සිරිසේන මහත්මිය නැවුනු නැමිල්ල Featured

Published in අනං මනං
Thursday, 12 March 2015 14:50

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා හා ඔහුගේ බිරිඳ සිය එංගලන්ත සංචාරයේදී බ්‍රිත්‍යාන්‍ය මහ ‍රැජින දෙවන එළිසබෙත් මුණ ගැසුණු අවස්ථාවෙනේ කොන්ද කඩාගෙන නැවෙන නැවිල්ලක් සහිත ඡායාරූපයක් මේ දිනවල සමාජජාලාවල අපහාසාත්මක වදන් සහිතව පැතිරෙමින් තිබේ.

බොහො අය කියන්න හිටපු ජනාධිපතිවරයා නම් මෙහෙම සුද්දා ඉදිරියේ කොන්ද කඩා ගත්තේ නැති බවය. තවත් සමහරුන්ට අනුව සිංහලයා සුද්දා ඉදිරියේ කොන්ද කඩාගෙන.

සිංහලයාගේ ආචාර සමාචාරවලදී දෙකට නැවීම යටහත් පහත්කමක් පෙන්වීමක් ලෙස මීට පෙර අර්ථ කතනය වී තිබෙනු දකින්නට තිබුණේ නැත. ජපන්නු, චීන්නු, කොරියන්කාරයෝ නැවෙන නැවිල්ලේ හැටියට සිංහලයාට ඔවුන් පරදින්නේ මාපිය ගුරුවරු වැඩිහිටියන්ට හා ගෞරව කළ යුත්තන්ට බිම දණ ගසා ගෙන වඳින වැඳිල්ලට පමණය.

සිංහල අවුරුදු චාරිත්‍ර වලදී මෙන් කොඳු කඩා ගැනීම වත්මන් පරපුරේ ඇත්තෝ එතරම් කැමති දෙයක් නොවේ. අද සමාජ ජාලාවල සිටින බහුතරය ඒ නැවිල්ලට අකමැතිය. අනෙකෙකුට ගෞරව කරන්න දෙකට නැවිය යුතු නැති බව කියන්නො බහුල වෙති. මෙය පසුගාමී, ගෝත්‍රික, නූතන ලෝකය විසින් අතහැර දැමූ චාරිත්‍රයක් බවත් කියති. මහ ‍රැජින ඉදිරියේ ජනාධිපති බිරිඳ, ඇයට ආචාර කිරීමට කොන්ද නැවීම සිංහලයාගේ නැතිනම් ශ්‍රී ලාංකිකයාගේ නෝංජල් කම බව කියන්නෝ ද ඔවුන්ය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ස්වාධීන ස්වෛරීරාජ්‍යයක් බව හැබවි. අප එංගලන්ත මහ ‍රැජිණියගේ අණසකට යටත්ව සිටියේ 1972 ට පෙරය. එහෙත් අප මහා බ්‍රිතාන්‍යයයේ යටත් විජිත වශයෙන් පැවැති සියළු රාජ්‍යවල එකමුතුවක් වූ පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයන් වනවා මෙන්ම එහි වත්මන් සභාපතිත්වයද උසුලන්නේ ශ්‍රි ලංකාවය. එනම් බ්‍රිත්‍යානය සමඟවන බැඳීම අප අත් හැර නොමැති බවය. ඒ කොන්ද පිළිබඳ ප්‍රශ්නයක් නිසා නොව රටක් ලෙස තනිවම ගොඩ නැගෙන්නට හෝ පවතින්නට තිබෙන අසීරුතා හෙතුවෙනි.

අතීතයේ අපි බ්‍රිතාන්‍යය සමඟ දරුණු යුද්ධ කළෙමු. ඒ එදා ඔවුන්ට යටත් වීමට ඇවැසි නොවුනු බැවිනි. අද ජාතියේ අභිමාන පදනම් තැනෙන්නේ ද මේ විරෝධාර සටන් හේතුවෙනි. එහෙත් අපි ඊට යටත් වුනෙමු.

අතීතයේ පැවැති ස්වාධීනත්වය හෝ ස්වෛරීත්වය ගැන කතා අදට වලංගු වනේද නැත. ලෝකයෙන් හුදකලා වූ, ලෝකයා නොදන්නා රටකට තමන් ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් ලෙස අභිමානයෙන් සිටිය හැක. ඒහෙත් ඒ අද කරන්නට පුලුවන් දෙයක් නොවේ. එකෙක් එකෙකුට කවර තැනකදී හෝ යටත් වීමට සිදුව තිබේ. වත්මන් ශ්‍රි ලංකාව කියන්නේ ද එබඳු රාජ්‍යයකි.

අදත් අප රටේ පරිපාලන ව්‍යුහයන්, නිති පද්ධති, දේශපාලනය, සංස්කෘතිය,.. ඈ සියල්ලම බ්‍රිතාන්‍යමය බැඳීමෙන් ගැලවී නොමැත. ජනාධිපති බිරිඳගේ නැවිල්ල ගැන අපහාසයෙන් කතා කරන වුන්ම ජනාධිපතිවරයාට ඉංග්‍රීසි බැරි බවට විසුළු කරන්නේද මේ හේතුව නිසාය.

සුද්දා රට හූරගෙන කෑවා කිවද අද ශිෂ්ඨසම්පන්න රටක් ලෙස රටට අභිමානයක් සහිතව නැඟී සිටින්නට හැකිව තිබෙන්නේද සුද්දා උගන්වපු දෑයින් බවට කියන්නෝ ද සමාජයේ විරල නොවේ. මේ නිසා මහ ‍රැජින කෙරේ සාම්ප්‍රදායිකව ගෞරවයක් ආදරයක් නිරන්තරයෙන් මේ සමාජය තුල පවතී.


ඉතිං පොළොන්නරුවේ ගැමි ගැහැණියක බොරු සෝබන නොමැතිව හදවතින්ම එම ගෞරවය සහිතව ‍රැජිණට ආචාර කිරීම කිසි සේත්ම වරදක්, නෝන්ජල් කමක් ලෙස හැඳින්විය නොහැකිය.

 

- විලාසිනී

මේ අවස්ථාවේ වීඩියෝ පටය

Last modified on Friday, 13 March 2015 10:28

ක්‍රීඩා

Connet With Us