‍යාපාරයේ සිටි පතාක යෝධයන් කිසිවකු සිටියේ නැත. බොහෝ දෙනා රටේ සිටියේද නැත. ඉංග්‍රීසි පාලකයන්ට කරන්නට කිසිවක් ඉතිරිව නොතිබිණි. සියල්ල ඩී.ආර්. විසින් සම්පූර්ණ කරන ලදී.

ඩී. ආර්. සහ ඩී. එස්. එකඟ වූ ලෙසට ඉංග්‍රීසීන් ඩොමිනියන් නිදහස ප්‍රදානය කළේය. ඒ වෙනුවෙන් කටයුතු කළ නීති නිලධාරියා වූයේ ශ්‍රීමත් අයිවර් ජෙනිස්ය. ඒ වන විට ඩී එස් ගේ උපදේශකයා ලෙස අයිවර් ජෙනින්ස් කටයුතු කරමින් සිටියේය. ඩී එස් ගේ පාලන තන්ත්‍රය මුලුමනින්ම පාහේ ජෙනින්ස් හරහා පාලනය වන්නක් විය.

නිදහස් දිනය ලෙස පෙබරවාරී 04 වෙනි දින ‍තෝරා ගැනීම ගැනද ප්‍රකට කතාවක් තිබේ. ‘නිදහස’ නිල වශයෙන් ප්‍රදානය කරන්නට අයිවර් ජෙනිස්, ඩී.එස්. ගෙන් වැදගත් දිනයක් ඉල්ලුවේය. ඩී.එස්.ගේ උපන් දිනය ඔහු යෝජනා කළේය. මන්ද ඉතිහාසය පුරා නිදහස් දිනය ලෙස සමරන්නට වන්නේ එම දිනය නිසාය. නමුත් ඊට ඩී.එස්. අකමැති විය. පසුව ජෙනිස්, ඩී.එස්.ගේ බිරිය වන මොලි දුනුවිලගේ උපන් දිනය යෝජනා කළේය. ඊට කැමැත්ත ලැබිණි. ඒ දිනය පෙබරවාරි 04 වැනිදා විය.

අපි නොදන්නා නිදහසේ කතාව එසේය.

- සුභාෂ් ජයවර්ධන

(2012 වසරේ පෙබරවාරී මව්බිම පුවත්පතට ලිව් ලිපියක් ඇසුරෙණි)

Leave a comment

Gossip

හබරණ ඇතින්නියන් 7 මැරුවේ අපලයක් දුරු කරන්නලු..

හබරණ ඇතින්නියන් 7 මැරුවේ අපලයක් දුරු කරන්නලු..

හබරණ, හිරිවඩුන්න තුන්ඹිකුලම රක්ෂිතයේදී අභිරහස් ලෙස මිය ගිය ඇතින්නියන් හත් දෙනෙකුගේ මළ සිරුරු සොයා ගැ...

මට වඩා සජිත් ජනප්‍රියයි..ඒත් ජනාධිපති වෙන්න ඕන මන්..- රනිල්ගේ අපූර්ව තීන්දුව

මට වඩා සජිත් ජනප්‍රියයි..ඒත් ජනාධිපති වෙන්න ඕන මන්..- රනිල්ගේ අපූර්ව තීන්දුව

අද උදෑසන පැවැති එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨයන්ගේ ‍රැස්වීමෙදී රනිල් වික්‍රමසිංහ තමන් ජනාධිපතිවරණයට ඉදිර...

මහරගම බංගලාවක, ජනපති අපේක්ෂකයෙක් සහ ජනපති සොයුරෙක් රහස් කතාවක

මහරගම බංගලාවක, ජනපති අපේක්ෂකයෙක් සහ ජනපති සොයුරෙක් රහස් කතාවක

ජනාධිපති සොහොයුරෙකුට අයත් මහරගම විද්‍යාකර මාවතේ පිහිටි සුපිරි බංගලාවක මේ මොහොතේ ( 24 රාත්‍රියේ) රහස්...

සමාවෙන්න අයියේ..! ගෝඨා හොර ලියවිල්ලේ වැරැද්ද බාරගනියි.

සමාවෙන්න අයියේ..! ගෝඨා හොර ලියවිල්ලේ වැරැද්ද බාරගනියි.

තමන්ගේ අමරිකානු පුරවැසිභාවය පිළිබඳ ගැටලුව අවසන් කරගත් බවත් ඒ නිසා ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා ගැනිමේ...

Connet With Us