දේශපාලනික සීමා මායිම් බොඳ වී යාම
එක්සත් ජනතා නිදහස් සන්ධානය සැලකෙන්නේ වඩාත් වමට බර, පෞද්ගලික අංශය සහ විදේශ ආයෝජන කෙරෙහි අඩුම ලැදියාවක් ඇති පක්ෂයක් වශයෙනි. එසේ නම්, පුද්ගලික ව්‍යාපාර සඳහා වන බදු අඩු කෙළේ සහ කොළඹ ඉතා වටිනා ඉඩමක් ෂැන්ග්‍රි ලා වැනි ව්‍යාපාරයකට විකුණා දැමුණේ ඒ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවෙන් වීම ඔබ විස්තර කරන්නේ කෙසේද?
එක්සත් ජාතික පක්ෂය සැලකෙන්නේ වඩාත් දකුණට බර, පෞද්ගලික අංශයට වැඩි ලැදියාවක් ද, රාජ්‍ය අංශයට අඩු ලැදියාවක් ද ඇති පක්ෂයක් වශයෙනි. එහෙත් ලංකා ඉතිහාසයේ රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැඩිම වැටුප් වර්ධක යෝජනා කෙරුණේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකින් වීම ඔබ විස්තර කරන්නේ කෙසේද? පෞද්ගලික ව්‍යාපාරවලින් ‘සුපිරි ප්‍රතිලාභ බද්දක්’ අය කර ගත යුතු බවට නීති පැනවූයේ එම පක්ෂයේ ආණ්ඩුවකින් වීම ඔබ විස්තර කරන්නේ කෙසේද? එහෙමත් නැත්නම්, මේ පක්ෂය බලයේ සිටි කාලය මුළුල්ලේම පාහේ කොටස් වෙළඳපොළ තුළ ගරා වැටීමක් පෙනෙන්ට තිබීම ඔබ විස්තර කරන්නේ කෙසේද?
ඇත්ත කතාව වන්නේ, මේ පක්ෂ අතර සීමා ඉරි බොඳ වී ගොස් ඇති බව ය. ඒ එකිනෙක පක්ෂය ඇත්තෙන්ම නියෝජනය කරන්නේ නිශ්චිතවම කවරක් ද යන්න පැහැදිලි කර ගැනීම දුෂ්කර කටයුත්තකි.
පුද්ගලතාවන් නැගී සිටීම
අලුත්ම ප්‍රවණතාව වශයෙන් පෙනෙන්ට තිබෙන්නේ පුද්ගලයන් වටා දේශපාලනික ඇඟෑලුම් කම් වර්ධනය වන බවකි. තවත් විදිහකින් කිවහොත්, දේශපාලනික සන්ධානයන් ගොඩනැගෙන්නේ දේශපාලනික හෝ ආර්ථික දෘෂ්ටිවාදයන් මුල් කොටගෙන නොවේ. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊට අගනා සාක්ෂියකි. එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය පැත්තෙන් බැලුවත් ඒ කාරණය සම්බන්ධයෙන් බරපතල වෙනසක් පෙනෙන්ට නැත.
යම් කිසි ඡන්ද පදනමක් මත පක්ෂ බිහි වන අතර, නළු නිළියන් සහ ක්‍රීඩා තාරකා ආදීහූ දේශපාලනයට පිවිසෙති. කිසිවක් පිළිබඳ ඔවුන්ට මෙලෝ අදහසක් නැති වුවත් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට ඔවුහූ සමත් වෙති. පුද්ගලයන් වශයෙන් එසේ ඉස්මතු වීම එයාකාරයෙන්ම වරදක් නොවූවත්, ආර්ථිකය අරභයා වන නිශ්චිත සහ පැහැදිලි අදහසක් හෝ දැක්මක් මොවුන්ට නොමැති වීම ප්‍රශ්නයකි.
පිරිසුදු වමක් හෝ පිරිසුදු දකුණක් කියා දෙයක් ලොවේ නැත
මෑතකදී පැවති එක්තරා දේශපාලනික සාකච්ඡාවකදී එය මෙහෙයවන්නා, ඊළඟට පැවැත්වෙන ජනාධිපතිවරණයටත් ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන, වැඩි ප්‍රසිද්ධියක් නැති එක් සාකච්ඡාකරුවෙකුගෙන්, ඔහු රටට යෝජනා කරන ආර්ථික න්‍යාය කුමක්දැ යි ප්‍රශ්න කෙළේය. ප්‍රශ්නයෙන් තරමක් අන්දමන්ද වූ මේ ජනාධිපති අපේක්ෂකයා උඩින්පල්ලෙන් දුන් පිළිතුර වුණේ ‘මිශ්‍ර’ යන්නයි. ආර්ථික ක්‍රමයක් මිශ්‍ර බව අමුතුවෙන් කිව යුතු නැත. ලෝකයේ කිසි සාර්ථක ආර්ථිකයක, තනිකර ‘දක්ෂිණාංශික’ හෝ තනිකර ‘වාමාංශික’ ආර්ථිකයක් දක්නට තිබේ ද?
ධනපති ලෝකයේ ප්‍රමුඛ රට වන ඇමරිකා එක්සත් ජනපදය, 2009 මහා මූල්‍ය අර්බුදය නිසා කඩා වැටුණු යෝධ පෞද්ගලික බැංකු, බදු ගෙවන්නන්ගේ ඩොලර් බිලියන ගණන් වැය කොට ගලවා ගැනීම ධනපති විරෝධී ක්‍රියාවකට කියාපු උදාහරණයකි. එයාකාරයෙන්ම, සමාජවාදී සහ වාමවාදී චීනය සහ රුසියාව තමන්ගේ ආර්ථිකයන් මොන තරම් පුළුල්ව විවෘත කොට ඇත්ද යත්, බොහෝ ක්ෂේත්‍රවල ඔවුන්ගේ පෞද්ගලික ව්‍යාපාර සමාගම් ලෝකයේ ප්‍රධාන පෙළේ ව්‍යවසායන් බවට අද පත්ව ඇති බව දැක්විය හැකිය.
කොටින් කිවහොත්, ශක්තිමත් ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම සඳහා ඒ ඒ රටවල් පාවිච්චියට ගෙන ඇති ආර්ථික ආකෘති කිසියම් අන්තවාදී ක්‍රමයකට ගොස් නැති අතර ඒවායේ විවිධ ආකෘතිවල සම්ම්ශ්‍රණයක් දැක ගැනීමට ලැබෙන බව කිව යුතුය.
සාර්ථකත්වයන් තුළ භාවිතයට ගෙන ඇති එකිනෙකින් වෙනස් ආකාරයේ ආකෘති
මෑත දශක කිහිපය තුළ ලෝකයේ සාර්ථකම ආර්ථිකයන් වශයෙන් ගැනෙන්නේ ජපානය, සිංගප්පූරුව, හොංකොං, තායිවානය සහ දකුණු කොරියාවයි. ඒ අතර චීනයත් මේ වන විට ඉතා වේගවත් ආර්ථික වර්ධනයක් සනිටුහන් කරමින් සිටී. කෙනෙකු මේ එකිනෙක රට කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළොත් පෙනෙන කාරණය වන්නේ, ඒ එකිනෙක රට තම තමන් සතු ශක්තීන් සහ ඉඩ ප්‍රස්ථාවන්ට අනුකූල වන පරිදි තමන්ටම ගැළපෙන ආර්ථික ආකෘතීන් සකසාගෙන ඇති බව ය. මේ කිසි රටවල් දෙකක්, ආර්ථික සහ දේශපාලනික ප්‍රවේශයන් සම්බන්ධයෙන් සපුරා සමානත්වයක් නොපෙන්වන බව එහිදී පෙනී යයි.
දකුණු කොරියාව තමන්ගේ මහ පරිමාණ පෞද්ගලික ව්‍යවසායන්ට ආණ්ඩුවේ ආධාර උපකාර ලබා දුන්නේය. හයුන්දායි සහ සැම්සුං වැනි ජගත් පරිමාණ යෝධ සමාගම් බිහි වී ඇත්තේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. තායිවානය වැඩි වැදගත්කමක් දුන්නේ කුඩා පරිමාණ ව්‍යවසායන්ට ය. ඒ කුඩා සමාගම් සතුව පැවති නිසග ශක්තීන් ඔවුන්ගේ කාර්යක්ෂමතාව වර්ධනය කර ගැනීමට තුඩුදුන් අතර, ඒ හේතුවෙන් අඩ-සන්නායක සහ කොම්පියුටර් ක්ෂේත්‍රවලට සාර්ථක ආකාරයෙන් විසිරී පැතිරීමට එම පෞද්ගලික සමාගම්වලට අවස්ථාව පාදා දුන්නේය. සිංගප්පූරුව වැඩි අවධානය යොමු කෙළේ රාජ්‍ය ව්‍යවසායන් කෙරෙහි ය. අද දක්වාමත් එරටේ සිංගප්පූරු ගුවන් සමාගම සහ ඩී.බී.එස්. බැංකුව පවතින්නේ රාජ්‍ය ආයතන වශයෙනි.
මේ සියලු අත්දැකීම් පසුපස පොදු සාධක ගණනාවක් තිබේ. එසේම එකිනෙකට පටහැනි සාධක ගණනාවක් ද දක්නට ලැබේ.
න්‍යායවාදීන්ගේ ආකෘති
ආර්ථික න්‍යායන් බොහෝ විට ගොඩනගනු ලබන්නේ න්‍යායවාදීන් විසිනි. එහෙත් ඉහත සඳහන් රටවල සීග්‍ර සංවර්ධනයට නායකත්වය සැපයුණේ න්‍යායවාදීන්ගෙන් නොව, ප්‍රායෝගික ව්‍යපාරික වෘත්තිකයන්ගෙනි. කීර්තිමත් ආර්ථික න්‍යායචාර්යවරුන් විසින් නිර්දේශ කරන ලද ඇතැම් න්‍යායන් මොවුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.
මේ නිසා යම් ආර්ථික ආකෘතියක් න්‍යායවාදීන් කියන නිසාම අන්ධානුකරණය කළ යුතු නැත. රටේ ආර්ථිකය ඉබාගාතේ විවෘත කිරීම නිසා ශ්‍රී ලංකාව පසුගිය දශක ගණනාවක් තිස්සේ ගෙවුම් ශේෂ අර්බුදයකට (විදේශයන්ගෙන් ලංකාවට ලැබෙන විදේශ ආදායම සහ ලංකාවෙන් විදේශයන්ට ගලා යන වියදම අතර පරතරයකට) ගොදුරු වී සිටින අතර එය අද අප මුහුණදෙන ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. ශක්තිමත් ආර්ථික සැලැස්මක් සඳහා සැබෑ ලෝකයේ සාර්ථක අත්දැකීම්වලින් පාඩම් උගත යුතු නමුත්, ඒ අතරේම ලෝක සන්දර්භය තුළ අපේ සුවිශේෂී ශක්තීන් සහ ඉඩප්‍රස්ථා පිළිබඳ සාරගර්භ හැදෑරීම් ද ඊට පාදක කර ගත යුත්තේය.
දේශපාලනික සන්ධානයන් නොව, ප්‍රායෝගික සැලැස්මක් ඉල්ලා සිටින්න
අවසාන වශයෙන් බලන විට, අන්තවාදී ආර්ථික න්‍යායන් සහ දේශපාලනික දෘෂ්ටිවාදයන් නූතන ලෝකය තුළ අදාළත්වයක් නැති තත්වයට පත්ව ඇති බව කිව යුතුය. දේශපාලන පක්ෂ සහ සන්ධාන ගොඩනැගෙන්නේ, විශේෂිත ජන වර්ග සහ සමාජ පංතිවල සහාය මුල් කර ගත් පුද්ගලයන් සහ පාර්ශ්ව පදනම් කර ගනිමිනි. එහෙත් ඒ ඒකරාශී වීම් සඳහා සංයුක්ත දේශපාලනික සහ ආර්ථික සැලසුම් ඇති බවක් පෙනෙන්ට නැත. ඡන්දදායකයන් අද ඉල්ලා සිටිය යුත්තේ එයයි.
මැතිවරණ ප්‍රකාශන නමින් සුරංගනා කතා මාලාවක් ඉදිරිපත් කෙරේ. එහෙත් ඒවා සාක්ෂාත් කර ගන්නේ කෙසේද යන්න ඒ ප්‍රකාශන මගින් පැහැදිළි කෙරෙන්නේ නැත. එවැනි ප්‍රකාශන ඡන්දදායකයා ප්‍රතික්ෂේප කළ යුත්තේය. මෙසේ ඉදිරිපත් කොට ඇති මැතිවරණ ප්‍රකාශනවල අවසාන ප්‍රතිඵලය බොහෝ විට හිස් වචන මාලාවක් පමණක් වී ඇති බව ඉතිහාසය අපට පෙන්වා දෙයි. වෙනත් පක්ෂ ගැන විවේචනය කිරීම, කිසි පක්ෂයක් පිළිගැනීමට ප්‍රමාණවත් හේතුවක් කර ගත යුතු නැත.
මේ ඇරඹෙන්නේ තීරණාත්මක මැතිවරණ වසරකි. ඒ නිසා ප්‍රායෝගික සැලසුම් ඡන්දදායකයන් විසින් ඉල්ලා සිටිය යුතුය. ඒවා ක්‍රියාත්මක කිරීමට තරම් ශක්තිමත් නායකයන් ඇත්දැ යි සොයා බැලිය යුතුය. හුදෙක් දේශපාලඥයන්ගේ අභිවෘද්ධිය තකා ගොඩනැගෙන සන්ධාන ප්‍රතික්ෂේප කළ යුතුය.
2019 ජනවාරි 29 වැනි දා ‘ඬේලි එෆ්.ටී’ පුවත්පතේ පළවූ
Irrelevance of Political & Economic Ideologies
නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.