අපේ කලාකරුවන් අතර මහා පුරුෂයන් නැහැ- ගාමිණී වියන්ගොඩ

Published in කලා
Sunday, 15 March 2015 10:48

ජේ.ආර්. කියන්නේ ධනපති ක්‍රමය වෙනුවෙන් ජීවිතය කැප කරපු කෙනෙක්. ඔහු ධනපති ක්‍රමයේ ඉදිරිය බලලා ඒකට වුවමනා අඩිතාලම දාන්න ජීවිතය කැප කරපු පාලකයෙක්. මහින්ද රාජපක්ෂ වැඩවසම් ක්‍රමයකට අඩිතාලම දාන්න උත්සාහ කරපු නායකයෙක්.‍ ඒක තමයි ජේ. ආර්. ගෙයි මහින්දගෙයි වෙනස. ලංකාවේ බලයට පත් වෙච්ච නරකම පාලකයා විදියට මම මහින්ද රාජපක්ෂව දකිනවා.

* සාහිත්‍ය පරිවර්තන කෘති තෝරාගැනීමේදී ඔබ විශේෂයෙන් දේශපාලනය කෙරෙහි සැලකිලිමත් වෙනවාද?

දේශපාලනය විතරක් නෙමේ. අපේ ස්වතන්ත්‍ර සාහිත්‍ය කෘතිවල පොදුවේ සාකච්ඡාවට නොගැනෙන සමාජයීය හෝ මනුෂ්‍යත්වය පිළිබඳ කාරණා කෙරෙහිත් මා බෙහෙවින් සැලකිලිමත් වෙනවා.

* උදාහරණයක් දෙන්න පුළුවන් ද?

ඔව්. කර්ට් වොනේ‍ගට් නමැති ඇමෙ‍රිකානු ලේඛකයාගේ ‘මදර් නයිට්’ (රෑ මාතා) කියන නවකතාව අර ගමු. මෙයින් කියැවෙන්නේ හිට්ලර් කොහොමද ජාතිවාදය පාවිච්චි කළේ කියන එක. මේ නවකතාවේ එන්නේ හිට්ලර් ගැන නෙමෙයි. ඔහුට කඩේ ගිය කලාකරුවෙක් ගැනයි‍. ඔහු ජර්මන් ගුවන් විදුලි නිවේදකයෙක්. ඔහු තමන්ගේ ‘හඬ’ කොහොමද හිට්ලර් වෙනුවෙන් පාවිච්චි කළේ යන්න මෙයින් කියැවෙනවා. අපේ රටෙත් මෑත භාගයේ ඔය විදියටම තමන්ගේ ‘හඬ’ පාවිච්චි කරපු නිවේදකයෝ හිටියා. ඉතිං මේ නවකතාව අපිටත් අදාළයි. එහි දේශපාලනය, සමාජයීය කාරණා මේ සියල්ල තියෙනවා‍.

* පරිවර්තනවලට වඩා අපේ ස්වතන්ත්‍ර සාහිත්‍ය කෘති චින්තනමය වශයෙන් පසුගාමී ඇයි?

ඒකට හේතු ගණනාවක් තියෙනවා. සාහිත්‍ය වගේ කලාවන්ට ඒ ඒ රටවල තියෙන සංස්කෘතීන් බලපානවා‍. ඒ සංස්කෘතීන්වලට ආගම් බලපානවා. සමහරු තර්ක කරනවා. අපේ රටේ ථෙරවාදී බුද්ධාගමට වඩා මහායාන බුද්ධාගම තිබුණා නම් කලා ප්‍රකාශනයන් සඳහා මීට වැඩි ඉඩක්, මීට වැඩි නිදහසක් තියෙන්න තිබුණා කියලා. කලාවන් මීට වැඩිය දියුණු වෙන්න තිබුණා කියලා.

* ඔබ ඒ මතය පිළිගන්නවාද?

ඒක මං දන්නේ නැහැ. මොකද මං ඒ ගැන අධ්‍යයනයක් කරලා නැහැ. කොහොම වුණත් ථෙරවාදී බුද්ධාගමෙන් අපේ සාහිත්‍ය කලාවන්ට කිසියම් බාධාවක් වන බව මම පිළිගන්නවා. මොකද අපේ ලේඛකයන් තුළ සංස්කෘතික සීමා තියෙනවා‍. දැන් බලන්න අපට ඉන්න ජ්‍යෙෂ්ඨ සාහිත්‍ය පරිවර්තකයෙක් වන සිරිල් සී. පෙරේරා ප්‍රසිද්ධියේ ම කියනවා, තමා අපේ සංස්කෘතියට නොගැළපෙන දේවල් පරිවර්තනයේදී ඉවත් කරනවා කියලා. ඒක හරිම සාහසික කියමනක්. පරිවර්තකයෙක් කිසිම කලෙක නොකියවයුතු දෙයක්. ආගමෙන්, සංස්කෘතියෙන් ඔහුව හිර කරල තිබෙන බවයි එයින් පැහැදිලි වෙන්නේ. ඔහු ස්වයං වාරණයක් පනවගෙන. ඒක හරිම ඛේදජනකයි. ඉතිං මෙබඳු තහංචි තිබෙන තෙක් අපේ රටේ සාහිත්‍ය කලා දියුණුවෙන්නේ නැහැ.

අනිත් ප්‍රශ්නය තමයි අපේ කලාකරුවන් අතර මහා පුරුෂයන් නැහැ. ලියෝ ටෝල්ස්ටෝයි ලා, රවින්ද්‍රනාත් තාගෝර්ලා වගේ මහා පුරුෂයන් නැහැ. තාගෝර් වගේ කලාකරුවකුගේ චින්තාව අරන් බලන්න. මොනතරම් උත්කෘෂ්ටද? තව අවුරුදු දෙසීයක් ඉදිරියට ගියත් එය ශුද්ධත්වයෙන් සලකන්න පුළුවන්. ජාතිය ගැන, දේශ ප්‍රේමය ගැන මොනතරම් දර්ශනයක් ඔහුට තිබුණ දැයි හිතන්න. ඒ වගේ කලාකාරයෝ අපිට ඉන්නවද? අමරදේව දක්ෂ ගායකයෙක්. ඔහුගේ ගීත අපි රස විඳිනවා. මතුවටත් රස විඳීවි. එහෙත් ඔහු මහා පුරුෂයෙක් ද? හිටපු ජනාධිපතිවරයා ඉස්සරහ දණින් වැටිලා ‘ම‍ාගේ පියාණනි’ කියනවා. මොන තරම් දීනකමක් ද?

ss-1* කලාවෙන් කළ හැකි දේ සීමාසහිතයි. ඒ නිසා ද ඔබ පුරවැසි දේශපාලනයකට යොමුවෙන්නේ.

මම දේශපාලනයට යොමු වුණේ කලාකාරයෙක් විදියට නෙමේ. සාමාන්‍ය මනුෂ්‍යයෙක් විදියට. පුරවැසියෙක් විදියට. සාහිත්‍යයට වගේ ම දේශපාලනයටත් මම සම්බන්ධව හිටපු කෙනෙක්. විශ්ව විද්‍යාලයේ ඉඳන්ම මම දේශපාලනය කළා. හැබැයි මං පක්ෂ දේශපාලනයෙන් අයින් වෙලා. දැන් අවුරුදු විස්සකට තිහකට වැඩියි. මං මෙතෙක් ලබපු අත්දැකීම තමයි, පක්ෂ දේශපාලනයෙන් කරන්න පුළුවන් වැඩ කොටස ඉතාම සීමිතයි. ඊට වැඩිය වැඩක් පිටස්තරව ඉඳන් කරන්න පුළුවන්. පක්ෂ දේශපාලනයක් මං අදටත් කරන්නේ නැහැ. මත්තටත් කරන එකක් නැහැ.

* මෙවර ජනාධිපතිවරණයේදී ඔබ වඩාත් සක්‍රීයව මැදිහත් වුණානෙ?

ඔව්. ඒක ඇත්ත. ඒකට හේතු වුණේ ලංකාව රටක් විදියට ඉතා බරපතළ අවදානමකට මුහුණ දෙමින් හිටියා. ඒක වළක්වා ගැනීම සඳහා කළ හැකි සෑම දෙයක් ම කළ යුතු ය කියන ස්ථාවරයේ මං හිටියා. හිටපු ජනාධිපතිවරයාගේ පාලන කාලය මං දැක්කේ නිදහසින් පසු ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේහය අසාධ්‍ය පිළිකාවකින් උඩුදුවා තිබුණු රාජ්‍ය කාලයක් විදියට 1978 ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නිදහසින් පසු බිහිවුණු නරකම ව්‍යවස්ථාව ලෙස අපි තේරුම් ගන්නේ කොයි විදියටද, ඒ විදියටම නිදහසින් පසුව බලයට පත්වෙච්ච වැඩිම බලලෝභී නායකයා මහින්ද රාජපක්ෂ විදියටයි මම පිළිගන්නේ.

* ජේ.ආර්. ටත් වඩා?

ඔව්. ජේ.ආර්. ටත් වඩා. ‍ජේ.ආර්. ට පවුල් බලයක් තිබුනේ නැහැ. ජේ.ආර්. කියන්නේ ධනපති ක්‍රමය වෙනුවෙන් ජීවිතය කැප කරපු කෙනෙක් ඔහු ධනපති ක්‍රමයේ ඉදිරිය බලලා ඒකට වුවමනා අඩිතාලම දාන්න ජීවිතය කැප කරපු පාලකයෙක්. මහින්ද රාජපක්ෂ වැඩවසම් ක්‍රමයකට අඩිතාලම දාන්න උත්සාහ කරපු නායකයෙක්.‍ ඒක තමයි ජේ. ආර්. ගෙයි මහින්දගෙයි වෙනස. ලංකාවේ බලයට පත් වෙච්ච නරකම පාලකයා විදියට මම මහින්ද රාජපක්ෂව දකිනවා. ඒ නිසා මම කල්පනා කළා, අපේ රට නැවත ශිෂ්ටාචාර සමාජයක් බවට පත් කරවන්න නම් මේ පාලකයා ඉවත් කළ යුතුයි කියලා. ශිෂ්ටාචාර සමාජයකට අවශ්‍ය කරන සියලු අමුද්‍රව්‍ය අපේ රටේ තියෙනවා. අපිට හොඳ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් තියෙනවා. කෝල්බෲක් - කැමරන් කොමිසමේ ඉඳන් ආපු සම්ප්‍රදායක් තිබෙනවා. එබඳු පසුබිමක පවුල්වාදය මුල්කරගත් රජ ක්‍රමයක‍ට රට පල්ලම් බහිනවා කියන්නේ ඒක ලොකු විනාශයක්. මේක නතර කළ යුතුය කියන දැඩි විශ්වාසයේ මං එක දිගටම හිටියා. ඒ නිසයි මෙවර මගේ මැදිහත් වීම මේ අයුරින් සිදුවුණේ.

* ඉතිං ඔබේ අභිලාෂ මුදුන් පත් වුණා ද?

අඩක් සාර්ථකයි. ඉතිරි අඩ සාර්ථක කරගන්න නියමිතව තිබෙනවා. රාජපක්ෂ පාලනය ඉවත් කිරීම ප්‍රශ්නයෙන් අඩක්. ඉතිරි අඩ තමයි ඔහු නියෝජනය කරපු දේවල් නිවැරැදි කිරීම. ඒක භාර වෙන්නේ වර්තමාන පාලනයට.

* ඔබ ඔය විදියට කිව්වට අපේ රට චින්තනමය වශයෙන් හරිම පසුගාමීයිනේ. ඉතිං ලොකු පෙරළියක් ඇති කරන්න පුළුවන් ද? විශේෂයෙන් ජාතිය, ආගම පිළිබඳ සංකල්ප මොන තරම් වැඩවසම් ද?

වාසනාවකට වගේ තරුණ පරපුර අතරේ ඔය වැඩවසම් සංකල්ප නැහැ. ඒක එන්නේ ‍‍ෙභෟතික සංවර්ධනයත් එක්ක. ආචිර්ණ කල්පිත සමාජයකට තමයි ජාතිය, ආගම පිළිබඳ චින්තන ධාරා නඩත්තු කරන්න පුළුවන්. දියුණු සමාජයකට අමාරුයි. පුළුවන්, ඒත් අමාරුයි. නූතන ලෝකය විශ්ව ගම්මානයක් බවට පත්වනවිට ඒ බැමි බිඳීයනවා. නේෂන් (NATION) කියලා කිවයුත්තේ සිංහල අයට පමණක් නෙමෙයි. එයින් අදහස් වෙන්න ඕනෑ ජනතාව කියන එක. ලංකාවේ ජාතිය විය යුත්තේ සියලුම ප්‍රජාවන් අන්තර්ගත කොටසක්. ශ්‍රී ලාංකික ජාතියක්. ඒ ජාතිය හැරෙන්න වෙනත් ජාතියක් තියෙන්න බැහැ. වර්ග (RACE) තියෙන්න පුළුවන්. ඒ ඒ තරගවලට වෙනමම සංස්කෘතීන් තිබෙනවා. අපි ඒවා ආරක්ෂා කරන්න ඕනෑ. සිංහල සංස්කෘතිය තියෙනවා. දෙමළ සංස්කෘතිය තියෙනවා‍. ඉස්ලාම් සංස්කෘතිය තියෙනවා. ජාතිය කියන සංකල්පය රටකට විකාශයක්. ඒක ආගමට වඩා විනාශ කාරියි. දියුණුයි කියන රටවල ‘ජාතිය’ ප්‍රතික්ෂේප කරලයි තියෙන්නේ. ඇමෙරිකාවේ තියෙන ජාතිය මොකද්ද? ‘ඇමෙරිකානු'. ඒකෙ ස්පාඤ්ඤ භාෂාව කතා කරන අය ඉන්නවා. ප්‍රංශ බස කතා කරන අය ඉන්නවා. අයිරිශ් අය ඉන්නවා. ඒ විදියට විවිධ ජාතීන් ඉන්නවා.

* ආගම පිළිබඳ මොකක්ද ‍ඔබේ මතවාදය?

ආගම රාජ්‍යයෙන් වෙන්ව තිබිය යුතුයි. මේ දෙක දෙකක්. ආගම කියලා කියන්නේ පෞද්ගලික කාරණාවක්. රාජ්‍ය කියලා කියන්නේ පොදු කාරණාවක්.

* ඕක කරන්න පුළුවන් දෙයක් ද? ඒක අපේ රටේ වෙන දෙයක් නෙමෙයිනේ.

කරන්න පුළුවන්. ලෝකයේ කරලත් තියෙනවා. ඉතිහාසයෙන් ඒකට උදාහරණ දෙන්න පුළුවන්. පළමු වැනි ලෝක යුද්ධයෙන් පස්සේ තුර්කියේ බලයට පත්වෙච්ච අටාර්ටුක් කෙමාල් කියන හමුදා ලුතිනන්වරයා මේක කළා. ඔහු කිව්වා, තුර්කි රාජ්‍යය ලෞකික විය යුතුයි කියලා. තුර්කියේ ජනගහනයෙන් සියයට අනූපහක් මුස්ලිම්. එහෙම රටක ඔහු කිව්වේ. කෙමාල් ගෙනාපු පළමුවැනි ප්‍රතිසංස්කරණය තමයි ඒක. තවමත් තුර්කියේ රාජ්‍ය ලෞකිකයි. දේශපාලන නායකයකුට තමන්ගේ දැඩි අධිෂ්ඨානය මතින් ඉතිහාසය වෙනස් කරන්න පුළුවන්. ලංකාවට මේක කරන්න බැරිකමක් නැහැ. අනිවාර්යයෙන් ම කරන්නත් ඕනෑ. ලංකා රාජ්‍යයට ආගමක් තියෙන්න විදියක් නැහැ. යුරෝපයේ අද කිසිම රටක රාජ්‍ය ආගමක් නැහැ. අපි කිසිම ආගමකට ප්‍රමුඛත්වය දිය යුතු නෑ. අදටත් අපේ රටේ රාජ්‍ය නායකයා දිවුරුම් දෙනකොට පන්සල් යනවා. ඇමැතිවරු වැඩ භාරගන්න කොට පිරිත් කියනවා. මේවා ගාවගෙන අපිට ශිෂ්ටසම්පන්න සමාජයක් විදියට ‍ඉස්සරහට යන්න බැහැ.

* එතකොට ජනමාධ්‍ය ඒවත් රජයේ බලපෑමෙන් මිදිය යුතුයි.

අනිවාර්යයෙන් ම. පක්ෂයකට පුවත්පතක් තිබුණට කමක් නැහැ. නමුත් රජයකට අවශ්‍ය නැහැ. ප්‍රංශයේ ජාතික රූපවාහිනි නාළිකා තියෙන්නේ තුනයි. දෙකක් රජයේ නාළිකා‍. අනික පෞද්ගලික නාළිකාවක්. එහෙ මිනිස්සු බලන්නේ රජයේ නාළිකා. මොකද ඒවා ඒ තරමටම ස්වාධීනයි. පසුගිය කාලේ අපේ රටේ රජයේ රූපවාහිනි නාළිකා බලපු කිසිකෙනෙක් මට හම්බුවෙලා නැහැ. මම බැලුවෙත් නැහැ. ඇයි එහෙම වුණේ? එක්කෝ ඒවා ස්වාධීන විය යුතුයි. නැත්නම් මහජන සේවා විය යුතුයි. එහෙම එකක් අපේ ර‍ෙට් නැහැ. දියුණු මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම අද අපේ වගකීමක්. ඇත්තටම මගේ පෞද්ගලික මතය රජයකට පුවත්පත්, ගුවන්විදුලි, රූපවාහිනී නාළිකා තිබිය යුතු නැති බවයි.

* අපිට තවමත් තොරතුරු දැනගැනීමේ අයිතිය නැහැ?

දකුණු ආසියාතික රටවලින් එහෙම අයිතියක් නැත්තේ අපිට විතරයි. ගිය ආණ්ඩුවෙන් මේ පනත ප්‍රතික්ෂේප කළා. මොකද වැඩ වසම් සමාජයකට යන්න නම් ජනතාවගේ දැනුවත් භාවය අඩුවෙන් තියාගන්න ඕනෑ. අනික සැඟවිය යුතු තොරතුරු ඔවුන් ළඟ තිබෙනවා. ඒ නිසා මේක වැළැක්වූවා‍. ඒක ප්‍රජාතන්ත්‍රවාදී නැහැ. අපි අපේ ඡන්දයෙන් පත්කරන දේශපාලනඥයන් මොනවද කරන්නේ කියලා දැනගන්න ඕනෑ. ඒක අපේ අයිතියක්්‍.

සුනිල් මිහිඳුකුල
ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්න

silumina

Leave a comment

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us