මිනිස් සත්වයාගේ ලිංගික කටයුතු යම් විවෘතත්වයකින් යුතුව ද, සුන්දරත්වයකින් යුතුව ද නිරූපණය කිරීම කලාවට හා සාහිත්‍යයට අයත් කාර්යභාරයෙකි. එය ඈත අතීතයේ පටන් ඉතා මනරම් ව සිදු වී ඇත. දේශපාලනය මිනිස් ජීවිතවලට බලපාන ආකාරය විග්‍රහ කිරීම ද කලාවට හා සාහිත්‍යයට අයත් කාර්යභාරයෙකි. ස්ත්‍රීන්ගේ ජීවිතවලට බලපාන දේශපාලනය, ආර්ථිකය හා සංස්කෘතිය නිරූපණය කිරීම කලාවේ හා සාහිත්‍යයේ තවත් කාර්යභාරයෙකි. එය ස්ත්‍රීවාදී සාහිත්‍යය, ස්ත්‍රීවාදී සිනමාව ආදී ලෙසින් හඳුන්වනු ලැබේ.
සුරේඛා සිය ප්‍රබන්ධය සඳහා තෝරාගන්නේ දේශපාලනය හා පවුල් පසුබිම නිසා නන්නත්තාර වූ චරිත කිහිපයෙකි. සමන්තා හා මැණිකේ හා අරුන්දතී ඒ අතරින් ප්‍රධාන වෙති. සමන්තා මැණිකේ ජීවිතයේ ඛේදවාචකයකට මුහුණ දෙන්නේ විප්ලවීය දේශපාලනය නිසා යැයි කිව හැකි ය. ඇය ජනතා විමුක්ති පෙරමුණෙහි දෙවන කැරැල්ලට සම්බන්ධ වි ජීවිතය නන්නත්තාර කර ගනී. අරුන්දතී දේශපාලන ක්‍රියාදාමයකට කෙළින් ම සම්බන්ධ නැතත්; ඇයට රටේ පවතින දේශපාලන පරිසරයට මුහුණ දෙන්නට සිදුවෙයි. ඒ තුළ ඇය ද නන්නත්තාර වෙයි.
ප්‍රධාන තේමා තුනක් මත මේ කතාව ගොඩනැඟී විකාශය වෙයි.
I ශ්‍රී ලංකාවේ විප්ලවීය දේශපාලනය
II වත්මන් සමාජ - ආර්ථික පරිසරය තුළ ස්ත්‍රිය මුහුණ දෙන ගැහැට
III ස්ත්‍රී - පුරුෂ ලිංගිකත්වය
කතුවරියට ශ්‍රී ලංකාවේ විප්ලවීය දේශපාලන ක්‍රියාදාමය පිළිබඳ නිශ්චිත මතයක්, විශ්ලේෂණයක් හා දැක්මක් නැත. ඇය මේ දේශපාලනය නිරූපණය කරනුයේ අහුලාගත් කෑලි මත ය. සමන්තා මැණිකේ මේ දේශපාලනයට සම්බන්ධ වන ආකාරය ද පැහැදිලි නැත. ඇයගේ ක්‍රියාකාරකම් ද පැහැදිලි නැත. ඇය විප්ලවීය දේශපාලන ක්‍රියාදාමය නිසා දරුවකු ලබන බව හා මානසික රෝගයකින් පෙළෙන බව පමණක් කතුවරිය කියයි. කතුවරිය සිය කතාව සඳහා තෝරාගනු ලබන වලව් පරිසරය ද සිදුවීම් සමඟ ගැළපෙන්නේ නැත. විප්ලවීය දේශපාලනය පිළිබඳ අමූලික බොරු ගොඩක් ද මේ පොත්කෑල්ල තුළ ඇතුළත්ය.
කෙනකු මේ පොත ස්ත්‍රීවාදී ලියැවිල්ලක් ලෙස හඳුන්වන්නට ද පුළුවන. ස්ත්‍රීවාදී සාහිත්‍යයට ඉතිහාසයක් හා හර පද්ධතියක් තිබේ. එහි අරමුණු හා ඉලක්ක නොදැන කතුවරිය අඳුරේ අතපත ගාන බවක් ද පෙනෙන්නට තිබේ. ස්ත්‍රීවාදී සාහිත්‍යය ආරම්භ වන්නේ මාක්ස්වාදය ප්‍රචලිතවීමත් සමඟ ය. පැවැති ධනේශ්වර රාමුව තුළ ස්ත්‍රිය මුහුණ දෙන සුවිශේෂ ගැටලු හඳුනාගෙන එම සාහිත්‍යය බිහි විය. එම්. එච්. ඒබ්‍රම් නම් ලේඛකයා ස්ත්‍රීවාදය පිළිබඳ මූලික හැඳින්වීම් සිදුකර තිබේ. බාබරා ස්මිත්, චලානි ස්වෝල්වර්, නිනා බෙයම්, හෙන්රි ගේට්ස් මේ සම්බන්ධයෙන් දීර්ඝ විවරණ සපයා ඇත. නිනා බෙයම්ගේ ‘woman’, Fiction කෘතිය ස්ත්‍රීවාදී නවකතාව පිළිබඳ සැලැකිය යුතු විග්‍රහයක් ඉදිරිපත් කරයි.
ස්ත්‍රීවාදය නවකතාව තුළ භාවිත වී ඇත්තේ විරෝධා කල්ප දැක්වීම පමණක් හේතුකොට ගෙන නො වේ. එබඳු සාර්ථක නවකතාවල කැපී පෙනෙන සාහිත්‍ය ලක්ෂණ තිබේ. නිදසුනක් කිවහොත් 19 වැනි සියවසේ මුල්කාර්තුවේ වර්ජිනියා වුල්ෆ් මීට අදාළ ප්‍රබන්ධ කිහිපයක් රචනා කර තිබේ. ඒවා කළාත්මක ආස්වාදයෙන් යුතු ය. A Room of One’s Own එබඳු කෘතියකි. සිමොන් දි බෝවාගේ The Second Sex තවත් එබඳු කෘතියකි. මේ ප්‍රබන්ධ ඉතා සංයමයකින් රචනා වී ඇති අතර, ස්ත්‍රී චරිත ඉතා සියුම් ලෙස නිරූපණය කෙරේ.
සුරේඛා සිය චරිත සියුම් ලෙස නිරූපණය කරන්නේ නැත. ඇතැම්විට චරිතවල හැසිරීම් අස්වාභාවික වේ. අතිරංගනයෙන් යුතු ය. පාඨකයාට විශ්වාසයකින් යුතුව මේ කතාව සමඟ බද්ධවීමේ අපහසුව තිබේ. මේ කතාවේ නරක ම කොටස වන්නේ පියා හා දියණිය අතර ලිංගික හැසිරීම ය. එවැනි දේ අපේ සංස්කෘතිය අනුමත කරන්නේ නැත. කුමන ශිෂ්ටාචාරයකටවත් එය අයත් නැත. අරුන්දතී සිය පියා පසුව මරා දමන බවක් පොතෙහි සඳහන් ය. එය ද කතාවට නොගැළපෙන බහුභූත සිද්ධියෙකි.
කතුවරිය නවකතාවක් ගොතන්නට පෙර පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කළේ නම් වැදගත් යැයි සිතේ.
I කිව යුතු කුමක්ද? නොකිව යුත්ත කුමක්ද?
II නවකතාවේ ප්‍රධාන ශිල්පීය ලක්ෂණය වන චරිත නිරූපණය.
III ප්‍රබන්ධයකට අවශ්‍ය සංයමය හා පැහැදිලිතාව
සුරේඛාගේ ප්‍රධාන දුර්වලතාවක් වන්නේ කිව යුත්ත කුමක්ද? නිරූපණය කළ යුත්තේ කුමක්ද? අත්හැරිය යුත්තේ කුමක්ද? යන වග නොදන්නා කම ය. මේ හේතුව නිසා ම ඇය විසින් වැරැදි ගණනාවක් සිදු කරනු ලැබේ. එක් ප්‍රබල නිදසුනක් කිවහොත් ඇයගේ කෘතිය තුළ අප කුණුහරුප යැයි හඳුනාගත් වචන ගණනාවක් භාවිත වේ. හැබෑවටම එම වචන භාවිත වී ඇත්තේ කිසිදු තේරුමකින් තොරව ය. කිසිදු තර්කයකින් තොරව ය. කිසිදු ගැළපීමකින් තොරව ය.
මේ කතුවරිය බරපතළ ලෙසින් විනාශ කරන්නේ නවකතා කලාව ය. නවකතා කලාවේ මූලික ලක්ෂණ දෙකක් තිබේ.
1. කථාන්දරයක් හෝ සිද්ධි ගැළපීමක් හෝ ඔස්සේ පාඨකයාට පූර්ණ ආස්වාදයක් ලබාදීම.
2. කතා - වස්තු ගොඩනැගීම, චරිත නිරූපණය හා භාෂාවේ නිර්මාණාත්මක ලක්ෂණ ඔස්සේ පාඨකයා දැනුම්වත් කිරීම.
සුරේඛාගේ පොත්කෑල්ලෙන් මේ එකක්වත් සිදුවන්නේ නැත. කතුවරියට පිළිබඳ හැඟීමක් හා දැනීමක් නැති බව ද පෙනී යයි. චරිත අර්බුදවලට ලක් කිරීම, ඔවුන් මරා දැමීම මේ කතුවරිය ඉතා පහසුවෙන් කරයි. එහෙත් ස්ත්‍රීවාදි සාහිත්‍යයට එක් වූ ප්‍රකට කතුවරියන් එසේ සිදුකර නැත. නිදසුනක් ලෙස වර්ජිනියා වුල්ෆ්ගේ කතා පෙන්විය හැකි ය.
මේ කතාව නම් ප්‍රබන්ධයේ ඇති එක ම සාධනීය ලක්ෂණය භාෂාව භාවිත කිරීමේදී දක්වන කුසලතාව හා එඩිතරභාවය යැයි කිව හැකි ය. කතුවරිය කිසිදු සැකයකින් හා භීතියකින් තොරව භාෂාව භාවිත කරයි.
“ ගින්දර , කැරලි කෝලාහල මරණවලින්ම දසකයෙන් - දසකය පහුවෙන රටක වුණත් කොල්ලෝ - කෙල්ලෝ ප්‍රේම කරන එක වළක්වන්නේ නෑ”
(පිටුව 38)
“ගැනු කියන්නේ දැවෙන කොට ලස්සන දැවීම තුළම දියවෙන ඉටිපන්දම් වගේ ජාතියක්ද?”
( පිටුව 53)
කතුවරිය ඇතැම්විට දේශපාලනය ගැන පුළුල් විග්‍රහයක් ඉදිරිපත් කිරීමට ද සූදානම් බව පෙනීයයි.
“ ප්‍රතිපත්තිගරුක පක්ෂ තිබෙන්නේ කොහිද?”
“ නිතලිලාගේ පක්ෂයේ අයට අනුන්ගේ පක්ෂයක ඡන්දවලින් පාර්ලිමේන්තුවට පත්වෙන්ඩ හැකිවූණා පමණක් නොවෙයි. මැති ඇමැති තානාන්තරවල පහසුව අත්විඳින්නටත් හැකි වුණා....”
(පිටුව 72 -73)
සමස්තයක් ලෙස ගත්කළ සුරේඛාට දේශපාලය ගැන යම් වැටහීමක් තිබේ. එම දේශපාලනය තුළ ඛේදවාචකයට ලක්වන ස්ත්‍රීන් ගැන හැගීමක් ද ඇයට තිබේ. එහෙත් එම හැඟීම් දැනීම් බුද්ධිමය මාර්ග ඔස්සේ පාඨකයාට දැනවීම සඳහා උපාය මාර්ග ඇය සතුව නැත. කොටින්ම ඇය නවකතා කලාව ගැන කිසිවක්ම දන්නේ නැත.
විරෝධාකල්ප දැක්වීමෙහි කිසිදු වරදක් නැත. අප්‍රිකානු හා ලතින් අමෙරිකානු නවකතා ක්ෂේත්‍රය ගොනු වී ඇත්තේ මිනිස් සමාජය කෙරෙහි එල්ලවන අස්වාභාවික තර්ජන විස්තර කිරීම සඳහා ය. විශේෂයෙන් ස්ත්‍රීන් විෂයෙහි මතුවන අයුක්තිය හා අසාධාරණය එම කෘතිවලට පාදක වී තිබේ. එහෙත් ඒවා නිර්ව්‍යාජ ය. පිළිගත හැකි ය. සුරේඛාගේ පොත ව්‍යාජ ය. පිළිගත නොහැකි ය.
මේ කෘතිය ගැන පෙරවදනක් ලියන කේ. කේ. සමන් කුමාර සඳහන් කර ඇත්තේ සුරේඛා වැනි ලේඛිකාවන් එක කාරණයක් මත ඉහළින් තැබිය යුතු බව ය. එනම්, ස්ත්‍රීවාදී කැරැල්ල සම්බන්ධයෙන් ය. සුරේඛා ස්ත්‍රීවාදය වෙනුවෙන් කැරැල්ලක් ගසයි. එහෙත් කැරැල්ල ශත පහකට වැඩක් නැත.
රන්ජන් අමරරත්න
dinamina