මගේ රැකියාව අහිමි වුණාට මැරුණු ළමයට සාධාරණය ඉටුවුණා

Published in පුවත්
Saturday, 06 September 2014 10:50

මීගමුව රෝහලට ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණියකට අතවර කොට ඝාතනය කළ බවට චෝදනා ලත් වෛද්‍යවරයාට එරෙහිව ගොනුකර තිබු සියලු චෝදනාවලට ඔහු වරදකරු බවට තීරණය කරමින් මීගමුව මහාධිකරණය ඔහුට මරණ දඬුවම නියම කෙරිණ.

 

තරුණියට අතවර කිරීමේ චෝදනාවට වසර 15 ක බරපතළ වැඩ ඇතිව සිර දඬුවමක් ද රුපියල් දසදහසක දඩ මුදලක් ද නොගෙවන්නේ නම් තව වසරක සිර දඬුවමක් ද නියම විය. මේ නඩුව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇතැයි විනිසුරුවරයා තීන්දුව දෙමින් කීය. මේ නඩුවේ ප්‍රධාන සාක්කිකාරිය වූ එවකට මීගමුව රෝහලේ සේවය කළ එල්. එම්. බියට්‍රිස් සිළුමිණට කියන කතාවයි මේ.

“මටත් දූලා දෙන්නෙක් ඉන්නවා. එදා ඔය සිද්ධිය වුණු වෙලාවේ මට මතක් වුණේ මගේ දූලා දෙන්නගේ මුහුණු. අනේ ඒ මැරුණු දරුවා කාගෙ වුණත් දරුවෙක්නේ. ඒ නිසා මං හිත දැඩි කරගත්තා. මම දැකපු දේ පොලීසියට කියන්න.”

බියට්‍රිස් එසේ පවසන විට දැනුත් ඇගේ දෑස් කොනේ කඳුළු නළියයි. අතීතය සිහිපත් කරන හැම මොහොතකම ඇගේ දෑස කඳුළින් පිරී යයි. ලේකම් මොහොට්ටිලාගේ බියට්‍රිස් මේ දිනවල කවුරුත් කතා කරන චරිතයක් බවට පත්ව සිටින්නීය.

අතීතයේ දවසක් දා එනම් දෙ‍දහස් හතේ එකොළොස්වන මස දොළොස් වැනිදා මීගමුව රෝහලේ හයවැනි මහලෙන් තරුණියක බිමට පැන මියගියේ යැයි කියූ පමණින් යට යන්නට තිබු ඒ සිද්ධිය මිනීමැරුමක් බව ඔප්පු කරන්නට තිබු එකම සාක්ෂිය වූයේ බියට්‍රිස් පොලීසියට දුන් සාක්කිය පමණි. එදා බියට්‍රිස් එතැන නොසිටියේ නම් මේ සිද්ධිය සම්පූර්ණයෙන් වෙනස් ස්වරූපයක් ගන්නට ඉඩ තිබුණි. එහෙත් එය එසේ නොවුණේය.

වසර හතකට පෙර සිදුවූ අපරාධයේ චූදිතයාට මීගමුව මහාධිකරණය විසින් මිනිමැරුම් චෝදනාවට ඉකුත් දා මරණිය දණ්ඩනය ද තරුණියට අතවර කිරීමේ ‍වරදට වසර පහළොවක බරපතළ වැඩ ඇතිව සිර දඬුවමක් ද රුපියල් දසදහසක දඩ මුදලක් ද එය නොගෙවන්නේ නම් වසරක සිර දඬුවමක් ද නියම කැරිණි. නඩු තීන්දුව ලබාදීමත් සමඟ යළිත් මේ අතීත සිදුවීම ආවර්ජනය වන්නට පටන් ගෙන තිබේ.

මොනරාගල, තම්පාවෙල, දඹගල්ල කටුකුරමණ්ඩිය ගමේ අටදෙනකුගෙන් යුත් පවුලක හතරවැනියාව උපන් චමිලා දිසානායක තම පුංචි අම්මාගේ මඟපෙන්වීම යටතේ කටුනායක වෙළෙඳ කලාපයේ රැකියාවකට එන්නේ තම දෙමවුපියන්ට හා පවුලේ කටයුතුවලට ශක්තියක් වීමේ අදහසිනි. මේ සිදුවීම වන විට ඇය කටුනායක වෙළෙඳ කලාපයේ රැකියාවකට පැමිණ වසර තුනහමාරක් පමණ ගතවී තිබුණි.

චමිලාගේ එක් පියයුරක ගෙඩියක් හට ගැනීම නිසා ඇය එයට ප්‍රතිකාර ගැනීම සඳහා පෞද්ගලික වෛද්‍යවරයෙක් හමුවට ගියාය. එහිදී එම වෛද්‍යවරයාගේ නිර්දේශය මත ඇය මීගමුව මහ රෝහලට ගියාය. එහිදී චමිලා ශල්‍ය කර්මයකට ලක්වූ අතර ඉන් අනතුරුව චමිලා දෙදහස් හතේ නොවැම්බර් මස දොළොස් වැනි දින යළිත් මීගමුව රෝහලේ සායනය සඳහා ගියාය. එහෙත් මාරයා සැඟවී සිටින්නේ එහි බව ඇය තුන් හිතකින්වත් දැන සිටියේ නැත.

අවාසනාවන්ත ඉරණමකට මුහුණ පාන චමිලා මිය යන්නීය. ඒ නිකම්ම නොවේ. අධිකරණ වෛද්‍යවරයා පවසන පරිදි ඇය මිය යාමට පෙර අතවරයකට ද ලක්වී තිබිණි. වෛද්‍ය වාර්තාවට අනුව චමිලා තට්ටු හයකින් බිමට වැටෙන විට අතපය ඉදිරියට විහිදුවා අවයව ආරක්ෂා කර ගැනීමට හෝ ඇය උත්සාහයක් දරා නැත. වෛද්‍යවරු පවසන අන්දමට බිමට ඇද වැටෙන විට ඇයට සිහියක් තිබී නැත. එනිසා ඇගේ අතපය කැඩි ගොස් නොතිබිණි.

මේ මරණය 2007. 11. 12 දින පස්වරු 1.55 ට පමණ සිදුවන්නට ඇතැයි වෛද්‍ය වාර්තාවේ සඳහන් වේ. ශල්‍යකර්මයක් නිසා ඇගේ පියයුරේ සුව වෙමින් පැවැති තුවාල කැලලක් ද බාහිර තුවාල හැටදෙකක් ද තිබී ඇති අතර මරණයට පත්වන අවස්ථාවේ ගෙල සිර කිරීමෙන් සිහිසුන් තත්ත්වයට පත්ව සිටි බවත් සිරුර රළු පෘෂ්ටයක් මත ඇදගෙන ගොස් ඇති බවත් සඳහන් විය.

මේ සිද්ධිය වූ දින දහවල් 12.20 ට චමිලා මීගමු රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව රාගම රෝහලට මාරු කර යැවීමෙන් පසුව පස්වරු 1.55 ට ඇගේ මරණය සිදුව ඇති බව වෛද්‍ය වාර්තාවේ සඳහන් වේ. කෙසේ හෝ මුළු පවුලේම ආර්ථිකය ගොඩනැංවීමේ අරමුණින් කටුනායකට පැමිණි චමිලා දිසානායකට සිදුවූයේ අවාසනාවන්ත ලෙස සාහසික මරණයකට ගොදුරු වීමටය.

ඇගේ මරණය සම්බන්ධව වසර හතක් පුරා විභාග වූ නඩු විභාගයේ දී ඇගේ මිනීමරුවාට පලා යාමට කිසිඳු අවස්ථාවක් නොලැබුණේ මේ සිදුවීමේ එක් අවස්ථාවක් ඇසින් දුටු එක් ප්‍රබල සාක්ෂියක් නිසාය. තවත් ගැහැනියකට සිදුවූ මහා අපරාධයක් යට යාමට ඉඩ නොතබා අධිකරණය හමුවේ සාක්ෂි දීමට ඉදිරිපත් වූයේ තවත් ගැහැනියක වීම මෙහි විශේෂත්වයයි. මේ නිසා ඇයට ලැබුණු ප්‍රතිලාභයක් නොවූ අතර අවසානයේ වසර පහක් තිස්සේ කරගෙන ආ රැකියාව ද ඇයට අහිමි විය.

"මාත් එක්ක රෝහලේ පනස් නව දෙනෙක් වැඩ කළා. මේ හැමෝම මා එක්ක එකතුයි, ඒත් සිද්ධියෙන් පසුව මාත් එක්ක කවුරුත් කතාබහ කළේ නැහැ. මගෙ උදව්වට හිටියේ යාළුවෝ දෙන්නයි. මට හරියට වෙනස්කම් සිදුවුණා. අන්තිමට මගේ රස්සාවෙන් අයින් කෙරුවා. මම මානව හිමිකම් ගියා. මාසයකුත් දවස් විසිපහක් රස්සාව නැතිව සිටි මගේ පඩිය ගෙවන්න කියලා වෛද්‍ය අධිකාරිට හා ශල්‍යාගාරයේ නිර්වින්දන වෛද්‍යවරියට නියම වුණා. නමුත් අද වනතුරු ඔවුන් එය ගෙව්වේ නැහැ. ඊට පස්සේ ආයෙත් මට රස්සාව ලැබුණා. නමුත් ඔවුන් මට හොඳටම බැනලා තමයි රස්සාව දුන්නේ. සමහර දවස්වලට මට යද්දි අත්සන් කරන පොත එළියේ නැහැ. එදාට මම ආයෙමත් ගෙදර එනවා. මම හොරහේන ජනපදයේ ඉඳලා පාන්දර හතරහමාරට මිරිස්වත්තට පයින් ගිහිල්ලා තමයි උදේ 7.30 ට පෙර වැඩට යන්නේ. නමුත් ඒ යන විටත් පොත නැහැ.

ඇයට පල නොකියා පලා බෙදුණු නිසා අවසානයේ බියට්‍රිස් රැකියාවෙන් ඉවත් වූවාය. නමුත් ඇය නොබියව අධිකරණය ඉදිරියට ආවාය. ඇසින් දුටු සාක්ෂි නැති බොහෝ අවස්ථාවල අපරාධකරුවන් නිදහස් වන යුගයක බියට්‍රිස්ගේ සාක්ෂිය අපරාධකරුවකුට දඬුවම් පැමිණ වීමට තරම් ප්‍රබල එකක් විය.

“දොස්තර මහත්තයා මෙහෙම දෙයක් කළා කියලා හිතන්න බැහැ. එයා මිනිස්සුන්ට හරි හොඳයි. දොස්තර මහත්තයා ගැන එක එක කතා තිබුණා. ඒත් ශල්‍යාගාරයේ හිටපු නිසා මං දොස්තර මහත්තයා ගැන දන්නවා. ඒ නිසා මම මිනිස්සු කියන කටකතා එච්චර විශ්වාස කළේ නැහැ. නමුත් එදා මම දුටු දේ දොස්තර මහත්තයා කොච්චර හොඳ කෙනෙක් වුණත් මට නොකියා ඉන්න බැරි වුණා.” බියට්‍රිස් පවසන්නීය.

“එදා මොනව ද ඔබ දුටුවේ” අපි ඇගෙන් විමසුවෙමු.

මීගමුව රෝහලේ ශල්‍යාගාරයේ පවිත්‍රතා කටයුතු තමයි මට භාරව තිබුණේ. අපි පෞද්ගලික ආයතනයක් යටතේ සේවය කළේ. ශල්‍යාගාරය කිට්ටුවම අපට වෙනම කාමරයක් තිබුණා. ඒක තියෙන්නේ කොරිඩෝවේ. මට සිස්ටර් කියලා තිබුණේ නිතරම ශල්‍යාගාරය කිට්ටුව ඉන්න කියලා. මං නිතරම හිටියේ ඔය කාමරයේ. එතන ඉඳලා බැලුවම තට්ටු හයම පහළට යනතුරු මැද මිදුල දක්වාම පේනවා. අපි හිටියේ හත්වැනි තට්ටුවේ. මම පුරුද්දක් හැටියට වැඩක් නැති වෙලාවට එතැන ඉඳන් පහළ බලනවා.

එතකොට පහළ තට්ටුවල ඉන්න මගෙ යාළුවෝ කතා කරනවා. ඔවුන් එහා මෙහා යනවා දකිනවා. මේ සිද්ධිය සිදුවුණු දවසේ ඒ කියන්නේ දෙදහස් හතේ එකොළොස්වැනි මාසේ දොළොස් වැනිදා උදේ එකොළහයි තිහට විතර මම හිටියේ ඔය කියන තැන. මට ඇහුණා හයවැනි තට්ටුවේ යමක් බිම දිගේ ඇදගෙන යන හඬක්. මං එකපාරටම හිතුවා සුපවයිසර් මහත්තයා ඇවිත් කාටහරි වැඩක් බාරදීලා එයා ඒක කරනවා ඇති කියලා. ඒත් මට හිතුණා පහළ බලන්න ඕන කියලා.
මම පහළ බැලුවා ඒ වෙලාවේ තමයි මම දැක්කේ ඉන්දික දොස්තර මහත්තයා කාඩ්බෝඩ් එකක් පස්සෙන් පස්සට අදිනවා. මාව දැකල දොස්තර මහත්තයා කාඩ්බෝඩ් එක ඇදීම නැවැත්තුවා. ඒ වෙලාවේ මම ගෑනු කෙනෙක්ගේ හිස දුටුවා. මට හිතුණා ඒ දොස්තර මහත්තයගේ නෝනවත් ද මොකක්හරි අසනීපයක් හැදිල ද කියලා. මං ඇහුවා “සර්... සර්... මොකද වුණේ කියලා” “නෑ මුකුත් නැහැ” කියූ දොස්තර මහත්තයා අයිනකට වුණා.

එතකොට මට එයා පෙනුණේ නැහැ. මම ඒ තට්ටුවට යන්න හදද්දි ශල්‍යාගාරයේ දොර ළඟ මිසි කෙනෙක් හිටියා. මම එයාට විස්තරය කිව්වා. මිසී මට කිව්වා ඕවායින් වැඩක් නැහැ කාටවත් ඕවා කියන්න යන්න එපා කියලා. මම එතැනට ගියේ නැහැ. ආයෙම දවල් දොළහට තමයි පහළට ගියේ. ඒ කෑම කන වෙලාව ඒ වෙලාවේ හැමතැනම ආරංචි වුණා ගෑනු ළමයෙක් උඩ ඉඳලා බිම වැටිලා කියලා. මම හිටියේ සුපවයිසර් එක්ක කතා කර කර.

එතකොට දොළහයි හතළිස් පහට විතර ඇති වෙලාව. අපි බලන්න යනකොටත් කට්ටිය වටවෙලා ලෙඩා ට්‍රොලියක දාලා දොස්තර මහත්තුරු බලනවා. මං වැඩ කරන්න ගියා. සවස ගෙදර ගියා. එතකොට මේ ආරංචිය පැතිරිලා. මීගමුව රෝහලේ හයවැනි තට්ටුවෙන් ගෑනු ළමයෙක් බිමට පැනලා කියලා. මා හඳුනන අය මගෙන් විස්තර ඇහුවා. මං කිව්වා මුකුත් දන්නේ නැහැ කියලා. මගේ ගෙදර අයත් ඇහුවා. මං ඔවුන්ටත් කීවා දන්නෙ නෑ කියලා.

කොහොම හරි එදා රෑ දහයට විතර අපේ ගෙදරට පොලීසියෙන් ආවා. මට කිව්වා කිසිම කරදරයක් වෙන්නෙ නෑ දන්න දෙයක් තියෙනවනම් කියන්න කියලා. මම දුටු දේ කිව්වා. පස්සේ දවසක මට පොලීසියේ ලොකු මහත්තයා කිව්වා මේ සිද්ධිය වුණු දවසේ රෑ මම මේ හැම දෙයක්ම දන්නවා කියලා ගෑනු කෙනෙක් පොලීසියට කතා කරලා කිව්වා කියලා. සමහර නඩු වාරවලදී මමයි දොස්තර මහත්තයයි එක තැන වාඩිවෙලා හිටියා. මගෙ මුහුණ දිහා බලා යන්න යනවා හැරෙන්න වචනයක්වත් කිව්වේ නැහැ.”

බියට්‍රිස් පවසන්නේ අතීත සිදුවීම්ය. දැන් ඇයට රැකියාවක් නැත. ඇය තම මුනුපුරන් බලමින් නිවෙසට වී කල් හරින්නීය. “මගේ මහත්තයාට රස්සාවක් කරන්න බැහැ. එයා අසනීපයෙන් ඉන්නේ. රස්සාව කරන කාලේ මම ඕටී එහෙම කරලා රුපියල් පහළොස් දහසකට වැඩිය වැටුපක් ලැබුණා. ඒත් දැන් රස්සාවක් නැතත් අර මියගිය දරුවට සාධාරණයක් වුණා කියල මට හිත හදාගන්න පුළුවන්.”

දැන් සියල්ල සිදුවී හමාරය. අහිංසක චමිලාගේ දිවි තොර කළේ යැයි කියන මීගමු රෝහලේ සේවය කළ වෛද්‍ය ඉන්දිකට දඬුවම් ලැබී හමාරය. තීන්දුව ලැබීමෙන් පසුව ඔහුව වැලිකඩ බන්ධනාගාරයට මාරුකර එවා ඇත. ඔහු දැනට වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටු සංකීර්ණයේ C3 හි රඳවා සිටී.

මරදන්කඩවල වැනි පිටිසර ගම්මානයක ඉපිද බොහෝ අමාරුවෙන් ඉගෙන ගෙන වෛද්‍යවරයකු වූ ඔහුට අවසානයේ සිදුවූයේ මහඋළු ගෙදර තපින්නටය. තම පුතුට ලැබුණු දඬුවම පිළිබඳව ඒ අම්මාත් තාත්තාත් තැවෙන්නෝය. තම දොස්තර පුතාට මරණීය දණ්ඩනය නියම වීමත් සමඟ තාත්තා අසනීප වූයේය. “අනේ මගෙ දරුවට වෙච්ච දේ. මගෙ මහත්තයා මේ ආරංචිය දැනගත්තම අසනීප වුණා. එයා දැන් මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබනවා. මට තේරෙන්නේ නැහැ මොනවා කියන්න ද මොනවා කරන්න ද කියලා. අපමණක් වූ දුක් ගින්දර උහුලන ඒ අම්මා අපට එසේ පැවැසුවේ හැඬු කඳුළිනි.

(silumina)

Leave a comment

 

ld add copy

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us