ඒ, අනුව සැලකිය යුතු ලෙස විදේශ විනිමය වැය කරමින් වාහන තොග රැස් කිරීම වැළැක්වීමේ අරමුණින් මේ රෙගුලාසි පනවා ඇත.
මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ ද එකඟතාව සහිතව මෝටර් රථ වාහන ආනයනය කිරීම සඳහා පනවා තිබූ තාවකාලික අත්හිටුවීම ඉවත් කිරීමේ පළමු වැනි අදියර යටතේ පොදු ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා බස් රථ, විශේෂ කාර්යයන් සඳහා යොදා ගන්නා රථ සහ අනෙකුත් මෝටර් එන්ජින් භාවිතා නොවන රෝද සහිත අයිතම ආනයනය කිරීමට රජය විසින් අවසර ලබාදී තිබෙනවා.
2020 වර්ෂයේ මුල් භාගයේ සිට මෝටර් වාහන ද ඇතුළුව අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීම/සීමා කිරීම ක්‍රියාත්මක විණි.
නමුත් කොවිඩ් – 19 වසංගත තත්ත්වය සහ ආර්ථික පසුබැස්ම හමුවේ විදේශ විනිමය සංචිත මත ඇති වූ පීඩනය අවම කිරීමේ අරමුණ ඇතිව මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ලදි. ඇතැම් භාණ්ඩ සම්බන්ධයෙන් පැවැති සීමා ක්‍රමානුකූලව ලිහිල් කරනු ලැබූව ද, සංයෝජිත වර්ගීකරණ සංකේතාංක (HS Codes) 304 ක් යටතේ වර්ගීකරණය වන මෝටර් වාහන සහ අනෙකුත් මෝටර් එන්ජින් භාවිතා නොවන රෝද සහිත අයිතම ආනයනය කිරීමට අදාළව පනවා තිබූ තාවකාලික ආනයන අත්හිටුවීම අඛණ්ඩව බල පැවැත්විණි.
විදේශ සංචිතවල ඇතිවූ වැඩිදියුණු වීමත් සමගින් ආර්ථිකය ක්‍රමිකව යථා තත්ත්වයට පත්වීම සහ ආර්ථික කටයුතු සාමාන්‍යකරණය වීමත් සමග, ශ්‍රී ලංකා මහ බැංකුවේ ද එකඟතාවය සහිතව සංයෝජිත වර්ගීකරණ සංකේතාංක (HS Codes) 304 ක් යටතේ වර්ගීකරණය වන මෝටර් වාහන සහ අනෙකුත් මෝටර් එන්ජින් භාවිතා නොවන රෝද සහිත අයිතම ආනයනය කිරීමට අදාළව පනවා තිබූ තාවකාලික ආනයන අත්හිටුවීම, අදියර තුනක් (03) යටතේ ඉවත් කිරීමට 2024 සැප්තැම්බර් 13 දිනැතිව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. එකී අදියර තුනෙන්, පළමු අදියර ක්‍රියාත්මක කිරීම සදහා ජනාධිපතිවරයා, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් අනුමැතිය ලබාදී ඇත.
මෙම වාතාවරණය තුළ කොන්දේසිවලට යටත්ව, පළමු වැනි අදියර යටතේ දී සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 52 ක් යටතේ වර්ගීකරණය වන පොදු ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා බස් රථ, විශේෂ කාර්යයන් සඳහා යොදා ගන්නා රථ සහ අනෙකුත් මෝටර් එන්ජින් භාවිතා නොවන රෝද සහිත අයිතම ආනයනය කිරීමට අවසර ලබාදීම පිණිස, 2415/35 අංක දරන 2024 දෙසැම්බර් මස 18 දිනැති ගැසට් නිවේදනය මගින් 1969 අංක 1 දරන ආනයන සහ අපනයන (පාලන) පනත යටතේ 2024 අංක 14 දරන ආනයන සහ අපනයන (පාලන) රෙගුලාසි ප්‍රකාශයට පත් කර ඇත.
වාහන ආනයනය පාලනය කිරීම් සඳහා පනවා ඇති එම ප්‍රධාන කොන්දේසි මෙන්න,
1. ආනයනය කරනු ලබන මෝටර් වාහන, ආයාත බිල් පත්‍රයේ/ රේගු සටහන්කරයේ (CUSDEC) දිනයේ සිට දින අනූවක් (90) ඇතුළත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතු ය.
2. ආනයනය කරනු ලබන මෝටර් වාහනයක් එකී නියමිත කාල සීමාව තුළ දී ලියාපදිංචි කිරීමට නොහැකි වුවහොත්, එවැනි වාහනයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරන අවස්ථාවේ දී, අදාළ ආනයනකරු විසින් මෝටර් වාහනයේ පිරිවැය, රක්ෂණ හා නැව් ගාස්තු අගයෙන් (CIF වටිනාකම) 45% ක උපරිම සීමාවකට යටත්ව, මාසිකව CIF වටිනාකමින් 3% සිට අයකරනු ලබන ප්‍රමාද ගාස්තු ගෙවීමට යටත්ව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අදාළ වාහනය ලියාපදිංචි කළ යුතු ය.
3. යම් ආනයනකරුවකු විසින් විකිණීමේ අරමුණ සහිතව ආනයනය කරන වාහන, එකී ආනයනකරුගේ නමට හෝ ව්‍යාපාරයේ නමට හෝ එම ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරුන්ගේ නමට ලියාපදිංචි කළ නොහැකි අතර එසේ ආනයනය කරන ලද වාහන ගැනුම්කරුගේ නමට ලියාපදිංචි කළ යුතු ය.
4. යම්කිසි ආනයනකරුවකු මාස හයක් (06) ක් තුළ ආනයනය කරන ලද මුළු මෝටර් රථ වාහන ප්‍රමාණයෙන් 25% ක් මෙම රෙගුලාසි මගින් පනවන ලද දින අනූවක් (90) තුළ ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාව උල්ලංඝනය කරමින් ආනයනය කළහොත්, එකී ආනයනකරුට වාහන ආනයනය කිරීම අවම වශයෙන් මාස තිස්හයක (36) කාලයකට තහනම් කරනු ලැබේ.
5. යම් ආනයනකරුවෙකු, මෙම ප්‍රකාශිත රෙගුලාසි සහ/හෝ මෝටර් රථ වාහනයක්/වාහන ආනයනයට අදාළව දැනට ක්‍රියාත්මක රීති සහ රෙගුලාසිවලට පටහැනිව සංයෝජිත වර්ගීකරණ සංකේතාංකවල 87 වැනි පරිච්ඡේදය යටතේ වර්ගීකරණය වන මෝටර් වාහනයක් ආනයනය කළහොත්, අදාළ මෝටර් වාහනය එකී ආනයනකරු විසින් ආයාත බිල් පත්‍රයේ/ රේගු සටහන්කරයේ (CUSDEC) දිනයේ සිට දින අනූවක් (90) ඇතුළත ප්‍රති-අපනයනය කළ යුතු අතර ඒ සම්බන්ධයෙන් දැරිය යුතු සියලු පිරිවැය ද එකී ආනයනකරු විසින් දැරිය යුතු ය.
6. මෝටර් වාහනයේ වයස නිර්ණය කිරීමේදී එකී මෝටර් වාහනයේ නිෂ්පාදිත දිනය සහ නෞභාර පත්‍රයේ/ ගුවන් භාර පත්‍රයේ දිනය අතර කාලය ගණනය කළ යුතු ය.
7. මෝටර් එන්ජින් භාවිතා නොවන නමුත් රෝද සහිත අයිතම ආනයනය කිරීමේ දී, මින් පෙර භාවිතා නොකළ (not used) නව අයිතම ආනයනය කළ යුතු ය.