උදිත්ගේ සහ නදීශාගේ පළහිලව්ව කුමක් වුවත් ලංකාවේ පසුගාමී සංස්කෘතිය තිබෙන්නේ කොතැනද යන්න මනාව පෙන්නුම් කෙරෙනා සිද්ධියක් බවට මෙය ද පත් වී තිබුණි.
වැඩිහිටි පිරිමියෙක් සහ ගැහැණියක් සමීපව සිටියදී තුන්වැන්නෙකු ගත් ඡායාරූප කිහිපයක් ගැන දේශපාලන භූමිය මෙතරම් වධ වෙන්නේ ඇයි. නදීශා නිළියක් සහ නිරූපිකාවකි. ඇය මීට පෙරද ඕනෑ තරම් ඡායාරූප වලට පෙනීසිට ඇත. ගැහැණියකගේ දණහිසට ඉහළින් දැකීමෙන් සිහිමඳ වන පිරිමින් ඉදිරියේ ඇගේ බිකිනි ඡායාරූප මහත් 'ආන්දෝලනාත්මක' වූවාද අපට මතකය. පිරිමියකු සමඟ ඈ දෑතින් අල්ලාගෙන සිටින ඡායාරූපයක් යනු මහා අරුමයක් නොවේ.
දේශපාලනිකව ප්‍රශ්න කෙරෙනවා නම් ප්‍රශ්න කළ යුත්තේ නදීශාගේ සීනිබෝල දේශපාලනය සහ උදිත්ගේ සරුංගල් දේශපාලනය ය. මෙතෙක් දේශපාලන භූමිය තුළ ඔවුන්ගෙන් කෙරුණා වූ සාධනීය යමක් ඇතිද නැතිනම් ඔවුන්ගේ දේශපාලන ආගමනය තවත් පුද්ගලයකුට තිබූ අවස්ථාවක් ඇහිරීමක්ද යන්න ගැනය. කුහක සදාචාරවාදයක පැටළෙමින් මිනිසෙකුගේ සහ ගැහැණියකගේ පෞද්ගලික ජීවිතයට තළන නූතන සයිබර් එන්සිනා ලා සහ අබිලින්ලා 'දේශපාලන විචාර' කිරීමට අවතීර්ණ වීමට කාටත් සෙතක් වන්නේ නැත.
උදිතගෙයි නදීෂාගෙයි පෞද්ගලික ඇයි හොඳයියේ ප්‍රමාණය කුමක් වූවත් ඒ කවදා කෙසේ වුවද ඒ ඔවුනොවුන්ගේ කැමැත්ත අපට ප්‍රශ්න කළ නොහැක. ඒ නිසා
ලිංගික ඉරිසියාව, සාදචාරවාදී කුහකකම් හා පෞද්ගලික සතුරු කම් මිස මෙම ඡයාරූප ප්‍රදර්ශනය කිරීම මාර දෙශපාලන වැඩක් වෙන්නේ නැත
ගැහැණියකගේ හා පිරිමියකුගේ සම්බන්ධයක නියම හෝ අනියම් බව ගොඩ නැගෙන්නේ නීතිය හා සංස්කෘතිය හමුවේ මිසක ස්වභාවික ජීවිතය තුල නොවේ. එදා නීතිය ගොඩනැඟුනේ පාලකයාට, සමාජය තමන්ට අවශ්‍ය ලෙස පාලනය කිරීමටය. නීතිය සාධාරණීය කිරීමට පාලකයාට සංස්කෘතියද අවශ්‍ය විය.
රාජ්‍ය පාලනයේදී, සමාජ ඇසුරේදී නීතිය සංස්කෘතිය වැදගත්ය. එහෙත් එහි තේරුම මානව නිදහස පාලනය කිරීම නොවේ. මේ පරණ ගෝත්‍රවාදී වුවමනාවන් කර ගහගෙන මේ ශතවර්ශය තුළද අප ගමන් කරමින් සිටින්නේ කොතැනටද යන ගැටළුව ලෙහා ගත යුතුය. එහෙම නොවෙන තාක් කාල් නදීෂගේ කන්‍යාභාවය ගැන හොයනවට වඩා දෙයක් අපට ඉතුරුවන්නේ නැත.