සැබැවින් ම ඒ වන විට දිවයින පුවත්පතේ තිබූ ප්‍රධාන සිරස්තලය පිළිබඳ මා දැන නොසිටියෙමි. එහෙයින් මා ඔහුගෙන් පෙරළා ප්‍රශ්න කර සිටියේ ‘‘ඇයි මොකක් ද තියෙන්නෙ?’’ යනුවෙනි.
‘‘නෑ දිවයිනේ දාල තියෙන්නෙ උතුරු පළාත් සභාව රට බෙදන්න යනව කියල.’’ ඒ ඔහුගේ පිළිතුර යි.
පුවත්පත නොකියවා කිසිවක් පැවසීමට නොහැකි බැවින් මා ඔහුට පවසා සිටියේ රට බෙදන බිල්ලා තවමත් ජාතිවාදීන්ගේ සිත තුළ හොල්මන් කරන බවයි. එවිට ඔහු පවසා සිටියේ ‘‘මෙවැනි සිරස්තලවලින් රටේ ජනතාව නොමග යනවා නේද?’’ යනුවෙනි. සාමාන්‍යය පුද්ගලයකු වන ඔහුට මේ පිළිබඳ අවබෝධයක් තිබීම පිළිබඳ ප්‍රථමයෙන් ම ස්තූතිවන්ත විය යුතු අතර රට නැවතත් අඳුරු අගාධයකට ඇද දමන්නට උත්සාහ දරන මාධ්‍යය පිළිබඳ කනගාටුව මෙන්න විරෝධය ද දැක්විය යුතු ය.
මගේ හිතවතාගේ ආවේගය සන්සිඳවීමෙන් අනතුරුව අන්තර්ජාලයට ගොස් අදාළ ප්‍රවෘත්තිය කියවූවෙමි. එම ප්‍රවෘතියේ සිරස්තලය වූයේ ‘‘උතුරු පළාත් සභාව රට දෙකඩ කිරීමේ කුමන්ත්‍රණය අරඹයි’’ යනුවෙනි. අනතුරුව සමස්ත ප්‍රවෘත්තිය ම කියෙව්වෙමි.
එහි දී අවබෝධ වූයේ අනාදිමත් කාලයක සිට ජාතිවාදී ස්ථාවරයක සිට සිය මාධ්‍යය හැසැර වූ එකී පුවත්පත සහ අදාළ ප්‍රවෘත්ති කතුවරයා තවමත් ඒ පුරුද්ද අත්හැර නොමැති බවයි.( කොළඹ පැවති ‘‘පොංගුතමිල් උත්සවය’’ ට පහර දීම සඳහා මැරයෝ ප්‍රවාහනය කළේ ද මෙම පුවත්පත් ආයතනයට අයිති වෑන්රථයකින් බව අප අමතක නොකළ යුතු ය.) මෙය මාධ්‍යය භාෂාවෙන් ම පවසනවා නම් අතේරෝලකි. මන්ද ප්‍රවෘත්තියට අදාළ කරුණු කිසිවක් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට එම ලියුම්කරු අසමත් වන බැවිනි. එම ප්‍රවෘතියට අදාළව දේශපාලන විචාරකයෝ පැවසූ අදහසක් ඔහු මෙලෙස සටහන් කරයි.
‘‘උතුරු පළාත් සභාවේ මහ ඇමැති විග්නේශ්වරන් ගේ ප්‍රධානත්වයෙන් සම්මත කරගෙන මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවලිය මගින් ඊළාම් රාජ්‍යයකට පාර කපා ඇති බවත් එය වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සිහිනය සැබෑකර ගැනීමට දරන උත්සාහයක් බවත් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.’’
‘‘දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති’’ යනුවෙන් සටහන් කරන විට අදාළ විචාරකයන් කවුද, ඔවුන්ගේ ප්‍රකාශ මොනවාද යන්න පැහැදිලි කිරිමට එම ලියුම්කරු අසමත් වෙයි. ඔහු තම හිතළුව අකුරු බවට පත්කරන්නේ කිසිඳු වගවිභායකින් තොරව ය.
එම ලියුම්කරු යළිත් තම අදහස නිරීක්ෂකයන්ගේ අදහසක් ලෙස මෙලෙස සටහන් කරයි.
‘‘වසර විස්‌සකට වැඩි කාලයක් මුළුල්ලේ කිසියම් ජාතියකගේ බලවත් පීඩනයකට වෙනස්‌කමකට භාජනයවී සිටින සුළු ජාතියකට තමා පෙළන මහා ජාතියෙන් වෙන්ව ස්‌වයංපාලනයක් ලබා ගැනීමට හැකිය යන එක්‌සත් ජාතීන්ගේ න්‍යායට මුවා වෙමින් උතුරු පළාත් සභාව දැන් ශ්‍රී ලංකාව දෙකඩ කිරීමේ තම ජාත්‍යන්තර වැඩපිළිවෙළ අරඹා ඇතැයි දේශපාලන නිරීක්ෂකයෝ පවසති.’’
මෙහි දි ද ඔහු සුපුරුදු ආකාරයෙන් ම ‘‘දේශපාලන නිරීක්ෂකයෝ පවසති’’ යනුවෙන් සටහන් කරයි. ඒ සමග ම ‘‘වසර විස්‌සකට වැඩි කාලයක් මුළුල්ලේ කිසියම් ජාතියකගේ බලවත් පීඩනයකට වෙනස්‌කමකට භාජනයවී සිටින සුළු ජාතියකට’’ යන කොටස ද එනම්, සත්‍යය ද සටහන් කරයි. අදාළ දේශපාලක නිරීක්ෂකයෝ කවරහු ද? ඔවුන්ගේ මතය කුමක් ද? යන්න සටහන් නොකරන්නට එම ලියුම්කරු වගබලාගනී.
අනතුරුව උතුරු පළාත් සභාව විසින් ජාත්‍යන්තරයට ඉදිරිපත්කොට ඇතැයි යන චෝදනා ගොන්නක් සටහන් කරයි. එහි උත්ප්‍රාසය වන්නේ ‘‘‘අසත්‍යය චෝදනා’’ යනුවෙන් සඳහන් කිරීම ය. මේ එම චෝදනා ගොන්න ය.
‘‘ද්‍රවිඩයන්ට එරෙහි ශ්‍රී ලංකා සංහාරය නමින් හඳුන්වා ඇති මෙම චෝදනාවලින් වර්ෂ 1956 පටන් අද දක්‌වාම සිදු වන්නේ යෑයි කියන අඛණ්‌ඩ දෙමළ ජන ඝාතන ක්‍රියාවලියක් පිළිබඳ අතිශය බලවත් අසත්‍ය තොරතුරු රැසක් ඉදිරිපත් කරයි.
ඉන් සමහරක් මෙසේය.
1. 1956 ජුනි 05 දා සිංහලයන් ද්‍රවිඩයන්ට පහරදීම
2. 1958 මැයි සිට බෞද්ධ භික්‍ෂුන් සහ සිංහල ජාතිවාදීන් ද්‍රවිඩයන් 300 ක් මරා දැමීම ද්‍රවිඩ කාන්තාවන් 200 ක් අතවරවලට ලක්‌කිරීම.
3. 1974 ජනවාරි මාසයේදී යාපන අර්ධද්වීපය තුළදී එල්ල කෙරුණු පොලිස් ප්‍රහාරයක් මගින් ද්‍රවිඩයන් 9 ක් මරණයට පත්කිරීම.
6. 1977 අගෝස්‌තු 12 - 20 අතර කාලයේදී යාපනයේ සිට කොළඹට පැමිණි දුම්රියට ප්‍රහාර එල්ල කිරීම සහ උඩරට කඳුකරයේ ඇති වූ සිද්ධි මාලාවක් මගින් ද්‍රවිඩයන් 300 ක් මියගොස් 1000 ක් තුවාල ලැබීම.
5. 1983 ජූලි කලබලය ද්‍රවිඩයන් 300 ක් මරා දමා ද්‍රවිඩ ස්‌ත්‍රීන් 500 කට අතවර කිරීම ද්‍රවිඩ ව්‍යාපාරික ස්‌ථාන 5000 ක් විනාශ කිරීම.
6. 2008 - 2009 වන්නි සංහාරය (වන්නි යුද මෙහෙයුම)
7. පසුගිය වසර 27 තුළ ද්‍රවිඩයන් 100000 ක් මරුමුවට පත්වීම
8. 2009 ජනවාරි මස සෑම දිනකම ද්‍රවිඩයන් 33 සිට 116 දක්‌වා මරා දැමීම.
9. 2009 මැයි 19 දා වනතුරු දිනකට ද්‍රවිඩයන් 1000 ක් බැගින් මැරීම
10. වන්නියේ 146679 ක් ආගිය අතක් නැත.
11. චැනල් 4 අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේගේ වාර්තාවට අනුව ද්‍රවිඩ කාන්තාවන් සහ තරුණයන් 200 ක් මරා දැමීම.
12. ද්‍රවිඩයන්ට ස්‌වයංපාලනයකට ඇති හිමිකම් උල්ලංඝනය කිරීම්.’’
මෙම ලියුම්කරු දිවයිනේ ප්‍රධාන ජාතික පුවත්පතක ප්‍රධාන ප්‍රවෘත්ති මෙන්ම දේශපාලන කතුවරයෙකි. එහෙත් ඔහු දේශපාලන ඉතිහාසය පිලිබඳ කිසිඳු අවබෝධයක් නැති හෝ අවබෝධයකින් සිටිය ද පටු ජාතිවාදී අරමුණු මුදුන්පමුණුවාගැනීම උදෙසා ඒ කිසිවක් නොතකා හරින පුද්ගලයෙකි. එසේ නොවන්නේ නම් ඉහත කී සිද්ධි ‘‘අසත්‍ය්‍ය චෝදනා’’ ලෙස හඳුන්වන්නේ නැත.
අදාළ ප්‍රවෘතිය සැපයූ ලියුම්කරු ඉතිහාසය නොදන්නේ නම් ඔහුට ඒ බව වටහා දෙනුවස් අතීතයේ සිට මෙරට ‘‘සුළු ජාතිකයන්’’ යැයි නාමකරණය වූ වැසියන්ට අත් වූ ඉරණම කුමක් ද යන්න පහදා දිය හැකි ය. එහෙත් මේ ඒ සඳහා සුදුසු අවස්ථාවක් නොවන බැවින් ඒ පිළිබඳ කෙටියෙන් හෝ සඳහන් කළ යුතු ය.
මෙරට වෙසෙන‘‘සුළු ජාතිකයන්’’ යැයි නාමකරණය වූ වැසියන්ගේ අයිතිවාසිකම් අහිමිවීම ආරම්භ වන්නේ 1948 ඉදිරිපත් කළ රටවැසි පනතෙනි. (1929 දක්වා වූ අතිතයට ද මෙය දිව යයි.) අනතුරුව ඉදිරිපත් වූ 1949 පාර්ලිමේන්තු මැතිවරණ පනත මගින් මෙය වඩාත් තිව්‍ර විය. මෙහි දී විශේෂයෙන් ම සඳහන් කළ යුතු කරුණක් ඇත එනම් එදා ඩී. එස්. සේනානායක මහතා මෙම පනත සඳහා වැඩි උද්යෝගයක් දැක්වූයේ එවකට පාර්ලිමේන්තුව තුළ වාමාංශික පක්ෂවලට තිබූ බලයට බිය වීම හේතු කොට ගෙන ය. මන්ද එදා පාර්ලිමේන්තුවේ පැවති ආසන අනූවෙන් විස්සක් ම අයත්ව තිබුණේ මෙරට වාමාංශික පක්ෂවලට ය. එමෙන් ම 1947 මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබුණේ ආසන 41 ක් පමණි. රටවැසි පනත මගින් කම්කරුවන් බහුතරයකගේ ඡන්ද බලය අහෝසි කර දැමීමෙන් අනතුරුව 1952 මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය තම ආසන ප්‍රමාණය 52 දක්වා වර්ධනය කරගත්තේ ය. එය සුළු ජාතිකයන්ගේ ද වාමාංශික කම්කරු ජනතාවගේ ද මළගමට මාර්ගය විවර කිරීමක් විය.
මෙය යම් තරමකට හෝ සමනය කරගැනීමට උත්සාහයක් දරන ලද්දේ එස්. ඩබ්ලියු. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා සහ එස්. ජේ. වී. චෙල්වනායගම් මහතා සමග ඇතිකරගන්නට යෙදුණ ගිවිසුම යි. අප දන්නා දේශපාලන ඉතිහාසය අනුව මෙය ජාතිවාදී ප්‍රශ්නයට පිළියම් සොයන්නට දැරූ ප්‍රථම පියවර යි.
නමුත් මෙරටෙහි වෙසෙන අවස්ථාවාදී, ජාතිවාදී සිංහල බෞද්ධයන්ගේ දැඩි බලපෑම මත එය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව මගහැරිණි. එදා එහි මූලිකත්වය ගෙන කටයුතු කළේ ජේ. ආර්. ජයවර්ධන මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය යි. ඒ, අදාළ සහයෝගීතාවයට විරුද්ධව කොළඹ සිට මහනුවරට පාගමනක් යාම ය. එහි දී ජේ. ආර්. ජයවර්ධන මහතා උත්සාහ කළේ 1956 ලද අන්ත පරාජය නමැති නිරුවත වසාගැනීම සඳහා ජාතිවාදය නමැති රෙදිකඩ දවටා ගැනීම ය.
මේ ආකාරයට අතීතයේ විවිධ අවස්ථාවන්හි දි මෙරට සුළු ජාතිකයෝ පීඩනයට පත්වූහ. උතුරු පළාත් සභාව විසින් ඉහත සඳහන් කළ ලියවිල්ලේ සඳහන් කිසිඳු චෝදනාවක් අසත්‍යය යැයි පැවසිය නොහැකි අතර යළි යළිත් ඒ අමිහිරි අතීත සිදුවීම් සිහිපත් කිරිම ද අනවශ්‍ය ය යන්න මෙම ලියුම්කරු ගේ අදහස යි.
ජාතික පුවත්පතක් හරහා මේ ආකාරයෙන් යළිත් ජාතිවාදය අවුළුවාලීමට කැසකවන්නේ හුදෙක් මෙම ලියුම්කරුගේ වුවමනාවට නොවන වග ද මෙහි දි සිහිතබාගත යුතු ය. මන්ද හිටපු ජනාධිපති තංගල්ලේ කාල්ටන් නිවසේ විසුව ද ඔහුගේ අදිසි හස්තය තවමත් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන තුළ මෙන් ම පාර්ලිමේන්තුවේ ද ක්‍රියාත්මක වෙමින් පවතී.
අවසන් සහ තීරණාත්මක වශයෙන් පැවසිය යුත්තේ මේ ආකාරයට ජාතිවාදය ඇවිළවීම ව්‍යවස්ථාවට අනුව දඬුවම් ලැබිය යුතු වරදකි. රටේ වගකිවයුතු මාධ්‍යය ආයතනයක් ලෙස එවැනි වගකීම් විරහිත ප්‍රවෘත්ති පළකිරීමෙන් අදාළ ආයතනය සහ කතුවරයා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ද උල්ලංඝනය කොට ඇත. යහපාලනයට මුවා වී මේ අන්තවාදීන් යළි යළිත් කැසකවන්නේ මෙරට රුධිර ගංගාවක් කිරීමට නම් ඒ සඳහා පවතින ආණ්ඩුව ද වගකිව යුතු ය. මන්ද එවැන් ජාතිවාදි ප්‍රකාශ ප්‍රසිද්ධියට පත්කරනවුන්ට නිසි දඬුවම් ලබා නොදෙන බැවිනි. එහෙයින් වගකිව යුත්තන් මේ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු අතර මේ ආකාරයෙන් ජාතිවාදය අවුළුවන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට ද පසුබට නොවිය යුතු ය.
ජයසිරි අලවත්ත - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.