මගේ පෙම්බරා නං නිතරම කියන්නෙ ‘‘අපි දේශපාලනික සත්වයො. කැමති වුණත් අකමැති වුණත් කරන්න දෙයක් නෑ.. මේ ගෙන්දගම් පොලවෙ පය ගහල ඉන්න නම් දේශපාලනයත් එක්ක හැප්පෙන්නම වෙනවා..‘‘ කියල.
‘‘අනේ මට ඕන නෑ ඔය ජරා මඩ ගොහොරුවට පනින්න..“ මං ඒ වෙලාවට ටිකක් තදින් කියනවා. ඒත් ඇත්ත නේන්නං කියල හිතින් හිතනවා. මාක්ස්ට, ලෙනින්ට වගේම ජේසුට බුද්ධටත් ආදරය කරන, අලුත් අහසක් අලුත් පොළවක් ගැන නොනිවෙන හීනයකින් ඇවිළි ඇවිළි ඉන්න මේ අහිංසක මනුස්ස පරාණෙ ගැන හිතේ තියෙන මහා ආලවන්තකම හින්දම දැන් දැන් මම ත් දාස්කැපිටාල්, රුසියන් විප්ලවය, මාක්ස්, ලෙනින් ගැන වගේම රෙජීමය, යහපාලනය, දාහත, දහාට, දහ නවය ආණ්ඩුක්‍රමව්‍යවස්ථා වගේ දේවල් ගැනත් කරුණු කාරණා ටිකක් දන්නවා.
‘‘මං හින්ද නෙමෙයි මනුස්සයො.. තමන් පය ගහල ජීවත් වෙන මහපොළව ගැන හිතල, වටේ ඉන්න මිනිස්සු ගැන හිතල, මේ ගහකොල පරිසරය ගැන හිතල දේශපාලනය තේරුම් කරගන්න බලනවා...‘‘ පෙම්බරා බරසාර විදියට දෙස්දෙවොල් තියන්න පුරුදු වෙලා උන්න ඉස්සර... මටත් ඕන වුණේ නෑ කාගෙවත් කණ්ණඩිවලින් ලෝකය බලන්න. පුංචියට හරි මටත් මොළයක් තියෙනවනෙ. ඉතින් මම මගේම විදියට දේශපාලනය කියවගන්න උත්සාහ කළා...
පහුණු ජනාධිපතිවරණෙදි යහපාලනේට කඩේ ගියෙත් එහෙම මගේම විදියට හිතල බලල. පෙම්බරා ජේවීපී යට පණ දෙන්න සැදී පැහැදී ඉද්දිත්..
‘‘මේ මොහොතෙ වඩා වැදගත් රාජපක්ෂ රෙජීමය පරද්දන එක..‘‘ මං එදා පෙම්බරා එක්කත් තර්ක කළේ එහෙමයි. කවුද දෙයියනේ හිතුවෙ එක පාරක් පරද්දල ගෙදර යවපු මනුස්සයා යන්නත් ඉස්සරින් ආපහු හැරිල එයි කියල.. මේ තරම් අප්‍රසන්න වැඩක් නම් මේ තුන්ලෝකෙම තවත් නැතුව ඇති.
‘‘ඔයා හිතනවද? උන්ට වඩා මුන් වෙනස් කියල‘‘ මූණත් රතු කරගෙන පෙම්බරා අහද්දි මම මතුරන්නෙ එදා මන්තරේමයි...
‘‘මේ මොහොතෙ වඩා වැදගත් රාජපක්ෂ රෙජීමය පරද්දන එක..‘‘
උන් මුන් සහ එයාගෙ උන් වුණත් බලයට ආවම මීට වඩා වෙනස් වෙයි කියල හිතන්න අමාරුයි. කතාවක් තියෙනවනෙ බලය නැතිතාක්කල් දේශපාලඥයො සාන්තුවරු. බලය ලැබුණට පස්සෙ යක්ෂයො කියල. බලය ලැබුණමයි එයාලගෙ වෙස් පෙරළෙන්නෙ... වෙස් පෙරළෙන්නේ ඉතින් අපායගාමී පැත්තට මිස මෝක්ෂවාසී පැත්තට නම් නෙවෙයි. සාන්තුවර ස්වභාවය පවත්වාගනිමින් රටේ යහපතට වැඩ කරපල්ලා කියන එක නිතර මතක් කරමින්, බලපෑම් කරන්න ඕන අපි.. ඒක හරිම කරුමයක් නම් තමයි.. හැමදාම සද්ගුණවත් දේශපාලඥයො ගැන හීන දැක දැක ඉන්න යක්ෂයින්ටම කතිරෙ ගහන අපිට මෙහෙම වෙලා මදි...
නිස්කාන්සුවේ කල්පනා කරල බලද්දි රාජපක්ෂ රෙජීමය නිසා යහපතකුත් සිද්දවුණා කියල මට හිතෙනවා.. මේ රටේ මිනිස්සුන්ගෙන් කොටසක් හරි තේරුම් ගත්තා රාජ්‍ය බලය වෙනුවෙන් තමන්ගෙ මැදිහත්වීම කොහොම වෙන්න ඕනද කියන කාරණය... සිවිල් සංවිධාන, පුරවැසියන් යම් පිරිසක් හරි පාරට බැස්ස එක ගැන, කොන්ද කෙළින් තියාගෙන කතා කළ එක ගැන මට සතුටුයි. මම ත් පෙම්බරාත් ඒ ගොඩක් තැන්වල උන්නා. පෞද්ගලික ලාභ ප්‍රොයෝජන බලාපොරොත්තුවෙන් පැත්ත මාරු කරපු කටුස්සො අතර, රට ගැන හැබෑ හැඟීමෙන් මරු කටට පනින්න හරි එකහිත් හිතාගෙන ඉස්සරහට ආව පිරිසකුත් උන්නා.
ඉඟුරු දීල මිරිස් ගත්ත වගේ වැඩක් නොවෙන්න නම් පුරවැසි දේශපාලනික මැදිහත්වීම නොනවතින අරගලයක් විය යුතුයි කියලයි මට හිතෙන්නෙ..
පුරවාසිනී.....