එතැන් සිට ලංකාව නම් දූපතේ මාධ්‍යය භාවිතාව කුමනාකාරද යන්න වටහා ගන්නා (2007) තුරු ඔහු රැකියාවෙහි නිරත වූයේ උපාලි පුවත්පත් ආයතනයේ ය. අද මාධ්‍යය ක්ෂේත්‍රයෙන් ඉවත් වී සිටින ලක්ෂ්මන් මාධ්‍යවේදියකු මතු නොව ග්‍රන්ථ කතුවරයකු ද වේ. ''වැවේ බැන්ද හෝටලය" (විමර්ශන), ''වැසුණු මංපෙත්"(දේශපාලන), ''විශ්මිත විශ්වය මැදින්" (විමර්ශන),''සැහැල්ලුවේ ගෙනාවා" (කාව්‍යය), ''නිවෙන මිහිර" (කාව්‍යය) සහ ''වැදිය බොරව" නවකතාව ඔහුගේ සාහිත්‍යය නිර්මාණ වේ.
මේ ප්‍රවීණ මාධ්‍යයවේදී ලක්ෂ්මන් පියසේනගේ නවතම කෘතිය "දන්න කතාවක්" නම් වේ. මෙම කෘතිය ජනගතකිරීමේ උළෙල එළඹෙන සැප්තැම්බර් 02 වන දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ කොමිටි ඩී ශාලාවේ දී පැවැත්වේ.
මතු දැක්වෙන්නේ මෙම සාහිත්‍යය කර්තවය නිමිතිකොට ගෙන ඔහු සමඟ පැවැත්වූ සාකච්ඡාවේ සාරය යි.
"දන්න කතාවක්" ලියන්නෙ ඇයි සහ එබඳු කෘතියක් ලිවිමෙන් මොනවද බලාපොරොත්තු වුණේ?
මම ලොකු දෙයක් බලාපොරොත්තු වුණෙත් නැහැ. වෙන්නෙත් නැහැ. නමුත් මාධ්‍යයවේදියෙක් විදියට තවදුරටත් කටයුතු කරන්න බැහැ කියල දැනෙනවනෙ. ඒ නිසා මම එතනින් එළියට එනව. එතැන් සිට මගේ මාධ්‍යය කැමරාව පෙරහැරට පිටින් ඉඳගෙන බලන්න උත්සාහ කරනව. එතකොට මට පේනව මේ ගමන ඉතාම ඛේදවාචකයක් කියල. අපේ රටේ ගමන් මග 2005 එක තැක ඇනහිටිනව. හැබැයි ඒකෙ ආරම්භය සිද්ධවෙන්නෙ හුඟක් ඇත අතීතයේ දී.
උදාහරණයක් විදියට කියනව නම් අපි සිංහල මාධ්‍යය ආරම්භ කරන්නෙ (සරසවි සඳරැස, සිංහල බෞද්ධයා) අනගාරික ධර්මපාලතුමාගෙ ප්‍රවාහයත් සමග. අන්න ඒ යුගයේ සිට ම මාධ්‍යයට මගහරුණ එහෙමත් නැත්නම් හිතාමතාම මගහැරපු දෙයක් තියෙනවා. මම යම් කාලවකවානුවක හිතට දැනෙන සුන්දර දේවල් ලිව්ව. නමුත් මාධ්‍යයවේදියෙක් විදියට කටයුතු කරන කාලයේ ඒ දේවල් නොකර ඉන්නව හෝ එපා වෙනවා. ඒක යම් හිස්තැනක් නිර්මාණය කරනවා. මම ඒ හිස්තැන පිළිබඳව හිතනවා. මෙන්න මෙතනදි මට දකින්න ලැබෙනවා සමස්ත ලංකාවෙම මාධ්‍යය ඇතුළෙ විශාල හිඩසක් තිබෙන බව. මොකක්ද ඒ හිඩස...?
අපේ බෞද්ධ සංස්කෘතියට අනුව 'පහන් සංවේගය’ කියල එකක් තියෙනවනෙ... අන්න ඒක නැතිකරපු එක තමයි මේ හිඩස. මම ඒකට වචනයක් නිර්මාණය කරනව 'හිතේ මිහිර’ කියල. ඒක 'අධ්‍යාත්මික’ කියල භාවිතා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් 'ආදරය’ කියල කියන්නත් පුළුවන්. මොනව හෝ සුන්දර චමත්කාරයක් හිත්වල මැවෙනව නම් අන්න ඒකට තමයි මම 'හිතේ මිහිර’ කියන්නෙ. මේක 'හිතක සංහිඳියාව’ කියල කියන්නත් පුළුවන්.
2009 යුද්ධය අවසන් කළා කියල කිව්වට එදාට වඩා සමාජයේ පිරිහීමක්, ඇදවැටීමක් අද සමාජයේ දකින්න ලැබෙනවා. ඒකට බලපාන ප්‍රධාන කාරණය තමයි 'සංහිඳියාව’ නැතිවීම. විශේෂයෙන් ම 'ජාතික සංහිඳියාව’ මේක අපිට අවශ්‍යය ම වෙලා තිබුණ දෙයක්. දිවයින මොනතරම් සිංහල බෞද්ධ සංකල්පය මත කටයුතු කළත් ඔවුන් පවා මේ 'ජාතික සංහිඳියාව’ කියන දේ අමතක කළා. මෙන්න මේ 'ජාතික සංහිඳියාව’ ඇතිවෙන්න නම්, එකිනෙකාට ගෞරව කිරිමේ ගුණය වර්ධනය වෙන්න නම් පළමුවෙන් ම අපේ හිත්වල සංහිඳියාව ඇතිවෙන්න ඕන. මෙන්න මේ කියන සංහිඳියාවට අනගාරික ධර්මපාල යුගයේ සිට ම ඉඩක් ලැබුණෙ නැහැ.
මේ දේශපාලන පෙරළියේ ආරම්භය ඇත්තට ම 2005 ත් නෙවයි. එහි ආරම්භය 1994. 1994 විවෘත ආර්ථිකයට මාණුෂීය මුහුණුවරක් දෙන්න කියල බලය ඉල්ලගත්තු රජය බාර් ලයිසන් දෙනව වගේ විද්‍යුත් මාධ්‍යය සඳහා දොරටු විවර කරනවා. මේ මොහොතෙ එතෙක් බොහොම කුඩාවට හරි තිබුණ හිතේ මිහිරත් ඔවුන් ග්‍රහණය කර ගන්නවා. ඒ නිසා මට හිතුණ මේ ව්‍යසනය මගේ අත්දැකීම් ඇසුරෙන් සමාජයට මුදාහරින්න ඕන කියල. ඒකට තමයි මම "දන්න කතාවක්" ලියන්නෙ. ඒක මහ විශාල බලාපොරොත්තුවකට වඩා මගේ හිතේ පැසවමින් තිබුණ සිතුවිලි වමාරන්න තිබුණ වුවමනාවක්.
ඔබගේ කෘතිය ආරම්භයේ සිට අවසානය දක්වා ම "නිදහස් අධ්‍යාපනය" පිළිබඳ දැඩි විවේචනාත්මක අදහස් දැක්විමක් අන්තර්ගතයි. නමුත් ඒ සඳහා විකල්පය කුමක්ද යන්න ඔබ ඉඟියක් හෝ සපයන්නෙ නැහැ. මොකක් ද මේ පරස්පරය...?
එතන පරස්පරයක් නැහැ. මට ඒ සඳහා විකල්පයක් ඉදිරිපත් කරන්න බැහැ. මේ ප්‍රශ්නය ගැන කියවල සමාජයේ ඒ පිළිබඳ කතිකාවතක් නිර්මාණය විය යුතුයි. නමුත් මේ කෘතිය පුරා ම නිදහස් අධ්‍යාපනය තුළින් කිසිඳු ප්‍රයෝජනයක් වුණේ නැහැ කියනව වගේ ම ඒකට විකල්පය අපේ ඉතිහාස සංඥාව අනුව හිතේ මිහිර ඇතිවන අධ්‍යාපන ක්‍රියාවලියක් කරා ගමන් කළ යුතුයි කියල සඳහන් වෙනවා. ඒක විකල්පයක් ද නැද්ද කියන දේ මට පැහැදිලි කරන්න බැහැ.
ඔබ හිතන්නෙ නිදහස් අධයාපනයෙන් නොලැබුණ "හිතේ මිහිර' අධ්‍යාපනය පුද්ගලීකරණය කළොත් ලැබේවි කියල ද?
නෑ... නෑ... මම කොහොමටවත් එහෙම හිතන්නෙ නැහැ. මම අදහස් කළේ අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න කියන එක නෙවෙයි. කන්නන්ගර මහත්මය මේ සිතුවිල්ල පැළ කරන්නෙ නිදහස ලබන්නටත් පෙරාතුවනෙ. එහි දී ඔහු මෙය දකින්නෙ පුද්ගලිකව අධ්‍යාපනය දෙනව ද එහෙම නැත්නම් රජයෙන් අධ්‍යාපනය දෙනව ද කියන කාරණයට වඩා 'අධ්‍යාපනය රටේ හැම පුරවැසියකුට ම සමව ලබාදීම රජයේ වගකීමක්’ කියන සංකල්පය මත. ඒක මතුවෙන්නෙ එතුමාගේ ඉතිහාසයෙන්. ඒක එයාගෙ අත්දැකිමක්. එයා රිච්මන්ඩ් එකට ගියාට පස්සෙ එහි අධ්‍යාපන ආකෘතිය දකිනවා.
ඒ මොහොතේ පැවති ඉංග්‍රිසි පාසල් අධ්‍යාපන ආකෘතිය අපි මොන විදියට විවේචනය කළත් එහි සාධනීය පාර්ශවක් තිබුණා. ඒ ක්‍රියාවලියෙදි මිනිසුන්නේ මනස විවෘතවිමේ ඉඩ-කඩ ඇහිරුවෙ නැහැ. ඒකට ඉඩ සැලසුවා. අපේ සිතුවිලි මුදාහරින්න ඉඩ පහසුකම් සැලසුවා. කන්න්ගර මහත්මයට අවශ්‍යය වෙන්නෙ ගමේ මුළුගැන්විලා ඉන්න හැමෝට ම මේ අවස්ථාව උදා කරල දෙන්න; ඒකට මාවතක් විවෘත කරන්න තමයි ඔහු උත්සාහ කරන්නෙ. විකල්පයක් නොකිව්වත් මම යෝජනා කරන්නෙ කන්නන්ගර මහත්මය පාදා දුන්න මාවතේ අපි ගමන් කළ යුත්තේ කොතැනට ද කියන එක අපිට මගහැරීම යි. ඒ හැරෙන්න නිදහස් අධ්‍යාපනයට විකල්පය අධ්‍යාපනය පෞද්ගලීකරණය කියල මම කිසිසේත් යෝජනා කරන්නෙත් නැහැ. බලාපොරොත්තු වෙන්නෙත් නැහැ.
නමුත් ඒ වැරැද්දට වගකිව යුත්තේ කන්නන්ගර මහත්මයා නොවෙයි නේද?
ඔව්... ඒ සඳහා කන්නන්ගර මහත්මය වගකිව යුතු නැහැ. මම එහෙම චෝදනා කරන්නෙත් නැහැ.
නමුත් කෘතිය කියවගෙන යනවිට එබඳු හැඟීමක් දැනෙනවා. ඔබ පවසනව නම් එහෙම නොවෙයි කියල අපි ඒ ප්‍රශ්නය අත්හරිමු. නමුත් ඔබ කෘතියේ බොහෝ අවස්ථාවලදි ඩි. එස්. සේනානායක බොහොම ඉහළ ස්ථානයක තියල කතා කරනවා. නමුත් අපි කියවපු ඉතිහාසයේ සඳහන් වෙන්නෙ නිදහස් අධ්‍යාපනයට ඩි. එස්. සේනානායක විරුද්ධ වුණ බව...
හරියට හරි... නමුත් මේ පිළිබිඹු වෙන්නෙ ලංකාවෙ මාධ්‍යය හැසිරෙන විදිය. ඔය වගේම තමයි "සාහිත්‍යය කන්ඩද" කියල ජේ. ආර්. ඇහුව කියන එකත්. මගේ කෘතියේ ඔය කාරණා දෙක ම සදහන් කළේ ඒකයි. ඩී. එස්. නිදහස් අධ්‍යාපනයට විරුද්ධ වුණාය කියන මතවාදය ඇත්තට ම අපිට එන්නෙ මාධ්‍යය හරහා. ජේ. ආර්ගෙ කතාවත් ඩි. එස්ගෙ කතාවත් ඉරි ගහල මේ දෙන්න මෙහෙම කිව්ව කියල කොතනකවත් නැහැ. නමුත් ඩි. එස්. කියල තියනව ලු "කන්නන්ගර ඕකට ඉක්මන් වෙන්න ඕන නැහැ" කියල.
නමුත් එවකට ඩී. එස්ගෙ දේශපාලනය විරුද්ධ වමේ දේශපාලනය මේක අර්ථ ගැන්නුවෙ ඩි. එස් ගමේ අය ඉගෙනගන්නවට විරුද්ධ වෙනව කියල. මෙන්න මෙතනදි තමයි ඩී. එස් නිදහස් අධ්‍යාපනයට විරුද්ධ වෙනව කියන මතය ගොඩනැගෙන්නෙ. හොඳයි... අපි ඒක එහෙමයි කියල මොහොතකට හිතල අපි බලන්න ඕන ඩී. එස්. ඇත්තට ම මොනවද කළේ කියල. ඔහු කළ වැඩ කොටස දිහා ආපහු හැරිල බැලුවොත් මොන ම විදියකටවත් හිතන්න බැහැ ඩී. එස්. විරුද්ධ වෙන්නෙ ගමේ ළමය ඉගෙනගන්න එකට කියල. මම මේ කෘතියෙ ඉදිරිපත් කරන්නෙ ඒකයි. මම අදත් විශ්වාස කරනවා මේක මාධ්‍යය නිර්මාණයක් කියල. ලංකාවෙ මාධ්‍යය හැමදාම ගමන් කරල තියෙන්නෙ එවැනි මාවතක කියල කියන්නයි මට අවශ්‍යය වුණේ.
ඔබ කියන්නෙ ඩි. එස්. සේනානායක නිදහස් අධයාපනයට විරුද්ධ වුණා කියල කොතැනකවත් ලිඛිතව හෝ වාචිකව නිල වශයෙන් සඳහන් වෙලා නැහැ කියල ද?
ඍජුව විරුද්ධ වුණා කියල කිසිම තැනක සඳහන් වෙලා නැහැ. නමුත් ඇත්තට ම මේ වැඩේ හෙමින් කරමු කියල කන්නන්ගරට යෝජනා කරපු බව පොතපතෙහි සඳහන් වෙනවා. මේ පනත ගේන විට පවා ඩි. එස්. පැත්තක ඉඳන් බලා හිටිය මිසක් උදව් කළේ නැහැ. ඒක තමයි ඩී. එස්. විරුද්ධ වුණා කියල සමාජයට එන්නෙ. නමුත් ඩි. එස්. එහෙම කළේ ගමේ ළමයි ඉගෙනගන්නවට විරුද්ධව ම ද කියල කියන්න තරම් සාක්ෂි නැහැ. මට මෙහෙම දෙයක් හිතෙනවා... නිදහස් අධයාපනය කියන්නෙ හොඳ කාපට් අතුරපු පාරක්. නමුත් අපිට දකින්න ලැබෙන්නෙ බිත්තියට හේත්තුවෙලා යන වැරදි ගමනක්නෙ. මේක තේරුම් ගන්න මේ නිදහස් අධ්‍යාපනයෙන් බිහි වුණ කාටවත් බැහැනෙ. නමුත් මම ඒකෙන් අදහස් කරන්නෙ නැහැ පුද්ගලික අධ්‍යාපනය ලබපු අයට මේක තේරුණා කියල. එවැනි අය ඉන්නෙ තමන්ගෙ ම හිත තමන් අවදි කරගත් පිරිස අතරෙ විතරයි.
ඔබ ඔය කියන දේ සිද්ධවෙන්නෙ ධනේශ්වරයේ බලපෑම, කඩාවැදීම නිසා කියල මම යෝජනා කළොත්...? මොකද අද සිදුවන සියලු නොපනත්කම් නොදැක්කා සේ නොඇසුණා සේ ඉන්න පුරුදු කරල තියෙන්නෙ මේ ක්‍රමයනෙ. ඔබ ඔය කියන පිරිස බිහි නොවෙන්නෙත් ඒ ක්‍රමය හේතු කොට ගෙන ම නොවෙයි ද...?
ඔබ කියන දේ හරි. අධ්‍යාපනය කියන කාරණය මට දැනුණ තැනින් තමයි මම මේක සාකච්ඡා කරන්නෙ. මෙහි ප්‍රධාන සාධකය දේශපාලනය ම තමයි. අධ්‍යාපන ක්‍රමය දිගහැරෙන්නෙත් ඔය දේශපාලනයේ ම කොටසක් විදියට. නමුත් ඩි. එස්ලගෙ ක්‍රමවේදයක් තිබුණනෙ. ඒ ක්‍රමවේදය 56 දි නතරවෙනව. නමුත් 56 ට කලින් ක්‍රමවේදය දිහා බලන්න. ලංකාවෙ කාෂිකර්ම ප්‍රතිපත්තිය ගත්තත්, අධ්‍යාපන ක්‍රමය ගත්තත් මේ හැම දෙයක් ගැන ම හිතන පතන පිරිස හිටියෙ එතනින් එහා. ඩි. එස්ලගෙ දේශපාලනයට එරෙහිව නැගිටින පළමු බවේගය බිහිවෙන්නෙ 56 අවුරුද්දෙ. එතනින් වර්ධනය වුණ දේශපාලනය, එතනින් වර්ධනය වුණ ධනපති ක්‍රමය සහ එතනින් සංස්කෘතික ප්‍රබෝධයක් ඇතිවුණා කියනවනෙ. ඔන්න ඔය ප්‍රවාහයෙන් තමයි ඔබ කලින් සඳහන් කළ නිහඩතාවය ඇරඹෙන්‍නෙ.
56 පෙරළිය කියන්නෙත් ඇත්තට ම පෙරළියක් නෙවෙයිනෙ. බල අරගලයේ ප්‍රතිඵලයක්නෙ. අද අපි අත්විඳින්නෙ අනාදිමත් කාලයක සිට පැවත එන මේ බල අරගලයේ විපාක කියල මම යෝජනා කළොත්...?
ඒක හරි. ඇත්තට ම ඒක ජාතික ප්‍රබෝධයක් නෙවෙයි. තිබුණා වූ යම් ප්‍රබෝධයක් ඩැහැගැනීමක්.
මම දකිනව මේ හැම දේශපාලකයකු ම පවතින වාස්තවික තත්තවයේ හිදැස් හඳුනාගෙන ඒ හිදැස පිරවිම සඳහා යැයි කියමින් අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත කියල.
ඔබ කියන්නෙ තට්ටු මාරු ක්‍රමයක් කියලද?
නෑ... මම කියන්නෙ තට්ටු මරු ක්‍රමයක් කියල නෙවෙයි. හැමෝම යන්නෙ එක ම තට්ටුවෙ කියල.
හරි... එහෙනම් ඔබ හරි. තට්ටු මාරු දේශපාලනයක් තියෙනව කියල මමත් පිළිගන්නෙ නැහැ. ඒක මම දකින්නෙ මේ විදියට. නිදහස කියන්නෙ අපේ රටේ දේශපාලන, ආර්ථික සහ සමාජයිය සංධිස්ථානයක් කියනවනෙ. නමුත් සංධිස්ථානය හුඟක් ඇත යි. මම මේ කෘතියෙ ඒ සංධිස්ථානය අවම වශයෙන් පස් වන සියවසට රැගෙන යනවා. නමුත් අපි ඒ තරම් දුරට නොයා සුද්දට යටත්වෙලා හිටපු යුගය ගනිමු. සුදු ආධිපත්‍යයට යටත්වුණ යුගය අවසන් වෙමින් 1946 දෙවන ලෝක යුද්ධයත් අවසන් වෙලා 47 එළඹෙන විට ලෝකයේ දේශපාලන තත්ත්වය වෙනස් වෙලා ආර්ථිකය විවෘත වීම ආරම්භ වුණා කිව්වට අපේ රට ඈත අතීතයේ සිට ම විවෘතයි. වැවයි දාගැබයි කියන සංකල්පය ගත්තත් ඒ වැව වටේට වරායවල් තිබුණ රටක් මේක. මෙන්න මේ විවෘත භාවය නිසා ම විවෘත ආර්ථිකය නිදහස ලැබුණට පස්සෙ විවෘත වුණා කියන එක අතාර්කිකයි.
ඩී. එස්. සේනානායක කියන පුද්ගලයගෙ වෙනස මම දකින්නෙ මෙන්න මේ මොහොතෙ ඔහු කටයුතු කළ ස්වභාවය අනුව යි. ලෝක දේශපාලන බල අරගලයත් එක්ක අපි හිටගන්න ඕන කොතනද කියන දේ හොඳින් ම දැක්ක පුද්ගලයෙක් තමයි ඩි. එස්. සේනානායක. ඩී. එස් ට තිබෙන පළමුවන චෝදනාව මොකක් ද? "යු එන් පී හෝ කළු සුද්දන්ගේ පිළ නියෝජනය කළ ධනපති පංතියේ නායකයෙක් වුණ ඩී. එස් සුද්දට විරුද්ධව කිසිම දෙයක් කරේ නැහැ. නිදහස බන්දේසියක තියල ගත්ත. ඊට පස්සෙ සුද්දගෙ ක්‍රමය ම ඩි. එස් ඉදිරියට ගෙනිච්ච" කියන එකනෙ.
මේක අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව කරගත්ත ලොකු වැරැද්දක්. ඒ දෘෂ්ටිය ම වැරදියි. එතකොට ප්‍රශ්නයක් එනවනෙ එහෙනම් ඩි. එස්. මොනවද සුද්දත් එක්ක කුටු කුටු ගගා කළේ කියල. ඩී. එස්. කෙතරම් දරුණු ද කියනව නම්, වාමාංශිකයෝ ජාතික සංගමයට එන කොට ඔහු එහි සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙනව. ඩි. එස් සහ වාමාංශිකයො අතරෙ ඒතරමට ම දුර දිග ගිය ගැටුමක් තිබිල තියෙනවා. මම මේ කරුණු පාදක කරගෙන යම් ඉඟියක් සපයනව පර්යේෂකයන්ට ඉන් එහාට යන්න; ගිහින් මේ පිළිබඳව ඇත්ත හොයන්න. ඒකට හොඳ කවුළුවක් තිබෙනවා. අපි නිදහස ලබන වෙලාවෙ සහ අනාදිමත් කාලයක සිට තිබුණ, අදටත් තිබෙන සහ අනාගතයේදි ද තිබිය හැකි ප්‍රශ්නයක් තමයි ජාත්‍යන්තර දේශපාලන අත පෙවීම්. ඒ ජාත්‍යන්තර අත පෙවීමේ ප්‍රධාන භූමිකාව අසල්වැසියගෙ.
මෙන්න මේ අසල්වැසියා මොනම හේතුව නිසාවත් නිදහස ලැබෙන වෙලාවෙත් අපිව අත්හරින්න සූදානම් වෙන්නෙ නැහැ. අපිව එයාලත් එක්ක ඈඳ ගන්න දැඩි උත්සාහයක් දරනවා. අපිට නිදහස දෙන වෙලාවෙ ගාන්ධි සහ නේරු නිදහස ඉල්ලන්නෙ කොරමැණ්ඩල් දූපතට. මොකද සුද්ද අපිව පාලනය කළෙත් දකුණු ඉන්දියාවෙ ඉඳගෙන. මෙන්න මේ දකුණු ඉන්දියානු යටත්විජිත කාර්යාලයේ යටතේ සිට පාලනය වුණ සියලු ප්‍රාන්ත යළි ඉන්දියාවට යටත් වෙන විදියට තමයි ගාන්ධි තමන්ගෙ මෙහෙයුම ක්‍රියාත්මක කරන්නෙ. මම දැන් අහන ප්‍රශ්නය තමයි... අපි ඒ වෙලාවෙ කළ යුත්තේ සුද්දට විරුද්ධව පෙළපාලි යන එක ද? නැත්නම් ඉන්දියාවේ මෙහෙයුමට විරුද්ධව යටිතල මෙහෙයුමක් දියත් කරනව ද? කියන දේ. ඩී. එස්. කරන්නෙ මේ යටිතල මෙහෙයුම ක්‍රියාත්මක කිරීම. එහෙම නොවෙන්න අපි මේ වන විටත් ඉන්දියාවෙ ප්‍රාන්තයක් වෙන්න ඉඩ තිබුණ.
ඔබ කියන කාරණයෙත් යම් දේශපාලනික සත්‍යයක් ගැබ්වෙන්න පුළුවන්. නමුත් අපි දන්නව අනාදිමත් කාලයක සිට මේ රටේ දේශපාලන උරුමය හිමි වුණේ පරම්පරාවට කියල. රාජාණ්ඩු ක්‍රමයෙන් මිදුණ දේශපාලන තන්ත්‍රයටත් පරම්පරා දේශපාලනය ආදේශ කිරීමේ අත්තිවාරම දාන්නෙ ඩී. එස්. සේනානායක නේද?
ඔව්... මම පිළිගන්නව. එහෙම දුර්වලකම් තිබෙන්න පුළුවන්. අපි මේ ප්‍රශ්න ගන්නෙ බොහොම මතුපිටින් පමණයි. ඩී. එස්ගෙන් පසුව ඩඩ්ලිට බලය ලබා දීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අනාගතය පිළිබඳ දුර දැක්මක් තිබුණ ඩී. එස්. එහෙම කළේ ඇයි කියන කාරණය අපි මීට වඩා හිතන්න ඕන කියලයි මම නම් අදහස් කරන්නෙ. නමුත් ඒ වෙලාව ඩඩ්ලිට නොදී වෙන පුද්ගලයකුට බලය පැවරුව නම් මිටත් වඩා විනාශයක් වෙන්න තිබුණ කියලයි මට හිතෙන්නෙ. අපි හොඳට ම දන්නව ඩඩ්ලි කියන චරිතය මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතියේ තිබෙන සංහිඳියාව යටතේ බොහොම ශුද්ධවන්ත භාවයකින් වැඩ කරපු චරිතයක් බව. ඩී. එස්ල එදා මොන විදියෙන් හසිරුණා ද කියන එක තවමත් ප්‍රශ්නයක්. ඒ නිසා අපිට තියෙන්නෙ ඔහු කරපු දේවල් සමග අර නොතේරෙන කොටස ගැනත් යළි යළිත් අවධානය යොමුකරන්න.
ඇතැම් අය කියන්නෙ 'ඒ වෙලාවෙ බණ්ඩාරනායකට දුන්නනම් ඉවරයි නේද’ කියල. නමුත් අපි බොහෝ දෙනෙක් නොදන්නව වුණාට ඩි. එස්. අශ්වය පිටින් වැටෙන වෙලාවෙ ලංකාවෙ යම් දෙයක් සිදුවෙමින් පැවතුණා. පනහෙ අග භාගයේ නේරු ලංකාවට පැමිණෙනවා. ඇවිත් ජේ.ආර්ගෙ පුද්ගලික නිවසට පවා යනවා. පනස් එකේ මුලදි නැවතත් එයාගෙ දුවත් එක්ක එනවා. ඇවිත් පකිස්ථානයට සහ බංගලිදේශයට එරෙහි ඔත්තු බලන්න ලංකාවෙ කාර්යාලයක් පිහිටවනවා. 51 දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවෙනවා. ඒ නිසා තමයි සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු කියල බලවේගයක් හැදිල 56 දි බලය ගන්නෙ. මම මේ සපයන්නෙ ඩි. එස් ඩඩ්ලිට බලය ලබාදීම හොඳයි ද නරකයිද කියන එක හෝ බණ්ඩාරනායකට දුන්නනම් හොඳයිද නරකයිද කියන එකට සර්ව සාධාරණ පිළිතුරක් නොවෙන්න පුළුවන්. මේ ඡායාමාත්‍ර පිළිතුරක් පමණයි. එතනදි "සිංහල පමණයි" කිය ගෙනාපු සංකල්පය රට තුළ සහ ජාත්‍යන්තර වශයෙන් විශාල දේශපාලනික වැරැද්දක්.
මෙන්න මේ වරද හැරුණම අපට නොපෙනී තවත් යමක් මේ රටේ සිද්ධ වුණා. ලංකාවෙ කිසිම මාධ්‍යයක් ඒ පිබඳව අදටත්නිහඬතාවයක් රකිනවා. ඩී. එස් නිකම්ම සුද්දගෙන් දේශපාලන බලය ගත්තෙ නැහැ. ඒ නිසයි මම කියන්නෙ ඩී. එස් ඉතාමත් සූක්ෂම දේශපානඥයෙක් කියල. ඔහු එංගලන්තය සමග ආරක්ෂක ගිවිසුමක් අස්සන් කරනවා. ඒ වෙලාවෙ ත්‍රිකුණාමලේ හාබර් එක එතනට දෙනවා. කෙනෙකුට කියන්න පුළුවන් මේ ගිවිසුමෙන් සුද්දට රට පාවල දුන්න කියල. ඒක වැරදි නිගමනයක්.
මොකද 48 වන විට යටත් විජිතකරණය එන්නෙ ඍජු ආක්‍රමණ හරහා නොවෙයි. ඒක ඩී. එස් දකින නිසා තමයි නිසි ආරක්ෂක වැඩ පිළිවෙළක් නොතිබුණ මේ පුංචි දුපතට අසල්වැසියාගෙන් දරුණු ආක්‍රමණයක් සිදුවේවි කියල හිතල ඒකට පූර්ව පිළියම් යොදන්නෙ. නමුත් අද කව්රුත් කතා නොකරන දේ තමයි 56 බණ්ඩාරනායක රජයෙන් සිද්ධවෙන ප්‍රධාන ම ව්‍යසනය. ඒ තමයි ඒ ආරක්ෂක ගිවිසුම අහෝසි විම. මෙන්න මේ කරුණු සලකා බලද්දි ඩි. එස් සර්ව සම්පූර්ණ ද කියල හොයනවට වඩා ඔහු කළ එවැනි දේ සොයා බැලිය යුතුයි. පස්වන සියවසටත් එහා සිට තිබුණ උදාරත්වය ගොඩනගන්න ඩී. එස් උත්සාහ කරා කියලයි මම යෝජනා කරන්නෙ.
ඔබ මෙම කෘතියේ 'හදවතින් දේශපාලනය කළ තිදෙනෙක්’ ගැන සඳහන් කරනවා. ඒ: ඩී. එස්. සේනානායක, සිරිමාවෝ බණ්ඩාරනායක සහ ආර්. ප්‍රේමදාස. නමුත් ඩි. ඒස්. සේනානායක නිදහස් අධ්‍යාපනයට විරුද්ධ වුණා. සිරිමාවෝ බණ්ඩාරනායක දස දහසකට අධික පිරිසක් ඝාතනය කළා. ආර්. ප්‍රේමදාස හැට දහසකට අධික පිරිසක් ඝාතනය කළා. එහෙම නම් හදවතේ දේශපාලනය සහ ඔය විරුද්ධවීම සහ ඝාතනයන් අතර තිබෙන සහසම්බන්ධය මොකක් ද...?
මම මේ අදහස ගේන්නෙ අනෙක් රාජ්‍යය නායකයන්ට සාපේක්ෂව හැසිරුණ විදිය සහ ක්‍රියා කළ ආකාරය සලකිල්ලට ගනිමින්; මොන අපරාධය සිද්ධ වුණත් අනෙක් නායකයන්ට වඩා යමක් සිදුවුණා කියන අර්ථයෙන්. නමුත් ඒ ඝාතනයන් මම මොනයම් ආකාරයකින් හෝ අනුමත කරන්නෙ නැහැ. හදවතක් තිබුණ නායකයො විදියට නම් කළාට ඒ අය කරපු හැම දේ ම අනුමත කරන්න මම සූදානම් නැහැ. මම මේ කෘතියෙ තවත් කරුණක් මතු කරනවා. මම දෙන්නෙ නිගමන නොවෙයි. මම කරන්නෙ ඉදිරිපත් කිරිමක් පමණයි. ඒක අයිති මාධ්‍යයට. නිදහසේ ආරම්භයේ සිට ම ඩී. එස්ට විරුද්ධව බලවේග දෙකක් ගොඩනැගෙනවා.
මෙන්න මේ කියන බලවේග දෙක ඇත්තටම මේ සියල්ල කරන්නෙ මේ රට වෙනුවෙන් ද? ඒ එක්කම ඔය අරගල මතුවෙන්නෙ කොහොම ද? විශේෂයෙන් ම 83 යම් සංධිස්ථානයක් විදියට අරගෙන බැලුවොත් ඒ තත්ත්වය දේශපාලන තගරියෙන් මතු නොවණා නම් වෙනත් විදියකින් මතු කරන්න අසල්වැසියා සූදානමින් හිටිය කියන දේ පැහැදිලියි. අපි බෞද්ධ සංස්කාතියෙන් හැඩගැසුණ නම් ඔය ප්‍රචණ්ඩත්වය එන්න විදියක් නැහැ. ඒ නිසා මම ඝාතන කිසිවක් අනුමත කරන්නෙ නැහැ. ඔය ප්‍රවාහයන් ද්විත්වය ඇතුළෙ මෙවැනි කාරණයකුත් තිබෙනවා. දැන් රටේ සිවිල් අයිතිවාසිකම් ගැන රටේ වාමාංශික ප්‍රවාහය කතා කරනවා. ''අපි බෞද්ධ. අපිට තමයි හැම දේම කරන්න පුළුවන්’’ කියල භික්ෂු දේශපාලනය කියනවා. නමුත් මේ ප්‍රවාහයන් දෙකේ ම ක්‍රියාවන් පරස්පරයි. ඒකයි මම කියන්නෙ මේ තුන්දෙනාට ම මේ යටිතලයේ සිද්ධවෙන දේශපාලන ක්‍රියාවලිය පිළිබඳ හොඳ ඉවක් තිබුණ කියල.
ඔබ මේ කෘතියේ සඳහන් කරනවා බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වුණ රටක 83 වැනි සිදුවිම් ඇතිවෙන්න පුළුවන් ද කියල. නමුත් අපි දන්නව 83 දි පමණක් නොවෙයි: 56 දි, 71 දි, 77 දි සහ නැවත 89 ත් මෙවැනි ඛේදවාචක ඇතිවෙනව. වර්තමානය වෙද්දි උතුරෙ යුද්ධයේ දී හතළිස් දහසක් ඝාතනය වෙලා. යුද්ධයෙන් පසුවත් 18,000කට අධික පිරිසක් ආගිය අතක් නෑ. මෙන්න මේ සිදුවීම් මාලාව ඔය කියන බෞද්ධ සංස්කාතිය ඇතුළෙ විග්‍රහ කරන්නෙ කොහොමද?
මම ඍජුවම කියනව ඒක වැරදියි කියල. නමුත් මොන ම හේතුවක් නිසාවත් එල්.ටී. ටී. ඊ. සංවිධානයේ නපුරුකම අමතක කරන්න බැහැ. ඒකට අපි පිළිතුරක් දිය යුතුයි. මම හැමදාම දිවයිනේ සේවය කරද්දිත් පෙනී සිටියේ සහ මගේ පෑන මෙහෙයවූයේ එල්.ටී. ටී. ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජය කළ යුතුයි කියන ස්ථාවරයේ සිට. ඒක එහෙම කරපු එකේ වරදකුත් නැහැ. නමුත් මම විශ්වාස කරනව එහි අධ්‍යක්ෂකවරයා ඉන්දියාව කියල. එල්.ටී. ටී. ඊ. සංවිධානයේ දරුණුකමට පිළිතුර මේක වෙන්න පුළුවන්. එවැනි ඝාතනයන් යුද්ධයකදි වෙන්නත් පුළුවන්. මම ඒක අනුමත කරන්නෙ නැහැ. මොකද යුද්ධය ම වැරදියි.
නමුත් වගකිව යුතු ආණ්ඩුවක් විදියට ඉන් අනතුරුව කළ යුතු කිසිවක් පිළිබඳ අවධානය යොමු නොකිරිමයි වැරැද්ද.මේ සියලු ඝාතනවලට වඩා විශාල වැරැද්දක් සිද්ධවෙලා තිබෙන්නෙ එතනයි. 'දිවයින’ ඇතුළු සියලු මාධ්‍යයන්ට මගහැරුණු සංහිඳියාව කියන ගැටලුව මතුවෙන්නෙ එතනදි. 2009 යුද ජයග්‍රණයක් ලැබුව තමයි. නමුත් සැබෑ ජයග්‍රහණය ඒක නොවෙයි. ඇත්ත ජයග්‍රහණය කියන්නෙ සංහිඳියාව ක්‍රියාත්මක කිරීම; ප්‍රායෝගිකව ම ක්‍රියාත්මක කිරීම. බෞද්ධ සංස්කෘතික පසුබිමක ජිවත්වන අපි ඒ සංහිඳියාව කියන ප්‍රායෝගික යථාර්ථයට පහර දුන්නා සහ පහර දෙමින් සිටිනවා. යුද්ධයකදි මිනිස්සු මිය යාම පිළිබඳව හැමෝට ම තර්ක තිබෙනවා. සංහිඳියාව හිතාමතා ම අත්හැරීම ඊටත් වඩා බරපතල වරදක්.
ඔබ කියන්නෙ වර්තමාන තත්ත්වය...?
ඔව්... නමුත් මේකට දේශපාලන ඉතිහාසයකුත් තිබෙනවා. මම කලින් සඳහන් කළ වාමාංශික දේශපාලනය සහ භික්ෂු දේශපාලනය කියන දෙපාර්ශවය ම මේ සංහිඳියාව ගොඩනැගීම සඳහා තිබෙන ඉඩකඩ දැන දැනම අහුරනවා. මෙන්න මේ දැනැ දැන මගහැරීම මතුකිරීම මාධ්‍යයයේ වගකීමක්. නමුත් මාධ්‍යය පවා මේ වැරැද්ද මතුකරන්න පියවර ගත්තෙ නැහැ. ඒක මාධ්‍යය හිතාමතා ම මගහැරිය වගකීමක්.
දැන් ඔබ ප්‍රකාශ කළා එල්. ටී. ටී. ඊ. ය අවසන් කළ යුතුයි කියල. නමුත් එල්. ටී. ටී. ඊ. ය අහඹුවක් ද...?
ඕක හරිම සංකීර්ණ කාරණයක්. අපි මෙහෙම ගමුකො. ගෙදරක ප්‍රශ්න තිබෙනවා. සාමාන්‍යයෙන් දෙවන පුතා දඩබ්බරයි. නමුත් දෙමාපියො දැනගන්න ඕන ඒ අර්බුදය සාමකාමිව විසඳාගන්න. එහෙම නොවන විට ගේට්ටුවෙන් පිටත පිටස්තරයෙක් ඉන්නව දෙවෙනිය වෙනුවෙන් පෙනී සිටින්න; ඔහුට සහයෝගය දෙන්න. ඒ ඔහුටවත් අදාළ පවුලටවත් තිබෙන ආදරයකට කරුණාවකට නෙවෙයි. මේ කාරණයත් ඒ වගේ. උතුරෙ තරුණයාට වගේ ම දකුණෙ තරුණයාටත් පීඩනයක් තිබෙනවා. ඒ පීඩනය රටේ සමස්ත ජනතාවට ම තියෙනවා. මේ පිඩනය ගණන් බලන්නෙ පිටතින් සිටින පිරිසක්. නැවතත් ඩී. එස්ගෙ වැදගත්කමක් ඔතනට ගලපන්න පුළුවන්. මොකක් ද ඒ වැදගත්කම? ඩි. එස් මේ තත්ත්වය හොඳින් ම දැනගෙන හිටියා. ඔහු දෙමළ හිත බිඳින්න ඕන කියන කුමන්ත්‍රණයට හසුවුණේ නැහැ.
ඔහු ඒ ජාතියේ මනස අල්ලා ගැනීමට උත්සාහ කරනවා. නමුත් 56 දි අපි ඒක අත්හරිනවා. ඒ අනුව එල්.ටී. ටී. ඊ. ය කියන්නෙ අපේ ඒ හිදැස හරහා ඉන්දියාව විසින් නිර්මාණය කරන ලද බෝම්බයක්. එල්.ටී. ටී. ඊ. සංවිධානය කියන්නෙ සර්ව සාධාරණ, මේ රටේ ජිවත්වන දෙමළ ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් සැබැවට ම පෙනී සිටපු විමුක්තිකාමී කණ්ඩායමක් නොවෙයි. නමුත් ඔවුන්ට අර්ථකථනයක් ලැබුණා 'දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් සටන් වදින කණ්ඩායමක්’ කියල. හිත පෑරුණ දෙමළ තරුණයකු අල්ලාගෙන ඉන්දියාව ඔහුට ආයුද සැපයූවා. ඒ නිසයි මම කියන්නෙ මේ සියල්ලට හේතු සාධක වුණ ඉන්දියාව කොහෙත්ම අමතක කරන්න බැහැ කියල. මේ සියල්ල පිටුපස තිබෙන අදිසි හස්තය ඉන්දියාව.
නමුත් 'දෙමළ හිත් නොබිඳිය යුතුයි’ යන මතයේ සිට කටයුතු කරපු ඩි. එස්. සේනානායක තමයි රටවැසි පනත ගේන්න මූලික වෙන්නෙ.
ඔව්... ඒක ඇත්ත. නමුත් ඒ මොහොතෙ දෙමළ මිනිස්සු යන්න සූදානමින් ඉන්නෙ. ඒ මිනිස්සුන්ට තිබුණෙ 'අපි යන්න ඕන’ කියන හැඟීම. ඊට එරෙහි අදහස නිර්මාණය වෙන්නෙ දෙමළ ප්‍රභූ දේශපාලන මනස ඇතුළෙ. එතනදි තමයි දෙමළ මනසට ජාතිවාදය ගේන්නෙ. ඩී. එස් රටවැසි පනත ගෙනල්ල ඒ අයට යන්න ම කියල බල කළේ නැහ. යන්න කැමති අයට යන්න ඉඩ දෙන්න කිව්ව. එතනදි ඒ පනත සම්මත කරගන්න දෙමළ මන්ත්‍රිවරු ඡන්දය පාවිච්චි කරල තියෙනව.
නමුත් ඒ ඇතැම් අය පළමු පනතට විරුද්ධ වුණා. නමුත් ඇමති මණ්ඩලයේ සාමාජිකයෙක් වුණාට පස්සෙ දෙවන පනතට පක්ෂපාති වුණා. ඔවුන් ප්‍රභූ පෙළැන්තියේ උදවිය.
වෙන්න පුළුවන්. ඔවුන් තමයි පහළ පන්තියේ අයට විවිධ අදහස් කාන්දු කරන්නෙ. ඒකට තව හේතුවකුත් තිබෙනවා. විශේෂයෙන් ම වතුකරයේ දෙමළ මිනිස්සු හිතන්නෙ ඔවුන්ගෙ රට තමිල්නාඩුව කියලනෙ. ඒක සාධාරණයි. ඔවුන්ගෙ සංස්කෘතිය මුල් බැසගෙන තිබෙන්නෙ එතන. ඉන්දියාවට තිබෙන ප්‍රශ්නය මොකක් ද? එතන තමයි ඉන්දියාවෙ ආර්ථික මර්මස්ථානය. අශෝක කාලිංගය යටත් කරන්නෙ නිකමට නෙවෙයි. ඉන්දියාව නිතරම බියකින් ඉන්නෙ තමිල්නාඩුව වෙනම ප්‍රාන්තයක් විදියට කැඩේවිද කියල. ඒක සාධාරණ බියක්. ඒ නිසා ඉන්දියාව රාජ්‍යයතාන්ත්‍රිකව ම දෙමළ මනසට අදහසක් දානව උඹලගෙ රට මේක නෙවෙයි ලංකාව කියල. මෙන්න මේවගේ විශාල සංකීර්ණතා රාශියක් ඔය කාරණය ඇතුළෙ තිබෙනවා. සමහරවිට ඒ ඒ අවස්ථාවන් අනුව අපේ නායකයොත් වැරදි කරන්න ඇති. මොකද දේශපාලනය සහ දේශපාලකය කියන්නෙ ම අවස්ථාවාදය සහ අවස්ථාවාදීන්.
ඔබ මේ කෘතියේ එක් හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස ඉදිරිපත් කරන්නෙ මේ සියලු ව්‍යසනයන් සිද්ධවෙන්නෙ 94 වසරෙන් අනතුරුවය කියල. නමුත් මම යෝජනා කරනව ඩී. එස් කරට ගත්තු ලණු පැදුර හැමෝ ම ටික ටික දිගහැරියා. ඒක වේගයෙන් ම දිගහරින්න පටන්ගත්තෙ ජේ. ආර්. පස්සෙ ප්‍රේමදාස. ප්‍රේමදාස නවත්වපු තැන ඉඳල ඒක දිගඅරින්නෙ චන්ද්‍රිකා දැන් මහින්ද රාජපක්ෂ කියල. එහෙම නැතුව ඒක 94 වසරෙන් ඇරඹුණා කියන මතය වැරදියි කියල.
එතන මම 94 පස්සෙ කියන අදහස ගේන්න හේතුව මේකයි. විවෘත ආර්ථිකයේ අඩුපාඩු බොහොමයක් තිබෙනවා. එක අඩුපාඩුවක් තමයි විවෘත ආර්ථිකය කියන සුළඟ ලංකාවට හමනකොට ඒකට ඔරොත්තු දෙන මුලක් ලංකාවෙ තිබුණෙ නැහැ. නමුත් ජේ. ආර්ගෙ තිබුණ දුරදක්නා නුවණ සහ නිර්භීතකම නිසා ඔහු මෙය වැලඳගන්නවා. නමුත් මේ ක්‍රමයෙ යම් යම් අඩුපාඩු තිබුණනෙ. ඒ අඩුපාඩු නිවැරදි කරන්න යුඑන්පිය හිතන්න ඇති. නමුත් යූඑන්පියට එතනින් එහාට යන්න නොදී ''අපිට මේක තේරෙනව, අපිට පුළුවන් මේ අඩුපාඩු ටික නිවැරදි කරන්න’’ කියන පොරොන්දුව සමග තමයි 94 බලය ගන්නෙ. විවෘත ආර්ථිකයේ නරකයි කියපු හැම දේකට ම වඩා ප්‍රමුඛත්වය දෙන්නෙ 94 පස්සෙ කියන දේ තමයි මම මතුකරන්නෙ.
ඔබ ඒ ප්‍රකාශයෙන් අදහස් කරන්නෙ 94 පෙරමුණු ආණ්ඩුව බලයට පත්නොවි එක්සත් ජාතික පක්ෂය ම හිටිය නම් මේ වන විට ඒ අඩු පාඩු නිවැරදි කරගෙන කියල ද...?
නෑ... අපිට එහෙම හිතන්න බැහැ. ඒක වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. මම 94 ගන්නෙ එක්සත් ජාතික පක්ෂය සාධාරණීකරණය කරන්න නෙවෙයි. මම 94 ගන්නෙ: එක්සත් ජාතික පක්ෂයට වැරදුණා, අපිට මේක කරන්න පුළුවන් කියල ගත්තු අය ඊටත් වඩා දරුණු වීමයි මට තිබෙන විවේචනය. මම මේ කෘතියේ යටිපෙළින් මතුකරන අනික් කාරණය තමයි 'ඇයි අපිට විවෘත ආර්ථිකය වෙනස් කරන්න බැරි වෙන්නෙ? ඇයි අපිට ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න බැරි වෙන්නෙ? තමන් ඒ තැනට ආවම කාටවත් ඒක වෙනස් කරන්න බැරි වෙන්නෙ?’ කියන එක. ඒක අපේ රටේ සංස්කෘතියේ ම ප්‍රශ්නයක් විදියටයි මම දකින්නෙ. ඒක හුදෙක් දේශපාලනඥයගෙ පුද්ගලිකත්වය මත සිදුවෙන දෙයක් නෙවෙයි. මේ දේශපාලනඥයො කරන්නෙ කාලයක් පුරා අපේ හිතේ පැළපදියම්වෙලා තියෙන කුහකකම අවස්ථානෝචිතව යොදාගැනීම. නමුත් ඩි. එස්ල ඒක මතුකරන්න ඒ තරමට ම ඉඩ දීල නැහැ. ඒ විතරක් නෙවෙයි ජේ. ආර් වුනත් ඒකට ඉඩ දීල නැහැ.
විවෘත ආර්ථිකයේ අඩුපාඩු රැසයි. ඒක අපිට අලුත් දෙයක්. අපිට විතරක් නෙවෙයි කලාපයට ම අලුත් වුණා. ඇත්ත ම කතාව නම් මේ තත්ත්වයට ඉන්දියාව බය වුණා. අද මොකද වෙලා තියෙන්නෙ? ඉන්දියාව විවෘත ආර්ථිකය අපිට වඩා හොඳින් ග්‍රහණය කරගත්ත. ඉංග්‍රීසි අපිට වැඩිය හොඳින් ග්‍රහණය කර ගත්ත. තොරතුරු තාක්ෂණයේ බලය ග්‍රහණය කර ගත්ත. නමුත් 83 ඔය කලබලය නොවෙන්න සහ 87-89 තත්ත්වය ලංකාවෙ නොවුණ නම් මට විශ්වාසයි ඉන්දියාවට යන්න තිබුණ ආර්ථික කවුළුව වෙන්නෙ ලංකාව කියල. ඒක අපිට දරාගන්න පුළුවන් ද බැරි ද කියන එක ඒ වෙලාවෙ තීරණය කළ යුතු දෙයක්. ඔය සිදුවීම් දෙක නොවෙන්න අපි විවෘත ආර්ථිකයෙන් එවැනි ප්‍රයෝජනයක් ගන්න බව මට විශ්වාසයි.
ඉන්දියාවේ බලපෑම අපිට අතීතයේ සිට ම පැවතුණා. නමුත් 83 දි මේ කලබලය ඇතිකරවන්නෙ මේ රටේ මතුවෙමින් තිබුණු විකල්ප බලවේග මර්දනය කිරීම ඳහා කියල මම යෝජනා කළොත්...
මොකක් ද විකල්ප බලවේග කියන්නෙ...?
එතනදි මම කියන්නෙ නැහැ වාමාංශිකය පාරිශුද්ධයි කියල. නමුත් ජේ. ආර්. ජයවර්ධනට තර්ජනයක්ව සහ අභියෝගයක්ව පවතින්නෙ වාමාංශික ව්‍යාපාරය; වාමාංශික පක්ෂ. අන්න ඒ වාමාංශික බලවේගය මර්දනය කිරීමේ ආයුධයක් විදියට 83 කලබලය භාවිතා කරනවා. 83 කලබලය සමග වාමාංශික පක්ෂ ගණනාවක් තහනමට ලක්කරනවා. නමුත් ඒ මොහොතේ වාමාංශික පක්ෂ තහනම් කිරිමේ අවශ්‍යතාවක් රට තුළ පැවතුණේ නැහැ.
ඔබේ අදහස නිවැරදියි කියල මම පිළිගන්නව. ජේ. ආර්. එතනදි කරන්නෙ මුව හමට තඩිබෑව වගේ දෙයක්. නමුත් ජේ. ආර්වත් හිතුවෙ නැහැ 83 මේ තරම් විනාශයක් රටට අත්පත් කරයි කියල. ඒක සිද්ධවුණාට පස්සෙ වාමාංශිකයො ජේ. ආර්ට ඇඟිල්ල දික් කරනවනෙ. ඒ තරහ පිරිමහන්න ජේ. ආර්. ඒ දේ කළා වෙන්න පුළුවන්. ජේ. ආර් දන්නව ඒක ආවෙ කොහෙන්ද කියල. ඒ නිසා තමයි 87 දි රජිව් ගාන්ධි මේ සිද්ධියට පටලවාගන්නෙ. ජේ. ආර්ට සහ ධනපති ක්‍රමයට විරුද්ධව හඬනගපු පාක්ෂිකයො ජාත්‍යන්තරයෙන් අපිට එල්ලවන තර්ජන ආයුධයක් කරගෙන තමයි නැගිටින්නෙ. ඔන්න ඔය කියන තැන ප්‍රශ්නයක් තියෙනවා. සමහර විට ජේ. ආර් පුද්ගලික කෝන්තරයක් පිරිමැහුව වෙන්නත් පුළුවන්.
හොඳයි අපි හිතමු හමුදා සෙබළු 13 දෙනෙක් ඝාතනය කිරීම පිටුපස ඉන්දියාව ඉන්නව කියල. නමුත් දුරදිග දැකිමේ හැකියාව තිබුණ ජේ. ආර්. ජයවර්ධන මෙතනදි රැවටුණා ද...?
මම හිතන්නෙ ඔහු රැවටුණාටත් වඩා වෙනත් දෙයක් සිදු වුණා කියල. මේ සිද්ධිය පිටුපස ඉන්දියාව ඉන්නව කියල ජේ. ආර් හොඳට ම දන්නව. නමුත් ජේ. ආර්. ඉන්දියාව මායිම් නොකර ඉන්නවා. ඩී. එස් මේ වගේ වෙලාවකදි ජේ. ආර්ට වඩා සූක්ෂමයි කියල මට හිතෙනවා. ජේ. ආර්. බටහිර කෙරෙහි දැඩි විශ්වාසයකින් හිටපු නායකයෙක්. ජේ. ආර්ට වරදින්නෙත් එතන. ජේ. ආර් බටහිර විශ්වාස කළාට 83 ට පසුව මාලිමාව වෙනස් වෙනවා. මේ පිළිබඳ ජේ. ආර්. එතරම් ම දුරට හිතන්නෙ නැහැ. 77 වෙද්දි ජේ. ආර්. කියන්නෙ දකුණු ආසියානු කලාපයේ හිටපු හොඳම බටහිර හිතවතා. ඒකට හේතුව තමයි ඒ වන විට ඉන්දියාව ඉන්නෙ සෝවියට් කඳවුරේ. නමුත් අපිට මේ කවුරුවත් හිතවත් නෑ. ඒගොල්ල නිරතවෙලා ඉන්නෙ දේශපාලන ක්‍රීඩාවක. පසු කාලයකදි සෝවියට් දේශය ඇදවැටිම බටහිරට රසවත් ආහාරයක් ගත්ත වගේ වුණා.
අපි දන්නව දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙ වඩා වැදගත් වෙන්නෙ වෙළෙඳපොළ. එතනදි බටහිරට වටින්නෙ ඉන්දියාව. බටහිර උත්සාහ කරන්නෙ ඉන්දියාව දිනාගන්න. ජේ. ආර්. නොකියා කියන්නෙ... 'හරි උඹලට ඕන ඉන්දියාවට යන්නනෙ. එහෙම නම් පලයල්ල ලංකාව වටෙන්’ කියල. ඒක අධි තක්සේරුවක්. ඒ කාරණය හොඳට ම ඔප්පු වෙන්නෙ 87 දි. එදා ඉන්දියාව ලංකාවට ගුවනින් පරිප්පු දාන වෙලාවෙ. එදා ජේ. ආර් තේරුම් ගන්නව ඔහුට බටහිර නැහැ කියල. නිල නොවන ආරංචි මාර්ගවල සඳහන් වෙනව බටහිර රටවල් ජේ. ආර්ට කිව්ව කියල ඉන්දියාව සමග සාකච්ඡාමය විසඳුමකට යන්න කියල. ඒ කියන්නෙ බටහිර වෙනස් වෙලා කියලනෙ. ඉන්දියාව එක්ක බටහිර ගනුදෙනවකට නොගියෙ ජේ. ආර්ගෙ තිබුණ මුරණ්ඩුකම නිසා වෙන්නත් පුළුවන්. මම හිතන්නෙ ජේ. ආර්ට වැරදුණේ එතන.
ජේ. ආර්. ජයවර්ධන කෙතරම් සූක්ෂම නායකයෙක් වුනත් එදා හමුදා සෙබළු 13 දෙනාගෙ සිරුරු කොළඹ ගෙනත් ප්‍රසිද්ධියේ ආදාහන කටයුතු සිදු නොකරන්න 83 කළු ජූලිය ඇති නෙවන බවයි මගේ හැඟීම. ජේ. ආර්ට ඒක නවතාලීමේ හැකියාව වුවමනාවටත් වැඩියෙන් තිබුණ. නමුත් ඔහු එහෙම කළේ නැහැ. ඔබ මාධ්‍යයවේදියෙක් විදියට ඒ සිදුවීම විග්‍රහ කරන්නෙ කොහොම ද...?
අනිවාර්යයෙන් ම වැරදියි. නමුත් එතන වැරදිකරුවා ජේ. ආර්. නොවෙයි. එදා ජේ. ආර්. කියනව කිසිම හේතුවක් නිසා මේ මළ සිරුරු කොළඹ ගේන්න එපා ගෙවල්වලට අරගෙන යන්න කියල. නමුත් ඒ එක්කම ආරක්ෂක හමුදාවෙන් හෝ වෙනත් කුමන හෝ බලපෑමක් ඔහුට එනව කියල ඔහුගේ ජීවිත කතාවේ සඳහන් වෙනවා. එතනදි ජේ. ආර්. කියනව එහෙමනම් 04.30 පෙර ඒ කටයුතු අවසන් කරන්න කියල. 83 සිද්ධියෙදි දෙමළ ජනතාවට පහරදීමට ජේ. ආර්. අනියමින් උදව් කරා කියනවනෙ. නමුත් ජේ. ආර්. පැය 24 ක් ඇඳිරිනිතිය පනවනව. නමුත් ඒක ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. මම හිතනව 83 සිද්ධිය ජේ. ආර්. නමැති දැවැන්ත දේශපාලකයා ද වටකර කළ ක්‍රියාවක් විදියට.
ඔබ කියන්නෙ ජේ. ආර්ටත් වඩා බලගතු අදිසි හස්තයක් මේ පිටුපස තිබුණ කියලද...?
අනිවාර්යයෙන් ම... අදිසි හස්තයක් විතරක් නෙවෙයි ජේ. ආර් වැනි දැවැන්තයෙක් කොටු කර ගැනීමේ හැකියාව ඇති දැවැන්ත ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තිබුණ කියලයි මම විශ්වාස කරන්නෙ.
නමුත් මේකට සම්බන්ධ වෙන සියයට සියය ම ලංකාවේ සිංහල බෞද්ධයො...
නෑ... සිංහල බෞද්ධ කොටස මේකට සම්බන්ධ වෙන්නෙ හිතාමතා ම නොවෙයි. අපි හැම වෙලාවෙම වරද්දගත්තෙ ඔතන. වාමාංශික දේශපාලනය යි ඔය සිංහල බෞද්ධ කියන භික්ෂු දේශපාලනය යි බොහොම ආවේගශිලිව කළ කටයුතු පිළිබඳව අපිට තව තවත් හිතන්න වෙනව. පීඩනය සාධාරණය වෙන්න පුළුවන්. නමුත් ඒ පිඩනයට එරෙහිව නැගිටීම අවසානයේ අපිට අත්කර දුන්නෙ දැඩි අවාසනාවන්ත තත්ත්වයක්.
ඔබ මේ කෘතියේ එක තැනක සිරිපාදෙට කේබල් කාර් යෙදවිම පිළිබඳව සාකච්ඡා කරනවා. ඔබ එයට එකඟ නොවන බවත් පවසනවා. මමත් පුද්ගලිකව ඒකට එකඟ නැහැ. නමුත් ''යළි පුබුදමු ශ්‍රී ලංකා’’ වැඩපිළිවෙළ හරහා සිගිරිය භූමියේ රාත්‍රි සැණකෙළි පවත්වන්න යෝජනා කරනවා. ඔබ මේ යෝජනා දෙක අතරෙ වෙනසක් දකිනව ද...?
මම ඍජුවම ඒ ක්‍රියාව සාධාරණීකරණය කරන්නෙත් නැහැ. එකහෙළා ම ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. අපි මෙහෙම ගමු... සිගිරිය සහ සිරිපාදෙ කියන දෙකේ ලොකු වෙනසක් තිබෙනවා. සිරිපාදෙට කේබල් කාර් දාල කැලේ එළි පෙහෙළි කරනව කියන්නෙ සිරිපාදෙ ම වෙනස් කරනව කියන එකනෙ. අනික සීගිරිය අතීතයේ සිට ම ප්‍රසිද්ධ විනෝදයට බර ස්ථානයක් විදියට. නමුත් සිරීපාද කන්දේ පාද චාරිකාවට ලෝකය ම කැමතියි. එතනට මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරිමයි ගැටලුව තියෙන්නෙ.
සිරිපාදය පුජනීය සිද්ධස්ථානයක් ලෙස සලකල ද ඔබ මේ යෝජනාවට විරුද්ධ වෙන්නෙ...?
නෑ... කිසිසේත් ම නෑ. සිරිපාදෙ කියන්නෙ ලංකාවෙ තිබෙන වටිනාම ස්වභාවික සම්පතක්. මගේ අදහස නම් බුදුන් වහන්සේ වැඩියෙත් එහි වටිනාකම දන්න නිසා. උන්වහන්සේ වැඩිය නිසා පමණක් වටිනවා නොවෙයි. උන්වහන්සේගේ ආගමනයෙන් එහි වටිනාකම වැඩිවුණ එක වෙනම ම කාරණයක්. කුමන හෝ අධ්‍යාත්මික කතන්දරයක් මේකත් එක්ක දැවටෙනවා.; සොබාදමත් එක්ක දැවටෙන යම් ක්‍රියාවලියක් තිබෙනවා. මෙන්න මේ සොබාදහමෙන් ලැබුණු දායාදය අපිට හරියට වටිනවා.
මිනිස් මනසේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු නැතිවුණාට සොබාදහම සමග ගැවසෙද්දි ඒ සඳහා යම් අස්වැසිල්ලක් ලැබෙනවා. ඒ සඳහා හොඳම දායාදයක් සිරිපාදෙ. අපි සිරිපාදෙ යන්නෙ බුදුන් වහන්සේගේ පාද ලාංඡනය තියෙනවාය කියන අදහසින්. මම සිරිපාදෙ ජිවත්වෙනව වගේ එහි චාරිකා කළ පුද්ගලයෙක්. අවාරෙ කියන්නෙ කිසිම පහසුකමක් නැති දුෂ්කර ම කාලෙනෙ. ඒ කාලෙදි කොපමණනම් විදේශිකයො ප්‍රමාණයක් මේ කන්ද තරණය කරනව ද... ඒ විදේශිකයො අතරෙ පිරිසර හිතකාමින් ඉන්නව. නමුත් මේ අයගෙ අවසන් අරමුණ මොකක් ද? හිරු උදාව බලන එක. හිරු උදාව බලනව කියන දේ ඉතාමත් දුෂ්කර කාර්යයක්. ඒ නිසා මේ සිද්ධිය ඉතාම විශාල හිතේ මිහිරක් ගෙන දෙන අවස්ථාවක් සහ ස්ථානයක්. ඒ නිසා තමයි ඇලෙක්සැන්ඩර් පවා එන්න ඇත්තෙ. මේ කඳු මුදුන ලෝකයට ම සුවිශේෂ වූ ස්ථානයක්.
ඔබ ප්‍රකාශ කළා සමනොල කන්දට බුදුන්වහන්සේ වැඩියට පසුව එහි වටිනාකම වැඩිවුණ බව. නමුත් ලෝකයේ ම කීර්තියට පත්වුණ පුරාවිද්‍යාඥයකු වන මහාචාර්ය සෙනරත් පරණවිතාන මහත්මය ප්‍රකාශ කළා බුදුන් වහන්සේ ලංකාවට වැඩල නැහැ කියල...
නෑ... නෑ... නෑ... ඒ ඔක්කොම ලියවන ඉතිහාසය. පරණවිතාන මහත්මය කියන්නෙ අපේ ඉතිහාසයේ හුඟක් දේවල් වහපු කෙනෙක්. විවෘත කරපු කෙනෙක් නෙවෙයි. නමුත් මම ඒ කාටවත් දෝෂාරෝපණයක් කරන්නෙ නැහැ. මේ අය හැමෝම ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ තමන්ගේම අරමුණු වෙනුවෙන් කියන එක අපි තේරුම් ගත යුතුයි. මහානාම හාමුදුරුවො මහාවංශය ලියන්නෙත් උන්වහන්සේගේ අරමුණකට අනුවනෙ. ඒ වගේ ම පරණවිතානත් වැඩ කළේ එයාගෙ අරමුණත් සමග. අද වෙනත් කෙනෙක් එයාගෙ අරමුණත් සමග වැඩකරන්න පුළුවන්. ඔන්න ඔතනදි ආයෙ අධ්‍යාපනය කියන විෂයයට එන්න වෙනව. අපිට පාදාගත යුතු වටිනා ඉතිහාසයක් තියෙනවා. නමුත් අද කරන්නෙ ඒක පළිහක් විදියට අරගෙන අනුන්ට පහර දෙන එක. මම හිතන්නෙ බෙල්ගෙන් එහාට පරණවිතාන ගියේ නැහැ. ඔතන ප්‍රධාන ම ප්‍රශ්නය ඒකයි. මේ අය මතුකළ දේවල් අතර සඥාවක් තිබෙනවා. පසුගිය දා මියගිය ආනන්ද ගුරුගේ මහත්මය මහාවංශ ගීතය පොතට පෙරවදනක් ලියනවා. ඒ පෙරවදනෙ ඔහු වචනයක් භාවිතා කරනවා ''ඉතිහාස සංඥාව’’ කියල.
ඒ ඉතිහාස සංඥාව කියන්නෙ මේකයි... බුදුහාමුදුරුවො වැඩිය ද නැද්ද? දුටුගැමුණු මේ විදියට කිව්ව ද නැද්ද? මෙන්න මේ ඔව් ද නැද්ද කියන දේ තුළ අපිට දැනෙන දෙයක් තිවයනව; සංඥාවක් තියෙනව. ඕක දුටුගැමුණුගෙන් පැහැදිලි කරනව නම්, මහාවංශයේ කියනව දුටුගැමුණු යුද්ධය සම්බන්ධයෙන් කනගාටු වුණා කියල. නමුත් හාමුදුරුවො ඇවිත් කිව්ව ලු "ඒක ගැන කනගාටු වෙන්න එපා එකහමාරයි මැරිල තියෙන්නෙ" කියල. මේක අන්තිම මානව විරෝධී ප්‍රකාශයක්නෙ. ඉතිහාසය විග්‍රහ කරන අය ගන්නෙ දුටුගැමුණු හාමුදුරුවො කිව්ව දේ පිළිගත්ත කියලනෙ. නමුත් ඉතිහාසඥය කියන්නෙ දුටුගැමුණු එහෙම චරිතයක් නොවෙයි කියල. මහා වංශය ඒ කොටස වහනව. දුටු ගැමුණු එහෙමත් නැත්නම් දුෂ්ට ගාමිණී කියන වචනෙම වැරදියිනෙ. ඔහු ගාමිණි අභය. නමුත් ඉතිහාසයේ කිසිම තැනක එහෙම සඳහන් වෙනවද? නැහැනෙ. නමුත් වෙන්න ඕනෙ ගාමිණි අභය කියල සඳහන් කරන එකනෙ. අපි හොඳින් ම දන්න කාරණයක් තමයි ඉන්දියානු ප්‍රශ්නය.
මේක බුදුන් ධරමාණ යුගයේ සිටම පැවතුණ දෙයක්. රාජාණ්ඩු ක්‍රමය යටතේ මේක හොඳින්ම දැක්ක පුද්ගලය තමයි දුටු ගැමුණු කුමාරය. සහ ඔහුගේ පියා කාවන්තිස්ස. ඒ දෙන්න ගහට පොත්ත වගේ දෙන්නෙක්. නමුත් මහාවංශයෙන් ඒක ඉවත් කරනවා. පුතා ලව්ව තාත්ත ගැහැනියක් කරනවා. පුතාට දුෂ්ටය කියල නමක් දෙනවා. අපිට සාහිත්‍යයෙන් කියන ඔක්කොම ගන්න බැහැ. ගන්න ඕනත් නැහැ. අපි ඒකෙන් ගන්න ඕන ඉතිහාස සඥාව පමණයි. මහානාම හාමුදුරුවො සඳහන් කරනව "උතුරෙන් හැඩි දෙමළු දකුණෙන් ගොළු මුහුද" කියල. ඔය 'හැඩි දෙමළ’ කතාව මහානාම හාමුදුරුවන්ගෙ නිර්මාණයක්. නමුත් ඉන්දියාව ප්‍රමුඛ භාරතයේ බලපැම ගැන දුටුගැමුණු කියන්න ඇති. මේ උවදුර දැකපු චරිතයක් ජිවතුන් අතර තියන්න ඉන්දියාව සූදානම් වෙන්නෙ නැහැ. කුමාරයට ඇයි කොත්මලේට පලායන්න සිද්ධවෙන්නෙ? ඒක තාත්තට විරුද්ධව පලා යාමක් නොවෙයි. ඔහුට මේ දේශපාලන සවිඥානිකත්වය තිබුණා. නමුත් ඒ බලවේගවලට විහාර මහා දේවිය නතුවෙනවා.
ඇය දැන හෝ නොදැන මාලිගාවේ කරන කුමන්ත්‍රණයෙන් බේරගන්න ඕන නිසා තමයි කුමාරයව පිටත් කර හරින්නෙ. ඔහු එළාරට ගෞරව කරන ආකාරයෙන් ම පේනව දුටු ගැමුණු කියන්නෙ ශ්‍රේෂ්ඨ චරිතයක් බව. ඔහු අපිට උගන්නපු තරමට ම ජාතිවාදි චරිතයක් නෙවෙයි. ඔහු යුද්ධයක් කළ යුතු මොහොතෙ ඒක කළා. නමුත් ඔහු දැනගෙන හිටිය යුද්ධය කියන්නෙ අමානුෂික කටයුත්තක් කියල. මහා වංශය මේ කතාව වහනවනෙ. අන්න ඒක තමයි ඉතිහාස සංඥාව. පරණවිතාන කරපු දේවලුත් බලන්න වෙන්නෙ මෙන්න මේ කියපු ඉතිහාස සංඥාව හරහා. බුදුහාමුදුරුවො වැඩිය ද නැද්ද කියන එක හොයනවට වඩා වටින්නෙ නැද්ද මුළු ලෝකයේම රෑටත් නගින කන්ද මේක වුණේ කොහොමද කියල හොයන එක.
දැන් ඔබ පරණවිතාන මහත්මයට චෝදනාවක් කළා ඉතිහාසය වසා දැමු බවට. ඒ චෝදනාව ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි තිබෙනව ද...?
නෑ... ඇත්තට ම මම ඒ පිළිබඳව නම් අධ්‍යනය කරල නැහැ. හැබැයි එහෙම කතන්දර තියෙනවා. දැන් රාජ් සෝමදේව මහත්මය මතුකරගන්නෙ වහපු කතන්දරනෙ. ඒ නිසයි මම කියන්නෙ පරණවිතාන වගේ අය තම තමන්ගෙ අරමුණුත් එක්ක වැඩ කරපු නිසා අපේ ඉතිහාසයට අසාධාරණයක් වෙලා තියෙනවා කියල. උදාහරණයක් කියනව නම්, අපේ පාඩම් පොතේ තියෙන්නෙ ඉතිහාසය විජයගෙන් ආරම්භ වෙලා බුද්ධාගම මිහිඳු හාමුදුරුවන්ගෙන් ආරම්භ වුණා කියල. ඒක වැරදියි. බුද්ධාගම ආරම්භ වෙන්නෙ සමන් කියන ප්‍රාන්ත පාලකයගෙ ආරාධනයෙන් බුදුන් වහන්සේ සමනොල කන්දට වැඩිය මොහොතෙ සිට. මෙන්න මේ විදියට පරණවිතාන මගහැරපු හෝ ඔහුට මගහැරුණ දේ රාජ් සෝමදේව දැන් මතුකරමින් සිටිනවා.
ජයසිරි අලවත්ත - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
උපුටා ගැනිම theindependant