රාජපක්‍ෂට වසර 10 කින් කරන්න බැරි වූ දේ මේ රජය දින 88 කින් කළා - අගමැති

Published in පුවත්
Wednesday, 08 April 2015 06:59

තුනෙන් දෙකක බලය සහිත පසුගිය ආණ්‌ඩුවට අවුරුදු දහයක්‌ තුළ කළ නොහැකි දේ වර්තමාන ආණ්‌ඩුව දින අසූ අටක්‌ තුළ ඉටුකර ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (07 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ආණ්‌ඩුවේ දින සියයේ වැඩපිළිවෙළ පිළිබඳ පාර්ලිමේන්තුවට වාර්තාවක්‌ ඉදිරිපත් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අප දින සියයක කඩිනම් වැඩසටහනක්‌ ජනතාව වෙත ඉදිරිපත් කළා.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් විගස අප දින සීයේ කඩිනම් වැඩපිළිවෙළට මුල පිරුවා. අපට කටයුතු ආරම්භ කරන්නට සිදුවුණේ ප්‍රජාතන්ත්‍රවාදය විකෘතියට ලක්‌ කෙරුණු සමාජයකයි. දේශපාලනීකරණයට සම්පූර්ණයෙන්ම යටකොට තලා පෙළා පාගා දැමුණු රාජ්‍ය නිලධාරී පන්තියක්‌ සමගයි. මර්දනයට හා පීඩනයට ලක්‌ කෙරුණු සමාජයක්‌ සමගයි.

නමුත් අප ඒ අභියෝගය භාර ගත්තා. ඒ අභියෝගයට මුහුණ දුන්නා. දැන් මෛත්‍රී පාලනය යටතේ දින 88 ක්‌ ගෙවී ගොසින් ඒ දින 88 තුළ සිදුකෙරුණු වැඩ කටයුතු ගැන අපට සෑහීමකට පත්වෙන්නට පුළුවන්.

දින 100 වැඩසටහන යටතේ ජනතා සහන ගණනාවක්‌ ලබාදෙන බව අප පැවසුවා. ඒ අනුව රජයේ සේවක වැටුප් වැඩි කළා. විශ්‍රාමිකයන්ට රුපියල් 3500 ක අතුරු දීමනාවක්‌ ලබා දුන්නා. ඉන්ධන මිල අඩු කළා. සමෘද්ධි සහනාධාරය වැඩි කළා. ගැබිනි මව්වරුන් වෙනුවෙන් රුපියල් 20,000 ක්‌ වටිනා පෝෂණ මල්ලක්‌ ලබාදීම ආරම්භ කළා. බඩු මිල අඩු කළා. ගෑස්‌ මිල අඩු කළා. වී අස්‌වැන්න සඳහා හොඳ මිලක්‌ අප ලබාදී තියෙනවා. වී අලෙවි මණ්‌ඩලය රට පුරා වී මිලදී ගන්නවා. තේ සහ රබර් ඇතුළු කෘෂි නිෂ්පාදන සඳහා ඉහළ මිලක්‌ ලබා දුන්නා. කිරි ලීටරයක සහතික මිල වැඩි කළා. බාල පොහොර ආනයනය නවතා දැම්මා. නොමිලයේ වයිෆයි පහසුකම් ලබාදෙන කලාප ඇති කළා.

ලැයිස්‌තුව තව දිගයි. රීලෝඩ් බදු අඩු කළා. ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා වැඩි පොලියක්‌ ලබා දුන්නා. රුපියල් ලක්‍ෂ දෙකක වටිනාකමකට උකස්‌කර ඇති රන් භාණ්‌ඩ සඳහා ගෙවිය යුතු අධික පොලිය මේ මාසයේ සිට කපා හැරීමට කටයුතු යොදා තියෙනවා. මහපොළ සහනාධාරය ජුනි මාසයේ සිට රුපියල් 5000 දක්‌වා ඉහළ නැංවීමට අප තීරණය කර තිබුණා. නමුත් එය මැයි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට අප කටයුතු යොදා තිබෙනවා. මේ ආකාරයට ජනතා සහන ගණනාවක්‌ අප ලබා දුන්නා. ඉදිරියටත් ලබා දෙනවා.

ගොවීන්, කම්කරුවන්, ධීවරයන්, රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවකයින් ආදී සෑම ක්‍ෂේත්‍රයකම නියුතු පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමටත්, ඔවුන්ට හිමි නිසි තැන ලබාදීමටත් අප පියවර ගෙන තිබෙනවා. පුද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීම පිළිබඳව අප වැටුප් මණ්‌ඩල සමග සාකච්ඡා කළා. ඒ අනුව ළඟදීම පුද්ගලික අංශයේද වැටුප් වැඩි කෙරෙනවා. වැටුප් මණ්‌ඩල යටතට නොගැනෙන පුද්ගලික අංශයේ සේවක සේවිකා වැටුප් වැඩි කිරීම පිළිබඳවද අප කටයුතු කරගෙන යනවා.

මේ කිසිවක්‌ අප ලබා දුන්නේ බදු බර වැඩි කරන්නේ නැතිවයි. මීට කලින් රාජපක්‍ෂ ආණ්‌ඩුව ජනතාවට කිසියම් හෝ සහනයක්‌ ලබා දුන්නා නම් එසේ කළේ බදු පිට බදු ජනතාව මත පටවමිනුයි. නමුත් අප ඒ ක්‍රමය වෙනස්‌ කළා.

මෙහි ප්‍රතිඵලය කුමක්‌ද? ජනතාවගේ අතේ වැඩි වැඩියෙන් මුදල් ගැවසීමයි. ජීවන මිල පහත වැටීමයි. මෑත ඉතිහාසයේ දිගින් දිගටම සිදුවුණේ දිනෙන් දින ජීවන මිල ඉහළ නැංවීමයි. නමුත් දැන් පළමු වතාවට ජීවන මිල දර්ශකය පහත වැටෙමින් පවතිනවා. මෙය මෛත්‍රී පාලනයේ සුවිශේෂී ජයග්‍රහණයක්‌.

අප බලයට පත්වෙද්දී මුළු මහත් සමාජයම දූෂණය වී, කුණුවී තිබුණා. මේ නිසා ආර්ථික, සමාජයීය හා දේශපාලනික ප්‍රතිසංස්‌කරණ ගණනාවක අවශ්‍යතාව මතුවී තිබුණා. අප මේ දින 100 තුළ එවැනි ප්‍රතිසංස්‌කරණ ගණනාවකට මුල පිරුවා.

මේ ගරු සභාවට ඉදිරිපත් කර ඇති ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය ඒ අතර ප්‍රධානයි. ඒ පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තුව හමුවේ සවිස්‌තරව ඉදිරිපත් කෙරෙන නිසා මම ඒ ගැන අදහස්‌ මේ අවස්‌ථාවේ ඉදිරිපත් කරන්නේ නෑ.

මැතිවරණ ක්‍රමය සංශෝධනය සම්බන්ධයෙන්ද අප පියවර ගනිමින් සිටිනවා. දින 100 වැඩසටහන මගින් පෙන්වා දුන් අයුරින් මනාප ඡන්ද ක්‍රමය සහමුලින්ම අහෝසි කොට සෑම මැතිවරණ කොට්‌ඨාසයකටම මන්ත්‍රීවරයෙකු ලැබෙන පරිදි මන්ත්‍රී ආසන ක්‍රමය හා සමානුපාතික ක්‍රමයේ සම්මිශ්‍රණයක්‌ සහිත නව මැතිවරණ ක්‍රමයක්‌ පිළිබඳව මූලික එකඟත්වයකට ජාතික විධායක සභාව පැමිණ තිබෙනවා. ඒ එකඟත්වය අනුව තේරීම් කාරක සභාවක්‌ මගින් කෙටුම්පත් සකස්‌ කිරීමට අප ක්‍රියා කරනවා. මෙය කඩිනමින් කළ යුතු කාර්යයක්‌ සේ අප සළකනවා.

ජාතික ඖෂධ නියාමන පනත පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තා. කැසිනෝ රෙගුලාසි අවලංගු කළා. 19 වැනි සංශෝධනය සම්මතවීමෙන් පසු ජාතික විගණන පනත, තොරතුරු දැන ගැනීමේ පනත පාර්ලිමේන්තුවට අප ඉදිරිපත් කරනවා.

මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ වැඩසටහන දැන් ක්‍රියාත්මකයි. පසුගිය ආණ්‌ඩුව යටතේ නීතියේ දැලට හසුවූයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කෝඳුරුවන් විතරයි. නමුත් දැන් උකුස්‌සන් හසුවෙනවා. ළඟදීම ගිජුලිහිණියන්ද හසුවේවි.

දූෂණ හා වංචා පිළිබඳව සොයා බැලීම සඳහා අප අල්ලස්‌ හෝ දූෂණ කොමිසම ශක්‌තිමත් කළා. නව අධ්‍යක්‍ෂ ජනරාල්වරියක්‌ පත් කළා. මහා පරිමාණයේ දූෂණ සහ

වංචා පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීමට අවශ්‍ය යාන්ත්‍රණය මෙන්ම පුහුණු නිලධාරීන් ද අපට හිඟයි. මහා පරිමාණ දූෂණ සහ වංචා සෙවීමේ පුහුණුව අපේ නිලධාරීන්ට ලබාදීම අප ආරම්භ කර තියෙනවා. ඇමෙරිකාවේ අධිකරණය, ලෝක බැංකුව, එංගලන්තයේ මහා පරිමාණ දූෂණ සෙවීමේ කාර්යාංශය සහ ඉන්දියාව සමඟ අප සම්බන්ධතා පවත්වාගෙන යමින් අපේ නිලධාරීන්ට මේ පුහුණුව ලබා දීමේ කටයුතු ආරම්භ කර තියෙනවා.

අප මහා පරිමාණ දූෂණ සෙවීම සඳහා වෙනමම කාර්යාංශයක්‌ ස්‌ථාපිත කර තියෙනවා. තරාතිරම නොබලා අප දූෂකයන් පිළිබඳව සොයා බලනවා. ඔවුන් නීතිය ඉදිරියට පමුණුවනවා. නමුත් අප මේ සියලු කටයුතු කරන්නේ නීතියට එකඟවයි.

රාජපක්‍ෂ ආණ්‌ඩුව කාලයේ ක්‍රියාත්මක වුණේ කැකිල්ලේ නීතියයි. සරත් ෆොන්සේකා සහ ශිරානි බණ්‌ඩාරනායක ඊට උදාහරණ දෙකක්‌ පමණයි. අප ඒ අසාධාරණය නිවැරදි කළා. අද ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාටත්, අග විනිසුරු ශිරානි බණ්‌ඩාරනායක මහත්මියටත් සාධාරණය ඉෂ්ට කර දී තියෙනවා. ඔවුන්ට ලැබිය යුතු නිසි ගෞරවය අප ලබා දී තියෙනවා.

අපේ සමස්‌ත අධිකරණ පද්ධතිය පිළිබඳවත් අපේ හමුදා විනය පිළිබඳවත් ජාත්‍යන්තර ප්‍රසාදය හා විශ්වාසය යළි හිමි වීමට මේ කරුණු හේතු සාධක වුණා. අපේ රටට එරෙහිව ජාත්‍යන්තරයෙන් එල්ල වුණු චෝදනා යටපත් කරන්නට අප දැන් ක්‍රියා කරමින් යනවා.

අහිමිවී ගිය ජීඑස්‌පී ප්ලස්‌ සහනය යළි ලබා ගැනීමට අප මුල පුරා තියෙනවා. යුරෝපීය සංගමයෙන් අපට පනවා තිබුණු තහංචි ඉවත් කර ගැනීමේ ක්‍රියාදාමය ආරම්භ කර තියෙනවා. ජාත්‍යන්තරයෙන් හිමිවිය යුතු වරප්‍රසාද සහ සහන යළිත් අපේ මව් රටට ලබාදීමේ ක්‍රියා පිළිවෙතකට අප අවතීර්ණ වී සිටිනවා. මානව හිමිකම් පාගා දැමූ, හිතු හිතු සේ මිනිසුන් අතුරුදහන් කරවන ප්‍රතිවාදීන් ඝාතනය කරන දූෂිත රටක්‌ ලෙස හංවඩු ගැසී සිටි අප දැන් ආසියාවේ යහපත් හා ගුණවත් රටක්‌ ලෙස යළිත් කීර්ති නාමය දිනා ගනිමින් සිටිනවා.

යුද්ධය නිසා වැඩි වශයෙන්ම පීඩාවට පත් උතුරේ ජනතාව සම්බන්ධයෙන් ද අපේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා. ඔවුන්ට යළි ඉඩකඩම් ලබාදීමේ වැඩසටහනට අප මුල පිරුවා ජනාධිපතිතුමාත් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මියත් මමත් තිදෙනාම ඒ සඳහා සහභාගි වුණේ එහි වැදගත්කම සලකා ගෙනයි.

ඉන් පසුව මමත් උතුරේ දින තුනක්‌ සංචාරය කළේ ජනාධිපතිතුමන් ආරම්භ කළ ඒ වැඩපිළිවෙල ඉදිරියට ක්‍රියාත්මක කරලීමේ පියවර ගැනීම සඳහායි. මධ්‍යම රජයට අයත් විෂයයන් ගණනාවක්‌ පිළිබඳව වැදගත් පියවර ගණනාවක්‌ අප එහිදී ගත්තා. කාන්තා ගෘහ මූලික පවුල් වෙනුවෙන් සහන සැලසීමට එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේද සහාය ඇතිව අප කටයුතු සම්පාදනය කරමින් සිටිනවා. ඒ පිළිබඳ ජාතික මධ්‍යස්‌ථානය කිලිනොච්චියේ පිහිටුවීමට බලාපොරොත්තු වෙනවා. කාන්තාවන්ට සහ දැරියන්ට එරෙහි ප්‍රචණ්‌ඩත්වය මැඬලීම සඳහා කාර්ය සාධන බළකායක්‌ අප පත්කර තියෙනවා. දේශපාලනයේ කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහාද අප ක්‍රියා කරනවා.

මැතිවරණය ජයග්‍රහණයෙන් පසුව මල්වතු අස්‌ගිරි මහානායක හිමිවරුන් හමුවීමට මහනුවරට ගිය අවස්‌ථාවේ උන්වහන්සේලා ප්‍රකාශ කළේ මුළු මහත් සමාජය තුළම අතිමහත් වූ නිදහස්‌ භාවයක්‌ පැතිරී ගොස්‌ ඇති බවයි. පසුගියදා යාපනයට ගිය අවස්‌ථාවේ යාපනයේ අගරදගුරුතුමා ද මේ අදහසම පළ කළා.

පාරට බැස්‌සාම අපි මේ නිදහස අත්විඳිනවා. ඉස්‌සර පාරක තොටක යද්දී බලන බලන තැන තියෙන්නේ රාජපක්‍ෂ පවුලේ කටවුට්‌ දේශපාලනඥයන්ගේ මුහුණු සහිත විශාල දැන්වීම් පුවරු අද එහෙම නැහැ.

පත්තරයක්‌ අතට ගත්තාම අපිට මේ නිදහස දැනෙනවා. ඉස්‌සර පත්තරයක පිටු පුරවා ඇත්තේ රාජපක්‍ෂලාගේ මහන්තත්වකම පෙන්වන දැන්වීම්. ජනාධිපති රාජපක්‍ෂගේ දැන්වීමක්‌ නැති පත්තරයක්‌ ඒ කාලයේ සොයා ගන්න තිබුණේම නෑ. නමුත් අද එහෙම නෑ.

රූපවාහිනිය බලද්දී, රේඩියෝ අසද්දී අපට මේ නිදහස දැනෙනවා. අදහස්‌ ප්‍රකාශ කරන්න ආණ්‌ඩුව විවේචනය කරන්න නිදහස අද තියෙනවා. කැබිනට්‌ මණ්‌ඩලයේම ඇමැතිවරු පවා ජනාධිපතිතුමාවත් මාවත් විවේචන කරනවා. පතුරු ගහනවා.

අද දුරකතවලට හොරෙන් ඇහුම්කන් දෙන්නේ නෑ. යන එන තැන් ගැන ඔත්තු බලන්නේ නෑ. ඇමැතිවරු මන්ත්‍රීවරු ගැන ෆයිල් හදන්නේ නෑ. ෆයිල් පෙන්න පෙන්නා ඇමැතිවරු සහ මන්ත්‍රීවරු රූකඩ සේ නටවන්නේ නෑ.

අද රටේ ජනතාවට නිදහසේ කතා කරන්න නිදහසේ අදහස්‌ ප්‍රකාශ කරන්න නිදහස තියෙනවා. නිදහසේ තොරතුරු දැනගැනීමේ අයිතියත් අප ළඟදීම ස්‌ථාපිත කරනවා.

මා හිතන්නේ මේ දින කීපය තුළ අප ලබාගත් විශාලතම ජයග්‍රහණයක්‌ ලෙස මේ නිදහස හැඳින්වීම සාධාරණ බවයි. ජනතාව එදා කතාබහ කළේ බයෙන්. සැකෙන්. මේ පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් අද බය සැක නැතුව නිදහසේ අදහස්‌ ප්‍රකාශ කරනවා. එදා කට අරින්න බය වුණා. ජනමාධ්‍ය සම්බන්ධයෙන් ද මෙය සත්‍යයක්‌. පසුගියදා ෆේස්‌බුක්‌ ගිණුම් හිමියෙක්‌ සඳහන් කර තිබුණේ රනිල් වසලයා මරා දමව් කියලයි. එහෙම කතාවක්‌ පසුගිය රජයේ නායකයින් සම්බන්ධයෙන් කිව්වා නම් සිද්ධ වෙන දේ අපි කවුරුත් දන්නවා.

දින 100 වැඩ සැලැස්‌ම ඔස්‌සේ පොරොන්දු වූ කාරණා බහුතරයක්‌ මේ වන විට සපුරා තියෙනවා ඉතිරි කරුණුත් ඉතා ඉක්‌නින්ම ඉෂ්ට සිද්ධ කිරීම අපේ බලාපොරොත්තුවයි. එහි සඳහන් කරුණු සියයට සියයක්‌ම ඉටු කරගන්නට බැරි වුණත් සියයට අනූවකට වඩා ප්‍රමාණයක්‌ ඉටු කරන බවට ජනාධිපතිතුමාත් මමත් අපේ ආණ්‌ඩුවත් සහතික වෙනවා.

2005 වසරේදී රාජපක්‍ෂ ආණ්‌ඩුව බලයට පත්වුණේ මහින්ද චින්තනය ඉදිරිපත් කරමිනුයි. එහි සඳහන් කරුණු වලින් සියයට දහයක්‌වත් ඉටු කර නැහැ. 2010 මහින්ද චින්තන ඉදිරි දැක්‌ම මගින් පොරොන්දු වූ කරුණු සම්බන්ධයෙන්ද කිව හැක්‌කේ ඒ කතාවමයි.

රාජපක්‍ෂ ආණ්‌ඩුවට අවුරුදු 10 ක්‌ තුළ කරන්නට බැරිවූ දේවල් අපි මේ දින 88 තුළ ඉටු කර තිබෙනවා. රාජපක්‍ෂ ආණ්‌ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය සහිතව ඉටු කරගන්නට බැරි දේවල් අපි මේ දින 88 තුළ ඉටු කර තිබෙනවා. එය ලාංකේය දේශපාලන ඉතිහාසයේ විශිෂ්ට වාර්තාවක්‌.

දින 100 ගෙවෙන්නට තවත් දින කීපයක්‌ තියෙනවා. අප මේ පාර්ලිමේන්තු වාරය අවසන් කරන්නට පෙරාතුව අපේ පොරොන්දු සියල්ලම පාහේ ඉටු කරනවා.

අපේ රට යළි යහපත් ගුණවත් හා ශීලාචාර රටක්‌ බවට පත් කරන්නට පදනම අප සකස්‌ කර තිබෙනවා. ඒ පදනම මත අපි අපේ මාතෘ භූමිය යළි ගොඩනංවනවා. කීර්තිමත් හා දීප්තිමත් දේශයක්‌ බවට පත් කරවනවා. දින 100 ගෙවුණු පසු අපේ ප්‍රගති වාර්තාව වඩාත් සවිස්‌තර ලෙස මේ ගරු සභාවට ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා.

- divaina

Last modified on Wednesday, 08 April 2015 07:02

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us