බැලූ බැල්මට මෙය කවියක් නොවේ යැයි යමෙකු පවසන්නට පිළිවන. එහෙත් කාව්‍යය යන අරුතෙන් ගත් විට මෙය සැබැවින් ම කවියකි. මෙහි ධ්වනිතාර්ථය ද අතිශය දේශපාලනික ය. එදා සිටි ජුදාස්ට වඩා අති දරුණු ගනයේ ජුදාස්ලා ලාංකීය දෙරණ මත පුසුගිය වකවානුවේ අපි දුටුවෙමු. එබඳු ජුදාස්ලා පිළිබඳ මෙබඳු කවියක් පබඳින්නට දීර්ඝකාලීන සතතාභ්‍යාසයක් ලැබිය යුතු ය. එහෙත් මෙ’කව පබැඳූ කිවිඳිය මීට පෙර රචනා කොට ඇත්තේ ‘‘The Virgin Wife’’ නමැති ඉංග්‍රීසි කාව්‍ය කෘතිය පමණි. එම කාව්‍ය කෘතියට අමතරව ‘‘සිත්තරා සහ සිතුවම’’ නමැති කෙටිකතා සංග්‍රහයත්, ‘‘ප්‍රතිගාමී’’ නමැති විද්‍යා ප්‍රබන්ධයත් ඇය විසින් විරචිතය.
ඇය නමින් කාන්චනා ප්‍රියකාන්ත වන අතර මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ අලුත්ගම සංඝමිත්තා බාලිකා විද්‍යාලයෙනි. අනතුරුව ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වන ඇය පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට ඇතුළත්ව උසස් පෙළ දක්වා ඉගෙනුම ලබන්නේ විද්‍යා විෂයය යි. උසස් පෙළ සමත් වුව ද මෙරටේ පවතින අවිධිමත් අධ්‍යාපන ක්‍රමය හේතුවෙන් වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වන්නට වරම් නොලබන්නී ය.
එය ඉරණම ලෙස බාර නොගන්නට තීරණය කළ ඇය කුඩා කල සිට ඇගේ සිහිනයක්ව පැවති ගුරු වෘත්තිය තෝරාගනු ලැබුවා ය. ඒ ජාත්‍යන්තර පාසලක ඉංග්‍රීසි ගුරුවරියක වශයෙනි. මේ අතරතුර ම ඇය විද්‍යාපීඨයට ද සුදුසුකම් ලබන්නී ය. එහි ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ ඇය රජයේ පාසලක ඉංග්‍රීසි භාෂා ගුරුවරියක ලෙස කටයුතු කරන්නී ය.
කාන්චනා ප්‍රියකාන්ත නම් වූ ඇගේ දෙවන කාව්‍යය සංග්‍රහය වන ‘‘සුළඟ සහ රතු මල් ගස’’ කෘතිය එලඹෙන 21 වන දින පෙරවරු 10.00 ට පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී එළිදැක්වීමට නියමිත ය. පූජ්‍යය බටුවන්ගල රාහුල හිමි සහ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, චම්මින්ද වෙලගෙදර සහ මොහාන් රාජ් මඩවල යන මහත්වරු දේශන පැවැත්වීමට නියමිත ය.
මතු දැක්වෙන්නේ මෙම කර්තවය නිමිතිකොට ගෙන ඇය සමඟ කළ සාකච්ඡාවේ සංක්ෂිප්ත සටහනකි.
පළමුවෙන් ම මා උත්සාහ කළේ ඇගේ නිර්මාණකරණයේ උල්පත කොතැන දැයි පහදා ගැනීමට ය. ඒ සොඳුරු අතීතය සිහිපත් කළ කාංචනා...
ඇත්තට ම මට අවුරුදු හතරෙ පහේ ඉඳලම කියවීමේ ආශාවක් සහ උනන්දුවක් තිබුණා. ඒ වගේ ම කියෙව්වා. ඒ උනන්දුව දැනගත්තු අම්මයි තාත්තයි මට නිරන්තරයෙන් ම පොත්පත් ගෙවිත් දුන්නා. මට මතකයි මම දෙක වසරෙ ඉගෙනගනිද්දි පන්තියෙ වෙනත් ළමයෙක් එයාගෙ අම්ම ගැන කවියක් ලියාගෙන ඇවිත් මිස්ට පෙන්නුවා. මිස් ඒ කවිය පන්තියෙ හැමෝට ම ඇහෙන්න එයා ලවා ම කියෙව්වා. ඒ නිසා මටත් හිතුණා‘ මමත් කවියක් ලියාගෙන එන්න ඕන’ කියල. පහුවදා මමත් තාත්ත ගැන කවියක් ලියාගෙන ගිහින් මිස්ට පෙන්නුවා ම කලින් දවසෙ වගේ ම පන්තියෙ ළමයි හැමෝට ම ඇහෙන් මට කියල ඒ කවිය කියෙව්වා. මෙන්න මෙතන තමයි මගේ නිර්මාණකරණයේ උල්පත.
දැන් අපි බලමු කාංචනා ‘කවිය’ නමැති සාහිත්‍යාංගය හඳුනාගන්නේ කෙසේ ද සහ ඇය එය අර්ථකතනය කරන්නෙ කොහොමද කියල.
කවිය කියන දේ නිර්වචනය කරන්න තරම් මම වියතෙක් නොවෙයි.. නමුත් කවිය කියන්නේ කැමති කෙනෙක්ට කැමති ආකාරයට විඳින්න පුළුවන් දෙයක්.
මෙම කෘතියේ එක් නිර්මාණයක් අන්තර්ගතවෙනවා ‘කැමැත්ත’ යනුවෙන්. එය පුද්ගලික අනුභූතියක් ද? එසේත් නැත්නම් ඇසු දුටු දෙයක් ද යන්න මා විමසුවා. ඇය ඉතාමත් කෙටියෙන් ම පිළිතුරු දුන්නා.
ඔය දෙකේ ම සංකලනයක්.
කාංචනා සිය දෙවන කාව්‍ය කෘතියේ බොහෝ නිර්මාණ සඳහා ඉතිහාස චරිත සංකේත ලෙස භාවිතා කරනවා. එහි දී ඇය කුවේණිය හඳුනාගන්නා ආකාරය පැහැදිලි කරන්නැයි මම ඉල්ලා සිටියා.
සමහර වෙලාවට අපි කෙනෙක්ට කැමතියි කියලා හිතනවා. එතැනදී කැමැත්ත වැඩිකමට ද මන්දා අපි ඒ පුද්ගලයන්ව වෙනස් කරන්න උත්සහ කරනවා. එතැනදී කැමැත්ත කියන සංකල්පය ගැන නිතරම ගැටළුවක් පැන නගිනවා.
ඔබ අදහස් කරන්නෙ කුවේණිය පිළිබඳ පවතින සංකල්පය ඔබ ඒ ලෙසින් ම පිළිගන්න බව ද? එසේත් නැත්නම් ඔබට ඒ පිළිබඳ වෙනත් අදහසක් තිබෙන බව ද? යනුවෙන් මම පෙරළා ප්‍රශ්න කළා.
කුවේණිය හැම ගැහැනියක් තුළම මම දකිනවා. කාන්තාවකට පුළුවන් තමන් දැඩිව ආදරය කරන පිරිමියා වෙනුවෙන් ඕනෑම ආකාරයේ කැප කිරීමක් කරන්න.
එය එක් අතකට කාන්තාවගේ දුර්වලකමක් ලෙස ඔබ දකින්නෙ නැද්ද?
මම ඒක විශ්වාස කරන්නෙ නැහැ. තමන් ආදරය කරන පිරිමියාගෙන් තමන්ටත් පෙරළා ආදරය රැකවරණය ලැබෙයි කියන විශ්වාසය මත තමයි ඇය කටයුතු කරන්නේ. මම කුවේණිය දකින්නේ දුර්වල චරිතයක් විදිහට නොවෙයි. ඇය ශක්තිමත් ගැහැනියක්. තමන් ආදරය කරපු පිරිමියාගෙන් තමන් බලාපොරොත්තු වෙන ආදරය ලැබෙන්නේ නැහැ කියලා දැනුනම ඇය සිය දිවි නසා ගත්තා කියලා ඉතිහාසයේ තිබුණා නම් තමයි කුවේණිය දුර්වල ගැහැනියක් වෙන්නේ. නමුත් කුවේණි එහෙම කළේ නැහැ. ඇය දැඩි ආත්ම ශක්තියක් තිබුණු ගැහැනියක් විදිහටයි මම දකින්නේ ..තමන්ට රැකවරණය නොදෙන පිරිමියෙකුගෙන් බැහැර වෙන්න ඇයට පුළුවන් කමක් තිබුණෙ ඒ නිසයි.
ඇය කවිය ගැන අර්ථ විවරණ සපයන්න දන්නෙ නැහැ කිව්වත්, කවිය යනු කුමක් ද යන්න යම් පමණකට හෝ හඳුනාගෙන සිටිනවා. ‘‘වෙඩික්කාරයා’’, ‘‘ශිශිර සිහිනය’’, ‘‘කූඩු කුරුල්ලා’’, ‘‘පෙනීම’’, ‘‘දිනුම’’, ‘‘දුෂ්කර ගමන’’ සහ ‘‘පාවාදීම’’ යන නිර්මාණ හරහා එය ප්‍රත්‍යක්ෂ වෙන බව මම ඇයට යෝජනා කළා.
‘සුළඟ සහ රතු මල් ගසේ’ තියෙන්නේ විවධ අවස්ථාවලදී නිරායාසයෙන් මගේ සිතට ආ සිතුවිලි ගොන්නක් ලඝු කරලා කිව්වොත් මං නිවැරදියි. එතැනදී කවියට නිශ්චිත වූ නිර්වචනයක් නැත කියන මතය තුළ මම විවිධාකාර වූ අත්හදා බැලීම් කළා. මම විවිධත්වය ප්‍රිය කරනවා. ඒකාකාරී රාමුවකට කොටු නොවී කවිය විහිදී යා හැකි පරාසයන් මොනවාද කියා බලන්නත් මට වුවමනා වුණා . එතැනදී මම සාර්ථක වෙන්නත් පුළුවන්. අසාර්ථක වෙන්නත් පුළුවන්.
නිර්මාණකරුවෙක් මොනයම් හෝ නිර්මාණයක් සඳහා ඉතිහාසගත සිද්ධි හෝ චරිත යොදාගැනීමේ දී එම සිද්ධි සහ චරිත වෙත සම්මත සමාජයෙන් ආරෝපණය කර ඇති ලකුණ විමර්ශනයට ලක් කළ යුතුයි. නමුත් ඔබ එවැනි තත්ත්වයකට පත්වෙලා නැහැ කියල මම යෝජනා කළොත්? උදාහරණ පසුව සාකච්ඡා කරමු.
මං හිතන්නේ ඔබ ඔය කියන්නේ සුන්දරී නන්දා ගැන වෙන්න ඕනේ?
සුන්දරී නන්දාටත් වඩා එය බලපාන්නෙ අනුලා බිසව පිළිබඳ ඔබ කරන ප්‍රකාශයේ.
ඔබ කියන දේ ඇත්ත.. නමුත් මං හිතන්නේ ඒක තීරණය විය යුත්තේ අපි යම් චරිතයක් දිහා බලන ආකාරයට. අනුලා බිසව පිළිබඳව විවිධාකාර මතවාද තියෙනවා. අනුලා බිසව පළමුවෙන්ම චෝර නාග ඝාතනයට ලක් කරනවා. ඇය කැමති කැමති පුරුෂයන් ඇසුරු කරනවා. මෙතනදී මම ඇය හෝ ඇගේ චරිත ලක්ෂණ විවේචනය කරන්නේ නැහැ. මොකද ඒක අනුලා බිසවගේ ජීවිතය නිසා. මෙතනදී මම ඇය යොදා ගත්තේ හේතුවක් ඇතිව. මං දකින විදිහට පිරිමියා කියන පුද්ගලයා තමන් මොන වගේ වුණත් තමන්ගේ බිරිඳ හෝ පෙම්වතිය සීතාවක් හෝ යශෝධරාවක් වගේ පරමාදර්ශී චරිතයක් වෙනවට කැමතියි. නමුත් අනුලා බිසව තුළ තිබුණු ආකාරයේ රුචිකත්වයක් තමන්ගේ බිරිඳ තුළ හෝ පෙම්වතිය තුළ දකින්න මොනම ආකාරයේ පිරිමියෙක්වත් කැමති නැහැ නේ.
ඉතිහාසය මං දකින්නේ පක්ෂග්‍රාහී දෙයක් විදිහට. ඇත්ත ඇති සැටියෙන්ම ඉතිහාසයේ ලියවිලා තියෙනවද කියන ගැටලුව මට තියෙනවා. බලන්න ඉතිහාසය පුරාවට චෝදනාවට ලක් වෙලා තියෙන චරිත. ඉතිහාසය වීරයා කරන්නේ හැබෑ වීරයාව ම ද දුෂ්ඨයා කරන්නේ හැබෑ දුෂ්ඨයා ම ද කියන ප්‍රශ්නයත් මට තියෙනවා.
අන්න ඒ නිසා ම තමයි මම කියන්නේ නිර්මාණකරුවා සමාජ සම්මතය ප්‍රශ්න කළ යුතුයි කියල. රජවරුන්ට වගේ ම අන්ත:පුර (මෙය පුරුෂ:පුර විය යුතුයි. වැඩිදුර හැදෑරීම සඳහා අනුර වික්‍රමසිංහ ගේ පුරුෂ:පුර නවකතාව කියවන්න) පවත්වාගෙන යන්න බිසෝවරුන්ටත් ඉඩකඩ තිබුණ නම් මම හිතන්නෙ අනුලා ඇසුරු කළ පිරිමි ඝාතනය නොවෙන්න තිබුණා.
ඔව්... ඒක තමයි. මම අනුලාගේ හැසිරීම ප්‍රශ්න කරන්නේ නැහැ. ඒකයි මං මුලින්ම කිව්වේ අනුලා කියපු කරපු දේවල් ගැන මට ගැටළලුවක් නැහැ කියලා. අනුලා වැරදියි කියන මතයේ මම නැහැ. අනුලා වැරදි නැහැ කියන ගැඹුර තුළ ඉන්න පිරිමියෙක් වුණත් තමන්ගේ බිරිඳ හෝ පෙම්වතිය තමා හැර වෙනත් පිරිමින් ඇසුරු කළාට කමක් නැහැ කියලා හිතන්න තරම් පරාර්ථකාමීයි කියලා මම හිතන්නේ නැහැ.. අනික අන්තඃපුර සංකල්පයට කිසිම ගැහැනියක් කැමතියි කියලා මං හිතන්නෙත් නැහැ. හිතන්න... සීතාවක් යශෝධරාවක් වගේ වෙන්න බැරි වුණත් බහුපුරුෂ සේවනයේ නොයෙදී විශ්වාසය නොබිඳෙන ලෙස ඉන්නවා කියන සහතිකය පිරිමි අය ප්‍රිය කරන්නේ නැද්ද?
ඔබ මෙම කෘතියේ නිසඳැස් ආර මෙන් ම සඳැස් ආර ද භාවිත කොට තිබෙනවා. මෙම ද්විඅංගය පිළිබඳ ඔබේ අදහස කෙබඳු ද?
මම සඳැස් මෙන්ම නිසඳැස් ද ප්‍රිය කරනවා. සමහර සිතුවිලි ලඝු කරාම බිහි වෙන්නේ සඳැස්. සමහර වෙලාවට නිසදැස්. ඒක හිතා මතා කරන දෙයක් නොවෙයි. සිතිවිලිවල ස්වභාවය අනුව සිදු වෙන දෙයක්. සඳැස් නිසඳැස් කියන ආකෘති දෙකෙන් ම මිදුණු නව ආරේ කාව්‍ය තව කෙනෙක් අතින් ඉදිරියේ දී බිහි වෙන්න පුළුවන්. කවියාට එයට නිදහස තිබිය යුතුයි. මම වෙනස්වීම් සහ විවිධත්වය දෙස සුභවාදිව බලන කෙනෙක්. ඒක නිසා කවියත් විවධ හැඩ තලවලින් හෙබි විය යුතුයි කියලා විශ්වාස කරනවා.
ඔබ මෙම නිර්මාණයේ දී වෘත්තීය වශයෙන් ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවක් සහ පුද්ගලික ආර්ථික අපහසුතා හේතුවෙන් සිය ශරීරය අලෙවි කළ කාන්තාවක් (සන්නාලියක්)පිළිබඳ කියනවා. මෙහි දී ඔබ වෘත්තිය ගණිකාව සහ අනෙක් කාන්තාව පිළිබඳ දරන්නේ අදහස් දෙකක් ද? එසේත් නැත්නම් එකක් ද?
මමත් කාන්තාවක්. මම ඒක නිසා කාන්තාව කියන චරිතය අවඥාවට ලක් කරන්නේ නැහැ . කාන්තාවක් කවදාවත් ගණිකාවක් බවට පත් වෙන්නේ නැහැ කැමැත්තෙන්. මොන තරම් ආර්ථික අපහසුතා තිබුණත් කාන්තාවක් එතනට තල්ලු වෙලා තියෙන්නේ අන්තිම අසරණ තැනකදී. කෙනෙක් එය වෘත්තියක් බවට පත් කරන තැනට වැඩ යෙදෙන්නෙත් කොතැනකදී හරි අන්ත අසරණ වුනාම. සමහරු වෘත්තියක් ලෙස ම එහි එල්බගෙන ඉන්නේ සමාජය ඔවුන්ට එතැනින් එහාට එන්න දෙන්නේ නැහැ කියන ඉච්ඡා භංගත්වය තුළ; කලකිරීම තුළ. නමුත් කැමැත්තෙන් නොවෙයි. කිසිම කාන්තාවක් සිත සතුටින් එවැනි වෘත්තියක යෙදෙන්නේ නැහැ.
ඔබ ඉංග්‍රීසි ගුරුවරියක් වුණත් සිංහල කිවිඳියක්. සිංහල භාෂාව පිළිබඳ ඔබේ දැනුම යම් ප්‍රමාණයකට අල්ප යැයි මම යෝජනා කළොත්?
භාෂාව සාගරයකට උපමා කළොත් මගේ භාෂා ඥානය පොකුණක් විය හැකියි. නමුත් නිර්මාණකරණයේ යෙදෙන්නට අවැසි තරම් භාෂා ඥානයක් මා සතුයි කියලා මම විශ්වාස කරනවා. අනික මම කැමතියි සරල බස් වහරක් උපයෝගී කරගෙන ගැඹුරු අදහසක් ජනිත කරන්න. එතැනදී නම් මම සාර්ථක ද අසාර්ථක ද කියන එක මම දන්නේ නැහැ. භාෂා ඥානය පෙන්වන්න කියලා හිතා ගෙන අතලොස්සකට පමණක් වටහා ගන්න පුළුවන් දේවල් ලියනවට වඩා මම කැමතියි බහුතරයකට ආයාසයකින් තොරව වටහා ගත හැකි දේ ලියන්න.
ඕනම නිර්මාණකරුවෙක් තමන් සමග මාධ්‍යවේදියෙක් සාකච්ඡාවකට සූදානම් වන බව දැනගත්තම ‘අද මම මේ ටික නම් කියන්නම ඕන’ කියල යම් අදහසක් හිතේ දරාගෙන ඉන්න පුළුවන්. අවසන් වශයෙන් මම ඒ පිළිබඳ කාංචනාගෙන් විමසුවා.
අපි යම් කිසි භාෂා රටාවක් තෝරාගන්නේ යම් කිසි හේතුවක් ඇතිව.. නිර්මාණකරණයේ යෙදෙන්නන් විවිධාකාර හේතූන් මත නිර්මාණකරණයේ යෙදෙනවා. මම කැමතියි මගේ නිර්මාණ තුළින් නිතරම කුමක් හෝ පණිවිඩයක් සමාජ ගත කරන්න. එතැනදී අරමුණට සහ නිර්මාණයට අදාළ ලෙස භාෂාව භාවිතා කරන්නයි මම කැමති.
සටහන - ජයසිරි අලවත්ත - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.