යෝජනාව සම්මත කළේ දෙමළ ජනයාගෙ ගැටලුවට ඉතිහාසයක් ඇති බව කියන්න - විග්නේෂ්වරන්

Saturday, 28 February 2015 10:34

වර්ෂ 2001 - 2004 කාලයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස කටයුතු කළ සී. වී. විග්නේෂ්වරන් මහතා 2013 වසරේ පැවැති උතුරු පළාත් සභා මැතිවරණයෙන් එහි මහඇමැති ධූරයට පත්විය. දෙමළ ජනයාට සිදුවී ඇතැයි කියන අසාධාරණකම කියාපාන කරුණු ඇතුළත් විශේෂ යෝජනාවක් මහඇමැතිවරයාගේ මූලිකත්වයෙන් උතුරු පළාත් සභාව විසින් අනුමත කර ගන්නා ලදී. එම යෝජනාව නිසා උතුරු පළාත සම්බන්ධයෙන් රටේ පැවැති දේශපාලන අදහස් වඩාත් උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. මේ පිළිබඳව මහඇමැති විග්නේෂ්වරන් මහතාගෙන් කරුණු විමසන ලද සාකච්ඡාවකි මේ.

ජාතිවාදය අවුස්සන දේශපාලනඥයන් ගෙන් වෙනස් මැදහත් දෙමළ බුද්ධිමත් නායකයෙක් දේශපාලනයට ආවා ය කියන හැඟීමක් ඔබ උතුරු පළාතෙ මහ ඇමැතිවරයා වූ අවස්ථාවේදී රටේ ඇති වුණා. ඒ අදහස මුළුමනින්ම කණපිට හරවන්නට ඔබගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සම්මත කර ගත් යෝජනාව සමත් වූ බවයි පේන්නෙ. ලංකාවේ දෙමළ ජනතාව පැවැති ආණ්ඩු යටතේ දීර්ඝ කාලයක සිට සංහාරයට ලක් වූ බවත් ඒ සඳහා අන්තර්ජාතික පරීක්ෂණයක් අවශ්‍ය බවත් එකී යෝජනාවෙන් කියවෙනව. ඇයි එහෙම යෝජනාවක් ගෙනාවෙ? ජාතික සංහිඳියාවට මූලිකත්වය දෙන බවට රටට පොරොන්දුවක් දුන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වූ විගසම එහෙම යෝජනාවක් ගෙන එන්නට තිබුණු අවශ්‍යතාව කුමක් ද?

මුලින්ම කියන්න ඕනෙ මේ යෝජනාව හදිසියෙන් ඉදිරිපත් කළ යෝජනාවක් නොවන බව. මාස හය හතක ඉඳල ඔය යෝජනාව ඉදිරිපත් කිරීම ගැන පළාත් සභාවෙ සාකච්ඡාවක් වුණා. පළාත් සභාවෙ සෑම මන්ත්‍රීවරයෙක්ම මේ යෝජනාවට පක්ෂව තමයි කටයුතු කළේ. වෙන එකක් තබා සිංහල මන්ත්‍රීවරු පවා. හැම දෙනාගෙම එකඟතාවයෙන් අන්තිමට එය සම්මත වුණා.

දිගින් දිගටම දෙමළ ජනතාවට යම් අසාධාරණයක් වූ බවත් ජාතීන් අතර සංහිඳියාව ගොඩනඟාගෙන ඉදිරියට යාමට නම් පසුගිය කාලෙ සිද්ධ වුණේ මොනවා කියන දේ ගැන කාටත් අවබෝධයක් තිබිය යුතු බවත් එය රට ඇතුළෙ මෙන්ම සෙසු ලෝකයා ද දැන සිටිය යුතු බවත් කියා පෑම තමයි යෝජනාවේ මූලික හරය.

දෙමළ ජනතාවට සිද්ධ වෙච්ච අසාධාරණකම් ගැන පැහැදිළි බවක් නැතිනම් සංහිඳියාව වෙනුවෙන් ඉදිරියට යන්න අමාරුයි. රටට නිදහස ලැබුණ කාලෙ ඉඳලම සිද්ධ වෙච්ච දේ ගැන සිංහල ජනතාව දැනගත්තනම් ජාතික සමඟියට ඒ අවබෝධය පහසුවක් වේවි.

සංහිඳියාව වෙනුවෙන් කටයුතු කරන්න අලුත් ආණ්ඩුවට යම් කාලයක් දිය යුතුව තිබුණ නේද?


මේ යෝජනාව ගේන්න සති දෙකකට විතර කලින් අලුත් ආණ්ඩුවේ ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා උතුරට ඇවිත් කිව්ව හමුදා කඳවුරු උතුරෙන් ඉවත් කරන්නෙ නැහැ කියල. මේක දෙමළ ජනතාවට හුඟක් රිදෙන, දුක හිතෙන කතාවක්. මේ හමුදා කඳවුරු තමන්ගෙ සාමාන්‍ය ජන ජීවිතයට මහත් බාධකයක් විදියටයි දෙමළ ජනතාවට දැනෙන්නෙ. එය දිගු කාලයක් තිස්සේ හිත් පාරන ප්‍රශ්නයක්. හිතන්න දකුණෙ සිංහල ජනතාවට එහෙම බලපෑමක් ඇතිව දිගින් දිගට ජීවත් වෙන්න සිද්ධ වුණොත් වෙන පීඩනය. හමුදා කඳවුරු කතාවත් එක්ක සාමාන්‍ය ජනතාව අතර ඇති වුණු සැක සංකාව තමයි මේ යෝජනාව ඉක්මන් කරන්නට පළාත් සභාවෙ මන්ත්‍රීවරුන් පෙළඹුවේ.

දීර්ඝ කාලයක් ත්‍රස්තවාදී ක්‍රියාවලියක් තිබුණු පළාතක අවස්ථානුකූලව ස්ථානගත කළ හමුදා කඳවුරු ඉවත් කර ගැනීම වගකීමක් නැති පියවරක් විදියට තව පිරිසකට පේන්න පුළුවන්?

පළාතෙ ජනතා නියෝජිතයො හැටියට අපට වගකීමක් තියෙනව ජනතාවගේ දුක් ගැනවිලිවලට ඇහුම්කන් දෙන්න. තවමත් 150000 ක විතර හමුදාවක් උතුරේ රඳවා ඉන්නවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තය ජනාධිපති කරන්න ඡන්දය දීපු දෙමළ ජනතාව පළමුව බලාපොරොත්තු වුණේ කාලයක් තිස්සෙ තමුන් විඳින ඒ පීඩනයෙන් නිදහස් වෙන්න. හමුදා කඳවුරුවලට යට වෙලා තියෙන තමුන්ගෙ ඉඩකඩම් නිදහස් කර ගන්න. හේතුවක් නැතිව හෝ කිසිදු සඳහනක් නැතිව කඳවුරුවල රඳවා ගෙන ඉන්න තමුන්ගෙ ඥාතීන් නිදහස් කර ගන්න. මේව උතුරෙ සාමාන්‍ය ජන ජීවිතය අඩාළ කරන ලොකු ප්‍රශ්න.

අනෙක සාමාන්‍ය ජනයා දැක්ක පහුගිය කාලෙ වෙච්ච හරිය. පොලිස් නිලධාරීන් 600 ක් මරන්න මුල් වෙච්ච කරුණා අම්මාන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ලෙස පිදුම් ලබනව. ඔහුට එක් කලෙක වේලක් කන්න දීපු දුප්පතෙක් ත්‍රස්තවාදියා කියන චෝදනාවට කඳවුරක හිර කරනව.

මේ වාගෙ සිද්ධි දෙමළ සමාජයේ සාධාරණ තරහකට වේදනාවකට බලපාන්නෙ නැති ද කියා පොඩ්ඩක් හිතා බලන්න. මේ පසුබිම වෙනස් කර ගැනීමයි දෙමළ ජනතාව ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල මහත්තයට ඡන්දෙ දීල අලුත් ආණ්ඩුවක් පත් කළේ. එහෙත් නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිවරයගෙ කතාවෙන් පස්සෙ දෙමළ ජනතාවට වැටහුණේ පරණ විදියටම අලුත් ආණ්ඩුවත් කටයුතු කරනවා ය කියලයි. ඒ විදියට ඔවුන්ගේ බලාපොරොත්තු බිඳ වැටීමත් එක්කයි මේ යෝජනාව ඉක්මන් වෙන්නෙ.

කොටි ත්‍රස්තවාදය නිසා සිංහල ජනතාවත් සංහාරයට ලක් වුණා ය, නොයෙක් පීඩාවන්ට ලක් වුණා ය, කියා ‍ඔවැනි යෝජනා සම්මත කර ගන්න අනෙක් පළාත්වලටත් පුළුවන් නේද?

ඔව් මා එය පිළි ගන්නව. කොටි ත්‍රස්තවාදයෙන් දෙමළ ජනතාවට විතරක් නෙමෙයි සිංහල ජනතාවටත් අප්‍රමාණ පීඩා වගේම අසාධාරණ දේ වුණා. ඒ ගැන මට හොඳ අවබෝධයක් තියෙනව. ඔබ කියපු ආකාරයට සිංහල ජනතාව මා කෙරෙහි ඇතිකර ගත් අදහස පලුදු වෙන විදියේ කිසිම ජාතිවාදී පියවරකට නොයන තැනට මට ඒ අවබෝධය තියෙනව. මේ යෝජනාවේදී වුණත් එහෙම ජාතිවාදී පදනමකට නොගිය බවත් කියන්න ඕනෙ. මේ ප්‍රශ්නය ගැන සාධාරණ අවබෝධයක් මට ඇතැයි කියා කෙනෙක් තැබූ විශ්වාසය කඩ කරන්න මට වුවමනාවකුත් නැහැ.

හැබැයි අපි මෙතනින් ඉදිරියට ‍යන්න, කොටි ත්‍රස්තවාදය නිමකළාට පසුව කතා කරන ජාතීන් අතර සංහිඳියාවට අවශ්‍ය කරන පදනමක්, මේ යෝජනාව හරහා මතු කරනව. දෙමළ ජනතාව අසාධාරණයට ලක් වෙන්නෙ කොටි ත්‍රස්තවාදය එන්නත් කලින්. 1956 දී සිංහල පමණයි කීම, 1958 දී භික්ෂුන් වහන්සේලාගෙ බලපෑමට දෙමළ භාෂා විධිවිධාන පනත ඉරා දැමීම, 1971 දී ඇති කරන විශ්වවිද්‍යාල ප්‍රමිතිකරණය වැනි සන්ධිස්ථාන ගැන අපට අමතක කරන්න බැහැ. අපි හැමෝම මේව ගැන අවංක සංවාදයකට යමු.

එකඟතාවකට එමු. එක රටක් ඇතුළෙ එකිනෙකාගෙ අනන්‍යතාව රැක ගෙන සමඟියෙන් ඉදිරියට යන්න ඕන පදනම එවිටයි පෑදෙන්නෙ. අප ගෙනාවෙ ඒ සඳහා කවුරුත් උනන්දු කරවන මූලික කරුණු කෙරෙහි අවධානය යොමු කරන්න පොළඹවන යෝජනාවක්.

ඔබ මතු කරන්නට හදන ජාතික සමඟියට අවශ්‍ය අවබෝධය යටකරගෙන දේශපාලනයේදී උඩට ගන්නෙ ජාතිවාදී උසිගැන්වීම් බවට ලොකු ඉතිහාසයක් තියෙනව. එවැනි පසුබිමක ඒකීය රටක් ගැන ඇති බලාපොරොත්තුවටත් ඔවැනි යෝජනාවලින් රිදෙන්න පුළුවන්?

ඔබේ ප්‍රශ්නයේ කොටස් දෙකක් තියෙනව. එකක් තමයි ඒකීය රට. අනෙක තමයි දේශපාලනයේදී ජාතිවාදය මතු කිරීම.

දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳාගත යුත්තෙ ඒකීය ලංකාවක් ඇතුළේ ය කියන පදනමින් මම මොහොතකටවත් වෙනස් වෙන්නෙ නැහැ. උතුරේ මහ ඇමැති අපේක්ෂක විදියට මම ඡන්දෙ ඉල්ලුවෙත් අපේ ප්‍රශ්න හැම එකක්ම ඒකීය රටක් ඇතුළේ විසඳා ගනිමුයි කියන ස්ථාවරය ප්‍රකාශ කරමින්. අනෙක හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු හැටියට රටේ ඒකීය භාවය ආරක්ෂා කරන්නට ඕන බව හොඳින් දැන ගෙනයි දේශපාලනයේදී කතා කරන්නෙ, වැඩ කරන්නෙ. 133000 ක් යාපනේ ජනතාව මට ඡන්දෙ දුන්නෙ මම ප්‍රසිද්ධියේ කී ඒ කතා දැන ගෙනයි. ඒ මිස වෙනම රටක් ගැන බලාපොරොත්තුවකින් නෙමෙයි.

සිංහල ජනතාව අවබෝධයට ගන්න ඕනෙ එකම රටක් ඇතුළෙත් අපේ ජාතියට ආවේනික වෙනස්කම් තියෙනව. වෙනම භාෂාවක් තියෙනව. වෙනම ආගමක් තියෙනව. දේශගුණික වෙනස්කම් සහිත වෙනම පොළවක් තියෙනව. ඊට ආවේනිකවයි සාමාන්‍ය දෙමළ ජන ජීවිතය හැඩ ගැහෙන්නෙ. අන්න ඒ වෙනස්කම්වලට අදාළ ස්වාධීනත්වයක් හා ඊට ගැළපෙන බලයක් ඒකීය රට ඇතුළේම තිබිය යුතු බව අපි කවුරුත් වටහා ගන්න ඕනෙ. දෙවැනි කාරණය තමයි දේශපාලනයේදී ජාතිවාදය මතු කිරීම.

ඇත්තම කියනවනම් උතුරේ විතරක් නෙමෙයි දකුණෙත් දිගින් දිගටම සිද්ධ වෙන්නෙ මේක. බොරු දේශප්‍රේමයක් ගැන කතා කරමින් දෙපැත්තෙම ජනතාව උසිගන්වන දේශපාලනයකුත් ඇති බව මම පිළිගන්නව.

අපි කරන්න ඕනෙ ජනතාව ඒ දෙසට තල්ලු නොකර ඔවුන්ට ඇති සාධාරණ දුක්ගැනවිලි හා ප්‍රශ්න විසඳන්න අවංක උත්සාහයක් ගන්න එකයි. ආණ්ඩුව ඒ සඳහා මූලිකත්වය ගත යුතුයි. පළාත් සභාව ඒ සඳහා මූලිකත්වය ගත යුතුයි.

දෙමළ ජනතාවගේ ජාතිවාදී හැඟීම් අවුස්සමින් ඔබත් දේශපාලනව ප්‍රසිද්ධ වෙන්න මෙවැනි යෝජනාවක් ගෙනාවා ය කියා තව කෙනකුට කියන්න පුළුවන්?

මා නැවතත් කියන්නෙ මේ යෝජනාව ගේන්න හේතු වුණේ උතුරේ ජනතාව කෙරෙහි සිංහල ජනතාව අතරත් සෙසු ලෝකයේත් අවධානයක් ඇති කිරීමට.

උතුරු පළාත් සභාව කියන විටම දකුණට හැ‍ඟෙන්නේ එය වෙනම රටක් වෙනුවෙන් හදා ගත්ත පාරක් කියලයි. දෙමළ ජනතාවට වෙනම ස්වාධීන බලයක් ගැන කතා කරන විට ඒ සැකය තවත් ඉදිරියට යනව?

ඇත්තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නය අවිශ්වාසය. කොටි ත්‍රස්තවාදීන්ට රට බෙදන්න ඕන කියන වුවමනාව තිබුණ. ඒ නිසා උතුර දිහා බලල දකුණෙ සිංහලයන් රටේ ඒකීය භාවය ගැන බියක් ඇති කර ගැනීම සාධාරණයි. එහෙමයි කියල දෙමළ මිනිස්සු කොටි ත්‍රස්තවාදීන් හැටියට සලකන එක හරි ද? අප කරන මේ දේශපාලනයට කොටි ත්‍රස්තවාදයේ පදනම වැද්ද ගත්තෙ නැහැනෙ. දෙමළ ජන ජීවිතයේ ස්වාධීන බව ගැන අපි කතා කරන්නෙ ඒකීය රට ඇතුළේ බව දැන්වත් දකුණ අවබෝධ කර ගත යුතුයි. උතුර ගැන සැකයෙන් නොබැලිය යුතුයි. එවිටයි උතුරේ මිනිස්සුන්ටත් දකුණ ගැන පැහැදීමක් ඇති වෙන්නෙ. නැතිනම් මෙතනින් එහාට අපි යන්නෙ කොහොම ද?

හැබැයි එක් කරුණක් මෙතනදී කියන්න ඕනෙ. සිංහල හෝ වේවා දෙමළ හෝ වේවා සාමාන්‍ය මිනිස්සු අතර දරුණු සැක සංකාවක් නැහැ. අවස්ථාවාදී දේශපාලනඥයන් තමයි දෙපැත්තෙම මේ සැකය ඇති කරන්නෙ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම ධුරයට පත්වුණේ ඊළාම් ඡන්දවලින් බවටත් තමා උතුරට ඡන්ද අයිතිය නොදුන්නනම් මෙවරත් ජය ගන්නෙ තමා බවටත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශ උතුරට දැනෙන්නෙ කොහොම ද?

ජාතීන් අතර හොඳ හිත් හදා ගෙන එක රටක එක ගමනක් යන්න හදන අවස්ථාවට බරපතළ විදියට හානිකර ප්‍රකාශ විදියටයි ඒවා ගත යුත්තෙ. මුලින් කිව්වෙ උතුරේ ජනතාව කොටි ත්‍රස්තවාදීන් එක්ක ඉන්නව කියල. එහෙම කියල දකුණෙන් උතුර වෙන් කළා. දැන් සිංහල ජන නායකයකු බලයට පත් කරන්න ඡන්දෙ දුන්න කියල උතුරු ජනතාව වෙනම පැත්තකට දානව. මොකක්ද මේ විකාර වැඩේ.

අපි දෙමළ ජනතාවගේ අයිතිය වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කරනකොට ඒ ගැන උනන්දු වෙන සිංහල ජනතාවගෙන් මා ඉල්ලන්නෙ කරුණාකරල මේ කරන බෙදීම ගැනත් කල්පනා කරන්න. රටේ ඒකීය භාවයට හානි වෙන්නෙ දෙමළ ජනයාගේ සාධාරණ ප්‍රශ්න දිහා බලන්නැයි කියන විට ද, එහෙම නැතිනම් ජාතිවාදීව දකුණ උසිගන්වන මේ වාගේ පහත් කතාවලින් ද, කියා හෘද සාක්ෂියට එකඟව කල්පනා කරල බලන්න.

මේ කතාව වෙනත් දිසාවකට ගෙන යන්න කැමැතියි. වාසුදේව නානායක්කාර නමැති දේශපාලනඥයා ඔ‍බේ නෑදෑයෙක්. ඔබ කියන විදියට මහින්ද රාජපක්ෂ මහතා මේ වෙලාවෙ දකුණෙ ජාතිවාදය අවුස්සමින් ගෙන යන මේ ක්‍රියාදාමය ඔසවාගෙන යන එක් ප්‍රධාන චරිතයක් වී සිටින්නෙ වාසුදේව නානායක්කාර මහතා. වාසුදේව නානායක්කාර මහතා සිංහල ජාතිවාදය අවුස්සන අතරේ ඔහුගේ නෑදෑයා වූ ඔබ උතුරේ ජාතිවාදය අවුස්සනව කියා සමාජ වෙබ් අඩවිවල පළ වෙලා තිබුණා?

මා නැවතත් කියන්න ඕනෙ දෙමළ ජාතිවාදය අවුස්සන්න මොනම විදියකින්වත් මම දායකත්වයක් දෙන්නෙ නැහැ. ඊළඟට කියන්න ඕනෙ වාසුදේව මගේ දිගු කාලීන මිතුරෙක්. ඔහු නෑදෑයා වෙන්නෙ ඔහුගෙ දුව මගේ පුතා විවාහ කරගත්තට පස්සෙ. ඒ මිත්‍රකමත් නැදෑකමත් තවමත් එහෙමමයි. පවුලේ වුවමනාවකට මිස අපි වෙනත් වුවමනාවන් වෙනුවෙන් අඩු තරමින් මුණ ගැහෙනවා තබා කතාබහක්වත් නැහැ. අපි කවදාවත් රටේ දේශපාලනය ගැන කතා කරන්නෙ නැහැ. අපේ හමුවීම් හා කතාබහ යාළුකම හා නැදෑකම සමඟ පමණයි.

ලෝකෙ විවිධ ජාතීන් අතර, විවිධ ආගම් අතර ඒවායේ ඇති සංස්කෘතික අසම­ානකම් මූලික කරගෙන විශාල දේශපාලන හා සමාජ ගැටලු ඇතිවෙලා තියෙනව. ඇතිවෙනව. ලංකාවෙ සිංහල හා දෙමළ කියන ජාතීන් දෙක සංස්කෘතිකව ගත් කල හුඟක් සමානකම් ඇති ජාතීන් දෙකක් වෙලත් මේ තරම් බෙදීමකට ගියේ කොහොම ද? එවැනි බෙදීමකට යා යුතු ද?

දේශපාලන වුවමනාවන් වෙනුවෙන් මේ ජාතීන් දෙක දිගින් දිගටම බෙදල තියෙනව. මා හිතන්නෙ තව දුරටත් එහෙම විය යුතු නැහැ. මම දේශපාලනය කරන්නෙ පසුගිය සිදුවීම් දෙපැත්තම අවබෝධ කර ගත යුතුයි, ඉදිරියට ඒ බෙදීම ගෙන නොයා යුතුයි කියන ස්ථාවරයේ සිටිමිනුයි. අතීත සිදුවීම හෙවත් අතීතය හරියටම දන්නෙ නැතිනම් අනාගතය නිවැරැදි කර ගැනීම දුෂ්කරයි.

මට දැන් වයස 75 යි. මගේ පොඩි කාලෙ ඉඳල ජීවිතේ වැඩි හරියක් මම ගත කළේ සිංහල ජනතාව සමඟ. තාත්තගෙ රැකියාව හින්ද මම රට පුරාම ජීවත් වෙලා තියෙනව. එයින් මා අවබෝධ කර ගත් දේ තමයි සාමාන්‍ය සිංහල මිනිස්සු අතරෙ ආයෙ හදන්න බැරි තරමේ කිසිම බෙදීමක් නැහැ. දෙමළ මිනිස්සු අතරත් එහෙමයි. සිංහල මිනිස්සු දෙමළ සින්දු අහනව. දෙමළ චිත්‍රපට බලනව. ගාමිණී ෆොන්සේකගෙ විජය කුමාරතුංගගෙ සිංහල චිත්‍රපටවලට වහ වැටුණු ජනතාවක් තමයි උතුරෙ හිටියෙ. එයිනුත් පේන්නෙ සංස්කෘතිකව අප අතරෙ අමුතු බෙදීමක් නොතිබණු බව.

වත්මන් තරුණ පරපුර මේ ගැන දන්නෙ නැහැ. මේ බැඳීම ගැන ඔවුන්ට අවබෝධයක් නැහැ. ඔවුන් තම ජිවිත කාලෙම දැක්කෙ යුද්ධය. ඔළුවට වැටුණෙ සිංහලයින් තමන්ට අසාධාරණයක් කරනවා ය කියන අදහස්. දකුණෙ අලුත් පරපුර වුණත් පහුගිය දේවල් අද දන්නෙ නැහැ. ඔවුන් වුණත් හිතන්නෙ මොනව ද දෙමළ ජනතාවට වෙච්ච අසාධාරණේ කියල. ඉතින් අද අපේ වගකීම මෙන්න මේ දුරස් වීම ළං කිරීම.

ජාතීන් අතර සංහිඳියාවට අවස්ථාවාදී දේශපාලනය හරස් වෙනව වගේම ඉන්දියාවෙ දේශපාලන භූමිකාවත් ඊට බලපානව නේද? විශේෂයෙන්ම දකුණු ඉන්දියාව කරන බලපෑම?

රටක් තව රටකට බලපෑම් කිරීම ලෝක දේශපාලනයේ හැටියක් මිස අමුතු දෙයක් නෙමෙයි. රටක් විදියට අපි කරන්න ඕනෙ එවැනි දේට ආයුධ නොදෙන එකයි. යුද්දෙ වෙලාවෙ ලක්ෂ දෙකක් පමණ දෙමළ ජනතාව දකුණු ඉන්දියාවට පැනල ගියා. එහෙට ගිය මිනිස්සු යුද්දෙදි තම සහෝදර ජනතාවට සිද්ධ වූ දේවල් කියන්න පටන් ගත්ත.

එයින් දකුණු ඉන්දියාවෙ ජනතාවට හැඟීමක් ඇති වුණා, සිංහල මිනිස්සු දෙමළ මිනිස්සුන්ට මොනම ඉඩක්වත් දෙන්නෙ නැහැ කියල. දැන් එතකොට එතනදි කාටත් විරුද්ධ විය නොහැකි මානුෂීය ප්‍රශ්නයක් මතු වෙනව. කතාව එතනින් නතර වෙන්නෙ නැහැ.

ඒ පණිවිඩය ඉන්දියාව පුරා යනව. එතනින් ලෝකෙටත් යනව. ජිනීවා දක්වාම ගියා. දිගින් දිගටම වුණේ එහෙමයි. මේ විදියට රටේ ප්‍රශ්න එළියට ගියාම ඊට මැදිහත් වෙන්නෙ, එවැනි දේ තම තමන්ගෙ වාසියට හරව ගන්න වැඩ කරන රටවල් හෝ දේශපාලන බලවේග ලෝකෙ කවදත් ජීවමානයි.

දැන් බලන්න ජිනීවා මානව හිමිකම් සමුළුවට මාර්තුවේ ගෙන එන්න තිබුණු යෝජනාව ලබන සැප්තැම්බර් දක්වා කල් දැම්ම. ඒ ජාත්‍යන්තර දේශපාලනය හැසිරෙන විදිය.

එහෙත් ඒ වැඩේට උතුරේ දෙමළ ජනතාව කැමැති නැහැ. තමුන්ට වූ අසාධාරණය ගැන කතා කරන එක කල් දැමුවා ය කියන හැඟීමයි උතුරේ ජනතාව අතර තියෙන්නෙ. මේ කල් දැමීමෙන් කිසිම සෙතක් උතුරේ ජනතාවට නැති වෙන්න පුළුවන්. එහෙත් ලෝකෙ තවත් රටක් තමුන්ගෙ අන්තර්ජාතික දේශපාලනයට මෙය වාසියක් විදියට දකින්න පුළුවන්. ඒකයි ලෝකෙ හැටි.

ආණ්ඩුව තියෙන්නෙ එවැනි දෙයින් රටට වෙන ප්‍රශ්නය වළක්වාගෙන ප්‍රශ්නය රටින් එළියට නොයන විදියට සාධාරණයක් කරන්න. ඒකයි මම කියන්නෙ ජාතික සංහිඳියාව ඇති කරන්න මූලික වෙන්න ඕනෙ ආණ්ඩුව.

silumina

Last modified on Saturday, 28 February 2015 10:37

Leave a comment

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us