මන්ත්‍රීධූර අපේක්ෂකයන් තමන්ගේ ලස්සන වැඩපිළිවෙල සුපිරි හැකියාව ආදි සියලු දෑ ඡන්දදායකයන් සමඟ සාකච්ඡා කර අවසන්ය. එකිනෙකා අතරවූ උණුසුම් වාග් සංග්‍රාමයන් , මඩ අවලාද, මෙන්ම කන් කෙඳිරිගෑම් ජනතාව ගේ කන වැකී අවසන්ය. රෙදි ඇඳගත් අය මෙන්ම රෙදි ගලවා ගත් අය ගැනද දැන් ජනතාව දැනගෙන අවසන්ය.
මහජන නියෝජිතයා විකෘතියකි
තමන්ගේ ගමේ සංවර්ධනය සඳහා වගේම තමන්ගේද පොහොසත්කම වෙනුවෙන් පෙනී සිටින 'විශ්වාසදායක', 'අවංක' මහජන නියෝජිතයකු තෝරා පත්කර ගැනීමේහි අවස්ථාව දැන් 'බුද්ධිමත් ඡන්දදායකයා' ඉදිරියේ හි තිබේ. එහෙත් මේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවල සඳහන් වන මහජන නියෝජිතයා තෝරා පත් කර ගැනීමේහි විකෘතියක් මේ රටෙහිද ඇත.
මහජන නියොජිතයා කියන්නේ තමන් සාමාජිකත්වය දරණ දේශපාලන පක්ෂයේ නියෝජිතයා හෝ තමන්ට වාසියක් ලබාගත හැකි හිතමිතුරා නොවේ. ගමේ චණ්ඩියා හෝ මුදලාලි නොවේ. තමන්ගේ ඥතියා හෝ ගමේ ප්‍රභූවරයා ද නොවේ. ගමේ අහිංසකයාද නොවේ. මහජන නියොජිතයා යනු සමාජ සේවකයෙකි. තමන්ගේ කැමැත්ත අකමැත්ත වෙනුවට සාමාජිය වුවමනාව වෙනුවෙන් පෙනි සිටින්නාය. පොදු සමාජ යහපත වෙනුවෙන් පළාත් පාලන ආයතනයේ බලය, හැකියාව සාධාරණව යොදාගත හැකි ඒ වෙනුවෙන් පෙනී සිටින තැනැත්තා මහජන නියොජිතයාය. එහෙත් ඒ ගැන කල්පනා කරන්නෝ ඇත්තේ ඉතා සුළු පිරිසක්. අවසානයේ ඡන්ද පොළට නොයන්නේද මේ සුළු පිරිසය. මේ නිසා මහජන නියෝජිතයා යන්නහි අරුත කුමක් වූවත් එහි අදාලත්වයක් දැන් නැත. අපේ මන්ත්‍රීතුමෙකු සිටීම ප්‍රමාණවත්ය
මහ ආණ්ඩුවටම ගමේ බලයත්
ගමට මන්ත්‍රීවරයකු පත්කර ගැනීමේදී කල්පනා කළ යුතු අනෙක් වැදගත්ම කරුණ වන්නේ පළාත් පාලන ආයතනයක කාර්යභාරය නැත්නම් ගමේ ආණ්ඩුව ගැන වැටහීමක් තිබිය යුතු වීමය. ගමේ ආණ්ඩුව කියන්නේ විශාල ආදායම් උපයන තැනක් නොවේ. සුළු පරිමාන බදු ආදායම් හැර ගමේ ආණ්ඩුවට මුදල් ලැබෙන්නෙ පලාත් සභා හෝ මධ්‍යම ආණ්ඩුවෙනි.
එසේම ගමේ ආණඩුව ඉටු කළ යුතු සංවර්ධන කටයුතු පවා තවමත් තීරණය වන්නේ පළාත් සභාවේ හෝ මධ්‍යම ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා සැලසුම් අනුවය. මේ නිසා ගමේ ආණ්ඩුවේ බලය අත්පත් කරගන්නා කණ්ඩායම් ඉහළ දේශපාලන අධිකාරිය හා පවත්වන සම්බන්ධතාවය ගමේ දියුණුව කෙරෙහි බලපැවැත්වීම සාමාන්‍ය පිළිවෙතය.
මධ්‍යම ආණ්ඩුවේ බලය හොබවන කණ්ඩායමටම ගමේ බලය ද දිය යුතු යැයි කියන්නේ ඒ නිසාය. නැත්නම් වැඩක් කර ගැනීමට අපහසු වෙයි. සංවර්ධනය සඳහා රජයේ ප්‍රතිපාදන වෙන්වීමේදී කුඩම්මාගේ සැලකිලි ලැබෙයි.
මේ වැරදි සහගත ක්‍රමයකි. මේ ක්‍රමයේ වැරද්ද නිසා රටේ සංවර්ධනය යම් ලෙසකින් විෂම බවට හේතුවීද තිබේ.
බලය බෙදා හැරීම
පළාත් පාලන ආයතයනවලට තමන්ගේ බල ප්‍රදේශයේ සංවර්ධනය ගැන තීන්දු තීරණ ගැනීමට යම් බලයක් පැවැරිය යුතු බව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලියට එකතුකර ඇත්තේද ඒ වැරැද්ද නිවැරැදි කළ යුතු බැවිනි. බලය බෙදාහැරීම ලෙස කතා කරන්නේ එයය. බලය ගමේ මිනිහා අතට ලැබෙන ක්‍රමයකට ගම්මු විරුද්ධවන්නේ නැත.
මේ නිසා මෙවර ගමේ සංවර්ධනය ගැන පමණක් නොව රජයේ දේශපාලන ප්‍රතිපත්ති ඉටු කිරීමට සමත් දේශපාලන කණ්ඩායම ගැන කල්පනා කිරීම ගම්මු සිදුනොකරන්නට හේතුවක්ද නැත.
මේ ඡන්ද විමසීමේ දී ආණ්ඩු පෙරලනවාද , අගමැති පන්නනවාද , රට බෙදෙනවාද , හොරු අල්ලනවාද ආදී කාරනා පසුව විසඳා ගතයුතු වෙනත් ප්‍රශ්න වීම අනිවාර්ය තත්වයකි. නමුත් මෙවර මැතිවරණයේ ජනප්‍රිය සටන් පාඨය වූයේ දූෂණ විරෝධයයි. ප්‍රධාන කණ්ඩායක් කිහිපයක්ම මේ මුල් කරගෙන මැතිවරණ සටන ගෙන ගියහ. රාජ්‍ය යාන්ත්‍රණයද දේශපාලකයාද දූෂ්‍ය වී ඇති බව රහසක් නොවේ. අනේක ආකාරයේ වංචා දූෂණ නාස්ති අදත් සිදුවෙමින් තිබේ.
දූෂණ විරෝධය විකාරයකි
එහෙත් පළාත් පාලන මැතිවරණයේදී මේ දූෂණ විරෝධී සටන් පාඨය වේදිකාවල මොර දුන්නද මාධ්‍යයෙහි වැදගත් තැනක් ගත්තද එය රටේ ජනතාවට එතරම් අදාල කරුණක් නොවේ. විශේෂයෙන්ම ගමට නියොජිතයකු පත් කර ගැනීමේදී මේ අදාලම කාරනාවක් නොවේ.
ගමේ ප්‍රශ්න වෙනම තිබේ. ඒ ප්‍රශ්න ගැන කතා නොකර මොනතරම් හයියෙන් අරූ හොරා මූ හොර යනුවෙන් මොර දුන්නද ඒ ගමේ මිනිහාට වැඩක් නැත. ගමේ මිනිහාට අවශ්‍යවන්නේ ගමේ පොඩි පොඩි සංවර්ධන වැඩ ටිකය. ගමේ වැඩේ ගමේ විදිහට විසඳ ගන්නය. තමන්ගේ වැඩේ කොහොම කරගත හැකිනම් ඒ ඇතිය.
අනෙක් කාරනාව දූෂණ විරෝධය කියන්නේ මිනිසුන් ප්‍රිය දෙයක් නොවේ..මොකද හැම මිනිහා තුලම මේ දුෂිතයා ජීවත් වන නිසාය. කොහොම හරි ගේමක් ගසා, ජරාවක් දී ගනු දෙනුව පහසුවෙන් බේරා ගැනීමට මිනිස්සුන්ගේ පළමු කැමැත්තය. මේ තේරුම් නොගෙන මහා සුද්ධවන්තයින් ලෙස දූෂණ විරෝධී සටන් පාඨ ගෙන ආවාට මිනිස්සු ඊට කැමැත්ත පළ කරන්නෙ නැත. අනිත් එකාට කෙළවා හෝ තමන්ගේ වැඩේ කරගත හැකි ආකාරය ගැන සංවේදී මිනිස්සුන්ට තමන් දූෂණ විරෝධියකු විය යුතු යැයි කල්පනා වෙන්නෙ නැත. දුෂණයට වංචාවට මිනිස්සු කැමැති වන්නේ අනෙකාට ඉන් කෙළවන්නෙ නම් පමණි.
බඩට වැටෙන දේ වැදගත්ය
මේ නිසා දුෂණ විරෝධයට වඩා මෙම මැතිවරණයේදී ජනතාව ආශක්ත වන්නේ තමන්ගේ ගොඩට මොන මොනවා හෝ එකතු කර දෙන්නට පොරොන්දු වූ කණ්ඩායමටය. මොනවා හරි දෙයක් එහෙම වෙන්නට නම් ඒ ගැන කතා කිරීම සංවර්ධනයේ නාමයෙන් සිදුවෙයි. ඒ නිසා සංවර්ධනය ගැනම කතා කළ කණ්ඩායමට ජනතාවගේ ප්‍රසාදය හිමිවනු ඇත.
අනෙක් කාරණය නම් වංචා දූෂණ ආදි දෝශ ඇති වන්නේ මේ සංවර්ධන වැඩ ආරම්බ කිරීමෙන් පසුව වීමය. සංවර්ධන වැඩ සිදුනොවෙයි නම් එතැන වංචා දූෂණ සිදු නොවේ. ඒ නිසා සංවර්ධන වැඩ නොකර එහෙම වැඩ පිලිවෙලක් හො ඉදිරිපත් නොකර තමන් බලයට පත් වු පසු වංචාව දූෂණය නැති කරනවා යැයි කීමත් එක්තරා අප්‍රබංසයකි.
ගමේ සංවර්ධනය ගැන කාරණයේදී දූෂණ විරෝධය වැඩකට ඇති දෙයක් නොවේ. දූෂණ විරෝධී සටන් පාඨය උස්සා ගත් වුන්ට මෙම ඡන්ද ප්‍රතිපලයෙන් පසුව තමන්ගේ දේශපාලනික හිස්කම ඇඟටම දැනෙනු ඇති බව සහතිකය..
බලය සහ සල්ලි තමා ඕනා
සංවර්ධනය ගැන කරුණු ඉදිරිපත් කරන, ඒ ගැන සැලසුමක් ඇති, විශ්වාසයක් තැබිය හැකි, වැඩකර පෙන්වා ඇති නියෝජිත කණ්ඩායමකට ගමේ බලය පැවරීම ඡන්දදායකයාගේ නිසැකයෙන්ම තීරණය කරනු ඇත.
ගම ගැන තීන්දු ගැනීමේ බලය, ගමේ මිනිහාට ලැබෙන අලුත් දේශපාලන ප්‍රතිසංස්කරණ ගැන තිබෙන කතිකාවද ඒ තීරණය තව තවත් දැඩි කරනු ඇත. මිනිස්සු බලයට සල්ලි වලට ආසයි. ඒක දැනගෙන දේශපාලනය කරන්නා හැමදාම දිනුම්ය..