එහිදී සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව විසින් ලබා දුන් නිර්දේශයන් සහ පෙර වසරවල සුරා බදු අය කරගැනීම සඳහා වන ගිවිසුම් අතර වන පරස්පරයන් සහ ඒ සම්බන්ධයෙන් ගතයුතු පියවර 2024.05.02 වෙනිදා ලිපියක් මගින් මුදල් අමාත්‍යාංශයෙන් විමසා සිටිය ද ඒ සඳහා අමාත්‍යාංශය පාර්ශවයෙන් පිළිතුරක් නොලැබුනු බවයි.
මේ පිළිබඳව සාකච්ඡා කරනු ලැබුවේ පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව 2024.07.10 දින එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රැස් වූ අවස්ථාවේදීය.
මෙහිදී ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම රුපියල් මිලියන. 1659 ක්, හිඟුරාන ඩිස්ටිලරීස් රුපියල් මිලියන 102 ක්, සිනර්ජි සමාගම රුපියල් මිලියන 37 ක්, වයඹ ඩිස්ටිලරීස් රුපියල් මිලියන 79 ක් වශයෙන් 2023 වර්ෂයේ සිට 2024.06.15 දිනට අයවිය යුතු මුළු හිඟ බදු හා අයභාර රුපියල් බිලියන 1.8ක් බවද කාරක සභාව හමුවේ අනාවරණය විය. මෙසේ හිඟ බදු සම්පූර්ණයෙන් අය කර ගන්නා ලෙසට කාරක සභාව විසින් නිර්දේශය ලබා දී තිබියදී සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සිය කාරයභාරය පැහැර හැරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සහ මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවද කාරක සභාව විසින් අවධාරණය කරන ලදී.
තවද, ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගම හැර අනෙකුත් සමාගම් සමග සුරාබදු දෙපාර්තමේන්තුව ඇති කරගත් ගෙවීම් ගිවිසුම් මේ වන විට අක්‍රිය තත්ත්වයට පත්ව ඇති බව මෙහිදී අනාවරණය විය. මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීමට සුරාබදු කොමසාරිස් ජනරාල් අසමත් වී ඇති බවත්, එසේ තිබියදී කොමසාරිස්වරයා විසින් ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව මග හරිමින් සිටින බවත්, සුරාබදු දෙපාර්තමේන්තුව කාරක සභාවේ නිර්දේශයන් නොසළකා හරිමින් සිටින බවත් එය පාර්ලිමේන්තුවටත් කමිටුවත් කරන අගෞරවයක් බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.
2023 වසර සඳහා හිඟ සුරාබදු නොගෙවන සමාගම්වල මත්පැන් නිෂ්පාදන බලපත්‍ර තාවකාලිකව අත්හිටුවන ලෙස යළි මුදල් අමාත්‍යාංශය වෙත ලිඛිතව දන්වා යවන ලෙස කාරක සභා සභාපතිවරයා විසින් කාරක සභාවේ ලේකම්වරිය වෙත මෙහිදී උපදෙස් ලබා දෙන ලදී.
සාමාන්‍ය ජනතාව වෙත බදු පනවමින් තිබියදී සුරාබදු දෙපාර්තමේන්තුව, හිඟ සුරාබදු නොගෙවන මත්පැන් නිෂ්පාදකයින් කෙරෙහි ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් ද, කාරක සභාව සිය අප්‍රසාදය පළ කර සිටියේය. එමෙන්ම කාරක සභාව විසින් කාරක සභා රැස්වීම් 4දී මුදල් අමාත්‍යාංශය වෙත ලබා දී තිබූ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් කාරක සභාවේ දැඩි අප්‍රසාදය පළ විය.
තවද, හදිසි ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් මැදිහත් වීමක් ලෙස මහනුවර දුම්රිය ස්ථානය ජලයෙන් යටවීම සම්බන්ධයෙන් ද, කාරක සභාවේ සාකච්ඡාවට ගැනිණ. මෙහිදී මහනුවර දුම්රිය ස්ථානය ඇතුළත කාණු පද්ධතිය ප්‍රමාණවත් නොවන බවත්, ඒවායෙහි නඩත්තු සහ අලුත්වැඩියා කටයුතු කඩිනමින් සිදු කළ යුතු බවත් කාරක සභාව හමුවේ නිලධාරීන් විසින් ප්‍රකාශ කරන ලදී. මේ සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය යොමු කිරීමටත්, දිස්ත්‍රික් සංවර්ධන සභාවට මෙම යෝජනා ඉදිරිපත් කරන ලෙසත්, ඒ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව ද සම්බන්ධ කරගන්නා ලෙසත්, කාරක සභාව විසින් මෙහිදී උපදෙස් දුන්නේය.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් මඩ මිශ්‍ර ජලය සැපයීම පිළිබඳ ඉදිරිපත් කර ඇති පෙත්සම සම්බන්ධ වැඩිදුරටත් විමර්ශනය කිරීමද මෙහිදී සිදු විය. ගැටලුවට තුඩු දී ඇති අවසර සහිත සහ අනවසර මැණික් ගැරීම් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සමග සම්බන්ධ වී අර්බුදයට තුඩු දී තිබෙන ගැටහැත්ත ඇල ආශ්‍රිත මැණික් ගැරීම සම්බන්ධයෙන් බලපත්‍ර ලබා දී ඇති ලැයිස්තුව ලබා ගන්නා ලෙසත්, මේ ගැටලුව සම්බන්ධයෙන් නිරීක්ෂණය කොට ඒ සම්බන්ධ වාර්තාවක් ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙස ද, කාරක සභා සභාපතිවරයා පැමිණ සිටි නිලධාරීන් හට උපදෙස් දුන්නේය.
ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභා රැස්වීමේ මෙම සඳහා එහි සාමාජිකයින් වන ගරු ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, ගරු දයාසිරි ජයසේකර, ගරු උදයන කිරිඳිගොඩ සහ ගරු වසන්ත යාපා බණ්ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද එක්ව සිටියහ.