වීරවංශ, පාතාලේ නැඟිටලාද ? ළංවෙලාද ?

Published in පුවත්
Sunday, 02 August 2015 17:50

ජනවාරි 08 වැනිදායින් පසුව, එතෙක් රට හැර ගොස් සිටි පාතාල කල්ලි නායකයන් 08 දෙනකු යළි මෙරටට ගෙන්වා ගැනීමට වත්මන් යහපාලන ආණ්ඩුව කටයුතු කර ඇති බවත් ‘ග‍්‍රෑන්ඞ්පාස් සිදු වීම’ ඉහත කී පාතාල කල්ලි එකිනෙකා මරා ගන්නා විට සිදු වූ දෙයක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසා ඇත.

"ග්‍රෑන්ඩ්පාස් සිදුවීම" පිළිබඳව පොලිස් පරීක්ෂණ තවමත් පැවැත්වෙන වටපිටාවක් තුළ වීරවංශ මහතා තමුන්ට අයත් පෞද්ගලික බුද්ධි අංශයක් මාර්ගයෙන් මෙම තොරතුරු ලබාගත්තා වන්නට ඇත. කෙසේ වෙතත් රට හැරගිය, නොගිය සහ මෙලොව හැරගිය පාතාල සාමාජිකයින් ගැන කතා කිරීමේදී මහින්ද රාජපක්ෂ මහතා ද මතක් නොකරම බැරිය. ඒ දකුණ හෙල්ලූ වම්බොට්ටා නම් පාතාලයා සහ ජූලම්පිටියේ අමරේ නම් පාතාලයාගේ කතා පුවත් වලට මහින්ද රාජපක්ෂ නාමයද ඈඳෙන බැවිනි. කෙසේ වෙතත් පසුව 'එකම රටක්, එක පවුලක්, එක පාතාලයක්' වැනි සංකල්පයක් යටතේ එතෙක් පෞද්ගලික අංශයේ පැවති පාතාලය රාජපක්ෂ පාලනය විසින් අහෝසි කරන ලද අතර පාතාලය රාජ්‍යකරණය නොඑසේ නම් රාජ්‍යය පාතාලකරණය විය.

ගෝඨාභය රාජපක්ෂගේ පාතාල මර්ධන මෙහෙයුම යටතේ පාතාල සාමාජිකයින් ලෙස නම් කෙරුණු බහුතරයක් එකම ආකාරයේ පිටපත් සහිත නාටකවල චරිත බවට පත්ව අවසන් ගමන් ගියහ. පාතාලයා හෝ මොකා හෝ අපරාධයක සැකකරුවකු අත් අඩංගුවට ගත් පසුව අධිකරණයට ඉදිරිපත් කිරීම රටේ නීතිය වුවද ඒ කිසිවකු අධිකරණයක් දුටුවේ හෝ නැත. සැඟවූ ආයුධ පෙන්වීමට ගොස් පහරදීමට තැත් කර හෝ මාංචු පිටින් ගඟකට පැනීමෙන් ඔවුන්ගේ මරණයන් සිදුවූ අතර පුදුමාකාර ලෙස මෙම ඒකාකාර සිදුවීම් අධිකරණයෙන් ද ප්‍රශ්න කිරීමකින් තොරව එලෙසින්ම පිළිගැණිනි. එසේ අතරමඟ අවසන් ගමන් යැවීමට නොහැකි වූ පිරිසක් වැලිකඩ බන්ධනාගාරයෙහි වූ කැළඹිලිකාරී සිදුවීමක පිහිටෙන් මරා දැමුණු බවද මේ වන විට හෙළිදරව් වෙමින් තිබේ. උසස් පොලිස් නිලධාරීයකු විසින් කප්පම් ගැනීම සඳහා මිනිසකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම දක්වා දුර දිග ගියේ රාජපක්ෂලාගේ මේ රාජ්‍ය පාතාලය ය. එමෙන්ම ගෝඨාභය තම සභාපතිත්වයෙන් යුතුව, අවිදරන පෞද්ගලික ආරක්ෂක අංශයක්ද පිහිටුවාගෙන සිටියේ ය. එසේම අගවිනිසුරුවරිය ඉවත් කිරීමේ ක්‍රියාදාමය තුළ මහමඟ මිනිසුන්ට 'ෆ්ලයින් කික්' එල්ල කල උදවිය මෙන්ම උද්ඝෝෂණය කළ ජනතාවට මහදවල් මහමඟ වෙඩි තබා මරනා පාතාල පොලිසියක්, පාතාල හමුදාවක්ද ක්‍රියාත්මක වූවා මතකය.

දරිද්‍රතාවය සහ සමාජ අසාධාරණය විසින් දරුණු බවට පමුණුවනු ලැබූ මිනිසුන් දේශපාලකයින්ගේ අතකොලු බවට පත්වීමෙන් බොහෝවිට පාතාලය නිර්මාණය වේ. එදා මෙදාතුර රාජ්‍ය බලය හෙබවූ සියළුම දේශපාලන පක්ෂ මේ පාතාල බිහිකිරීම හා නඩත්තු කිරීම පිළිබඳව වගකිව යුතුය. එම පාතාල සාමාජිකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමෙන්, ඔවුන් අධිකරණයට කැඳවා විභාග කිරීමෙන් ඔවුන් පසුපස සිටි බලවේග හඳුනාගත හැකිවනු ඇත. කෙසේ වෙතත් වීරවංශගේ මේ හදිසි පාතාල විරෝධය එන්නේ වෙනත් තැනකින් ය. මීට ටික දිනකට පෙර අලුත්ගම බස්නැවතුම්පොළ අසල කාණුවක තිබූ ලැප්ටොප් බැටරියක් බෝම්බයක් ලෙස හඳුන්වා කොටි නැඟිටීමක් ගැන මුරගෑ ඔහු මෙවර පාතාල නැඟිටීමක් ගැන මුරගාන්නේ සැබැවින්ම තම දේශපාලන ජීවිතය යළිත් ගොඩ ඒමක් නොවන පතුලක් නොමැති පාතාලයක මුවවිටෙහි තිබෙනා බව දැනෙනා නිසා විය යුතුය.

~ තුශාරිකා විතානගේ

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us