කවුද මේ වික්ටෝරියා කියන්නෙ?
'ආදරණිය වික්ටෝරියා' පොතේ වික්ටෝරියා කියල චරිත දෙකක් තියනවා. එක්කෙනෙක් අන්දිරිස් නමැති පොතේ ප්‍රධාන චරිතයේ දියණිය. අනිත් කෙනා 1837 සිට 1901 දක්වා එංගලන්තයේ මහා රැජින ලෙස සිටි වික්ටෝරිය රැජින. මේ චරිත දෙකෙන් ආදරණිය වික්ටෝරිය කවුද කියල පොත බලන අයට තීරණය කරන්න පුළුවන්.
'පානදුරාවාදය' ඔබ මේ පොතේ ඍජූ ලෙස ප්‍රශ්න කරනවා. ඔබ කියන විදියට පානදුරවාදයට එදා සහයෝගය දුන්නෙ ඔය කියන විදියට අරක්කු රේන්ද ව්‍යාපාරයේ සිටි ධනපතියන්ද?
පැහැදිලිවම ඔව්. සමහරු ඒ ගැන විවෘතව කතා බහ කරන්න බය උනාට ඉතිහාසයේ ඒ පිළිබඳ ව පැහැදිලි සාක්ෂි තියනවා නම් ඇයි අපි බයවෙන්නේ ඒ ගැන කතා කරන්න.
ඔබේ කතාව පටන් ගන්නේ මුල්ම දුම්රිය කොළඹ සිට මහනුවරට ගිය ඓතිහාසික සිද්ධියෙන්. එකට විශේෂ හේතුවක් තියනවද?
ඔව් අරක්කු බීම රටපුරා පැතිරෙන්න බලපාපු ප්‍රධාන කරණා දෙක තමයි මේ දුම්රිය ගමනාගමනය ආරම්භ වීම සහ තේ වගාව හඳුන්වා දීම. මේ මහා පරිමාණ ව්‍යාපෘති දෙකේම වැඩ කල කම්කරුවන් තර මුදල් සංසරණය වෙන්න පටන් ගන්නවා. ඒ හම්බ කරගත් සබ්බ සකලමනාවම ඔවුන් එදා පුජා කලේ තැබෑරුම් වලට ගිහින් අරක්කු බොන්න.
1860 දශකයේ මුල්ම දුම්රිය ඔබ හඳුන්වා දෙන්නේ 'දුම් කරත්ත' කියල. ඒ විදියටද එදා මිනිසුන් එය හඳුන්වා දෙන්නෙ?
ඔව් එදා ලාංකිකයන් ඕනෑම ගමනකට පාවිච්චි කළේ කරත්ත. බක්කි කරත්ත, ගොන් කරත්ත, අස්ස කරත්ත විදියට ඒවා හැඳින්වුවා. ඒ නිසා ගමනාගමනයට එකම විකල්පය මේ කරත්ත පමණයි. ඒ නිසා මේ කෝච්චියත් ඔවුන් දැක්කේ දිග කරත්තයක් විදියට. ඒකට හේතුව වුණේ ඒක ඔවුන්ට අර්ථ දක්වන්න බැරි ගල් අඟුරු වලින් ගමන් කිරීම සහ ඒකෙන් 'දුම්' පිටවීම. ඒ නිසා තමයි ඔවුන් කෝච්චියට 'දුම් කරත්තය' කියල නම් කළේ.
'ආදරණිය වික්ටෝරියා ' තුලින් ඔබ කියන විදියට ලංකාවේ මුල්ම ධනපතියන් එකතු වෙන්නෙ අරක්කු රේන්ද ව්‍යාපාරය හරහා. එය සත්‍යක්ද?
ඔව් ඒ විතරක් නෙමෙයි. ඒ ධනපතියන්ගේ ක්‍රියාකාරිත්වය සහ අද ධනපතියන්ගේ ක්‍රියාකාරිත්වය අතර පුදුමාකාර සමාන කමක් තියනවා. ඒ අර්ථයෙන් මම කියන්න උත්සාහ කරන්නෙ වර්තමාන ධනපතියන්ගේ සැබෑ වර්තමාන කතාව.
ඔබ ඔය කියන්නේ ඔබ ඉතිහාසය ගැන ලියන නවකතාකරුවෙක් නෙමෙයි කියලද?
ඇත්තටම ඔව්. ඉතිහාසය කියන්නෙ මට කියන්න හදන දේට මං පාවිච්චි කරන Backdrop එකක්. තවත් අර්ථයකින් කිව්වොත් මං කියන වර්තමාන කතාවේ fantasy එකක්.
මාගම් සෝලිය , ලෝවීනා, වගේම ආදරණිය වික්ටෝරියා ලියන්නත් ඔබ යම් ගවේෂණයක් කරලා තියෙන බව පේනවා?
ඔබට එවැන්නක් දැනෙනවානම් මට සන්තෝෂයි.
ඔබේ මුල් නවකතා තුලදී වගේම මේ මේ තුලත් ඉතිහාසයේ සිටි සැබෑ චරිත ඔබ ඍජූ ලෙස පාවිච්චි කරනවා. උදාහරණයක් විදියට ජෙරමියෙස් දියෙස්, චාල්ස් ද සොයිසා , අනගාරික ධර්මපාල, මහමුදලි බණ්ඩාරනායක, එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක වැනි චරිත . අයි ඔබ ඒ චරිත ඍජූ ලෙස භාවිත කරන්නෙ?
නවකතාව කියන්නේ සත්‍ය හා කල්පිතය අතර දෝලනය වන දෙයක්. ඒ නිසා මම මට අවැසි විදියට සත්‍ය හා කල්පිතය මම මගේ නවකතා තුල පාවිච්චි කරනවා. අනගාරික ධර්මපාල හරහා මතුවන බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය ගැනත් ඔබ මේ තුලින් කතා කරන්න උත්සාහ කරලා තියනවා. ඒ ගැන මට වෙනම විවේචනයක් තියෙන්නේ... 'ආදරණිය වික්ටෝරියා' තුලින් ඔබට එය බාගවිට අල්ලාගන්න පුළුවන් වේවි.
ඉන්ද්‍රජාලික යථාර්ථවාදී රීතිය යම් තරමකට මේ පොතෙත් දක්නට ලැබෙනවා. ඔබ එය ඔබේ අනන්‍යතාවය විදියටද පාවිච්චි කරන්නෙ?
එක නම් මට කියන්න තේරෙන්නෙ නැහැ. හැබැයි අපේ ජාතක පොත , සද්ධර්ම රත්නාවලිය හරියට කියවලා තියෙන අයට මේ භාවිතාව අගන්තුකයි කියල මට හිතෙන්නේ නැහැ. අනෙක් අතට පවතින යථාර්ථය සුක්ෂමව තේරුම් ගන්න පුළුවන් හැකියාවක් මේ ඉන්ද්‍රජාලික භාවිතාවේ තියන බව මම විශ්වාස කරනවා. ඒ අනුව එය මට හුදු ඉන්ද්‍රජලිකයක් නොව පවතින යථාර්ථයයි.
එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායකගේ පියා මහමුදලි බණ්ඩාරනායක ඉංග්‍රීසින්ට බරපතල ලෙස ගැතිකම් කළ පුද්ගලයෙකු ලෙස ඔබ ඔබේ පොතේ හඳුන්වා තිබෙනවා නේද?
සැබෑ සත්‍ය එය නම් එය කතා කිරීමේ වැරැද්ද මොකක්ද කියල මට තේරෙන්නේ නෑ. අනෙක් අතට 1948 අප ලැබූ 'නිදහස', නිකම්ම නිකම් හතරක් උනේ මේ ඉංග්‍රීසින්ට විරුද්ධව ගැතිකම් කළ කළු සුද්දන් නිසා.
මහා මුදලි බණ්ඩාරනායක සිට ඩී එස් සේනානායක, එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක අද බොහෝ දේශපාලනඥයන් ක්‍රියා කළේ දේශීයත්වය ගැන පෙනී සිටින බවට බොරුවට පෙන්නමින් බටහිරට ගැතිකම් කරමින්. ශ්‍රී ලාංකීය දේශපාලනය අද පවා මේ තරම් මස්තබාල්දු වී තිබෙන්නේ මේ පුර්වාදර්ශය නිසා.
ආදරණිය වික්ටෝරියා තුලින් ඔබ යම් තරමකට ලිංගිකත්වය භාවිතා කරලා තියනවා.
ඔබ ඔබේ ජීවිතයෙන් ලිංගිකත්වය සහමුලින් ඉවත් කල දාට මට දැනුම් දීමක් කරන්න. අන්න එදා සිට සහතික ලෙසම මම මගේ පොත්වල ලිංගිකත්වය ලිවීම නතර කර දානවා.