බ්‍රිතාන්‍ය යුගයේ පන්සලක් වන බේරුවල, සපුගොඩ ශ්‍රී මහා විහාරස්ථානයේ මනිමුත්තු නම් දෙමළ ව්‍යාපාරිකයෙකුගේ ධන පරිත්‍යාගයෙන් දහම් පාසල් ශාලාවක් ඉදිකරන ලද අතර එය විවෘත කිරීමට සහභාගී වූ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, ජාතික සමගිය සහ ශ්‍රී ලාංකික අනන්‍යතාවය සම්බන්ධයෙන් වටිනා අදහස් රැසක් ප්‍රකාශ කෙළේය.
විපක්ෂනායක වරයාගේ සම්පූර්ණ කතාව මෙසේය.
“වැලිවිට සරණංකර ශ්‍රී සංඝරාජ ස්වාමීන් වහන්සේ ශ්‍රී ලංකාවට උපසම්පදාව ගෙනැවිත් අපේ රටේ බුද්ධ ශාසනය යළි පිහිටුවීමට ක්‍රියා කළා. එවකට මේ පහත රට ප්‍රදේශ ඕලන්ද පාලනය යටතේ තිබුණත් වෙහෙර විහාරස්ථාන ගොඩනැගීම සඳහා අවසර ලැබී තිබුණා. ඒ අනුව අපේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා මේ ප්‍රදේශවල වෙහෙර විහාරස්ථානවල ගොඩනැගීම සඳහා අවශ්‍ය මුදල් ඇතුලූ පහසුකම් ලබා දුන්නා.
බේරුවල සපුගොඩ ශ්‍රී මහා විහාරය ආරම්භ කර තිබෙන්නේ ඒ කාලයේ බවට තිබෙන හොඳම සාක්කිය වන්නේ එම බ්‍රිතාන්‍ය මුල් යුගයට අයත් ගොඩනැගිල්ලක් මේ විහාර භූමියේ පිහිටා තිබීම වන අතර ඒ අනුව එම ගොඩනැගිල්ල ඉතා වටිනා ගොඩනැගිල්ලක් බව කිව යුතුයි. එමෙන්ම මේ විහාරයේ තිබෙන බිතු සිතුවම් අයත් වන්නේ ද බ්‍රිතාන්‍ය යුගයේ මුල් කාලයටයි. විශේෂයෙන්ම ඉංග්‍රීසි ජාතිකයින් දෙදෙනෙකුගේ ඡායාරූප ද මේ විහාර ගොඩනැගිල්ලේ පිහිටුවා තිබෙනවා දැකිය හැකියි.
1842 න් පසුව මේ පහත රට ගොඩනැගූ බොහෝ විහාරස්ථානවල තිබෙන්නේ කාන්තාවකගේ ඡායාරූපයක් වන අතර ඒ වික්ටෝරිය රැජිණගේ ඡායාරූපයයි. මේ විහාරස්ථානයේ තිබෙන්නේ පුරුෂයින් දෙදෙනෙකුගේ ඡායාරූප වන නිසා මේ විහාරය 1842 ට පෙර ගොඩනැගූ විහාරයක් විය හැකියි. බොහෝ විට මේ සපුගොඩ ශ්‍රී මහා විහාරය තුන් වැනි ජෝර්ජ් රජතුමාගේ කාලයේ ගොඩනැගූ විහාරයක් විය හැකියි. එතුමා මානසික රෝගයකින් පෙලූණු නිසා එතුමාගේ නාමය යටතේ එදා ක්‍රියා කළේ එතුමාගේ පුත් හතර වැනි ජෝර්ජ් රජතුමායි.
මෙම විහාරයේ මේ ඉතිහාසය පිළිබඳව කරුණු සොයා බලන්නැයි අපේ තිනියාවල පාලිත නාහිමියන්ගෙන් මම මීට පෙර ඉල්ලා සිටියා. කාලයක් මුළුල්ලේ පරිහානියට පත්ව තිබූ මේ විහාරය යළි ගොඩනැගීමේ වගකීම බාරගත් අපේ තිනියාවල පාලිත නාහිමියන් අවුරුදු 3 ක් වැනි කෙටි කලක දී මේ විහාරය ඉතා මනරම් ලෙස ගොඩනගා ආරක්‍ෂා කර තිබෙනවා. තිනියාවල පාලිත හිමියන් මේ විහාරය ගොඩනගා ඒ ඓතිහාසික ගොඩනැගිලි ආරක්‍ෂා කළ නිසා මේ ප්‍රදේශයේත්, අනෙකුත් ප්‍රදේශවලත් ජනතාවට තවත් වටිනා පෞරාණික විහාරයක් ලැබී තිබෙනවා.
සපුගොඩ ශ්‍රී මහා විහාරස්ථානය ගොඩනගන අතරම තිනියාවල පාලිත හිමියන් නුගේගොඩ නාලන්දාරාමයේ වැඩ කටයුතු ද, ශ්‍රී ලංකා මහාබෝධි සමාගමේ කටයුතු ද ඉතා සාර්ථක ලෙස කරමින් සිටිනවා. මේ අනුව පැහැදිලි වන්නේ අපේ තිනියාවල පාලිත ස්වාමීන් වහන්සේට එක වර වැඩ කටයුතු ගණනාවක් කිරීමේ හැකියාව සහ ශක්තිය තිබෙන බවයි. මෙවැනි ආගමික, ශාසනික සහ ජාතික වගකීම් භාර ගෙන ක්‍රියා කිරීම ගැන උන්වහන්සේට ස්තූති කළ යුතුයි.
අනාගත පරපුර වෙනුවෙන් අප මේ පැරණි වෙහෙර විහාරස්ථාන ආරක්‍ෂා කළ යුතු අතර පසු කාලයේ දී මේ වෙහෙර විහාරස්ථාන දැක බලා ගැනීම සඳහා විදේශීය සංචාරකයින් පවා විශේෂයෙන් මේ ප්‍රදේශවලට පැමිණේවි.
සපුගොඩ ශ්‍රී මහා විහාරස්ථානයේ ශ්‍රී ධීරානන්ද දහම් පාසල් දරු දැරියන් වෙනුවෙන් මේ ශාලාව ඉදිකිරීමට අපේ තිනියාවල පාලිත හිමියන්ට උදව් උපකාර කරමින් මුදල් පරිත්‍යාග කළේ අපේ එම්. මනිමුත්තු මහතා සහ එම මැතිණියයි. හොඳ ව්‍යාපාරිකයෙකු වන එම්. මනිමුත්තු මහතා ව්‍යාපාර මගින් මුදල් උපයනවා වගේම සමාජ සහ ආගමික වැඩ කටයුතු වෙනුවෙන් මුදල් ද වියදම් කරනවා.
සිංහල බෞද්ධ නායක ස්වාමීන් වහන්සේ නමකගේ බෞද්ධ විහාරයේ දහම් පාසලේ සිංහල බෞද්ධ දරු දැරියන් වෙනුවෙන් දහම් පාසල් ගොඩනැගිල්ලක් ඉදිකර දී තිබෙන්නේ ද්‍රවිඩ ජාතික හින්දු භක්තිකයෙකු වීම කෙතරම් වටිනවාද? ශ්‍රී ලාංකික අනන්‍යතාවය කියා එක්සත් ජාතික පක්‍ෂය පැහැදිලි කරන්නේ මේ ස්වභාවයයි.
එම්. මනිමුත්තු මහතා ද්‍රවිඩ ජාතික හින්දු භක්තිකයෙකු යැයි කියා අපේ තිනියාවල පාලිත හිමියන් එතුමාගේ පරිත්‍යාගය බාර නොගෙන සිටියේ නැහැ. එමෙන්ම සියලූ දෙනාම බුදු දහම රජයේ ආගම කිරීමට උත්සාහ කරන නිසා මේ බෞද්ධ වෙහෙර විහාරස්ථානවලට සහ සිංහල බෞද්ධයින්ට උදව් උපකාර කිරීම අවශ්‍ය නැතැයි කියා එම්. මනිමුත්තු මහතා ද සිය පරිත්‍යාගය නොකර සිටියේ නැහැ.
අප ඒ ඒ ජාතීන් සහ ආගමිකයින් ලෙස එකට එක්ව ජීවත් වන අතර ඒ හේතුවෙන්ම අප එකිනෙකාගේ සංස්කෘතීන් එකට මිශ්‍ර වී පවතිනවා. සිංහල බෞද්ධයෙකු වීම ගැන මම විශේෂයෙන් ආඩම්බර වන අතර ශ්‍රී ලාංකිකයෙකු වීම ගැන ද ඒ වගේම ආඩම්බර වනවා. මම ශ්‍රී ලාංකිකයෙකු වනවා කියන්නේ මගේ සිංහල බෞද්ධ උරුමය වෙනත් කිසිවකට යට කර දැමීමක් නොවෙයි. ශ්‍රී ලාංකික අනන්‍යතාවයේ දී සිංහල, බෞද්ධ උරුමය, දෙමළ හින්දු උරුමයට හෝ ක්‍රිස්තියානි උරුමයට හෝ මුස්ලිම් ඉස්ලාම් උරුමයට හෝ යට කිරීමක් සිදු වන්නේ නැහැ. ඒ වගේම දෙමළ හින්දු උරුමය, සිංහල බෞද්ධ උරුමයට, දෙමළ ක්‍රිස්තියානි උරුමයට හෝ මුස්ලිම් ඉස්ලාම් උරුමයට යට කෙරෙන්නේ නැහැ. එමෙන්ම මුස්ලිම් ඉස්ලාම් උරුමය, සිංහල බෞද්ධ උරුමයට හෝ දෙමළ හින්දු සහ ක්‍රිස්තියානි උරුමයන්ට යට කෙරෙන්නේ ද නැහැ. දෙමළ ක්‍රිස්තියානි උරුමය ද ශ්‍රී ලාංකික අනන්‍යතාවයේ දී සිංහල බෞද්ධ උරුමයට හෝ හින්දු ඉස්ලාම් උරුමයට යට වීමක් සිදු වන්නේ නැහැ.
මගේ සිංහල බෞද්ධකම ගැනත්, ඒ ඉතිහාසය ගැනත් මම ආඩම්බර වනවා වගේම අපේ මේ සමාජය අනෙකුත් ජාතීන් සහ ආගම්වලින් පෝෂණය වී තිබීම ගැන ද මම ආඩම්බර වනවා. සිංහල බෞද්ධ, සිංහල ක්‍රිස්තියානි, දමිළ හින්දු, දමිළ ක්‍රිස්තියානි, හින්දු ඉස්ලාමි අප සියලූ දෙනාම මේ සමාජයේ ජීවත් වන්නේ එකට එක්වයි.
මුස්ලිම් ජාතිකයින් සිය රාමසාන් උත්සව සමයේ දී සිංහල බෞද්ධ අපට ඒ අයගේ නිවාසවලට කෑමට ආරාධනා කරනවා. ඒ අය මුස්ලිම් ජාතිකයින් සහ ඉස්ලාම් භක්තිකයින් වන නිසා අප ඒ ආරාධනය ප්‍රතිෙක්‍ෂ්ප කරනවාද? නැහැ.... සිංහල බෞද්ධයින් ලෙස අප දානමාන ආදී පිංකම් සංවිධානය කරන විට ඊට දෙමළ සහ මුස්ලිම් අය කෙතරම් එක් වනවාද? ක්‍රිස්තියානි භක්තිකයෙකු නත්තල් උත්සවය වෙනුවෙන් අපට කෑමකට ආරාධනා කළොත් ඔහු ක්‍රිස්තියානි කාරයෙකු යැයි කියා අප ඒ සාදයට නොයා සිටිනවාද? තෛපොංගල් උත්සවය වෙනුවෙන් ද්‍රවිඩ හින්දු භක්තිකයින් අපට ලබාදෙන ආහාර අප නොකා සිටිනවාද? නැහැ....
ඒ ඒ ජාතීන් සහ ආගමිකයින් අතර මේ සහ සම්බන්ධතාවය ඇති කර ඒ ඒ සංස්කෘතීන් සම්මිශ්‍රණය කිරීම ආරම්භ කළේ එදා අපේ රජවරුනුයි. ඊට හොඳම උදාහරණය අපේ වෙහෙර විහාරස්ථානවල විශ්ණු දේවාල පිහිටුවීමට රජවරුන් ක්‍රියා කිරීමයි. කෝට්ටේ යුගය වන විට අපේ රටේ වෙහෙර විහාරස්ථානවල පත්තිනි දේවාල පිහිටුවීම ද ආරම්භ කෙරුණා. සමන් දෙවියන් සහ කතරගම දෙවියන් අපේ රටේම දෙවිවරුන් ලෙස අපට හැඳින්විය හැකියි. නමුත් විශ්ණු දෙවියන්ගේ සහ පත්තිනි මෑණියන්ගේ උරුමය තිබෙන්නේ ඉන්දියාවටයි. මේ රටේ ක්‍රිස්තියානි භක්තිකයන් බවට පත්වූයේ සිංහල බෞද්ධ සහ දෙමළ හින්දු ජාතිකයින්මයි. රටේ වෙහෙර විහාරස්ථාන ගණනාවක් ගොඩනැගීම සඳහා ක්‍රිස්තියානි භක්තිකයින් බොහෝ දෙනෙකු ආධාර කර තිබෙන බව අප දන්නවා.
සිංහල බෞද්ධයින් ලෙස අප කතරගම කිරිවෙහෙර වගේම කතරගම දේවාලයත්, කොළඹ හින්දු දේවාලයත් වැද පුදා ගන්නවා. කොළඹ මෝදර කාලි අම්මාන් කෝවිලේ පොල් ගහන්නේ දෙමළ හින්දු භක්තිකයින් විතරමද? එම දේවාලයේ පොල් ගහන්නේ ද්‍රවිඩ හින්දු භක්තිකයින් පමණක් නම් දේවාලයේ මේ මොහොතේ සිටින භක්තිකයින් ප්‍රමාණය හරි අඩකින් අඩු විය යුතුයි.
රටේ පාලකයිනුත් ඉන්දියාවට ගොස් දෛවඥයින් හමුවී අනාගතය ගැන අසා දැන ගන්නවා.
මේ සියලූ ජාතීන් සහ ආගම් ගැනත්, මේ සංස්කෘතික සම්මිශ්‍රණය ගැනත් ආඩම්බරයට පත්වී ඒ ශ්‍රී ලාංකික උරුමය සහ අනන්‍යතාවය ආරක්‍ෂා කළ යුතු යැයි අප කියා සිටින්නේ මේ නිසයි. ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක දී සිංහල, දෙමළ, මුස්ලිම් අප සියලූ දෙනාම ජාති සහ ආගම් භේදයෙන් තොරව ශ්‍රී ලංකා පිලට සහයෝගය ලබාදෙන්නේ මේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය නිසයි.
ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක දී ශ්‍රී ලාංකික පිල අවසන් මහා තරගයට තේරී සිටින විට සිංහල බෞද්ධයෙකු නම් අපේ පිලට ජය පතා බෝධි පූජා පවත්වා සෙත් පතන අතර ක්‍රිස්තියානි භක්තිකයෙකු නම් ඔහු ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ඉටි පන්දම් දල්වා අපේ පිලට ජය පතා යාඥා කරනවා. ද්‍රවිඩ හින්දු භක්තිකයෙකු නම් ඔහු හින්දු කෝවිලට ගොස් පුද පූජා පවත්වා පොල් ගසා විවිධ දේ බාර වන අතර මුස්ලිම් ඉස්ලාම් භක්තිකයෙකු නම් ඔහු ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය වෙනුවෙන් අල්ලාහ් දෙවියන් වහන්සේ ඉදිරියේ යාඥා කරනවා.
ක්‍රිකට් තරගාවලියක දී අපේ පිලට ජය පතා පන්සලට, පල්ලියට සහ කෝවිලට ගියාම දිවිය ලෝකෙට යා හැකි බව බුදු රජාණන් වහන්සේවත්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේවත්, මුහම්මද් නබි තුමාවත් දේශනා කර තිබෙනවාද? නැහැ.... නමුත් අප එසේ පන්සලට, පල්ලියට, කෝවිලට ගොස් අපේ පිල වෙනුවෙන් ආශිර්වාද පතන්නේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය නිසයි. ඇත්ත වශයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව අපේ ක්‍රීඩාවක් නොවන අතර ඒ ක්‍රීඩාව අප ලබාගත්තේ එංගලන්තයෙනුයි. නමුත් එංගලන්තයෙන් ලබාගත් ඒ ක්‍රීඩාව අප කරන විට අප ඊට මුහුණදෙන්නේ ශ්‍රී ලාංකිකයින් ලෙසයි.
ඒ අනුව ශ්‍රී ලාංකික අනන්‍යතාවයට ආදර්ශයක් දුන් අපේ තිනියාවල පාලිත ස්වාමීන් වහන්සේටත්, එම්. මනිමුත්තු මහතාටත් ස්තූති කරන අතර මේ විහාරස්ථානය තව තවත් දියුණු වේවා යැයි මම ප්‍රාර්ථනා කරනවා."
ඡායාරූපය - enews