කියන්න ලැජ්ජයි හිතලා, හිංසාව විඳවන්න එපා- නීතිඥ ලක්ෂ්මි සූරිගේ

Published in Gossip
Monday, 16 March 2015 11:11

මලක් නම් එය සුපුෂ්පිත විය යුතු ය. විලක් නම් එය සියපතින් සුන්දර වූ විලක් ම විය යුතු ය. ඇය මලකි. ඇය විලකි. සමස්ත සමාජයට ම සුවඳ විහිදුවන, මඩ වළක් වුව විලක් කළ හැකි ඇය, දියණියකි. බිරියකි. මවකි. අප ඇය ආරක්ෂා කළ යුතු ය.

මන්ද යත් මානව සංහතියේ ම යහ පැවැත්ම රඳා පවතින්නේ ඇයගේ කායික හා මානසික නිරෝගී බව තුළ වන නිසා ය. එහෙත් වර්තමාන සමාජය තුළ කාන්තාව කෙතරම් දුරට ආරක්ෂිත ද යන්න ගැටලුසහගත ය. කාන්තාවන්ට සිදුවන අතවර අතරින් ගෘහස්ත හිංසනය අපට නිතර ම අසන්නට ලැ‍ෙබ්. ඒ නිසා ම ගෘහස්ත හිංසනය යනු කුමක්ද? එයින් මිදීම සඳහා කාන්තාවක් නීතිය ඉදිරියට යා යුත්තේ කෙසේද? යන්න පිළිබඳව නීතිඥ ලක්ෂ්මි සූරිගේ මහත්මිය සමඟ කළ සාකච්ඡාවකි මේ.

lakshmi-surige* ගෘහස්ත හිංසනය යන වචනය අපට නිතරම අසන්න ලැබෙනවා. ඒත් නීතියට අනුව ගෘහස්ත හිංසනය යන්න පැහැදිලි කරන්නේ කෙසේද?

යම් පුද්ගලයකුට සතුටින් තම නිවෙසෙහි ගත කළ නොහැකි නම් ,හෙතෙම සෑම අවස්ථාවකම දුකින් සිටින පුද්ගලයකු බවට පත් වෙනවා. විශේෂයෙන්ම මෙවැනි තත්ත්වයට වැඩි වශයෙන් පත් වන්නේ කාන්තාවන්. නීතියට අනුව පමණක් නොව ,අපේ සංස්කෘතියට අනුව පවා කාන්තාව අපව හඳුන්වන්නේ පිරිමින්ට වඩා කායික වශයෙන් දුර්වල අයකු ලෙසයි. ඒත් වර්තමාන කාන්තාව දෙස බැලීමේ දී අපට පැහැදිලි වෙනවා ඇය අභියෝග රැසකට මුහුණ දෙන ආකාරය. විශේෂයෙන්ම මවක් ලෙස දරුවන්ගේ සියලු කටයුතු සිදු කරමින්, බිරියක් ලෙසත් , ගෘහණියක් ලෙසත් නිවෙසට ඇගෙන් සිදුවන මෙහෙය ඉතා විශාලයි.

එමෙන් ම, ආර්ථිකයට ඇයගේ දායකත්වයත් සැලකිය යුතු ප්‍රමාණයක් තිබෙනවා. එනමුත් ඉතිහාසයට වඩා වර්තමානයේ දී කාන්තාවන්ට සිදුවන අතවර සංඛ්‍යාත්මකව වැඩිවීමක් දක්නට ලැබෙනවා. මෙයින් අවාසනාවන්තම තත්ත්වය වන්නේ ගෘහස්ථ හිංසනය නැත්නම් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යන්නයි. මෙහිදී සිදු වන්නේ මා ඉහත සඳහන් කළ පරිදි සිය නිවෙස තුළ ඇයට සතුටින් ගත කළ නොහැකි තත්ත්වයක් උදා වීමයි.

බාහිර අයකු විසින් තවත් අයකු පීඩාවට ,හිරිහැරයට හෝ අතවරයට ලක් කරනවා නම් ,ඒ සඳහා වූ නීති සකස් කර තිබෙනවා.එය ඈත අතීතයේ සිටම ක්‍රියාත්මකව පවතිනවා. ඒත්, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ලෙස ‍සැලකෙන්නේ තම නිවෙස තුළ දී තමන්ගේම ඥාතියකුගෙන් සිදු වන ශාරීරික හා මානසික හිරිහැරයි. ඒ අනුව එවැනි දෑ වළක්වා ගැනීම සඳහා 2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත නීතිගත වුණා.

* ශාරීරික හා මානසික හිරිහැර ලෙස හඳුන්වන්නේ මොනවාද?

මේ පනතට අනුව ශාරීරික වධහිංසාව යනු දණ්ඩ නීති සංග්‍රහයේ දැක්වෙන මනුෂ්‍ය ශරීරය සම්බන්ධව සිදු කරන වැරැදි, සාපරාධී බිය ගැන්වීම්, බලෙන් ලබා ගැනීම, තුවාල සිදු කිරීම, අඩන්තේට්ටම් කිරීම, බලහත්කාරය, ලිංගික අතවර සහ අපහරණය යනාදියයි. මානසික පීඩාව ලෙස අයුතු ලෙස බැණ වැදීම තමයි අදහස් වන්නේ.

* මෙහි අයුතු ලෙස බැණ වැදීම යන්න තවදුරටත් විස්තර ක‍ළහොත්?

මෙය කෲර ස්වභාවයෙන් අවමන් කිරීමක් හෝ අපහාස කිරීමක් විය යුතු වෙනවා. එය යම් කිසි ආකාරයේ ක්‍රියාකලාපයකින් ද යුක්ත විය යුතුයි. ඒ වගේම එයින් පීඩිත තැනැත්තියට බරපතළ හා ක්ෂණික පීඩාවක් ඇති කිරීමේ හැකියාවක් තියෙන්න අවශ්‍යයි. අධිකරණයේ දී මේ කරුණු සියල්ල සැලකිල්ලට ගනු ලබනවා.

* මෙලෙස ශාරීරික හෝ මානසික පීඩාවට පත් වන කාන්තාවක් තමන් එලෙස පීඩාවට පත් වන බව අධිකරණයට තහවුරු කරන්නේ කෙසේද?

වර්තමානයේ කාන්තාව එදා කාන්තාවට වඩා ශක්තිමත්. අසාධාරණය වෙනුවෙන් නොබියව ඉදිරියට එනවා. ඒත් ලැජ්ජාව හෝ බිය නිසාම දීර්ඝකාලීනව මෙවැනි පීඩා දරාගෙන සිටින කාන්තාවන් ද තවමත් අප සමාජයේ සිටිනවා. තම සැමියාගෙන් කෙතරම් වධ හිංසාවට ලක් වූවත්, දරුවන් වෙනුවෙන් තම ස්වාමියා ආරක්ෂා කරගෙන සිටින බිරින්දෑවරු ඉන්නවා. ඒත් නීතියේ දී එය අනුමත වන්නේ නැහැ. කිසිම විටෙක මොනයම් කරුණකට හෝ කෙනකුට තවත් අයකුව පීඩාවට පත් කිරීම හෝ දඬුවම් කිරීමට නීතයෙන් අවසර නැහැ. මේ නිසා තම ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ළඟම ඇති පොලිස් ස්ථානය වෙත පැමිණිලි කිරීම වැදගත්.

ඒ වගේම එම පැමිණිලි සටහන්වල පිටපත් ලබා ගැනීමත් වැදගත්. මන්ද යත් පසුව ඒවා අධිකරණයට යොමු කළ යුතු නිසා ,පීඩාවට පත් වන කාන්තාව වෙනුවෙන් වෙනත් බලය ලත් නිලධාරියකුට අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමේ හැකියාව ද තිබෙනවා. පීඩාවට පත් අය දරුවකු නම් ,පියාට, මවට, භාරකරුවෙකුට හෝ ළමයා පදිංචි ස්ථානයේ සිටින වෙනත් අයෙකුට හෝ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙනුවෙන් බලය පවරන තැනැත්තෙකුට එම ළමයා වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් කළ හැකියි. අධිකරණය මෙවැනි ඉල්ලීම් වහාම සලකා බලනවා.

* එවැනි අවස්ථාවක අධිකරණය විසින් පීඩාවට පත් පාර්ශ්වය වෙනුවෙන් ක්‍රියා කරනු ලබන්නේ කෙසේද?

පීඩාවට පත් අයගේ ආරක්ෂාව සහතික කිරීමට අධිකරණය මගින් පියවර ගැනීමට අවශ්‍ය බවට සෑහීමකට පත් වුවහොත් ,අධිකරණය මගින් අතුරු ආරක්ෂක ආඥාවක් නිකුත් කරනු ලබනවා. මේ ආඥාව නිකුත් කරනු ලබන්නේ පීඩාව සිදු කරනු ලබන අයට පීඩාවට ලක්වන තැනැත්තා වෙත ප්‍රවේශ වීම තහනම් කරමිනුයි. මේ අතුරු නියෝගය විත්තිකරුට බාර දී ,ඔහුව අධිකරණයට කැඳවනවා. දින 14 ක් තුළ දී විමසීමක් සිදු කරනවා.

එම විමසීමේ දී විත්තිකරුට අධිකරණයට පැමිණිලා තමන්ට විරුද්ධව ආරක්ෂක අඥාවක් නොකළ යුතු වන්නේ මන්ද යන්නට හේතු ඉදිරිපත් කළ යුතුයි. සියලු කරුණු සලකා බලා, පීඩාවට පත් අයගේ ආරක්ෂාව සහතික කිරීමට අවශ්‍ය බව අධිකරණයට පෙනී යනවා නම් ,එවැනි අවස්ථාවක අරක්ෂක ආඥාවක් නිකුත් කරනු ලබනවා.

* මේ අතුරු ආඥාව ආරක්ෂක ආඥාවක් බවට පත් වන අයුරු සඳහන් කළොත්?

අතුරු ආඥාවක් යනු මුල් අවස්ථාවේ දී පෙත්සම්කරු විසින් කරුණු තහවුරු කළ පසු අධිකරණය තාවකාලිකව කරනු ලබන ආඥාවයි. ආරක්ෂක ආඥාවක් කියන්නේ වග උත්තරකරු විසින් අධිකරණයට පැමිණ විමසීමක් පවත්වා ,තව දුරටත් එම ආඥාව බලාත්මක කිරීම කළයුතු බවට අධිකරණයට පෙනී යයි නම් නිකුත් කරනු ලබන ආඥාවයි. මේ මුල් අවස්ථාවේ දී උපරිමය මාස12ක් දක්වා කාලයකට නිකුත් කළ හැකියි. ඉන් පසුව නඩුව කැඳවා දෙපාර්ශ්වය සමතයකට පත් වේ නම් ,පෙර කී ආඥාව විසුරුවාහරිනු ලබනවා.

* ආඥාව උල්ලංඝනය ක‍ළහොත්?

රුපියල් 10,000ක් නොයික්මවන දඩයකින් හෝ එක් අවුරුද්දකට නොවැඩි බන්ධනාගාරගත කිරීමෙන් ඒ තැනැත්තාට දඬුවම් කළ හැකියි.

* කාන්තාවක් හිංසනයට ලක් වනවා නම් ඇය විසින් පළමුව ගත යුතු පියවර කුමක්ද?

ළඟම ඇති පොලිස් ස්ථානයට ගොස් පැමිණිලි කිරීම, පසුව නීතීඥ සේවය ලබා ගනිමින් අධිකරණය වෙත යොමු කළ හැකියි. එහි දී අධිකරණය මගින් ආඥා නිකුත් කරන අතර පවුල් උපදේශනයට යොමු කිරීම, සමාජ සේවා උපදේශනයට යොමු කිරීම, මනෝ වෛද්‍යවරයකුට යොමු කිරීම, පීඩාවට පත් තැනැත්තා වෙත විශේෂ ආරක්ෂක ආඥාවක් සැපැයීම‍, වග උත්තරකරු ළඟ ආයුධ වෙතොත් ඒවා ඉවත් කිරීම, වගඋත්තරකරු සේවා ස්ථානයට පැමිණ හෝ මඟ තොට දී පීඩා කරන්නේ නම්, එය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කිරීම, පීඩාවට පත් අය පීඩාව කරන තැනැත්තාගෙන් යැපෙන්නේ නම් නඩත්තු කිරීමේ ආඥාවක්, පීඩාවට පත් අයගේ ආරක්ෂාව, සෞඛ්‍ය හා සුබසාධන සැලසීමට අවශ්‍ය පරිපූරක ආඥා, පීඩාවට පත්වන අයගේ පෞද්ගලික දේපළ එකතු කර ගැනීමට පොලිසියේ සහාය ලබා දීමේ නියෝගයක්, තාවකාලික නවාතැන් පහසුකම් සැපැයීමේ නියෝගය හා අධිකරණයට මැනවැයි හැඟෙන වෙනත් පරිපූරක ආඥා නිකුත් කරනු ලබනවා.

* නීති උපදෙස් ලබා ගැනීමට මූල්‍ය ශක්තියක් නොමැති ,එහෙත් දැඩි‍ සේ හිංසනයට ලක්වන කාන්තවන්ට ඒ සඳහා යොමු විය හැකි කිසියම් ස්ථානයක් තිබෙනවා ද?

එවැනි අය සඳහා නීති ආධාර සේවය නොමිලේ ලබා ගත හැකියි. නීති ආධාර සේවයේ ප්‍රාදේශිය කාර්යාලවලින් නොමිලේ නීති උපදෙස් සහ නඩු කටයුතු කිරීමට අවශ්‍ය නීතීඥ සහාය නොමිලේ ලබා දෙනවා. දිවයිනේ තිබෙන අධිකරණ 62 ක මේ ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ ප්‍රාදේශීය මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා. එහි දී තමන්ට අවශ්‍ය නීති ආධාර නොමිලේ ‍ලබා ගත හැකියි.

ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ ප්‍රාදේශීය මධ්‍යස්ථාන ලිපින සහ දුරකථන අංක

01.ප්‍රධාන කාර්යාලය මහාධිකරණ සංකීර්ණය, 0112433618 අලුත්ක‍ඩේ,කොළඹ 12. 0115835329

02.කොළඹ මධ්‍යස්ථානය 211, උපරිමාධිකරණ සංකීර්ණය, අලුත්ක‍ඩේ,කොළඹ 12. 0113137153

03.වැලිකඩ බන්ධනාගාරය වැලිකඩ බන්ධනාගාරය ,වැලිකඩ

04 අනුරාධපුරය උසාවි සංකීර්ණය,අනුරාධපුරය. 0252224465

05.මහනුවර නව උසාවි සංකීර්ණය, දෙවන මහල, නුවර 0812388978

06.ගාල්ල උසාවි සංකීර්ණය, කොටුව,ගාල්ල. 0912226124

07.හම්බන්තොට උසාවි සංකීර්ණය, තිස්ස පාර,හම්බන්තො‍ට 0472221092

08. නුවරඑළිය උසාවි සංකීර්ණය, නුවරඑළිය. 0522235260

09.මොනරාගල උසාවි සංකීර්ණය,මොනරාගල 0552276891

10.අම්පාර උසාවි සංකීර්ණය,අම්පාර. 0632223496

11.කෑගල්ල උසාවි සංකීර්ණය,කෑගල්ල. 0352231790

12.හලාවත උසාවි සංකීර්ණය,හලාවත. 0322222175

13.අක්කරෛපත්තුව අධිකරණ සංකීර්ණය,අක්කරෛපත්තුව 0675675333

14.බලපිටිය උසාවි සංකීර්ණය ,බලපිටිය 0912255753

15.මාතර උසාවි සංකීර්ණය,මාතර 0412233815

16.වව්නියාව උසාවි සංකීර්ණය,වව්නියාව 0242221863

17.ත්‍රිකුණාමලය උසාවි සංකීර්ණය,ත්‍රිකුණාමලය 0265676023

18.කල්මුණේ උසාවි සංකීර්ණය,කල්මුණේ 0672223710

19.යාපනය උසාවි සංකීර්ණය,යාපනය 0212224545

20.මඩකළපුව පළමුවන මහල,උසාවි සංකීර්ණය,මඩකළපුව 0652225399

21.බණ්ඩාරවෙල 15,වැලිමඩ පාර,බණ්ඩාරවෙල 0572224733

22.මාතලේ උසාවි සංකීර්ණය,මාතලේ 0663664588

23. අවිස්සාවේල්ල උසාවි සංකීර්ණය,අවිස්සාවේල්ල 0362233857

24.රත්නපුර උසාවි සංකීර්ණය,රත්නපුර 0452226899

25.මීගමුව උසාවි සංකීර්ණය,මීගමුව 0315677111

26කළුතර මහාධිකරණ සංකීර්ණය,කළුතර 0345628860

27.ගම්පහ මහාධිකරණ සංකීර්ණය,ගම්පහ 0335677998

28.පොලොනන්රුව උසාවි සංකීර්ණය,පොලොන්නරුව 0272226572

29.පානදුර දිසා අධිකරණ සංකීර්ණය, පානදුර 0382244822

30.කුලියාපිටිය උසාවි සංකීර්ණය,පන්නල පාර,කුලියාපිටිය 0372284611

31.කුරුණෑගල උසාවි සංකීර්ණය,කුරුණෑගල 0372229641

32.මහියංගනය උසාවි සංකීර්ණය,බදුල්ල පාර,මහියංගනය 0552258332

33.මහව උසාවි සංකීර්ණය,මහව 0372275075

34.හොරණ නව උසාවි සංකීර්ණය,හොරණ 0342265244

35.මතුගම උසාවි සංකීර්ණය,මතුගම 0343444262

36.අත්තනගල්ල උසාවි සංකීර්ණය,මල්වත්ත,නිට්ටඹුව 0332297020

37.දෙනියාය උසාවි සංකීර්ණය,මොරවක,ගල්දොල,කොටපොල 0413428006

38.දඹුල්ල උසාවි සංකීර්ණය,දඹුල්ල 0663682238

39.මාවනැල්ල 71/5J 1/1, හයිවේ සංකීර්ණය,නුවර පාර ,මාවනැල්ල. 0352247272

40.මාරවිල දිසා අධිකරණ සංකීර්ණය,මාරවිල 0322254443

41.වරකාපොළ උසාවි සංකීර්ණය,තුල්හිරිය,අලව්ව 0372277075

42.ළමා අධිකරණය ළමා අධිකරණය ,ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,

කොස්වත්ත ,බත්තරමුල්ල 0112877687

43.නුගේගොඩ උසාවි සංකීර්ණය,ගංගොඩවිල,නුගේගොඩ 0112809068

44.වැලිමඩ 33,බොරලන්ද පාර,වැලිමඩ 0572244860

45.කන්තලේ උසාවි සංකීර්ණය,කන්තලේ 0263263091

46.තඹුත්තේගම උසාවි සංකීර්ණය,තඹුත්තේගම

47. ගල්කිස්ස උසාවි සංකීර්ණය,ගල්කිස්ස 0112718708

48.තිස්සමහාරාමය උසාවි සංකීර්ණය,තිස්සමහාරාමය 0472239611

49.බද්දේගම උසාවි සංකීර්ණය,බද්දේගම

50.වැල්ලවාය දිසා අධිකරණ සංකීර්ණය,වැල්ලවාය 0552274466

51.වළස්මුල්ල උසාවි සංකීර්ණය,වළස්මුල්ල 0472245566

52.නාවලපිටිය උසාවි සංකීර්ණය,නාවලපිටිය 0542224227

53.ඇඹිලිපිටිය උසාවි සංකීර්ණය,ඇඹිලිපිටිය

54.හැටන් 204ඩී,කොළඹ පාර,ෆ්‍රැට්හිල්,හැටන් 0512225238

55.හිඟුරක්ගොඩ කො.278,නුවරවත්ත,හිඟුරක්ගොඩ 0275676729

56.බදුල්ල උසාවි සංකීර්ණය,බදුල්ල

57.මන්නාරම උසාවි සංකීර්ණය,මන්නාරම

58.කඩුවෙල උසාවි සංකීර්ණය,කඩුවෙල 0112548150

59.මුලතිව් උසාවි සංකීර්ණය,මුලතිව්

60.කිලිනොච්චි උසාවි සංකීර්ණය,කිලිනොච්චි

61.මුතූර් උසාවි සංකීර්ණය, මුතූර්

62.වාලච්චේන උසාවි සංකීර්ණය,වාලච්චේන

සටහන
සමදරා ජයසිංහ

dinamina

Leave a comment

ld add copy

Connet With Us