චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

Published in Gossip
Saturday, 30 March 2024 10:27

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉරිදා (24) එහි ගිය අගමැතිවරයා, චීන ජනාධිපති ෂී ජින්පින්, අග්‍රාමාත්‍ය ලී චියැං සහ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු රැසක් හමුවූහ. එරට කථානායකවරයාද දිනේෂ්ව හමුවිය.දෙරට අතර ගිවිසුම් 9ක් අත්සන් තැබුවේද ඒ අතරතුරය. චීන කොමියුනිස්ට් පක්ෂයේ, ජාතික මහජන කොංග්‍රසයේ සභාපති Zhao Leiji ද මුණගැසී සාකච්ඡා කළ දිනේෂ්, බිජිං හි ටියන්මෑන් චතුරස්‍රයට පැමිණ දිවිපිදූ රණවිරුවන්ට, රණවිරු ස්මාරකයේදී පුෂ්පෝපහාර දැක්විය. ඔහු පළමුවෙන් ම කළේ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී, ශ්‍රී ලාංකේය වෘත්තිකයන් හමුවීමය.

“වත්මන් ආර්ථික සංවර්ධන ප්‍රයත්නයන්ට සහභාගි වෙලා මව්බිමට සම්පතක් වෙන්න, මේ වෙලාවේ ඒක අත්‍යවශ්‍යයි” දිනේෂ් ඉල්ලා සිටියේය.

බිජිං අගනුවර සිංහ ධජ සාගරයක් සේ දක්නට ලැබුණේ චීනයේ සියලු ප්‍රධාන නායකයන්, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් වෙනුවෙන් හමුවීම් සංවිධාන කර තිබූ නිසාය. චීන අගමැති ලී චියැං, දිනේෂ්ව මහජන චීනය පිළිගත්තේ විශේෂ උත්සවයක් පවත්වමිනි. ඔවුන්ට දිනේෂ් සමග විශේෂ බැඳියාවක් තිබිණි.

“චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය ශක්තිමත් කිරීම සඳහා ඔබ සහ ඔබේ පවුලේ අය අඛණ්ඩව කටයුතු කළා” චීන අග්‍රාමාත්‍ය ලී චියැං, කීවේ රාජ්‍ය තාන්ත්‍රික නිල සාකච්ඡා අතරතුරය.

අගමැතිවරයා සහ චීන ජනාධිපතිවරයා අතර සාකච්ඡාව මෙහිදී සිදුවූ විශේෂ සිදුවීමක් විය.

“ශත වර්ෂයකට ආසන්න කාලයක්, පිලිප් ගුණවර්ධන සහෝදරයා සහ පවුලේ උදවිය චීනයේ ඉතා සමීපතම මිතුරන් ලෙස අපි සලකනවා. ඔබේ පැමිණීම දීර්ඝකාලීන මිත්‍රයෙක් හමුවුණා හා සමානයි. ඒ නිසා මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට විශේෂ සහයෝගයක් අපි ලබා දෙනවා” යැයි චීන ජනාධිපතිවරයා කිවේ මහත් ලෙන්ගතුකමකිනි. චීන ජනපති එසේ සිහිපත් කළේ, පිලිප් ගුණවර්ධනයන් සහ කුසුමා ගුණවර්ධන ගැනය.

ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමයේ මුල්ම සභාපතිනිය (1950දී) වන්නේ දිනේෂ්ගේ මව, කුසුමා ගුණවර්ධනයි. 1956 පෙරළියට පෙර 1951දී පිලිප් චීනයට ගියේ, චීන විප්ලවයෙන් පසු එරටට ගිය පළමු ශ්‍රී ලංකේය කණ්ඩායම ලෙසය. නොබැඳි පිළිවෙතට අඩිතාලම දැමුණේ එදාය. ජාතික වීරවර පිලිප් ගුණවර්ධනයන්ගේ 52 වන ගුණානුස්මරණය යෙදී තිබුණේද මාර්තු 26 වන දාය. එදින දිනේෂ් සිටියේ චීනයේය. එමනිසා 26 වනදා ඉටු කළ යුතුම යුතුකම දිනේෂ් කලින් ම ඉටු කළේය. ඒ, අවිස්සාවේල්ල බොරළුගොඩ පිලිප් ගුණවර්ධන සමාධියට උපහාර දැක්වීමයි.

පිලිප්ගේ මුණුපුරා වන, දිනේෂ්ගේ පුත් යදාමිණි ගුණවර්ධන මන්ත්‍රීවරයාද මේ අවස්ථාවේ එහි සිටියේය. රාජ්‍ය අමාත්‍යවරු වන ෂෙහාන් සේමසිංහ හා අශෝක ප්‍රියන්තද මෙම සංචාරයට අගමැති සමඟ එක්වූහ.

-සිළුමිණ

Leave a comment

worky

worky1

ld add copy

Connet With Us