මහින්ද අභියෝගයක් නෙමෙයි- කිරිඇල්ල

Saturday, 11 July 2015 17:32

ඉදිරි ඡන්දයේදී රට සංවර්ධනයට ජනතාව තෝරාගන්නේ රටට සංවර්ධන ජයග්‍රහණ රැසක් දිනාදුන් එජාපය බවත් ජනාධිපතිවරණයෙන් බලයෙන් ඉවතට විසිවුණ හිටපු ජනාධිපතිවරයා මේ ඡන්දයෙන් පසු විපක්ෂ මන්ත්‍රීවරයකු පමණක් වනු ඇති බවත් වැවිලි කර්මාන්ත ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. සිළුමිණ සමඟ ඉදිරි මැතිවරණය පිළිබඳව විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමැතිවරයා මේ ප්‍රකාශය කළේ ය. එහිදී ඇසූ ප්‍රශ්න කීපයකට ඇමැතිවරයා දුන් පිළිතුරු මෙසේ ය.

මෙදා මැතිවරණ සටන හෙට නාමයෝජනා දීමෙන් පසුව ආරම්භ වෙනවා. මේ මැතිවරණයේදී කුමන කරුණු මුලට එයි කියලද පාලක එජාපයේ ජ්‍යෙෂ්ඨයෙක් ලෙස ඔබ කල්පනා කරන්නේ?

පැහැදිලිව මේ මැතිවරණ සටනේ ආර්ථික සාධක මුලට එනවා. අලුත් පරපුර වැඩිහිටි පරපුර තමන්ට රැකියාවක් කරන්න පුළුවන් ප්‍රමාණවත් ආදායම් මාර්ග බිහිවන අගහිඟකමින් තොර ආර්ථිකයක් බලාපොරොත්තු වෙනවා. යුද්ධයෙන් පසුව රටට ආශ්චර්ය ගේන්න පොරොන්දු වූ මහින්ද රාජපක්ෂ රෙජිමය මේ කිසිවක් කළේ නැහැ. ජනතාව බලාපොරොත්තු වුණේ යුද්ධය නිමාවෙන් පසුගිය අවුරුදු පහේ තමන්ට යමක් ඒ රජය කරයි කියලා.

නමුත් පම්පෝරි ගැසීම් මාධ්‍ය සංදර්ශනවලට අමතරව රටේ සංවර්ධනය වෙනුවෙන් ප්‍රමාණවත් යමක් මහින්ද රාජපක්ෂ මහතාට හෝ ඔහුගේ රජයට කරන්න බැරිවුණා. ඒ නිසා තමයි, වෙනසක් කරන්න පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත්වූ මෛත්‍රීපාල සිරිසේන මහතාව එජාපයේ මූලිකත්වය ගෙන කළ සටනින් ජනාධිපති ධූරයට පත් කරගත්තේ. ඒ එක්කම වුණෙත් මහින්ද රාජපක්ෂ මහතාව රටේ ඉතිහාසයේ ප්‍රථම වරට ජනාධිපතිවරයෙක් ධූරයේ ඉදිමින් කළ සටනින් ගෙදර යවන්න අපට අවස්ථාවක් ලැබුණා.

හිටපු ජනාධිපති මහින්දට කරන්න බැරි වුණ සංවර්ධනය රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට කරන්න පුළුවන් කියලද ඔබ කියන්නේ?

පැහැදිලිව ඔව්. ඒ ආර්ථික පිම්ම පනින්න වැඩපිළිවෙළ එක්සත් ජාතික පක්ෂය සතු වගේ ම ඒ සඳහා නායකත්වය දෙන්න අවශ්‍ය ශක්තිය රනිල් වික්‍රමසිංහ මහතාටත් තිබෙනවා.‍ එතුමා රටට‍ පොරොන්දු වී තිබෙනවා. ඊළඟ අවුරුදු පහ තුළ රැකියා ලක්ෂ 10 ක් රටේ ඇති කරන්න. ඒක එජාපයට කරන්න පුළුවන්.

මහින්ද රාජපක්ෂ මහතාත් රට ආසියාවේ ආශ්චර්ය කරන්නයි පොරොන්දු වී සිටියේ?

යුද්ධයෙන් පසුව රට දියුණු කරන්න තිබුණ අවස්ථාව ඔහු අවාසනාවන්ත ලෙස මඟ හැරියා. කවුරුත් බලාපොරොත්තු වුණා ඒ ඇති වුණ සාමකාමී කාලය තුළ රට ආර්ථික පිම්මක් පනීවිය කියලා. යුද්ධය නිමාවුණ හැම රටකම එවැනි ආර්ථික පිබිදීමක් පසුව ඇතිවන සාමය තුළ දැක තිබෙනවා.

නමුත් ලංකාවේ ඒ තත්ත්වය ඇති කරගන්න බැරි වුණේ මහින්ද රාජපක්ෂ රෙජීමය ගෙන ගිය අන්තදූෂිත වංචාකාරී පාලනය තුළයි. ඔහුගේ කාලය තුළ කිසිදු මහා පරිමාණ ආයෝජනයක් දේශීය හෝ විදේශීය වශයෙන් සිදුවුණේ නැහැ. ඇත්ත වශයෙන් ම මහ බැංකු වාර්තා අනුව පසුගිය වසර පහේ ආයෝජන වසරින් වසර අඩු වී තිබෙනවා.

මහින්ද රාජපක්ෂ මහතා කළේ ආයෝජන නැති කොට රට තව තවත් විදේශවලට ණය කිරීම පමණයි. ඔහු යහමින් රට ණයකර කිසිදු ප්‍රතිඵලයක් ඉපැයීමක් නොලබන හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ වැනි දේට යෙදවීම පමණයි කළේ. එම ණය ගැනීම් නිසා අවසානයේ සිදුවුණේ රටේ ජනතාවට පැටවෙන බර තව තවත් වැඩිවීම පමණයි. නැව් නැති වරාය ගුවන් යානා නැති ගුවන් තොටුපොළ නඩත්තු කරන්නත් ඒ සඳහා ගත් ණය හා ණය පොලී ගෙවන්නත් සිදුවී තිබෙන්නේ මේ ර‍ටේ ජනතාවටයි.

ඔබ කියන විදියට ඇයි පසුගිය රජයට ආයෝජන ඇද ගන්න බැරි වුණේ?

නීතියක් ක්‍රියාත්මක නොවන රටකට අවනීතිය ක්‍රියාත්මක වන රටකට විදේශ ආයෝජකයන් මුදල් යොදවන්නේ නැහැ.‍

හිටපු අගවිනිසුරුවරිය අසාධාරණ ලෙස බලය පාවිච්චි කර ගෙදර ඇරිය හැටි ලෝකයම දැක්කා. නීතියේ පාලනයක් තිබුණේ නැහැ.

බලන්න 1977 බලයට පත්වුණ ජේ.ආර්. ජයවර්ධන රජය ආරම්භ කළ මහවැලි ව්‍යාපාරය ආරම්භ කරන්න ගිය අතිවිශාල මුදලින් සීයට 90 ක් ලැබුණේ විදේශ ආධාර විදියට සීයට 10 ක් පමණයි අපට හොයාගන්න සිදුවුණේ.

‍‍‍එදා කටුනායක, බියගම හා කොග්ගල පිහිටුවූ වෙළෙඳ කලාපවල කම්හල්වලට මුදල් යෙදුවේ ආණ්ඩුව නොව විදේශ ආයෝජකයන් ඇවිල්ලයි. ආණ්ඩුවට ඒ සඳහා මුදල් වැය වුණේ නැහැ. පසුගිය ආණ්ඩුව කාලේ ඒ ආපු ආයෝජකයොත් ඒව විකුණල දාල තමන්ගේ රටවලට ගියා‍.

එදා 77 එජාප රජයෙන් කුඹුරු අක්කර ලක්ෂ 5 ක් අස්වද්දන්න පියවර ගත්තා. මහ පරිමාණ විදුලිබලාගාර පහක් හැදුවා. මහ පොළ ව්‍යාපාරය ගම්උදා නිවාස සංවර්ධන ව්‍යාපාරය මේ සියල්ල කළා. ඒ ගැම්ම අඩුවීමක් දැක්කේ 83 කලබල නිසයි. නැතිනම් ඒ ගමන නවත්වන්න බැරිවෙනවා. එවැනි රැකියා ඇතිවන කිසි පරිවර්තනයක් මහින්ද රාජපක්ෂ රජය යටතේ මේ ර‍ෙට් සිදුවුණේ නැහැ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ ඡන්දයට ඉදිරිපත්වීම ගැන කියන්නේ කුමක්ද?

ඔහු අපට අභියෝගයක් නෙවෙයි. ඔහු මුළු බලය අතේ තියාගෙන කෝටි ගණන් මුදල් විසිකර කළ ඡන්දයකිනුත් පසුගිය ජනාධිපතිවරණයේදී ඔහුව පරදවා ගෙදර යවන්න අපට හැකිවුණා. ඔහුව කිසිසේත් පැරදවිය නොහැකි පුද්ගලයෙකු බව කියමින් රටේ ම මාධ්‍ය යොදා ගෙන රට පුරා බැනර් කටවුට් ගහල ගෙන ගිය ඡන්ද ව්‍යාපාරයකිනුත් ඔහුට දිනන්න බැරිවුණා. ඔහු දැන් පරාජිත හිටපු ජනාධිපතිවරයා‍ ලෙසයි මේ ඡන්දයට ඉදිරිපත් වෙන්නේ. ඔහුව මේ ඡන්දයෙන් දෙවන ව‍රටත් අපි පරදවනවා.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේදී ගත් ඡන්ද ලක්ෂ 58 ගැන කියන්නේ කුමක්ද?

ඒක අද ඔහු ලැබූ පරාජයෙන් අවම වශයෙන් සීයට 30 කින්වත් වැටිලා. වාෂ්ප වෙලා දියවෙලා ගිහිල්ලා. පැරදවිය නොහැකි නායකයෙක් ලෙස කළ ප්‍රචාරය නිසයි ඔහුට එවැනි ඡන්ද ප්‍රමාණයක් ලබාගන්න පුළුවන් වුණේ. ඔහු අද අවලංගු කාසියක් කල් ඉකුත් වූ භාණ්ඩයක් තත්ත්වයට පත්වෙලා. ඔහුට රටට ඉදිරි පරපුරට දෙන්න දෙයක් නැහැ.

හැබැයි. රටේ විශේෂයෙන්ම දකුණේ සිංහල ඡන්ද දායකයාගේ හැසිරීම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට නැඹුරුව තිබීම ප්‍රශ්නයක් නොවන බව කිව හැකි ද?

මෙහෙමයි මේ ඡන්ද ප්‍රමාණය ගත්තේ ඔහු නොසෙල්වෙන නායකයෙක් ලෙස. රටට පෙන්නලයි දැන් ඒ වාසිය ඔහුට නැහැ. ඔහුගේ පාලනය තුළ කළ වංචා අද එකින් එක හෙළිවෙලා අධිකරණ ක්‍රියා මාර්ග ගනිමින් තිබෙනවා.

රාජපක්ෂ පවුලේ අය විදේශ බැංකුවල ඩොලර් බිලියන ගණනින් තැන්පත් කළ බවට ආණ්ඩුව චෝදනා කළත් ඒ එකක්වත් මේ ආණ්ඩුවට ඔප්පු කළ නොහැකි බවට කෙරෙන මත දැක්වීම ගැන කියන්නේ කුමක්ද?

ඒ විදේශ බැංකුවලින් රජයක් තොරතුරු ඉල්ලූවිට දෙන්න බැරි බව ඒ බැංකු දන්වලා තිබෙනවා. නමුත් ඒ මුදල් තියන තැන් බැංකු අපි දන්නවා. ඔවුන් කියන්නේ අධිකරණ ක්‍රියාමාර්ගයකින් පසු අධිකරණයකින් ඉල්ලුවොත් පමණක් ඒ තොරතුරු දෙන්නම් කියලයි. දැන් ඒ ක්‍රියාමාර්ගයේ අපි ගමන් කරමින් සිටිනවා.

මේ මැතිවරණ ප්‍රතිඵලය අස්ථාවර ආණ්ඩුවකට මඟ පාදනු ඇතැයි ඇතමුන් දැනටම මත පළ කරමින් සිටිනවා. ඔබේ තක්සේරුව කුමක්ද?

‍අපේ සමීක්ෂණ අනුව ආසන 115 කට වැඩි සංඛ්‍යාවක් අත් කරගනිමින් ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට එජාපයට අවස්ථාව ලැබේවි. හැමදෙනාම පාලනයට සම්බන්ධ කරගෙන ආණ්ඩුව ගෙන යාමට අප පොරොන්දු වී තිබෙනවා.

අපේ මැතිවරණ ප්‍රකාශනයෙන් රට සංවර්ධනයට අප ගන්නා ක්‍රියාමාර්ග රටට හෙළි කරනවා. පසුගිය ආණ්ඩුව කළ ආකාරයට ණය ගැනීමෙන් පමණක් රටක් සංවර්ධනය කළ නොහැකියි. ඒ නිසා රට‍ට ආයෝජනය ඇද ගන්න අවශ්‍ය ප්‍රායෝගික ක්‍රියාමාර්ග අපි ගන්නවා. ආර්ථිකය හදන්න ගන්න පුළුවන්. හැම ක්‍රියාමාර්ගයක් ම ගනිමින් නූතන පරපුර ඉල්ලන දේ ලබා දෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අවුරුදු දහයක් ජනාධිපතිවෙලා ඉදලත් කරන්න බැරි වූ දේ දැන් ඔහුට කරන්න බැහැ. ඇත්තටම ඔහුට රටට දායාද කරන්න දෙයක් නැහැ.

හිටපු ජනාධිපතිවරයාට ඇතිවුණ ඉල්ලුම නිසයි ඔහුව ජනාධිපතිවරණයට වත්මන් ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන්න සිදුවු‍ණෙත්?

ඔහුට තිබෙන ඉල්ලුමේ ප්‍රමාණය අගෝස්තු 17 වැනිදා ලැබෙන ඡන්දයෙන් බලාගන්න පුළුවන් වේවි. ඔහු වටා සිටින පිරිස නැවත බලය ලබාගන්න නැති බලයක් පෙන්වන්න උත්සාහ කළත් ජනවාරි 8 ලැබූ පරාජය ම මේ ‍රටේ බහුතර ජනතාව අගෝස්තු 17 වැනිදාත් මේ පිරිසට ලබාදෙන බවට සැකයක් නැහැ. ඒක ඡන්දයේදී බලා ගන්න පුළුවන් වේවි.

යහපාලන ආණ්ඩුව පසුගිය මාස තුන හතර තුළ රටට අත්කර දුන් ජයග්‍රහණ ජනතාවට ලබාදුන් සහන ජනතාව මේ ඡන්දයේදී නිතැතින් ම සැලකිල්ලට ගන්නවා ඇති. ඒ නිසා එජාපය මේ ඡන්දයේදී ඉතාම වාසිගත තැනකයි ඉන්නේ.

මෙරට එකට එකතු කරන්න පුළුවන් රට සංවර්ධන මාවතේ ඉදිරියට ගෙනියන්න පුළුවන් එජාපයට පමණයි.

අපි මහනුවර දිස්ත්‍රික්කය ජනාධිපතිවරණයේදී ඡන්ද 88000 කින් ආසන 13 න් ආසන 11 ක් දිනුවත් මේ ඡන්දයේදී අපට ආසන 13 ම දිනන්න පුළුවන්.

silumina

 

Leave a comment

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us