‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍අද දේශපාලන දර්ශනය ගැන උනන්දුවක් දක්වන අය ජිජැක් කියවීම අනිවාර්ය යි - වංගීස සුමනසේකර

Published in කලා
Friday, 20 March 2015 10:48

පසුගිය 17 වන දින (2015-මාර්තු) කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රෙල්ඛන සේවා මණ්ඩලයේ දී උදිත අලහකෝන් විසින් පරිවර්තනය කරන ලද ‘‘ඇමරිකානු මුසල්මානුවා’’ සහ ‘‘ස්ලැවෝයි ජිජැක් - රූපමය නියමුවක්’’ යන කෘති ද්වය ජනගත කෙරිණ.

මතු දැක්වෙන්නේ එහි දී වංගීස සුමනසේකර මහතා විසින් ‘ස්ලැවෝයි ජිජැක් - රූපමය නියමුවක්’ කෘතිය සහ ස්ලැවෝයි ජිජැක් පිළිබඳ කරන ලද කෙටි දේශනය යි.

මම කැමතියි මෙම කතාව අප විසින් විසඳිය යුතු ගැටලුවක් අපට ඉදිරිපත් කරන නිරීක්ෂණයකින් පටන් ගන්න. ඒ තමයි ජිජැක් ගෝලීයව ජනප්‍රිය වීම සහ ලංකාවේ ජනප්‍රිය වීම අතර තිබෙන වෙනස්කම. ජිජැක් කියන්නේ දාර්ශනිකයෙක් ලෙස අති විශාල ගෝලීය ජනප්‍රියත්වයක් අත්පත් කරගත් කෙනෙක්. එය ගෝලීය ලෙස ජනප්‍රිය ක්‍රීඩකයකුට, නළුවකුට නැතිනම් ගායකයකුට සමාන කළ නොහැකි වුනත්, දාර්ශනිකයන් ට සාපේක්ෂව ගත්තොත් සිහිනෙන්වත් සිතිය නොහැකි මට්ටමේ ජනප්‍රියත්වයක්. ඔහුගේ දේශනයක් පිළිබඳ නිවේදනයක් නිකුත් වී පැය කීපයක් ඇතුළත දේශන ශාලාව පිරී අවසන් වෙනවා. ක්‍රිස්ටෝෆර් කුල්-වන්ට් විසින් මේ ‘රූපමය නියමුවක්’ පොතේ ආරම්භයේදී අපට මතක් කර දෙන ආකාරයට මේක වෙන්නේ එක නගරයක දෙකක නෙමෙයි යුරෝපයේ, උතුරු හා දකුණු ඇමරිකාවේත්, චීනය, දකුණු කොරියාව පමණක් නොව ඉන්දියාව වැනි රටවල් විශාල ගණනක් තුළයි. ඔහු චිත්‍රපට කීපයකට දායක වී ඇති අතර මෙයින් එකක් ඔහුගේ ජීවිතය පදනම් කරගත් වාර්තා චිත්‍රපටියක්. මෙතරම් ජනප්‍රියත්වයක් ඔහුට ලැබෙන්නේ ඇයි?

මෙයට හේතු වන කාරණා රාශියක් තිබෙකවා. පළවෙනි එක තමයි, අපි හැමෝම ගාව තියෙනවා මේ ජීවිතය කියන ගැටළලුව ලිහල දෙන වැඩිහිටි ගුරුවරයෙකු ට ආශාවක්. මොකද අපි ජීවත් වෙන්නේ ‘සත්‍යය’ කිසියම් ආකාරයකට අර්බුදයක ගිය සමාජයක. මෙතනදී මම ‘සත්‍යය’ වශයෙන් අදහස් කරන්නේ, තරමක් සරල ලෙස කිව්වොත්, ජීවිතයේ සහ ලෝකයේ අරුත අපට කියා දෙන, හරි වැරැද්ද කියා දෙන අදහස් පද්ධතියකට. ගුණදාස අමරසේකර ගේ වචනවලින් කිව්වොත් සමකාලීන මිනිසාගේ ප්‍රශ්නය තමයි ‘කියනු මැන දිවි අරුත’ කියන එක. විසි වෙනි සියවසේ වාමාංශික ව්‍යාපාරය කියන්නේ මේ ප්‍රශ්නයට දීපු එක උත්තරයක්. ආගම කියන්නේ තවත් උත්තරයක්. විද්‍යාව හා කලාව කියන්නේ තවත් උත්තර දෙකක්. දර්ශනය කියන විෂය අපිට තේරුම් කරන්න පුළුවන් එක විදියක් තමයි මේ විවිධ උත්තර අතර සාම්‍යයක් බිහි කරන්න උත්සාහ කිරීම කියන එක.

මේ උත්තරය පිළිබඳ අපේක්ෂාවක් අපි හැමෝම ගාව තියෙනවා. ඒ නිසා තමයි, උදාහරණයක් විදියට අපේ රටේ ජනප්‍රිය ධර්ම කතික භික්ෂූන් ඇති වෙන්නේ. ඒ වගේම ධනාත්මක චින්තනය, ෆෙන්ෂුයි, නක්ශස්ත්‍රය, කබිලිත්තේ දේවාලය වන්දනා කිරීම වගේ දේවල්වල මූලයත් මේකයි. යුරෝපීය සන්දර්භය තුළ ජිජැක් කියන සුපිරි-තරුව අපිට තේරුම් ගන්න වෙන්නෙත් මේ අරුතින්. මෙතනදී අපි වෙන් කිරීමක් කරන්න ඕන ජිජැක් කියන චින්තකයා සහ ජිජැක් කියන සුපිරි තරුව අතර.

ජිජැක් කියන චින්තකයා ගත්තොත් අපිට ඔහුගේ දාර්ශනික ව්‍යාපෘතිය තේරුම් කරන්න පුළුවන් නූතන ප්‍රංශ දර්ශනය ඇසුරින් ජර්මන් විඥ්ඥානවාදය කියවීම කියලා. විශේෂයෙන් ජාක් ලැකෝන් කියන මනෝවිශ්ලේෂණ න්‍යායවේදියා සහ, මෑත කාලීනව, ඇලෙන් බදියු කියන දාර්ශනිකයා ඇසුරින් හේගල් සහ ශෙලින් ඇතුළු ජර්මන් විඥ්ඥානවාදයට අයත් චින්තකයන් කියවීම. නමුත් ඔබ දන්නවා මේක ඉතාම අසීරු, කල් ගත වෙන, දර්ශනය ගැන උනන්දුවක් ඇති අයට පමණක් සීමිත වූ වරප්‍රසාදිත සංවාදයක්. ජිජැක් ගේ දේශන අහන්න, දේශනා ශාලාවල අතුරු සිදුරු නැතිව පිරී ඉන්න දස දහස් සංඛ්‍යාවක මිනිසුන් ට මෙවැනි උනන්දුවක් තියෙන්න බැහැ.හේගල් කියවන්න ලක්ෂ ගණන් මිනිස්සු උනන්දු වෙනවනං ලෝකය මෙයට වඩා කොච්චර වෙනස් වෙයිද?

එනිසා ඔවුන් අනුගමනය කරන්නේ ජිජැක් කියන චින්තකයා නොවේ: ජිජැක් කියන සුපිරි තරුවයි. ජිජැක් කියන සුපිරි තරුව කරන්නේ ලැකෝන් සහ හේගල් දෙමුහුම් කරන දාර්ශනික ව්‍යාපෘතිය නෙමෙයි. ඒ වෙනුවට එම සුපිරි තරුව කරන්නේ ‘කියනු මැන දිවි අරුත’ කියන අමරසේකරගේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න උත්සාහ කරන එක. දැන් මම ආරම්භයේදී කියපු නිරීක්ෂණයට අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ තමයි ජිජැක් ගොඩක් ජනප්‍රිය වෙන්නේ යුරෝපීය සන්දර්භය තුළ. නූතනත්වය පිළිබඳ ජිජැක් ගේ ම නිර්වචනයක් තමයි ආගම ට සත්‍යය නියෝජනය කිරීමේ ඒකාධිකාරය අහිමි වීම කියන එක. ඔබ දන්නවා බටහිර ලෝකයේ ආගම් විශ්වාස කරන්නේ නැති විශාල පිරිසක් ඉන්නවා. විශේෂයෙන් තරුණ පරම්පරා තුළ. ඉතින් එවැනි සමාජයක් තුළ ෆෙන්ෂුයි, කබිලිත්තේ දේවාලය වගේ දේවල්වලට වඩා ලෞකික විසඳුම්වලට වැඩි ඉල්ලුමක් තියෙනවා. ජිජැක් වගේ පුද්ගලයෙක් මේ හිස්තැන පුරවන්න ඉහළ ම සුදුසුකම් ඇත්තෙක් වෙන්නේ මේ නිසා. ක්‍රිස්ටෝෆර් කුල්-වන්ට් අපට මතක් කර දෙන විදිහට ආගම බිඳ වැටීමෙන් පසු ඇති වූ සංශයවාදයට එරෙහිව ජිජැක් සත්‍යය වෙනුවෙන් පෙනී ඉන්නවා. නමුත් අපි දන්නවා ලංකාව කියන්නේ එම අරුතින් නූතන රටක් නෙමෙයි. අපේ රටේ මිනිස්සු තවමත් පරම සත්‍යයේ හිමිකාරිත්වය දෙන්නේ ආගමට. එම නිසා අපිට ජිජැක් ව ලංකාවේ ජනප්‍රිය වෙන එක ඔහු බටහිර ලෝකයේ ජනප්‍රිය වෙන විදිහ සමග සන්සන්ධනය කරන්න බැහැ.

අනෙක් අතට, ජිජැක් ව යුරෝපයේ මෙම භූමිකාවට ආදේශ වීම සඳහා තවත් කරුණු කීපයක් බලපානවා. එකක් තමයි ඔහු යුරෝපයේ ජනප්‍රිය සංස්කෘතිය, ඒ කියන්නේ හොලිවුඩ් චිත්‍රපට, රහස් පරීක්ෂක නවකතා, පරිසරවාදය, සයිබර් අවකාශය, විහිළු කතා, නිල් සිනමා කර්මාන්තය, පරිභෝජන සංස්කෘතිය ආදියට අදාළව අදහස් දැක්වීම් කරනවා. ඔහු කරන්නේ දාර්ශනික සංකල්ප ඇසුරු කරගෙන මේවා කියවීම, නැතිනම් පැහැදිළි කිරීම. ජිජැක් ‘ජිජැක්’ වන ප්‍රධාන ගුණාංගය වන්නේ මෙයයි. දර්ශනයේ ඉතිහාසයේ එන මහා සංකල්පයක් ඔහු පැහැදිළි කිරීමට යොදා ගන්නේ ලිංගික විහිළුවක්. නැතිනම් මාවල් කොමික්ස්වල එන ස්පයිඩර් මෑන් වැනි චරිතයක්. ජිජැක් ව බටහිර ලෝකය තුළ ඉමහත් ජනප්‍රියත්වයට පත්වීමට මෙය එක් හේතුවක්. ඔහු විසින් බටහිර ලෝකයේ මධ්‍යම පන්තිකයාගේ දෛනික ජීවිතය, ඉතා තාක්ෂණික දාර්ශනික සංවාදයක් තුලට ගෙන එනවා.

නිදර්ශනයක් ලෙස අපිට ක්‍රිස්ටෝෆර් කුල්-වන්ට් පැහැදිළි කරන සංස්කෘතික ධනවාදය පිළිබඳ උදාහරණය සලකා බැලිය හැකියි. යුරෝපයේ තරමක් අලුත් වෙ‍ළෙඳ උපක්‍රමයක් තමයි භාණ්ඩයේ මිලෙන් සහනාධාර ලෙස යම් කොටසක් අපේ වගේ දුප්පත් රටවලට දෙන එක. උදාහරණයක් විදියට ඔබ ස්ටාබක්ස්වලින් කෝපි කෝප්පයක් ගත්තොත් ඔබ ගෙවන මුදලෙන් යම් ප්‍රතිශතයක් ශ්‍රී ලංකාවේ පාසල් ආධ්‍යාපනය වර්ධනය කිරීමේ අරමුදලකට එකතු වන බව ස්ටාබක්ස් කෝපිහලේ දැන්වීම් පුවරුවක් මත දී ඔබ දකිනවා. ජිජැක් ගේ විශ්ලේෂණය වන්නේ ඔබ එම කෝප්පය මිලට ගන්නකොට ඔබ කෝපිවලට අමතරව ‘හොඳ දෙයක් කිරීමෙන් ඇති වන ආත්ම තෘප්තියත්’ මිලට ගන්නා බවයි. එවිට ඔබට පුළුවන් ඔබ ගතකරන පරිභෝජනවාදී ජීවිතය හොඳින් ම ගත කරමින්, නමුත් ඔබ පරාර්ථකාමී යහපත් මිනිසෙක් කියන හැඟීමත් ඇති කර ගන්න. එතකොට මේ සමාජ ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාවය ඔබට ඇති වෙන්නේ නැහැ.

දැන් ජිජැක් ගේ මේ විවේචනය බටහිර ලෝකයට ඉතාම තදින් වැදෙන විවේචනයක්. එහි ජීවත් වන තරුණ පරම්පරාවට මේ විවේචනය සිය දෛනික ජීවිතය තුළ නිරතුරුව මුහුණ දෙන දෙයක්. නමුත් අපේ රටේ තරුණ පරම්පරාවට මේ උදාහරණය අදාළ වෙන්නේ නැහැ. ඇත්තටම කියනවනම් අපේ රටේ ජිජැක් කියවන තරුණයන් වැඩි පිරිසක් අයිති වෙන්නේ ස්ටාබක්ස්වලින් කෝපි බොන අයගේ කුලකයට නෙමෙයි, ස්ටාබක්ස්වලින් ආධාර කරන දුප්පතුන් ගේ කුලකයට. ඒ අරුතින් අපිට ජිජැක් ව දැනෙන්නේ නැහැ. මේකට තව උදාහරණ ගොඩක් දෙන්න පුළුවන්. මේ පොතේ ම කියන විදියට ජිජැක් කතා කරන The Terminator, The Matrix, Alien වගේ චිත්‍රපට ගොඩක් වෙලාවට බලන්නේ නගර කේන්ද්‍රීයව ඉන්න සුළු පිරිසක්. එහෙම නැත්නම් සිනමාව ගැන විශේෂ උනන්දුවක් දක්වන අය. එම චිත්‍රපට බටහිර ලෝකයේ ජනප්‍රිය සංස්කෘතියේ කොටස් වෙන අයුරින් අපේ රටේ ජනප්‍රිය සංස්කෘතියට අයිති නැහැ. මේක තේරුම් ගන්න පුළුවන් ඉස්තරම් උදාහරණයක් තමයි ජිජැක් ට පටබැඳිලා තියෙන එක අන්වර්ථ නාමයක් වන ‘‘Elvis of Cultural Theory’’ ඒ කියන්නේ සංස්කෘතික න්‍යායේ ‘‘එල්විස්’’ කියන හැඳින්වීම. දැන් මේ නම බටහිර ජනප්‍රිය සංස්කෘතිය එක්ක ගණුදෙනු කරන අයට හොඳට දැනෙන නමක්. නමුත් මේක සිංහලෙන් ‘‘සංස්කෘතික න්‍යායේ එල්විස්’’ කියල කිව්වට අපිට දැනෙන්නේ නැහැ. හේතුව තමයි මේක තේරුම් ගන්නනම් එල්විස් ප්‍රෙස්ලි ගැන දැන ගන්න ඕන. විශේෂයෙන් ම ඔහු විසින් ලෝකයේ ජනප්‍රිය කරවූ රොක් ඇන්ඩ් රෝල් සංගීතය ගැන දැන ගන්න ඕන. රොක් ඇන්ඩ් රෝල් සංගීතය එල්විස් විසින් ලෝකයේ ජනප්‍රිය කළේ යම් සේ ද එලෙසින් ම ජිජැක් විසින් සංස්කෘතික න්‍යාය - ‘‘සංස්කෘතික න්‍යාය’’ නැතිනම් ‘‘සංස්කෘතික අධ්‍යනය’’ කියලා කියන්නේ, පුළුල් ලෙස ගත්විට, සමකාලීන ප්‍රංශ දර්ශනය ට ඇමරිකාවේ දී ලැබුණු ජනප්‍රිය නම, ඒක ලෝකයේ ජනප්‍රිය කළා. ඒක තමයි මේකේ අර්ථය. නමුත් අපිට එම අරුතින් ජිජැක් ව තේරුම් ගන්න බැහැ. එම නිසා තමයි මම යෝජනා කරන්නේ එම අරුතින් ජිජැක් බටහිර ලෝකය තුළ ජනප්‍රිය වෙන ආකාරයෙන් ලංකාවේ ජනප්‍රිය වීමට කොන්දේසි නැහැ.

මම හිතන්නේ අපි මේ වෙනස ලංකාවේ ජිජැක් ගැන කරන සංවාදයකදී අවධාරණය කරන්න ඕන. ජිජැක් ගේ තියෙන එක සුවිශේෂ හැකියාවක් වෙන වියුක්ත දර්ශනය සහ ජනප්‍රිය සංස්කෘතිය අතර ඇති පරතරය ඉවත් කිරීම ලංකාවේදී ක්‍රියාත්මක වෙන්නේ තරමක් අසම්පූර්ණ විදියකට යි. මන්ද, ඒ සඳහා අවශ්‍ය සංස්කෘතික විමර්ශක් අපට නැහැ. එම නිසා ජිජැක් ලංකාවේ කවදාවත් බටහිර ලෝකයේ වගේ ජනප්‍රිය වෙයි කියලා මම හිතන්නේ නැහැ. නමුත් මගේ අදහසේ හැටියට ඒක හොඳ දෙයක්. මොකද අපිට පුළුවන් ජිජැක් එක්ක මතුපිට තලය ඉක්මවා ගිය බැරෑරුම් ගණුදෙනුවක් කරන්න. ලංකාවේ ජිජැක් පිළිබඳ උනන්දුවක් තියෙන කණ්ඩායම් මූලික කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි විමුක්ති දේශපාලන කතිකාව පිළිබඳ උනන්දුවක් දක්වන පිරිස්. අනෙක් කොටස තමයි සමකාලීන කලා විචාරය, විශේෂයෙන් සිනමා විචාරය පිළිබඳ උනන්දුවක් දක්වන පිරිස්. ඒ අරුතින් ගත් විට ලංකාවට වැදගත් වෙන්නේ ජිජැක් කියන ‘සුපිරි-තරුව’ නෙමෙයි ජිජැක් කියන චින්තකයා යි. නමුත් ජිජැක් කියන චින්තකයා කියවීම තරමක් අපහසු සහ තාක්ෂණික වැඩක්. එසේනම් අප ජිජැක් ව කියවිය යුත්තේ ඇයි? මෙයට පිළිතුරු කීපයක් යෝජනා කළ හැකිය.

පළමු සහ සරල පිළිතුර වන්නේ, ඔහු ඉතාම විශිෂ්ට චින්තකයකු වීමයි. පුද්ගලිකව ගත්විට ඔහු මාගේ ප්‍රියතම චින්තකයා නොවේ. නමුත් ලැකේනියානු මනෝවිශ්ලේෂණය හරහා ජර්මන් විඥ්ඥානවාදය පිලිබඳ ඔහු කරන විශිෂ්ට කියවීම සමකාලීන දර්ශනයේ විශේෂ මංසලකුණකි. විශේෂයෙන් ම ජිජැක් හා සම්බන්ධ ස්ලොවේනියානු ගුරුකුලය අපට ඉතා වැදගත් කියවීම් ගණනක් ඉතිරි කර දී තිබනවා. ඒ සමගම ජිජැක් කියන්නේ අප අද ජීවත් වන ලෝකය තුළ, වෙළඳපොළ විසින් අපගේ ජීවිතයේ සෑම අස්සක් මුල්ලක්ම පාලනය කරන තත්වයක් තුළ මනුෂ්‍ය ජීවිතය සහ එහි සාමූහික විමුක්තිය පිළිබඳව නිරන්තර මැදිහත් වීම් කරනා චින්තකයෙක්. ඔහුගේ අතිශය ජනප්‍රිය අතුරු කතා සියල්ලම පාහේ සම්බන්ධ වෙන්නේ මෙම දෙවෙනි උනන්දුව සමගයි. මෙහිදී ජිජැක් ඉතා දැනුවත්ව ඔහුගෙන් අපේක්ෂිත ‘‘පරම ගුරු දේවයන් වීම’’ කියන භූමිකාව ගැටළලුකාරී තැනකට ගෙන එනවා. ඔහු අපට ‘‘කළ යුත්තේ කුමක්ද?’’ කියන ප්‍රශ්නයට සරල ඍජු පිළිතුරු දීම වෙනුවට එම ප්‍රශ්නය පැන නැගීමේ අභ්‍යන්තර කොන්දේසි විමසීම මගින් අපගේ ම ජීවිතය විචාරයට බඳුන් කරනවා. ක්‍රිස්ටෝෆර් කුල්-වන්ට් ගේ මෙම පහසු හැඳින්වීම වඩාත් අවධානය යොමු කර තිබෙන්නේ මෙලෙස සමකාලීන සමාජය විචාරයට ලක් කරන භූමිකාවට. විශේෂයෙන් ඔහු විසින් යළි යළිත් පුනරීක්ෂණය කරනා දෘෂ්ඨිවාදය, මහා අනෙකා, සුපිරි අහමේ විධානය, විනෝදය දේශපාලන සාධකයක් ලෙස සැලකීම ආදී ප්‍රධාන ජිජැකියානු යෝජනා මෙහිදී සරල ලෙස පැහැදිළි වෙනවා. කෙනෙකුට ජිජැක් ගේ විග්‍රහය සමග එකඟ නොවීමට පුළුවන්. නමුත් එය මග හැර යන්න බැහැ. එම නිසා අද ලෝකයේ දේශපාලන දර්ශනය ගැන උනන්දුවක් දක්වන අය ජිජැක් කියවීම අනිවාර්ය ලෙස වැදගත් වෙනවා.

ජිජැක් ව අනිවාර්යෙන් කියවන්න ඕන තවත් වැදගත් කමක් තියෙනවා. ඒ තමයි, ජිජැක් යනු සමකාලීන චින්තනයේ වැදගත් වර්ධනයන්, සංවාද පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ඇති ඉතාම විශ්වාසවන්ත මූලාශ්‍රයක් වෙන එක. අද ලෝකයේ වඩාත් කතා බහට ලක්වන දාර්ශනික ප්‍රවණතා, නවකතා, චිත්‍රපටි ආදිය පිළිබඳ ඔබට ඉගෙන ගැනීමට අවශ්‍යනම් ජිජැක් ව බලන්න. ජනප්‍රිය සංස්කෘතිය සමග සමීපව ගමන් කරන ජිජැක් ට මග හැරී යන සංවාද ප්‍රමාණය හරිම විරලයි. සමපේක්ෂී යථාර්ථවාදය, ස්නායු වෛද්‍ය විද්‍යාව, ක්වෝන්ටම් භෞතික විද්‍යාව පිළිබඳ සංවාද, දේශපාලන දර්ශනය, සිනමා න්‍යාය ආදී පුළුල් ක්ෂේත්‍ර ගණනාවක් සමගම ජිජැක් එක විට ගැටෙනවා. ප්‍රංශ යෙදුමක් තියෙනවා ‘‘tour de force’’ කියලා. ඒකෙ තේරුම තමයි ‘‘ඉතා ඉහළ ශක්තියක්, ජවයක් අවශ්‍ය කාර්යභාරයක්, වැඩක්’’ කියන එක. ජිජැක් ගේ මේ මැදිහත් වීම් අපිට නම් කරන්න පුළුවන් අන්න ඒ වගේ ‘‘tour de force’’ එකක් කියලා.

මෙයට සම්බන්ධ තුන්වැනි වැදගත්කමක් තමයි ජිජැක් යනු විවිධ දාර්ශනික ප්‍රවණතාවල ශක්තිය මැන බැලිය හැකි වටිනා උරගලක් වීම. සාමාන්‍යයෙන් දාර්ශනිකයන් සිය ප්‍රතිවාදීන් එක්ක නිතර පැටලෙන්නේ නැහැ. ඒ නිසා බොහෝ දාර්ශනිකයන් කරන්නේ තමන් ගේ සංකල්ප පද්ධතියක් බිහි කිරීම. ඔවුන් ගැටෙනවානම් ගැටෙන්නේ දර්ශනයේ මහා සම්ප්‍රදායේ චින්තකයන් - ඒ කියන්නේ ප්ලේටෝ, ඇරිස්ටෝටල්, කාන්ට්, හේගල් වගේ - අය එක්ක. නමුත් ජිජැක් එහෙම නොවෙයි. ඔහු හරියට පොඩි ළමයෙක් වගේ හැමෝගෙම සංවාදවලට, හැමෝගෙම රණ්ඩුවලට මැදිහත් වෙනවා. ඒ නිසා ඔබට අලුත් අදහසක් පිළිබඳ හොඳ විවේචනාත්මක තක්සේරුවක් වෙත එන්න ඕනනම් ජිජැක් ව කියවන්න. නිදර්ශනයක් ලෙස ක්වෙන්ටින් මෙයසූ ගේ චින්තනය සම්බන්ධයෙන් මගේ කියවීම සඳහා මා බොහෝ සේ උපකාර කර ගත්තේ ජිජැක් ඔහුට එල්ල කරනා විවේචනයයි. මම ජිජැක් ගේ විවේචනය ට එකඟ නොවුණ ද එමගින් මතු කරන ප්‍රශ්නවලට පිළිතුරු නිර්මාණය කර ගැනීමේ අභියෝගය මගේ අදහස් වල තිබුණු දුර්වල තැන් හඳුනා ගන්න මට උදව් කළා.

මෙලෙස ජිජැක් කියන සුපිරි තරුව වෙනුවට ජිජැක් කියන චින්තකයා සමග ගණුදෙනු කිරීමට නම් අනිවාර්ය කොන්දේසියක් තමයි ඔහු පිළිබඳව විධිමත් සාහිත්‍යයක් ඇති කිරීම. මම කලෙක සිට පෙනී ඉන්න ව්‍යාපෘතියක් තමයි අපේ රටේ න්‍යායික සාහිත්‍යයේ පරිවර්තන කෘති ඇති විය යුතුයි කියන එක. මාක්ස්වාදයේ කෘති පරිවර්තනය වුණාට පසුව ලෝකයේ ඇති වූ විකල්ප සංවාද සිංහල භාෂාවෙන් කියවන්න නොමැති වීම නිසා අපේ රටේ සිංහල සංවාදය ගොඩක් අවිධිමත් සංවාදයක් බවට පත් වෙලා තියෙනවා. මම හිතන්නේ අපි පුළුවන් තරම් ඉක්මනින් සමකාලීන බැරෑරුම් සිතීමේ ව්‍යාපෘති සිංහල භාෂාවට ගෙන එන්න ඕන.

මේ වැඩේ කාලයක් තිස්සේ නියැලිලා ඉන්න කෙනෙක් විදියට මම දන්නවා මේ වගේ පරිවර්තනවලදී මගේ අතින් කොච්චර වැරදි වෙනවද කියලා. කොච්චර මහන්සි උනත් මේ වගේ වැඩවලදී එවැනි සුළු අත් වැරදීම් වෙන එක වළක්වන්න බැහැ. මේ කෘතියෙත් එවැනි අත්වැරදීම් සමහර තැන් වල තියෙනවා. මම හිතනවා ඉදිරියේදී ඒ වැරදුණු තැන් නිවැරදි වෙයි කියලා. නමුත් මේ සියල්ලටම වඩා වැදගත් වෙන්නේ ඉදිරියේදී මේ වගේ තව පොත් පරිවර්තනය වීමයි. එනිසා මම හිතනවා උදිත මීළඟට ජිජැක් ගැන ලියවෙච්ච පොතක සිට ජිජැක් ගේ පොතක් පරිවර්තනය කිරීමට අත ගහයි කියලා. ඒ ජිජැක් ව අන්ධානුකරණය කරන්න නෙමෙයි ඔහු සමග ගැටෙන්න. ඔහු අපට ‘‘අවසාන පිළිතුර’’ දෙන නිසා නෙමෙයි, ‘‘අවසාන පිළිතුර’’ හොයා ගන්න තියෙන්නේ ඔහු වැනි චින්තකයන් සමග ගැටීමෙන් වන නිසා. ප්‍රබුද්ධ යුරෝපීය ජාතිකයන් ඉන්නේ අපි වගේ දුප්පත් රටවල්වල මිනිස්සු බේර ගන්න කියන එක උපහාසයට ලක් කරන ජිජැක් ගේ ම විහිළු කතාවකින් මම මේක ඉවර කරන්නම්.

බොස්නියාවෙන් එන මේ විහිලුව සම්බන්ධ වෙන්නේ බීතෝවන් ගේ ‘‘Für Elise’’ කියන සංගීත ඛණ්ඩය පිළිබඳවයි. මේක අපි හැමෝම උදේ හවස අහනවා ත්‍රීරෝද රථවල පාන් විකුණන (චූං පාන්) අයගෙන්. Für Elise කියන ඒකෙ තේරුම තමයි ‘‘For Elisa’’, ඒ කියන්නේ එලීසා වෙනුවෙන් කියන එක. ඉතින් විහිළු කතාව මේකයි.

බොස්නියාවට ආව යුරෝපීය සංගීත ගුරුවරියක් පන්තියේදී මෙහෙම කියනවා:

“මම සම්ප්‍රදායික විදියට බීතෝවන් උගන්නන්නේ නැහැ. අපි අලුත් ක්‍රමයක් උත්සාහ කරමු. ඕගොල්ලෝ මට ඉස්සෙල්ල කියන්න හිතේ මැවෙන රූපයක් හරි අදහසක් හරි, ඊට පස්සේ කියන්න ඒකත් එක්ක ඕගොල්ලන්ගේ ඔලළුව ඇතුලේ සම්බන්ධ වෙන බීතෝවන් ගේ සංගීත කෘතිය”.

ඉස්සෙල්ලම ටිකක් කුලෑටි ගෑනු ළමයෙක් කියනවා “මට මතක් වෙන්න් සුන්දර කැලයක් ඉදිරියේ තියෙන ලස්සන කොළ පාට තන බිමක් හා දිය පාරක්. ඒ දිය පාරෙන් මුව පැටවකු වතුර බොනවා. ඒකත් එක්ක සම්බන්ධ සංගීත ඛණ්ඩය තමයි Pastoral.”.

ඊළඟට තවත් ළමයෙක් කියනවා “මට මතක් වෙන්නේ විප්ලවය, වීරත්වය, නිදහස. ඒකත් එක්ක මැවෙන්නේEroica.”

අන්තිමට ටිකක් පන්තියේ කෙළවරේ ඉන්න කොල්ලෙක් නැගිටලා කියනවා “මට ඔලළුවට එන්නේ විශාල, මහත, ශක්තිමත්, ප්‍රාණවත් පුරුෂ ලිංගයක්” කියලා.

හොඳටම කලබල වෙන ගුරුවරිය ඒ මොකටද කියලා අහනකොට කොල්ලා කියනාවා ‘එලීසා වෙනුවෙන්’ ඒ කියන්නේ Für Elise කියලා.

ජිජැක් ගේ විශ්ලේෂණය මේකයි. පළවෙනි දෙන්න ම කරන්නේ උපමාවක් (metaphor) යොදා ගැනීම. ඒ කියන්නේ Pastoral වලින් ඇහෙන නාදය හරියට ස්වභාව සෞන්දර්ය වගේ කියලා කියනවා. නමුත් තුන්වෙනි එක්කෙනා කරන්නේ සංගීත ඛණ්ඩය උපමාවක් විදියට ගන්න එක නෙමෙයි උපචාරයක් (metonymy) විදියට ගන්න එක. ඒ කියන්නේ එයාගේ වාක්‍යය Für Elise කියන ඒකත් එක්ක ඍජුව සම්බන්ධයි.

මම හිතන්නේ ජිජැක් පාවිච්චි කරන අරුතෙන් තරමක් වෙනස් විදියට අපිට පුළුවන් මේක ලංකාවේ ඉඳන් අපි ජිජැක් එක්ක ගණුදෙනු කළ යුතු ආකාරය තේරුම් ගන්න. අපි උත්සාහ කළ යුත්තේ ජිජැක් ගේ විශ්ලේෂණ අපේ රටේ ප්‍රශ්න වෙනත් සන්දර්භයක කතා කරන උපමා කතා විදියට ගන්න එක නෙමෙයි. ඒ වෙනුවට මම යෝජනා කරන්නේ ජිජැක් කියන්නේ අපේ ප්‍රශ්න ම කතා කරන චින්තකයෙක් විදියට ඔහු ගේ චින්තනය එක්ක ඍජුව ගැටෙන එක. ජිජැක් කියන්නේ දෙවියන් නෙමෙයි. කිසිම දාර්ශනිකයෙක් කියන්නේ දෙවියන් නෙමෙයි. ඒ නිසා අපි ඔවුන් ව අන්ධානුකරණය කළ යුතු නැහැ. ඒ වෙනුවට අපි උත්සාහ කළ යුත්තේ ඔවුන් සමග ගැටෙන්නයි. ජිජැක් වගේ බැරෑරුම් චින්තකයන් එක්ක අපි පැටලිය යුතුයි. මේ සඳහා ඔහු පිළිබඳ සාහිත්‍යයක් ඇති වීම අනිවාර්ය වන අතර උදිත අලහකෝන් ගේ උත්සාහය මේ සඳහා යහපත් ආරම්භයක් කියා මම සිතනවා.

සටහන - ජයසිරි අලවත්ත This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

slewor-gijek

Leave a comment

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us