විස්සයි විස්ස සංග්‍රාමයේ වාර්තා පිට වාර්තා   Featured

Published in ක්‍රීඩා
Sunday, 30 June 2024 11:02

මේ එළැඹී ඇත්තේ දින 29ක් පුරා අමෙරිකාවේ සහ බටහිර ඉන්දීය දූපත්වල පැවැති 9 වැනි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසානයයි. මේ ලිපිය ලියැවෙන මොහොත වන විට කුසලානය සඳහා බටහිර ඉන්දියාවේ බාබඩොස් දූපතේ බ්‍රිජ් ටවුන් නුවර කෙන්සින්ටන් ඕවල් පිටියේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර අවසන් මහා තරගයට සියල්ල සූදානම් වී තිබිණි.

රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් ඉන්දීය පිල ඔවුන්ගේ දෙවැනි විස්සයි20 ලෝක කුසලානයට කුරුමානම් අල්ලමින් සිටි අතර, දකුණු අප්‍රිකාව සිය පළමු කුසලානය අතට ගැනීමේ අපේක්ෂාවෙන් පසු වෙයි.

විශේෂත්වය වන්නේ මේ දෙපිලම අවසන් මහා තරගයට අපරාජිතව පැමිණීම ය. මූලික වටය, සුපිරි අට වටය සහ අවසන් පූර්ව වටය තුළ කිසිදු අවස්ථාවක පරාජයට පත් නොවීමේ වාර්තාව කරපින්නා ගෙන අවසන් තරගයට යන කණ්ඩායම් දෙක අතුරින් එක් කණ්ඩායමක් පැහැදිලිවම විස්සයි20 ලෝක කුසලානයක් අපරාජිතව ජයගත් එකම කණ්ඩායම ලෙස වාර්තා පොතට එක්වනු ඇත. එය ඉන්දියාව විය හැකිය. නොඑසේ නම් දකුණු අප්‍රිකාව විය හැකිය. දිනන කණ්ඩායම කුමක් වුවද එය වාර්තාවකි. ඉන්දියාව පළමු හා අවසන් වරට විස්සයි20 ලෝක ශූරයන් බවට පත්වූයේ 2007 වසරේ පැවති පළමු තරගාවලියේදිය. දකුණු අප්‍රිකාව මෙතෙක් එක්දින හෝ විස්සයි20 කිසිදු ලෝක කුසලානයක් දිනා නැති කණ්ඩායමකි.

වසර දෙකකට වතාවක් පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ පසුගියදා පැවැති අවසන් පූර්ව වටය ඉතිහාසයේ පෙර නොවූ විරූ අයුරින් ක්‍රීඩාලෝලීන්ගේ අවධානයට ලක්වූවකි. ඊට හේතු වූයේ ආරම්භයේ සිටම විස්මිත ක්‍රීඩා විලාසයක නිරත වූ ඇෆ්ගනිස්තානය ඊට සුදුසුකම් ලැබීමය. ඇෆ්ගනිස්තානය සමඟ බැලූ විට දකුණු අප්‍රිකාව පසුවූයේ ඊට ඉහළින්ය. ලෝක ක්‍රිකට් පිටියේ නොම්මර එකේ කණ්ඩායමකි. එහෙත් අවසන් පූර්ව තරගය දෙපිලටම විවෘත තරගයක් බවට පත්වූයේ ඕවර 20ක් ඇතුළත ඕනෑම දෙයක් සිදුවීමට තරම් මේ කෙටි මුහුණුවරේ ක්‍රීඩාව විස්මයජනක බවට පත්වී තිබීම හේතුවෙනි. අනික් අතට මූලික වටයේදී දකුණු අප්‍රිකාව කෝඩුකාර නේපාලය හමුවේ දිනුවේ පරදින්නට තිබූ තරගයකි. නේපාලය පරාජයට පත්වූයේ එක් ලකුණකි. එසේ වුවද එය දකුණු අප්‍රිකානුවන්ට සෑහෙන කාලයක් යනතුරු අමතක නොවන හද ගැස්මක් ඉතිරි කළ තරගයක් බව විචාරකයන්ගේ අදහස විය.

දකුණු අප්‍රිකාව සහ ඇෆ්ගනිස්තානය අතර ට්‍රිනිඩෑඩ් සහ ටුබෑගෝ දූපතේ බ්‍රයන් ලාරා ක්‍රිකට් ඇකඩමි පිටියේ පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානය ඕවර 11.5කදී සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 56ක් පමණි. එය අනපේක්ෂිත ලකුණු සංඛ්‍යාවක් වූ අතර, වැඩිදෙනකු කියා සිටියේ ලෝක කුසලානයක් බඳු ප්‍රධාන තරගාවලියක තීරණාත්මක අවසන් පූර්ව තරගයක තිබිය යුතු සටන්කාමීත්වය ඉන් යටපත් වී ගිය බවය. එහෙත් එවැනි සිදුවීම් ලෝක කුසලාන ඉතිහාසයේ වාර්තා වී ඇති බැවින් එය සැලකිය යුතු කරුණක් නොවන බව ඇතැම් විචාරකයන්ගේ අදහස විය.

ජයග්‍රාහී ඉලක්කය ඕවර 8.5කදී දකුණු අප්‍රිකාව සපුරා ගත්තේ එක් කඩුල්ලක් අහිමිකර ගනිමිනි. මේ තරගය විස්සයි20 පිටියේදී ඇෆ්ගනිස්තානය දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව මෙන්ම දකුණු අප්‍රිකාව ප්‍රතිවාදී කණ්ඩායමක් සීමා කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස ද වාර්තා අතරට එක් විය.එමෙන්ම අයිසීසී පූර්ණ සාමාජිකත්වය හිමි කණ්ඩායමක් විස්සයි20 ලෝක කුසලාන තරගාවලියකදී දැවී ගිය දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව මෙය වන අතර, විස්සයි20 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයකදී කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ද විය. මින් පෙර 2021 ලෝක කුසලාන තරගාවලියේදී කොදෙව්වන් හමුවේ එංගලන්තය ලකුණු 55කට දැවී ගොස් තිබිණි.

කාගෙත් අවධානය දිනාගත් ඉන්දීය – එංගලන්ත තරගය කවුරුත් බලාපොරොත්තු වූ පරිදිම ඉන්දියාව ජය ගත්තේය. ඉන්දියාව අවසන් මහා තරගයට එක් වූයේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී පසුගිය ශූර එංගලන්ත පිල ලකුණු 68කින් පරාජය කරමිනි. පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 7ක් දැවී ලකුණු 171ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස එංගලන්තයට ඕවර 16.4කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණ 103ක් පමණි. මේ තරගයේදී පිටියේ විනිසුරුවරයකු ලෙස කටයුතු කළ ඔස්ට්‍රේලියානු ජාතික රොඩ් ටකර් වාර්තා අතරට එක් වූයේ විස්සයි20 ලෝක කුසලාන තරග වැඩිම සංඛ්‍යාවක් (46) විනිශ්චය කළ විනිසුරු ලෙසිනි. මින් පෙර අලීම් ඩාර් තරග 45කදී විනිසුරුවරයා ලෙස කටයුතු කර තිබිණි. සංඛ්‍යාව මෙන්ම දකුණු අප්‍රිකාව ප්‍රතිවාදී කණ්ඩායමක් සීමා කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස ද වාර්තා අතරට එක් විය.

අවසන් පූර්ව වටයෙන් ඉවතට ගිය ද අවසන් මහා තරගයට පෙර මුළු තරගාවලියේම වැඩිම ලකුණුලාභියා සහ වැඩිම කඩුලුලාභියා ඇෆ්ගනිස්තානයෙන් බිහි වීම කැපී පෙනිණි. තරගාවලියේ වැඩිම ලකුණුලාභියා බවට පත්වූයේ ඇෆ්ගන් පිලේ ආරම්භක පිතිකරු රහ්මනුල්ලා ගුර්බාස් ය. ඔහු ඉනිම් 8කදී ලකුණු 281ක් රැස් කිරීමට සමත් වූයේ අර්ධ ශතක 3ක් සමඟිනි. වැඩිම ලකුණුලාභීන් පස්දෙනා අතරට තවත් ඇෆ්ගන් පිතිකරුවකු එක්වී සිටි අතර, ඔහු ඉබ්‍රාහිම් සඩ්රාන් ය. ඉනිම් 7කට ක්‍රීඩා කළ සඩ්රාන් ලකුණු 231ක් ලබා ගත්තේ අර්ධ ශතක 2ක් සමඟිනි.

පන්දු යවන්නන් අතර පෙරමුණ ගත් ඇෆ්ගන් පිලේ ෆසල්හාක් ෆරූකි ඉනිම් 8කදී බිඳ දැමූ කඩුලු සංඛ්‍යාව 17කි. ඔහුගේ හොඳම පන්දු යැවීම ලකුණු 9කට කඩුලු 5කි. එම ලැයිස්තුවේ ද පළමු පස්දෙනා අතරට තවත් ඇෆ්ගන් පන්දු යවන්නකු එක්වී සිටියේය. ඔහු නායක රෂීඩ් ඛාන් ය. ඉනිම් 8කට ක්‍රීඩා කළ ඇෆ්ගන් නායකයා කඩුලු 14ක් දවාලීමට සමත්වූ අතර, ඔහුගේ හොඳම පන්දු යැවීම වූයේ ලකුණු 17කට කඩුලු 4ක් බිඳ දැමීමය. අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලැබූ ඔස්ට්‍රේලියානු පිලේ ට්‍රැවිස් හෙඩ් ඉනිම් 7කදී අර්ධ ශතක 2ක් සමඟ ලකුණු 255ක් රැස් කරමින් වැඩිම ලකුණුලාභීන් අතර දෙවැනි තැනට පත්වූ අතර, ඉන්දීය පිලේ නායක රෝහිත් ෂර්මා අවසන් තරගයට පෙර ඉනිම් 7කදි ලකුණු 248ක් ලබා වැඩිම ලකුණුලාභීන් අතර තුන්වැනි තැනට පත්ව සිටියේය. ඔහුට වැඩිම ලකුණුලාභියා වීමට තවත් ලකුණු 34ක් අවශ්‍ය වී තිබූ අතර, අවසන් තරගයේදී එම වාර්තාවට යනු ඇතැයි විචාරකයෝ අනුමාන කර තිබිණි.

කනගාටුවට කරුණ වන්නේ ඉන්දීය පිලේ පිතිහරඹ තුරුම්පුව වන විරාට් කෝලි මුළු තරගාවලිය පුරාම අසාර්ථක වීමය. මෙතෙක් පැවැති සියලු තරගවලට ක්‍රීඩා කළ කෝලිට ඉනිම් 7දීම රැස් කිරීමට හැකිවූයේ ලකුණු 75ක් පමණි. එය සාමාන්‍යයෙන් වෙනදාට ඔහු එක් ඉනිමකදී වාර්තා කරන ලකුණු සංඛ්‍යාවකි.

ඉනිම් 7කදී කඩුලු 15ක් දවාලූ ඉන්දීය පිලේ අර්ෂ්දීප් සිං තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වීමේ වාර්තාව රඳා පවතින්නේ අවසන් මහා තරගයේදී ඔහු බිඳදමන කඩුලු සංඛ්‍යාව මතය. ඇෆ්ගන් පිලේ ෆරූකි අබිබවා යෑමට ඔහුට තවත් කඩුලු 3ක් අවශ්‍ය වී තිබේ. ඉන්දීය පිලේහිම ජස්ප්‍රිට් බුම්රා ඉනිම් 7කදී කඩුලු 13ක් බිඳ දමමින් වැඩිම කඩුලුලාභීන් අතර පස්වැනි තැන පසුවෙයි.

ලොව පුරා ක්‍රිකට් ලෝලීන් පුල පුලා බලා සිටි අවසන් මහා තරගයට ඇත්තේ පැය කිහිපයක් පමණි. විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙවර ශූරයන්ට අමෙරිකානු ඩොලර් මිලියන 2.45 ක් (රුපියල් කෝටි 73 කට අධික මුදල් ත්‍යාගයක්) පිරිනැමීමට නියමිත අතර, අනුශූරයන්ට හිමිවන මුදල් ත්‍යාගය අ‍ෙමරිකානු ඩොලර් මිලියන 1.28 කි. (රුපියල් කෝටි 38කට අධික මුදලක්) මීට අමතරව අවසන් පූර්ව වටයෙන් ඉවතට ගිය ද ඇෆ්ගනිස්තානයට හා එංගලන්තයට අමෙරිකානු ඩොලර් 787,500 (රුපියල් කෝටි 24ක්) බැගින් මුදල් ත්‍යාග හිමි විය.

තරග 55කින් සමන්විත වූ මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට පෙර තරග 50ක් පවත්වා තිබූ අතර, තවත් තරග 4ක් වර්ෂාවට සේදී ගියේය. වැඩිම අවධානය යොමු විය යුතු කරුණ වන්නේ මෙවර තරගාවලියේදී ජය පරාජය සඳහා තීරණාත්මක සාධකයක් බවට පත්වූයේ පන්දු යවන්නෝ වීමය. මෙතෙක් පැවැති තරගවලදී තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමට පන්දු යවන්නෝ 28 දෙනකු සමත් වී ඇති අතර, එම සම්මානයට හිමිකම් කී පිතිකරුවන්ගේ සංඛ්‍යාව 22ක් පමණි.

ෆවුස් මොහොමඩ්

සිළුමිණ

Last modified on Sunday, 30 June 2024 11:03

Gossip

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන සහ දැන් අලුතින් පිහිටුවන ලද එක්සත් ජනරජ පෙරමුණේ (URF) නායක පාඨලී චම්ප...

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

අනං මනං

අගහරු පසේ වවන්න පුළුවන් ශාකයක් සොයා ගනියි

අගහරු පසේ වවන්න පුළුවන් ශාකයක් සොයා ගනියි

අඟහරු මත වියළි නිසරු කර්කශ පරිසරයේ වගා කළ හැකි සහ එවැනි පරිසරයක හොඳින් වැවිය හැකි ශාකයක් පෘථිවියේ ඇත...

Connet With Us