නිළධාරීන් ඖෂධ පනත වලක්වන්න කෝටි 100ක් අරගෙන - ජනාධිපති Featured

Published in පුවත්
Thursday, 05 March 2015 08:04

ජාතික ඖෂධ ප්‍රතිපත්තියට අදාළ පනත් කෙටුම්පත අතුරුදන් කිරීම සඳහා සමාගම් 400කින් රුපියල් කෝටි 100ක මුදලක් ලබා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04) ප්‍රකාශ කළේය.

ජාතික ඖෂධ ප්‍රතිපත්තියට අදාළ පනත් කෙටුම්පත විවාද කිරීම ආරම්භ කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කෙළේය. කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (4) රැස්විය. නිවේදන දැනුම්දීමෙන් ලිපි ලේඛණ හා වාර්තා ඉදිරිපත් කිරීමෙන් සභා මහජන පෙත්සම් පිළිගැන්වීමෙන් පසු වාචික පිළිතුරු අපක්ෂාවෙන් මන්ත්‍රීවරු ඉදිරිපත්කළ ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු පිළිතුරු ලබා දුන්හ.

 

ජතික ඖෂධ පනත පිළිබඳ විවාදය ආරම්භ කරමින් කතා කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා:-

ජාතික ඖෂධ පනත මඟින් ජාතික ඖෂධ නියාමන අධිකාරියක් පත්වෙන බවත් ආයතනවලට නීතිරීති හැදුවත් බලතල දුන්නත් ආයතනවලට පත්වන පුද්ගලයාගේ චර්යා අනුවයි ජනතාවට සෙතසැලසෙන්නේ. ජනාධිපතිවරයා ලෙස තමන් පත් වූ නිසා ජාතික ඖෂධ පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමට හැකියාව ලැබුණා. ඒ පිළිබඳ රටේ ජනතාවට ස්තූතිවන්ත වෙනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරියට පත් වන නිලධාරියාගේ චරිත ලක්ෂණ අනුවයි රටේ ජනතාවගේ අරමුණු හා පරමාර්ථ ඉටුවන්නේ. වත්මන් සෞඛ්‍ය ඇමතිතුමා විසින් සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය සොයාබලා පත් කරාවි යැයි මා විශ්වාස කරනවා.

රටේ සෞඛ්‍ය සේවාව තුළ සිදු වූ දීර්ඝ කාලයක් සාකච්ඡා වූ කරුණක් මීට පසුබිම් වූ දීර්ඝ කතාන්දරයක් තියෙනවා. ඒ කතාව තුළ බොහෝ දේ ගැබ් වී තිබෙනවා. පසුගිය ජනවාරි 8 වෙනිදා මා ජනාධිපති ලෙස පත් වූ පසු දින 100 වැඩසටහන යටතේ ජාතික ඖෂධ පනත පාර්ලිමේන්තුවට ගෙනවිත් සම්මත කරන බව පොරොන්දු වුණා. සේනක බිබිලේ අපට සිටි ශ්‍රේෂ්ඨ ජනහිතකාමී විශේෂඥයෙක්. එතුමා මානව හිතවාදී පුද්ගලයෙක්. ලංකා සමසමාජ පක්ෂයේ ක්‍රියාකාරී පුද්ගලයෙක්.

සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ ජාතික ඖෂධ සංස්ථාව, ඖෂධ ප්‍රතිපත්තිය එතුමා හඳුන්වා දුන්නා. එම ප්‍රතිපත්තිය අද අපි ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ලෙස පිළිගෙන තියෙනවා. එහෙත් ඒ පනත පාර්ලිමේන්තුවට ගෙනවිත් සම්මත කරන්න ජනතාවට එම සේවාව ලබාදීමට අවස්ථාව ලැබුණේ නැති බව ජනපති පැවැසීය. 2010 වසරේ සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස පත් වූ පසුව මේ පනතේ තත්ත්වය සොයා බැලුවා‍. හිටපු සෞඛ්‍ය ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා යම් වැඩකොටසක් කර තිබුණා.

අදාළ එක් එක් අංශවල සමඟ සාකච්ඡා කොට 2011 දෙසැම්බර් වන විට පනතේ කටයුතු අවසන් කරන්න අවස්ථාව ලැබුණා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමක දී ඖෂධ පනත සම්පූර්ණ කර ඇති බවත් එය කැබිනට් මණ්ඩලයට සතියකින් ලබා දිය හැකි බවත් ප්‍රකාශ කළා. සතියක් ගියත් පනත් කෙටුම්පත අප අතට ආවේ නැහැ. අපට සිදු වුණා පසුව අලුතින් පනත සකස් කරන්න. ඒ සඳහා කාලයක් ගත වුණා.‍

මේ පනත් කෙටුම්පත සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, මහාචාර්යවරුන්, ආචාර්යවරුන් බොහෝ පිරිසක් කටයුතු කළා. ඔවුන් සැමට මා ස්තූතිවන්ත වෙනවා‍.මේ පනත් කෙටුම්පත අතුරුදන් වුණා. මීට ඖෂධ සමාගම්වලට සම්බන්ධ ආයතන 400කින් පමණ රුපියල් ලක්ෂ 25 බැගින් මුදල් ලබා ගත් බවට දැනගන්න ලැබුණා. ඒ මුදල කොහේ ගියාද කියා දන්නේ නැහැ. ඒ තත්ත්වය තුළ මේ පනත අතුරුදන් වුණේ.

 එවකට නීතිකෙටුම්පත් දෙපාර්තුමේන්තුවේ ප්‍රධානී ලෙස කටයුතු කළ තෙරේසා පෙරේරා මහත්මිය මෙම පනත් කෙටුම්පත සතියකින් නිම කර භාර දෙන බව පැවැසූවා  නමුත් ඉන්පසු ඇය විශ්‍රාම ගියා. නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පැවතියේ නම් ඒ පිළිබඳව  පරීක්ෂණයක් කිරීමට මට හැකියාවක් තිබුණා. නමුත් එම දෙපාර්තමේන්තුව භාරව සිටියේ කවුරුන්දැයි ජනතාවට රහසක් නොවේ.

ඖෂධ අළෙවියේදී හා බෙදාහැරීමේදී සිදුවූ දූෂණ හා වංචා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කිරීමට උත්සාහ කළද හිටපු ජානාධිපතිවරයා ඊට ඉඩ දුන්නෙ නෑ.

නිදහස් සෞඛ්‍ය සේවාවට මේ පනත් කෙටුම්පත මඟින් ජනතාවට ප්‍රතිලාභ රාශියක් ලැබෙනවා. අද ජනතාවට මේ පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමේ වාසනාව ලැබුණා. ‍සෞඛ්‍ය ඇමැතිවරයා ‍විසින් දින 100 වැඩපිළිවෙළ තුළ මෙය පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කිරීම ගැන ස්තූතිවන්ත වෙනවා. අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය මේ පනත් කෙටුම්පතට අනුමැතිය ලබා ‍දීම ගැන ස්තූතිවන්ත විය යුතුයි. සෞඛ්‍ය අමාත්‍යාංශය දූෂිත ආයතනයක් ලෙස පැවතුණා. සෞඛ්‍ය ඇමැතිවරුන් ලෙස පත් වූ ඇමැතිවරුන් මේ තත්ත්වය අත්වින්දා. ඇමතිවරුන්ට තමන්ට අවශ්‍ය ලෙස කටයුතු කිරීමට හැකියාවක් තිබුණ ද කෝ ඇමැතිවරුන්ගේ ස්වාධීනත්වය. මේ තත්ත්වය මතයි මෙවැනි පසුබිමක් ගොඩනැගුණේ.

අද මම සතුටු වෙනවා. එදා මෙය නිවැරදි වුණා නම් අද මම ජනපති වෙන්නේ නැහැ.මේ පනත අද සම්මත කර ගත්තා කියා පැය විසිහතරෙන් ජනතාවට සෙත සැළසේනේ නැහැ. එයට තව ටික කාලයක් යනවා. නමුත් මහජනතාවගේ බලාපොරොත්තුව අද ඉටු වෙනවා.

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා- ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සැකසීම සඳහා මහාචාර්ය සේනක බිබිලේ සහ දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහතා සුවිශේෂී උත්සාහයක් දැරුවා. ඔවුන් දෙදෙනාගෙන් සිදුවූ සේවය අතිවිශාලයි. මහාචාර්ය සේනක බිබිලේ සහ එස්.ඒ. වික්‍රමසිංහ මහතා මෙරට දර්ශනය මනෝරාජික සංකල්පයක් ලෙස දකින්නට ඇතැමුන් උත්සාහ කරනවා.ඉදිරි වසර තුන ඇතුළත ඖෂධ හා ඊට අදාළ උපකරණ, ගෝස්, සේලයින් මේ සෑම දේ මෙරට නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වෙනවා. මහාචාර්ය සේනක බිබිලේ හා එස්.ඒ. වික්‍රමසිංහ මහතා අපේක්ෂා කළ ඔවුන්ගේ ප්‍රතිපත්තිය මගින් ඉදිරිපත් කළ බොහෝ දේ ඖෂධ පනතට ඇතුළත් කර තිබෙනවා.

ඖෂධ සම්බන්ධයෙන් තත්ත්වය පරීක්ෂා කිරීමේ ලැබ් එකක් අපට තිබුණේ නැහැ. නමුත් එය ඇති කර ගුණාත්මක තත්ත්වයකට පත්කිරීමට අපි අපේක්ෂා කරනවා. වෙළෙඳ නාම සම්බන්ධයෙන් යම් තීන්දුවකට පැමිණ තිය්‍නෙවා. මේ රටට අවශ්‍ය සියලු ඖෂධ මෙරට නිෂ්පාදනය කළ යුතුයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය බලයට පත් වුණාට පසු 1996දී නැවත ඖෂධ ප්‍රතිපත්තිය ගැන කතා වුණා. නමුත් ඉදිරියට ගියේ නැහැ. 2005 සහ 2007 නැවත එය කතාබහට ලක්වුණා. නමුත් ක්‍රියාත්මක වුණේ නැහැ.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ පනත ක්‍රියාවට නැංවීම සඳහා සුවිශේෂී ක්‍රියාමාර්ගයක් ගත්තා. මේ පනත සැකසීම සහ ක්‍රියාවට නැංවීම වෙනුවෙන් මහාචාර්ය පාලිත අබේකෝන් මහතා ඇතුළු බොහෝ පිරිසක් දැඩි වෙහෙසක් දැරුවා. ඒ සියලුදෙනාට අපගේ ප්‍රණාමය පිරිනැමිය යුතුයි.ජාතික ඖෂධ නියාමන අධිකාරියට සාමාජිකයන් 13 දෙනෙකු පත් කරනවා. මේ අධිකාරියට ස්වාධීන පැවැත්මක් තියෙනවා. මේ අධිකාරියට මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, සියලු රෝගවලට අදාළ වෛද්‍යවරුන් ඇතුළු විද්වත් පිරිසක් පත් කර තියෙනවා. ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය සුරක්ෂිත කිරීම සඳහා අත්‍යවශ්‍ය සියලු දේ සාධාරණ ලෙස මිලදී ගැනීම පනතේ එක් අරමුණක්. අධිකාරියේ සභාපතිවරයා පත්කිරීමේ බලය තිබෙන්නේ මටයි. නමුත් ඒ සඳහා තනි බලයක් අවශ්‍ය නොවන බව මා කියා සිටියා. අධිකාරිය සම්බන්ධයෙන් අඩු අයිතියක් විෂයභාර ඇමැතිවරයාට තිබිය යුතුයි.

ඒ වගේම ඖෂධ පිළිබඳ මිල පාලනයක් තිබිය යුතුයි. ඖෂධ ක්ෂේත්‍රයට සම්බන්ධ වන අය සිතිය යුතු කරණු තියෙනවා. එනම්, තම වාණිජ අරමුණු ඉටුකර ගැනීම මෙන් ම ජනතාව වෙනුවෙන් ඖෂධ නිපදවීම තමන් සිදු කරන බව, මින් පසු එක් එක් අයට අවශ්‍ය පරිදි ඖෂධ මිල තීරණය කරන්න බැහැ. ඖෂධ සඳහා මිල පාලනක් ඉහත අධිකාරිය මගින් සිදු කරනවා. ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ අධිකාරියක් පිහිටුවීම ද සිදු කෙරෙනවා. එමෙන්ම ඉදිරියේදී සියලු ඔසු සැල් නියාමනයට ලක් කරනවා. මහජනතාවගේ සෞඛ්‍යයට අදාළ කාරණා සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරනවා. අධිකරණය අපට ලබා දී ඇති සංශෝධන කෙරෙහි අප අවධානය යොමු කරනවා. අප මේ පනත ඉදිරිපත් කරන්නේ විවෘත මනසකින්. කිසිදු පටු අරමුණක් නැහැ. මේ පනත සම්බන්ධයෙන් සියලු දෙනා ලබාදෙන සංශෝධන අප ඉදිරිපත් කරනවා.

අනුර දිසානයක මහතා - රාජිත ඇමැතිතුමනි මේ පනත අපට ලැබුණේ ඊයේ. ඒ නිසා අපට මේ සඳහා සංශෝධන ඉදිරිපත් කිරීමට අවශ්‍යයි. ඒ නිසා අද පනත සම්මත ‍ නොකර වෙනත් දිනයක සම්මත කරන්න. මේ ගැන විපක්ෂ නායක රැස්වීමේදී තීන්දුවක් ගත යුතුයි.

රාජිත සේනාරත්න මහතා - පනත අනිවාර්යෙන්ම අද සම්මත විය යුතුයි.

නිමල් සිරිපාල ද සිල්වා මහතා - එසේ නම් සිකුරාදා උදේ රැස්වී මෙයට සංශෝධන ඉදිරිපත් කළ හැකියි.

රාජිත සේනාරත්න මහතා - එහෙමනම් මෙය සහතිකයි නේද? මොකද මේ පනත සම්මත විය යුතුමයි. මේ පනත සම්මත කිරීම වෙනුවෙන් සුවිශේෂ මෙහෙවරක් ඉටුකළ වත්මන් ජනාධිපති මෛත්‍රීපාලන සිරිසේන මහතාට විශේෂ ස්තුතිය පිරිනැමිය යුතුයි. සියලු අභියෝග දරාගැනීමට එතුමාට ශක්තිමත් කශේරුවක් තිබුණා. එතුමාගේ උත්සාහය කැපවීම නිසා මේ පනත නියමිත දිනටත් පෙර ඉදිරිපත් කිරීමට හැකි වුණේ.

නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා මුලසුනට පැමිණියේය.

විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා - ඖෂධ පනත ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් යම් මෙහෙවරක් ඉටු කිරීමට මටත් හැකිවුණා. නමුත් අපට පනත ක්‍රියාවට නංවන්නහැකි වුණේ නැහැ. මෙහිදී මහාචාර්ය සේනක බිබිලේ මහතා කිසිසේත් අමතක කළ නොහැකියි. මහාචාර්ය පාලිත අබේකෝන්, මාහාචාර්ය ක්‍රීෂාන්ත වීරසූරිය කොල්වින් ගුණරත්න මේ සියලු දෙනා අපි සිහිපත් කළ යුතුයි. අද අපගේ රටේ ළදරු මරණ, මාතෘ මරණ අනුපාතය අඩුවෙලා. ඒ සම්බන්ධයෙන් ලෝක ප්‍රසාදය ලැබෙනවා.

ඒ වගේම සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන්ද ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවට පැසසුම් පිරිනමනවා. එහි ගෞරවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමි විය යුතුයි.එමෙන්ම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේත් පූර්ණ එකඟතාව මේ පනතට හිමි වෙනවා. මේ පනත ඉතා වැදගත්. පනතේ 56 වැනි වගන්තිය කෙ‍රෙහි අවධානය යොමු කළ යුතුයි. මින් පසුව වෛද්‍යවරු රෝගීන්ට ඖෂධ නියම කිරීමේදී වෙළෙඳ නාමය වෙනුවට ඖෂධ නාමය ඉදිරිපත් කළ යුතුයි. එය ඉතා වැදගත්. ශ්‍රී ලංකා වෛද්‍ය ක්ෂේත්‍රය රෝග සත්කාර සේවය නව මාවතකට මෙම පනත මඟන් ගෙනවිත් තිබෙනවා. මේ පනත සඳහා අපි සහාය ලබා දෙනවා. ජනාධිපතිතුමාත්, සෞඛ්‍ය ඇමැතිතුමාත් සතුටු වූ පරිදි මේ පනත සම්මත කරදීමට අපි කටයුතු කරනවා.

නිවාස හා සමෘද්ධි ඇමැති සජිත් ප්‍රේමදාස මහතා - දක්ෂිණාංශික වාමාංශික සියලු මත දරණ අයට අද සතුටු වෙන්න පුළුවන්. මේ පනතින් සෙත සැලසෙන්නේ පොදු මහජනතාවටයි. වසර 40ක් පුරා මේ ඖෂධ පනත ක්‍රියාවට නංවන්න උත්සාහ කළා. නමුත් එය සාර්ථක වුණේ නැහැ. සේනක බිබිලේ, එස් ඒ වික්‍රමසිංහ මහතාගේ සිට බොහෝ දෙනෙක් මෙයට වෙහෙසුණා. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස සිටි වකවානුවේදී ජාතික ඖෂධ පනත ක්‍රියාත්මක කිරීමට දැඩි වෙහෙසක් දරුවා.

නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම පනත ක්‍රියාත්මක කිරීමට අවස්ථාව දුන්නේ නැහැ. ඖෂධ සමාගම්වලින් එකතු කළ කෝට ගණන් මුදල් වලට යටවෙලා මේ පනත ක්‍රියාත්මක කිරීමට මෛත්‍රීපාල සිරිසේ මහතාට ඉඩ නොදුන්නේ. මොනවද ඒ මුදල්වලට වුණේ. පසුගිය රජය ඖෂධ මාෆියාවට යට වුණාද? රට සල්ලි වලට උකස් කළාද? ඖෂධ අලුගෝසුවන්ට යටවූ පසුගිය රජයේ ක්‍රියාකලාපය ජනතාවට පැහැදිළියි. නියෝජ්‍ය කාරක සභා සභාපති චන්ද්‍ර කුමාර මුරුගේසු මහතා මුලසුනට පැමිණියේය.

ප්‍රේමදාස මහතා - 1977 පැවැති එජාප රජයත් මෙය ක්‍රියාවට නැංවුයේ නැහැ. ඖෂධ පනත ක්‍රියාවට නැංවූවා නම් ජනතාවට සහන මිලට ඖෂධ ලබාදීමේ හැකියාව ඇතිවෙනවා. නිමල් සිරිපාල ද සිල්වා මහතා කියනවා ඒකාධිපතිත්වයට ඉඩ තබන්න එපා කියලා. ඒකාධිපතිපාලනය තිබුණේ පසුගිය රජයේ. ඒකාධිපතිපාලනය දැන් අවසන්. පොදු ජනතාවගේ හිතසුව පිණිස අප සමඟ එකතු වන ලෙස ඩීව් ගුණසේකර මහතාට අපි ආරාධනා කරනවා. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ හොරුන්ට දූෂිතයන්ට තැනැක් නැහැ.

පත්කළ මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා (එජනිස) - මේ පනත ඉදිරිපත් කිරීම සඳහා සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශාල වෙහෙසක් දැරුවා. මේ පනත සම්බන්ධයෙන් එතුමාගේ පැවැති උනන්දුව අද පනත ඉදිරිපත් කිරීම සඳහා පැමිණ සිදු කළ කතාවෙන්ම පැහැදිළි වෙනවා. ටෙන්ඩර් කැඳවීම ඖෂධ නාමයෙන් සිදු කළ යුතුයි. එවිට ඖෂධ වල මිල අඩු කර ගත හැකියි. ඒ පිළිබඳ අවධානය යොමු කරන්න. 1977දී එජාප ආණ්ඩුව කාලයේ තමයි සේනක බිබිලේ ප්‍රතිපත්තිය නැති කර දැම්මේ. පුද්ගලික අංශවලටත් ඖෂධ ගෙනඒමට හැකි තත්ත්වයක් නිර්මාණය කළේ එජාපයයි. ඒ නිසා ඖෂධ ප්‍රතිපත්තිය පිටුපසට ගියා.

පත්කළ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා (ප්‍රජාස) - ජාතික වශයෙන් ගැටළු අතිවුණ වෙලාවේදී මෙවැනි පනත් ගෙනවිත් තිබෙනවා. ඒ ගෙනා පනත්වලින් ජනතාවට සෙතක් සැලසුනාද යන්න අප සොයා බැලිය යුතුයි. 2007දී මෙවැනි ඩෙංගු පනතක් ගෙනවා. නමුත් එම පනත ගෙනවිත් වසර හයක් යන විට ඩෙංගු රෝගීන් ප්‍රමාණය හය ගුණයකින් වර්ධනය වුණා. ඒ පනතේ ප්‍රතිලාභ ජනතාවට ගියේ නැහැ. ඒ නිසා මේ ඖෂධ පනත ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි. ලෝකයේ තිබෙන ප්‍රධාන ජාවාරම් අතරින් ඖෂධ ජාවාරමත් ඉහළ තැනක ති‍බෙනවා.

ගිය සියවසේ ජනගහනය හතර ගුණයකින් වර්ධනය වීමට ඖෂධවල ගුණාත්මකභාවය බලපා තිබෙනවා. ඒ නිසා ලෝකය පුරා ඖෂධ ප්‍රතිපත්ති බොහොමයක් නිර්මාණය වෙලා. යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් මිනිසකුට ජීවත්වීමේ මූලික අයිතිය ජනතාට තිබෙනවා. එය මේ පනත මගින් ශක්තිමත්ව තහවුරු කළ යුතුයි. නව ඖෂධ සොයා ගැනීම්, නිෂ්පාදන වර්ධනය වීම් නිසා ඖෂධ සමාගම්වල අත්තනෝමතික ක්‍රියාකාරකම් වැඩි වුණා. ඒකාධිපතිත්වය වෙළෙඳ අධිපත්‍ය සමාගම් නතු කරගෙන තිබෙනවා. ඒ නිසා ඔවුන් දේශපාලනඥයන්ට මුදල් ලබාදී අරමුණු ඉටුකර ගැනීමට උත්සාහ කරනවා. හොඳ ප්‍රතිපත්තියක්, කර්මාන්තයක්, නිර්නායකයක් නොමැතිව ඖෂධ මාෆියාවට මුහුණ දෙන්න බැහැ.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ලලිත් දිසානායක මහතා (එජනිස) - මේ පනත ජාතික අවශ්‍යතාවයක්. පොදු මහජනතාවට අත්‍යාවශ්‍ය පනතක්. ඖෂධ වල මිල පාලනය ඉතා වැදගත්. එය මේ පනතට ඇතුළත් කර තිබෙනවා. ඖෂධ මිල පාලනය මීට පෙර තිබුණා. නමුත් මීට පෙර පැවැති එජාපයේ වෙළෙඳ ඇමැතිවරයා විසින් එය ඉවත් කළා. ඒ නිසා ඖෂධ මිල පාලනයේ ප්‍රතිලාභ ජනතාවට භුක්තිවීදීමට හැකියාව ලැබුණේ නැහැ. මේ පනතේ 56 වගන්තියේ වෛද්‍යවරයකු බෙහෙත් නිර්දේශ කිරීමේදී වෙළෙඳ නාමය නොව ඖෂධ නාමය සඳහන් කීරීම වැදගත්. නියොජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා මුලසුනට පැමිණියේය.

දිසානායක මහතා - ඖෂධ ගබඩා කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර තිබීම වැදගත්.

අධිකරණ හා කම්කරු නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා - මේ පනත ගෙන ඒමට බොහෝ කාලයක සිට උත්සාහ කර තිබෙනවා. රටේ බහුතර ජනතාවට ඖෂධ පිළිබඳ ලොකු අවබෝධයක් නැහැ. වෛද්‍යවරයා නියමකරන ඖෂධ ගෙදර ගිහින් බොනව මිසක් ඖෂධ අන්තර්ගතය සොයන්නේ නැහැ. ඒ පිළිබඳ අවබෝධයක් නැහැ. ඖෂධ පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම වැදගත්. පසුගිය කාලයේ ලංකාවේ තිබුණේ ඒකාධිපති පාලනයක්. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේ මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රටේ යහපාලනය ගොඩනැගීමට දරණ උත්සාහය ගැන අපට සතුටුයි. ඒකාධිපති වියරුව පරාජය කර යහපාලනය රජයන සමාජයක් අපි ගොඩනගනවා. අද ඖෂධ පනත ඉදිරිපත් කරන ආකාරයෙන්ම ඉදිරියේදී ‍ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරනවා. ‍මේ පනත ගෙන ඒමට ‍පසුගිය කාලයේදී මෛත්‍රිපාලසරිසේන මහතාට ඉඩ දුන්නේ නැහැ. ඖෂධ වලට මෙන්ම පොදු ජනතාවට සිදු කරන ශල්‍යකර්මවලට මිලක් නියම කළ යුතුයි.

සභානායක, වැවිලි කර්මාන්ත ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - අඩුමිල ගණන් වලට ඖෂධ ලබාදිය හැකියි. ඖෂධ සමාගම්වල මාෆියාව නිසයි ඖෂධ මිල ඉහළ ගොස් තිබෙන්නේ. මේ තත්ත්වය වෙනස් විය යුතුයි. ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට සේනක බිබිලේ මහතා විශාල වෙහෙසක් දැරුවා. ලෝකයටම ඖෂධ ප්‍රතිපත්තිය හඳුන්වා දුන්නේ එතුමායි. එතුමා ජාතික වීරයෙක්.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා (එජනිස) -ඖෂධ පනත ඉදිරිපත් කිරීම වසරින් වසර පමා වුණා. මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට වසර 40ක් ගත වුණා. මෙහි ක්‍රියාවලිය හා ක්‍රියාත්මකවීම ඉදිරියේදී දැකගන්න පුළුවන්. මේ පනත ගෙන මට වත්මන් ජනාධිපතිවරයා දැඩි වෙහෙසක් දැරුවා. මෛත්‍රීපාල සිරිසේන මහතා‍ හා රාජිත සේනාරත්න මහාතගෙ සුසංයෝගය නිසා මේ පනත ගෙනඒමට හැකි වුණා. කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා මුලසුනට පැමිණියේය.

පත්කළ මන්ත්‍රී දී මූ ජයරත්න මහතා (එජනිස) - වර්තමානයේ ඖෂධ වල ගුණාත්මකභාවය බොහෝ අය පවසනවා. නව පනත මඟින් නව අධිකාරියක් පිහුටුවීම පිළිබඳ සතුටු වෙනවා. ආයතන ආරම්භ කළත් ඒවා හරියාකාරව පවත්වා ගෙන යාම කළ යුතුයි. ලෙඩ රෝග හටගැනීමෙන් ජනතාව පීඩාවට පත් වෙනවා. රජයේ රෝහල්වල බොහෝ අඩුපාඩු ‍තිබෙනවා. පෞද්ගලික රෝහල්වලට යාමට දුප්පත් ජනතාවට හැකියාවක් නැහැ.

මහාමාර්ග, ආයෝජන ප්‍රවර්ධන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතා - ජාතික ඖෂධ නියාමන පනත ඉදිරිපත් වන ඓතිහාසික මොහොතේ මීට පෙරදිනක එවකට සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් මා විමසූ කරුණක් සිහිවෙනවා. ඖෂධ සම්බන්ධයෙන් මාෆියාවක් ක්‍රියාත්මක වෙනවාදැයි මා විමසා සිටියා. ඒ සත්‍ය බව ඇමැතිවරයා පිළිගත්තා. මහාචාර්ය සේනක බිබිලේ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ කවදාදැයි මා ඔහුගෙන් විමසූ විට එම පනත් කෙටුම්පත අවසන් කළ පසු අතුරුදහන් වී ඇති බව ඒ මහතා පැවසුවා. වෙළඳනාමය වෙනුවට ඖෂධ නාමය වෛද්‍යවරුන් ඉදිරිපත් කළ යුතු බවට වූ සේනක බිබිලේ ප්‍රතිපත්තිය නියමාකාරයෙන් මෙම පනතේ අඩංගු නොවේ.

සශෝධනවලදී එය ඇතුළත් කරන්න යැයි ඉල්ලනවා. සමහර බෙහෙත් ද්‍රව්‍ය අනායනය කරන වටිනාකම මෙන් හත් අටගුණයක් වැඩිපුර මුදකට විකුණනවා. මීට වසර 5කට පෙර වකුගඩු රොගීයකු සිටි පවුලකට රුපියල් 40,000ක් පමණ වැය කළ යුතුව තිබුණා. එය මගේ පෞද්ගලික අත්දැකීමක්. මගේ ම‍ව වකුගඩු රෝගියකු වූ නිසා මා එය දන්නවාත පනත අද සම්මත කරගත් පමණින් බොහෙත්වල මිල හෙට අඩු වෙන්නේ නැහැ. ඖෂධ මිල පාලනය කිරීම අත්‍යාවශ්‍යයි. එසේම රාජ්‍ය ඖෂධ නිෂ්පාදනය වැඩි දියුණු කළ යුතුයි. තාක්ෂණය සඳහා ආයෝජනය වැඩි කළ යුතුයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා (එජනිස) - සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට මේ පනත ඉවහල් වන බව මා පිළිගන්නවාත ඖෂධ නියමාන අධිකාරියේ 13 දෙනාගෙන් නව දෙනක්ම පත්කරන්නේ ඇමැතිවරයායි. ඖෂධ අනුමත කිරීමේ කාරියක දේශපාලන බලපෑමක් එල්ල කිරීමේ හැකියාවක් එයින් ලැබෙනවා. පනත කඩිනමින් ගෙන ආ නිසා මේ පිළිබඳ අධ්‍යනය කිරීමට කාලයක් ලැබුණේ නැහැ. ඖෂධ වල ගුණාත්මකභාවය පිළිබඳ ප්‍රශ්නවලට ප්‍රබල මැදිහත්වීමක් වීමට අධිකාරියට හැකි බව පෙනී යන්නේ නැහැ. පැරණි පනත යටතේ ඖෂධ දස දහස් ගණනක් ලියාපදිංච් කිරීමේ හැකියාව සමාගම්වලට තිබුණා. එහිදී ඇතවූ තරඟයට රෝගීන් මැදිවුණා.

රාජිත සේනාරත්න මහතා - එක් එක් ඖෂධ වල අවශ්‍ය ප්‍රමාණ තීරණය කිරීමේ බලය අධිකාරිය තිබෙනවා.

වීරවංශ මහතා - සේනක බිබිලේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය ඇසුරින් ගෙනා මෙම පනතින් ඖෂධ වල ගුණාත්මක තත්ත්වය ආරක්ෂා කිරීම, එය බිඳ වැටෙන තැන්වලදී ගනුලබන පියවර, රෝගියා ඖෂධ සමාගම් මඟින් සූරාකන තත්ත්වය යන කරුණු සැලකිල්ලට ගත යුතු වුවත් ඒවා අවම කිරීමට පියවර ගත් බවත් පෙනී යන්නේ නැහැ.

පත්කළ මන්ත්‍රී ඩීව් ගුණසේකර මහතා (එජනිස) -සේනක බිබිලේ ප්‍රතිපත්තිය පිළිබඳ මහජන මතයක් ඇති කළ යුතුයැයි මා එදා යෝජනා කළා. එම ප්‍රතිපත්තිය මඟින් මුලින්ම ඖෂධ සංස්ථාව බිහිවුණා. ලෝක සෞඛ්‍ය සංවිධානයද මහාචාර්ය බිබිලේට ආරාධනා කළා. අසූ ගණන්වලදී එම සංවිධානය මේ ප්‍රතිපත්ති පිළිගත්තා. ඖෂධ මාෆියා මගින් විදේශයකදී රාත්‍රී බෝජන සංග්‍රහයක් අතරතුර වසදී මහාචාර්ය බිබිලේ මරාදැමුවා. ඔහුගේ පිළිරුවක් ඉදිකළ යුතු යැයි මා යෝජනා කරනවා. ප්‍රථමයෙන් පනත පිළිබඳව වෛද්‍යවරුන් දැනුවත් කළ යුතුයි.

ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් සම්පාදක නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා - මගේ මව වයස අවුරුදු 40දී පිළිකා රෝගයෙන් මියගියා. ඇය සුව කිරීමට ඖෂධ මෙරට තිබුණේ නැහැ. ඉල්ලුම සැපයුම කළමනාකරණය වන්නේ නම් ඖෂධ හිඟයක් ඇති වන්නේ නැහැ. අද පවතින්නේ සේනක බිබිලේ සංකල්පය ඉදිරිපත් වූ වස්ථාවේ තිබූ වෙළෙඳපළ නොවෙයි. ප්‍රත්‍යක්ෂ ආරක්ෂාකාරී නිවැරදි තත්ත්වයෙන් යුත් ඖෂධ සාධාරණ මිලකට ජනතාවට ලබාදීම මේ පනත මඟින් කටයුතු යොදනවා. මගේ මව මියයන විට මුදල් වියදම් කළ හැකිව තිබුණත් මිලදී ගැනීමට ඖෂධ තිබුණේ නැහැ. ඒ අනුව බලන විට රාජිත සේනාරත්න මහතා අද ඉටු කර ඇත්තේ පුණ්‍යකර්මයක්. ඖෂධ හිඟයෙන් දරුවන්ට මව අහිමි වේ නම් එය පාපකර්මයක්.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා (එජනිස)-වෙළෙඳ නාමය සහ ඖෂධ නාමය අතර ඇති ඝට්ටනය තුරන් කිරීමට මේ පනතට ඉදිරියේදී තවත් සංශෝධන ඉදිරිපත් කළ යුතුයි. වෙළෙඳනාමයන් ප්‍රවර්ධනය කිරිමට වෛද්‍යවරුන් ළඟටම නියෝජිතයන් පැමිණෙනවා. පොදු ජනතාවගේ ලොකුම ශක්තිය නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යයි. නිදහස් සෞඛ්‍ය තවත් ශක්තිමත් කිරීම මේ පනතින් සිදු වෙනවා. ඖෂධ නිෂ්පාදනයට ලබාදී ඇති ඉඩ කඩ ප්‍රමාණවත් නොවේ. බංගලාදේශය එහිදී අපට වඩා බොහෝ ඉදිරියෙන් සිටිනවා. නමුත් ඒ බෙහෙත් මෙහි ගෙන්වීමට අප ඉඩ දුන්නේ නැහැ. මාෆියාව කැඩීමට අප ක්‍රියා කළේ නැහැ.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා (එජනිස) - ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට ඉතා වැදගත්. රජයේ රෝහල්වල ඖෂධ හිඟයක් තිබෙනවා. ඒ වගේමරජයේ රෝහල්වල ඖෂධපරණ විම නිසා නිෂ්කාශන කිරීමට සිදු වෙනවා. රජයේ රෝහල්වල තිබෙන ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න. ජාතික ඖෂධ තත්ත්ව පරියේෂණාගාරයේ තවත් පහසුකම් සහ මානව සම්පත් අත්‍යාවශ්‍යයි. මේ පනත ශක්තිමත් කීරීමට නම් ඖෂධ තත්ත්ව පර්යේෂණාගාර ක්‍රියාවලිය ඉතා වැදගත්.

මොහොමඩි අස්ලම් මහතා මුලසුනට පැමිණියේය.

විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති අජිත් පී පෙරේරා මහතා - ඖෂධ කළමනාකරණය ඉතා වැදගත්. අපි එජාප ගවේෂණ කණ්ඩායම ලෙස නාගොඩ රෝහලේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණා. එහිදී ඖෂධ කළමනාකරණයේ ඇති දුර්වලතා අපි දුටුවා. ඒ නිසා මේ වෙනුවෙන් ක්‍රමවේදයක් ඇති කරන්න.නිදහස් සෞඛ්‍ය පිළිබඳ අයිතිය අපට ඇති සු‍විශේෂි අයිතියක්. රෝගීන්ට අද අවශ්‍ය වන්නේ බෙහෙත් සහ රෝහලක් පමණක් නොවයි. වෛද්‍යවරයෙක් හා හෙදියක්ද පමණක් නොවෙයි. ජනතාවට අවශ්‍ය ගුණාත්මතක සෞඛ්‍ය සේවයක්. වෛද්‍ය රක්ෂණ ක්‍රමයත් රටකට වැදගත්. රජයේ රෝහල්වලින් ලැබෙන සෞඛ්‍ය සේවයේ ගුණාත්මක භාවයේ අඩුබව නිසා ජනතාව පෞද්ගලික රෝහල් වෙත යනවා. පෞද්ගලික වෛද්‍ය ක්‍රමවලට ජනතාව මුදල් ගෙවනවා. නමුත් එම වෛද්‍ය රක්ෂන මඟින් ජනතාවට අපෙක්ෂිත සහනය ඉටු වෙනවාද යන ගැටලුව තිබෙනවා. ඒ කෙරෙහි අවධානය යොමු කරන්න.

මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී විජිත් විජිතමුණි සොයිසා මහතා (එජනිස) - සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය මඟින් අපෙක්ෂා කරන්නේ දුගී දුප්පත් අහිංසක ජනතාවට සහන මිලට ගුණාත්මක ඖෂධ ලබාදීමයි. අ‍පේ පළාත්වල ජනතාවට තිබුණේ අවම සෞඛ්‍ය පහසුකම්. නමුත් අදවන විට යම් මට්ටමකට අපගේ පළාත්වල සෞඛ්‍ය පහසුකම්වල වර්ධනයක් තිබෙනවා. අපේ සමහර වෛද්‍යවරු දැනුම යාවත්කාලීන කර ගැනීම සඳහා විදෙස් රටවලටයාමට උපකාර ගන්නේ බහුජාතික ඖෂධ සමාගම්වලින්. එය වැළැක්වීමට කටයුතු කළ යුතුයි.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් කුමාර මහතා (ස්වාධීන) - 2014 දීත් මේ පනත ආවා. මා එදා ප්‍රශන්යක් ඇහුවා. මේ පනත ඉංග්‍රිසි භාෂාවෙන් පමණයි එදා ඉදිරිපත් කෙළේ. එදා සෞඛ්‍ය ඇමැතිවරයා කිව්වේ ලේ බැංකුවේ සාකච්ඡාවක් තිබෙනවා එතනට එන්න කියායි. අද මේ පනත එන්නෙ හදිසි පනතක් හැටියටයි.මේ පනත ගෙනවිත් තිබෙන්නේ දින 100 පොරොන්දූ ආකාරයට නොවෙයි . මේ පිළිබඳ සාකච්ඡා කිරිමට මහජන අදහස් විමසීමට ඉඩලබා නොදීම කණගාටුයි.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ටී. බී. ඒකනායක මහතා (එජනිස) - සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය මඟින් ඖෂධ 236ක් රටට අවශ්‍ය බව නිර්දේශ කළා. එතුමා ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරිමට දැඩි වෙහෙසක් දැරුවා. එමෙන්ම විවෘත ආර්ථිකයේ අගමනයත් සමඟ මෙම ප්‍රතිපත්තිය යටගියා. පසුකාලය තුළ බාල ඖෂධ ආනයනය කළ සමාගම් 74කට ආසන්න සංඛයාවක් හඳුනාගත්තා. බාල ඖෂධනිසා වසරකට 100කට ආසන්න පිරිසක් මිය යන බව වාර්තා වෙනවා.

රාජිත සේනාරත්න මහතා - අනෙක් අය මේ පනත කියවලයි අවේ. අජිත් කුමාර මහතා රෑට පෝසටර් ගහන එක නවත්වලා මේ පනත කියවා ආවානම් ඉවරයි. නියෝජ්‍ය කාරක සභා සභාපති චන්ද්‍ර කුමාර් මුරුගේසු මහතා මුලසුනට පැමිණියේය.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා (එජාප) - වත්මන් ජනාධිපතිවරයාට අමැතිධූරය, මහලේකම්ධූරය අතහැරදමා පැමිණිමට හේතුවක් වුණේ මේ පනතයි. ඖෂධ නිෂ්පාදනය සඳහා අපි බාල මැෂින් ගේන්නේ නැහැ. ඖෂධ සමාගම් තම මාෆියාව ගොඩනැගීම සඳහා ඕනෑම දෙයක් කරනවා. සේනක බිබිලේ මහතා මිය ගියේත් මේ පනත නිසයි. රනිල් මෛත්‍රී පාලන සමයේදින 100 වැඩසටහන ඉතිහාසගත වෙනවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය (එජනිස) - මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන්, රටේ ජනතාව‍‍ගේ මුදල්වලින් ඉගෙනගත් කෙනෙක් ලෙස ජාතික ඖෂධ පනත ඉදිරිපත් කිරීම ගැන මම සතුටු වෙනවා. සේනක බිබිලේ මහතා ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ වකවානුවේ පටන් එතුමාට තර්ජන තිබුණා. මේ පනතේ සුවිශේෂි ලක්ෂණ තිබෙනවා. ඖෂධ මිල පාලනය, නියාමනය, ඔසුසල් අධික්ෂණය හා නියාමනය වෛද්‍ය උපකරණ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම ඉතා වැදගත්.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා (එජාප) - වසර 45ක් තිස්සේ සාකච්ඡාවට බඳුන් වූ මේ පනතින් ඖෂධවල ගුණාත්මක භාවය දියුණු කිරීම මූලික අරමුණයි. බෙහෙත් වායු සමීකරණය කරන ලද ගබඩා වල තැන්පත් නොකිරීමෙන් තත්ත්වය බාලවෙනවා. නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා මුලසුනට පැමිණියේය.

අබේසිංහ මහතා - බෙහෙත්වලට මිල සූත්‍රයක් ඇති කළ යුතුයි. ඖෂධීයනාමයෙන් බෙහෙත් ලියන වෛද්‍යවරු සිටිනවා. අඩු ගණන්වල බෙහෙත් ලබාදුන් විට සමහර රෝගීන් සැක ඇති කර ගන්නවාත එම නිසා රෝගීන් දැනුවත් කළ යුතුයි.

යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී චන්ද්‍ර කුමාර් මුරුගේසු මහතා (එජනිස) - මේ පනතින් ප්‍රතිලාභ ලබන්නේ රටේ දුප්පත් ජනතාවයි. ජනතාවට සහන ලබාදෙන බොහෝ පනත් පසුගිය කාලයේදී සම්මත නොවීම ඔවුනට කළ විශාල අසාධාරණයක්. වෛද්‍යවරුන් බොහෝවිට බෙහෙත් තුන්ඩු අපහැදිළි අකුරින් ලියනවා. ඒවා රෝගීන්ට කියවීමට බැහැ. විදේශ රටවල බෙහෙත් පරිඝණක මඟින් සටහන් කර දෙනවා. එඑවිට ඒවා පිළිබඳ විස්තර ඇතුළත් වෙනවා. මෙරටද ඒ ක්‍රමය ඇති කළ යුතුයි. ෆාමසිවල සුදුසුකම් නොලත්අය බෙහෙත් ලබා දෙනවා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා (එජනිස) - ඖෂධ නියාමන පනත සම්මත කර ගැනීමට ලැබීම රටේ ජනතා‍වගේ විශාල ජයග්‍රහණයක්. ජනතාවට සහන දෙන පනත් සම්මත කර ගත යුතු බව අවබෝධකරගත් ජනතා නියෝජිතයින් සිටියත් තීන්දු තීරණ ගැනීමේ අපහසුව නිසා ඒවා ක්‍රියාත්මක වුණේ නැහැ. වර්තමාන ජනාධිපතිවරයා සෞඛ්‍ය ඇමැතිවරයාව සිටියදී එවැනි තීන්දු ගැනීමේදී පීඩනයකට ලක්වූ බව අපි දන්නවා. බාල ඖෂධ ගෙන්වන ආයතන 74ක් හඳුනාගෙන තිබුණත් තහනම් කර ඇත්තේ පහක් පමණයි. තහනම් උත්තේජන නියාමනය කිරීමද මේ පනත තුළින් සිදු කිරීම කළ යුතුයි.

දෙවැනි වර කියවීම සම්මත විය.

 

  - dinamina ඇසුරෙණි

Last modified on Thursday, 05 March 2015 08:09

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us