යහපාලනයක් සහිත සමාජයක් ස්ථාපිත කිරීමේ පොරොන්දුව පිට බලයට පැමිණි නව ආණ්ඩුව ද මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මෙන්ම ශිෂ්‍ය මර්දනය ආරම්භ කර ඇති බවත්, ශිෂ්‍යයන් පමණක් නොව උතුරේ ද දකුණේ ද සමාන්‍ය ජනතාවට එරෙහි මර්දනය දියත් කර ඇති බවත් එහි දී ඔවුහු සඳහන් කළ හ.
ප‍්‍රථමයෙන් ම සිය අදහස් දැක්වූ මානව හිමිකම් සුරැකීමේ ශිෂ්‍ය සංවිධානයේ කැඳවුම්කරු වන රමිඳු පෙරේරා මහතා...
මීට පෙර දඅප සංවිධාන දෙක ඒකාබද්ධව ශිෂ්‍ය මර්දනය පිළිබඳ වාර්තාවක් 2014 වසරේ දි ඉදිරිපත් කළෙමු. ඒ වසර කිහිපයක සිද්ධි ගොනු කරමිනි. මේ වන විට ශිෂ්‍ය මර්දනය පමණක් නොව සාමාන්‍ය ජනතාවට එරෙහි සිදුකෙරෙන මර්දනය ද සාමාන්‍යකරණය වී ඇත. ඒ අනුව අපි අද ඉදිරිපත් කරන්නේ පසු ගිය දින සියයේ ශිෂ්‍ය මර්දනය පිළිබඳ වාර්තාවයි.
මෙවැනි වාර්ථාවක් එළිදක්වන්නේ ඇයි ද යන්න පළමුව විමසා බලමු.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ශිෂ්‍ය මර්දනය අපි සැවොම දනිමු. එම පාලන සමය තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1453ක ගේ ශිෂ්‍ය භාවය අහෝසි කළ අතර ශිෂ්‍යයෝ තුන් දෙනකු ඝාතනයට කළහ. මෙම සියලූ කාරණා මූලික කොට ගෙන සමාජ විරෝධයක් ඉස්මතු විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ජනවාරි නව වන දින උදෑසන මහින්ද රාජපක්ෂ ගෙදර ගියේ ය.
ඒ ආකාරයෙන් මහින්ද රාජපක්ෂ ගෙදර යවන්නට සමත් වූ පැවති ජනාධිපතිවරණයේ ප‍්‍රචාරකපටයක ඇතුළත් වූ දර්ශන අතර මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ශිෂ්‍යයන්ට එල්ල කරන ලද පොලිස් ප‍්‍රහාර ද ඇතුළත් කර තිබිණ. නමුත් අද වන විට මෙම ආණ්ඩුව ද මහින්ද රාජපක්ෂ වර්ගයේ ම ශිෂ්‍ය මර්දනයක් දියත් කර ඇත. ශිෂ්‍යයන්ට එරෙහිව පමණක් නොව සාමාන්‍යය ජනතාවට එරෙහිව ද මෙම මර්දනය දියත් කොට ඇත.
යාපනයේ ශිෂ්‍යාවගේ ඝාතනයෙන් අනතුරුව සිදු වූ සිදුවීම් පාදක කරගනිමින් එම ප‍්‍රදේශයේ කිසිඳු උද්ඝෝෂණයක් නොපැවැත්විය යුතු යැයි අධිකරණ නියෝගයක් නිකුත් කොට ඇත. එය කරළියට රැගෙන එන්නේ එම ප‍්‍රදේශයේ ද රතුපස්වල මෙන් ම කර්මාන්ත ශාලාවකින් නිකුත් වන අපද්‍රව්‍ය හේතුවෙන් සිදුවන පරිසර හානියට එරෙහිව ජනතාව පෙළ ගැසීමට සුදානම් වූ මොහොතේ දී ය.
කොටකෙතන ඝාතනයට සම්බන්ධ සැකකරුවන් නිදහස් කිරිමට එරෙහිව එම ප‍්‍රදේශයේ ජනතාව වීදි බැස උද්ඝෝෂණය කරන විට එම උද්ඝෝෂණයට ද කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කර එය මර්දනය කළේ ය. රාජපක්ෂ ආණ්ඩු සමයේ සිට පවතින කොලොන්නාව කුණු කන්ද පිළිබඳ ගැටලූව විසඳනවා වෙනුවට එම කුණු කන්දට එරෙහිව උද්ඝෝෂණය කළ ජනතාවට එරෙහිව රාජ්‍ය මර්දනය දියත් කළේ ය. රැකියා ඉල්ලමින් වීදි බට උපාධිධාරීන්ට එරෙහිව මර්දනය දියත් කළේ ය.
මීට අමතරව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවකු වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික සොයුරාගේ මල්ලී අපරාධ විමර්ෂණ ඒකකයට කැඳවයි. රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සොයුරාගේ නිවසට පස් වතාවක් නිල ඇඳුමෙන් සහ සිවිල් ඇඳුමින් සැරසී ගත් පොලිසියේ පිරිස් පැමිණෙන්නේ එම සොයුරාගේ දෙමාපිය සොයුරු සොයුරියන් බිය වද්දමිනි.
කරුණු මේ ආකාරයෙන් සිදුවන්නේ නම් අප කළ යුත්තේ කුමක් ද? වහ වහා ම මේ සම්බන්ධයෙන් සමාජ කථිකාවතක් ගොඩනැගිය යුතු ය. අප අද දින ‘‘දින 100 යේ ශිෂ්‍යය මර්දනය’’ කෘතිය එළිදක්වන්නේ එම අදහස පෙරටු කර ගෙන ය.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යය බලමණ්ඩලයේ කැඳවුම්කරු වන නජිත් ඉන්දික මහතා සිය අදහස් දක්වමින් මෙසේ පැවසී ය.
ජනවාරි නව වන දින නව ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව පැවති පළමු සාකච්ඡාවේ දී රාජිත සේනාරත්න මහතා පවසා සිටියේ රාජපක්ෂ සමයේ සිදු වූ කිසිවක් සිදු නොවන බවයි. රාජපක්ෂ රෙජිමයට බියෙන් රට හැර ගිය පිරිසට ද ආරාධනා කළ රාජිත සේනාරත්න මහතා පවසා සිටියේ දැන් බය නැතුව තමන් ගේ රටට පැමිණෙන ලෙසයි. ඒ, ලක්ෂ 62ක් වූ ජනතාව රාජපක්ෂ පාලනයට එරෙහිව ඡන්දය පාවිච්චි කරමින් ඔහු පළවා හැරී හෙයිනි. නමුත් මේ වන විට රාජ්‍යය මර්දනය නමැති සුනඛයා ජනතාව පසුපස හඹා යමින් සපාකන්නට පටන් ගෙන ඇත.
මේ වන විට ශිෂ්‍යයන් 7ක් සිරගත කර ඇති අතර අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කාර හිමි නම ඇතුලූ හිමිවරු පස්නමක් සිරගත කර ඇත. තවත් විහාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක ගේ නිවෙස්වලට ගොස් ඔවුන්ගේ දෙමාපියන් බිය වද්දමින් විවිධාකාරයේ ප‍්‍රකාශ සටහන් කරගනිමින් එම දෙමාපියන් අපහසුතාවයට පත් කරති. පොලිසියෙන් හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් යැයි කියාගන්නා මොවුන් අදාළ නිවෙස්වලට යන්නේ රෑ දහයත් පසුවීමෙන් අනතුරුව ය. මෙම නිලධාරීහු ඇතැම් නිවෙස් වටලා දොරට තට්ටු කර ‘අපි පැමිණියේ අහවල් ශිෂ්‍යයා අත්අඩංගුවට ගන්න’ යැයි පවසති. නමුත් මෙම සිදුවීම් කෙරෙහි බොහෝ දෙනකු අවධානය යොමු නොකරති. මෙය අපේ හිතළුවක් නොව සැබෑවට ම සිදුවන රාජ්‍ය මැදිහත්වීම් සහිත මර්දනය කැඳවීමකි.
සාමාන්‍යයෙන් මෙතෙක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අත්අඩංගුවට ගත්තේ හෝ පොලිසිය වෙත කැඳෙදව්වේ උද්ඝෝෂණය කිරීමෙන් අනතුරුව ය. මේ මොහොතේ ඇතැම් අවස්ථාවන්හි දි උද්ඝෝෂණය කිරීමට පෙරාතුව ද පොලිසියට හෝ අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා ප‍්‍රශ්න කරන තත්ත්වයට පැමිණ ඇත. රාජපක්ෂ ආණ්ඩුව පලවා හැර බලයට පැමිණි යහපාලන ආණ්ඩුවේ මෙම ක‍්‍රියාදාමය සරල නැත. මේ පවතින්නේ රාජපක්ෂ ආණ්ඩුව නොවන බැවින් ඇතැම් අය මෙය පිළිගැනීමට මැළි විය හැකි ය. එහෙත් යථාර්ථය මෙය යි. අප මෙම කෘතිය ‘‘දින 100 යේ ශිෂ්‍යය මර්දනය’’ ලෙස නම් කරන්නේ ද එය සංකේතවත් කරනු පිණිස ය.
2015 ජනවාරි 02 වන දින ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ප‍්‍රසිද්ධ කළ දැන්වීමක ‘අද සහ හෙට’ යනුවෙන් කොටස් දෙකක් හඳුන්වා දෙමින් ‘අද’ කොටසේ හුවා දක්වන්නේ රාජපක්ෂ සමයේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය මර්දනය යි. ‘හෙට’ කොටසේ හුවා දක්වන්නේ රජයේ අධ්‍යාපන වියදම සියයට හය දක්වා වැඩි කිරීම, මහපොළ ශිෂ්‍යත්ව අරමුදල රුපියල් 5000 දක්වා ඉහළ නැංවීම සහ තාක්ෂණික අධ්‍යාපනයට පිවිසෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ණය පහසුකම් සපයන බවයි. නමුත් මේ මොහොතේ ‘හෙට’ යන්න මායාවක් බවට පත්ව ‘අද’ යන්න යථාවක් බවට පත්ව ඇත. එනම් එදා ‘අද’ අදත් ‘අද’ බවට පත්ව ඇත. එසේනම් මේ හැංඟි හැංඟී වෙස් මුහුණු බඳින්නේ කුමට ද? තවත් ශිෂ්‍ය මර්දනයකට නොවේ ද?
නව ආණ්ඩුව බලයට පත්ව දින දහයක් ඉක්ම යාමට මත්තෙන් චක‍්‍රලේඛයක් මගින් පාසල් තුළ මුදල් අය කිරීම නීති ගතකළේ ය. එය සඳහන් කළේ ‘අවිධිමත් ලෙස මුදල් එකතු කිරීම වැළැක්වීම’ යනුවෙනි. නාවල විශ්වවිද්‍යාලයේ පාඨමාලා ගාස්තු ඉහළ නැංවිමට එරෙහි සත්‍යග‍්‍රහය ආරම්භ කළේ රාජපක්ෂ ආණුඩු සමයේ දී ය. එම සත්‍යග‍්‍රහය ආරම්භ කර අදට දින 167කි. ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉල්ලූ විට එය ලබා නොදුන් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් පවසන්නේ කුමක් ද? පාඨමාලා ගාස්තු ඉහළ නැංවීමට එරෙහිව ශිෂ්‍යයන්ට කිසිවක් කළ නොහැකි බවයි. මෙය එස්. බී. දිසානායක පැවසු දෙය ම වෙනත් විදියකින් පැවසීමකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳ වූ අපේ ශිෂ්‍ය සහෝදරයන්ට එහි ප‍්‍රධානියකු පවසා ඇත්තේ ‘අපි ඉන්නෙ ආණුඩුව ආරක්ෂා කරන්න මිසක් උඹලව ආරක්ෂා කරන්න නෙවෙයි. ඒ නිසා වැඩිය දඟලන්න එපා’ යනුවෙනි. මේ වන විට සුදු වෑන්වලින් පැමිණ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පැහැරගෙන නොගිය ද ඔවුන්ට පහර දෙන්නට සුදු වෑන් යොදාගැනේ. එ’නිසා අධ්‍යාපනය සම්බන්ධයෙන් පැන නැගෙන ගැටලූවල දී අපි ඕනෑම පුද්ගලයකු සමග අපේ සටන ඉදිරියට රැගෙන යන්නෙමු.
සටහන – ජයසිරි අලවත්ත This email address is being protected from spambots. You need JavaScript enabled to view it.