ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක Featured

Published in Gossip
Friday, 12 July 2024 12:45

නෛතික ප්‍රතිපාදන අනුව නිසි කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඊයේ (11) පාර්ලිමේන්තුවේ පැවති සභාව කල්තැබීමේ විවාදයේදී ආණ්ඩු පක්ෂ නියෝජිතයින් මේ බව අවධාරණය කළේය.

එහිදී විදේශ ඇමැති අලි සබ්රි පැවසුයේ, ඔක්තෝබර් මස 5 වැනිදා හෝ 12 වැනිදා ජනාධිපතිවරණය බොහෝ විට පවත්වන බවයි. කිසිසේත්ම ජනාධිපතිවරණය ප්‍රමාද කිරීමට හේතුවක් නොමැති බව ද කී විදේශ අමාත්‍යවරයා, තවදුරටත් මෙසේ ද කීවේය.

'' ජනතාවගේ පරමාධිපත්‍ය බලය මැතිවරණවලදී පාවිච්චි කළ යුතුයි. මැතිවරණයක කාලය කෙටි කිරීමට අදාළව නඩු තීන්දු ගණනාවක් පවතින නමුත් කාලය දීර්ඝ කරන්න බැහැ. ඒකෙ කතා දෙකක් නැහැ. රට පාලනය කිරීම සඳහා වූ මහ මැතිවරණ 82 දී හැර අන් සියලු වසරවලදී නියමිත කාලයේ දී පවත්වා තිබෙනවා. 82 දී ඡන්දය කල් දැම්මේ ළාම්පු කළගෙඩි සෙල්ලමෙන්. හිටපු ජනාධිපතිවරයාගේ නිල කාලය වසර පහයි. ඊට වඩා අඩු කරන්නත් බැහැ. වැඩි කරන්නත් බැහැ.''

ජූලි 17 වනදායින් පසු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට බලය හිමිවේ. එය සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 16ත් අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිසම මීට පෙර නිවේදනය කර තිබුණි. මෙවර ජනාධිපතිවරණය සඳහා 2024 ඡන්ද හිමි නාමලේඛනය යොදාගැනීමට නියමිතව තිබේ.

ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ජනාධිපතිවරණය කල් තැබීම සඳහා විවධ උපක්‍රම යොදාගන්නා බවට විපක්ෂයෙන් චෝදනා එල්ල වුවත් ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග පවසන්නේ ජනාධිපතිවරණය කල් තැබීමට ජනාධිපතිවරයා කිසිසේත්ම කටයුතු නොකරණ බවය. එමෙන් මේ වන විට සිදුවෙමින් පවතින දේශපාලන වර්ධනයන් හමුවේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමේ හැකියාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇති බවත්ය.

මේ වන විටත් ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් පොදුජන පෙරමුණේ පූර්ණ සහයෝගය ලැබෙනු ඇති බවත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු රැසකගේ සහයෝගයත් ලැබෙනු ඇති බවත් පැවසේ. එසේම දෙමළ ජාතික සන්ධානයද මුස්ලිම් පක්ෂ කිහිපයකත්, ලංකා කම්කරු කොන්ග්‍රසයේ සහයත් ලැබීම මත බහුතර ඡන්ද සංඛ්‍යාව මේ වන විටත් ජනාධිපති රනිල්ට ලැබී ඇති බවත් අවධාරණය කරයි. මේ අතර වඩා තීරණාත්මක ඡන්ද කෝටාව ලෙස සැලකෙන පාවෙන ඡන්ද කෝටාවේ බහුතරයත් ජනපති රනිල්ට හිමි වනු ඇති බවත් ඊට හේතුව මෙම වසර දෙකක කාලය තුළ රටේ ආර්ථිකය ස්ථාවර කරමින් නිවැරදි ප්‍රතිපත්ති මත රටේ පාලනය පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් මෙම කණ්ඩායම් තුළ ගොඩ නැඟී ඇති පැහැදීම බවත් පෙන්වා දෙයි.

කොහොම නමුත් මේ වන විට නිරීක්ෂණය වී ඇති තත්වය නම් විපක්ෂයේ ප්‍රධාන බලවේගය වන සමගි ජන බලවේගය මේ වන විටත් තමන්ගේ උපරීමයට පත්ව ඇති බවත් එය ඡන්ද ලක්ෂ 30 ඉක්මවන්නේ නැති බවත්ය. විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාසගේ නායකත්වයේ දුර්වලතාවයන් සහ ප්‍රතිපත්තිමය උෘණතාවයන් මත ඔහු කෙරෙහි විශ්වාසය වර්ධනය වීමක් සිදුව නැත. ඔහුගේ ජනප්‍රියත්වය රඳා පවතින්නේ බිම් මට්ටමේ, අඩු ආදායම්ලාභී, ග්‍රාමීය හා පැල්පත් වාසී ප්‍රජාවන් තුළය. එයත් ලබා දෙන සහනාධාර පොරොන්දු මතය.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගය ගොඩනගාගෙන සිටි ජනප්‍රියත්වය වේගයෙන් වියැකෙමින් තිබෙන බවත් පෙනී යයි. ජාජබයේ ගොඩනැංවීමට හේතු වී තිබුණේ පසුගිය ගෝඨා පාලනය බලාපොරොතුතු විරහිත ලෙස කඩාවැටීම ගැන කලකිරී ජාජබය වෙත ඇදුනු පිරිසගෙනි.

එම පිරිස් ගෝඨාභය පාලනය තුළින් බලාපොරොත්තු වූ දෘඩ දේශපාලන නායකත්වය, විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකභාවය, රටේ සංවර්ධනය, අද රනිල් වික්‍රමසිංහ වෙතින් මූර්තිමත් වීම සහ ඒ සාර්ථකත්වය මත මෙම පිරිස් ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසය තැබීමට යොමුව සිටී. මේ අනුව විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළ ජාජබය කෙරෙහි පක්ෂපාතව කටයුතු කළ බොහෝ පිරිස් නිහඩ වීම හෝ ජනපති රනිල් කෙරෙහි විශ්වාසය පළ කිරීම ප්‍රදර්ශනය වෙමින් පවතී.

එසේම ජවිපෙ විසින් රට ගොඩනැගීම සම්බන්ධයෙන් රජය ගන්නා පියවරයන්ට දිගින් දිගට අකුල් හෙලීම හා තමන්ගේ විකල්ප විසඳුමක් ප්‍රකාශට පත් නොකිරීම,ජවිපෙ නායකයන්ගේ පරස්පර කතා, ජවිපෙ වෘත්තීය සමිති මූලිකව ඇති කළ වැඩ වර්ජන රැල්ල කෙරෙහි රටේ බහුතර ජනතාවගෙන් එල්ල වූ විරෝධය වැනි සාධක ජවිපෙ ජාජබය කෙරේ විශ්වාසය අඩු වෙමින් පවතී.

මේ තත්වයන් හමුවේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා සජබයත් ජාජබයත් ඉදිරිපත් වනුයේ වඩාත්ම දුර්වල පාර්ශ්ව දෙකක් ලෙසය. මෙහි වාසියත් ජනාධිපති රනිල්ට හිමි වනු ඇත.

Leave a comment

 

ld add copy

ක්‍රීඩා

Connet With Us