එය පළමු වර කියවීම හෙවත් පාර්ලිමේන්තුවට භාර දීම පසුගිය ඔක්තෝබර් මස 05 වන දා සිදු කෙරිණි.
මෙම ලිපියෙන් අපේක්ෂා කරන්නේ, අයවැය සකස් කිරීමේ ආරම්භක අවස්ථාවේ සිට දෙවන වර කියවීම දක්වා පියවරෙන් පියවර සිදුවන්නේ කුමක් ද? යන්න පිළිබඳව පැහැදිලි කිරීමටය.
*අයවැය චක්‍රය යනු කුමක් ද?
අයවැය යෝජනා සකස් කිරීමේ සිට ඒවා ක්‍රියාත්මක කිරීමෙන් පසු අධීක්ෂණය කිරීම දක්වා අදියර 4ක් යටතේ අයවැය චක්‍රය නිර්මාණය වේ.
1. අයවැය සම්පාදනය
2. අයවැය අනුමත කිරීම
3. අයවැය ක්‍රියාත්මක කිරීම
4. අයවැය අධීක්ෂණය
අයවැය සම්පාදනය යනු, ඒ ඒ පාර්ශවවලින් අයවැය යෝජනා ලබාගෙන ඒවා සැලකිල්ලට ගනිමින් අයවැය යෝජනා මාලාව සකස් කිරීමය. අයවැය අනුමත කිරීම යනු, සම්පාදනය කරන ලද අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමය. එසේ අනුමැතිය ලබා ගත් සම්මත වූ අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම ඊළඟ අදියරයි. සිව් වන අදියර අදාළ අයවැය යෝජනා නිසි පරිදි ක්‍රියාත්මක වූයේ ද යන්න අධීක්ෂණය කිරීමය.
*ආරම්භය (අප්‍රේල් මාසයේදී)
ඉදිරි වර්ෂයේ මුදල් පාලනය වෙනුවෙන් පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කෙරෙන අයවැය යෝජනා මාලාව වෙනුවෙන් තොරතුරු ලබා ගැනීම ආරම්භ වන්නේ, ඊට පෙර වසරේ අප්‍රේල් මාසයේ සිටය.
"ලංකාවේ අයවැයක් සකස් කරන එක මුලින් ම පටන් ගන්නෙ රජයේ අංශවලින්. රජයේ දෙපාර්තමේන්තු, අමාත්‍යංශ, ප්‍රාදේශීය සභා මේ හැම එකක් ම ඕකට අයිති වෙනවා. ඒ හැමෝම තමන්ගේ වියදම් හදන්න පටන් ගන්නේ, අප්‍රේල් මාසේ ඉඳලා. ඕනෑ ම ආයතනයක ප්‍රමුඛතා සැලකිල්ලට අරගෙන තමයි අයවැයක් සම්පාදනය කළ යුත්තේ," වෙරිටේ රිසර්ච් ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂිකා සුභාෂිණී අබේසිංහ බීබීසී සිංහල සේවයට පැවසීය.
*අයවැය කැඳවීම (ජූලි මාසයේදී)
රජයේ දෙපාර්තමේන්තු සහ වෙනත් ආයතන සිය ආදායම් සහ වියදම් පිළිබඳ ඇස්තමේන්තු සකස් කිරීමෙන් පසු ජූලි මාසය වන විට අයවැය කැඳවීමක් (Budget Call) සිදු කෙරේ.
අයවැය කැඳවීම යනු කුමක් දැයි සුභාෂිණී අබේසිංහ පැහැදිලි කළේ මෙසේය.
"අයවැය කැඳවීම කියන්නේ, ඉදිරි වර්ෂයට අදාළ රජයේ ප්‍රමුඛතා මොනවා ද?, ප්‍රතිපත්ති මොනවා ද? යන කරුණු රාජ්‍ය ආයතනවලට දැනුම් දීම. එතනදි සාර්ව ආර්ථික රාමුව, රජයේ ප්‍රතිපත්ති ප්‍රමුඛතා මොනවා ද?, අයවැයෙන් රජය බලාපොරොත්තු වෙන්නෙ මොනවා ද? රජය මොන වගේ දේවල්වලට වියදම් කරන්න බලාපොරොත්තු වෙනවා ද?, මොන වගේ වියදම් ද කපා හරින්නේ? කියලා යම්කිසි මාර්ගෝපදේශ මාලාවක් දෙනවා, රජයේ ආයතනවලට. තමන්ගේ ආයතනවල අයවැය සැකසීමේදී රජයේ ප්‍රතිපත්තියට අනුකූලව සකස් කරන්න කියන උපදෙස් දීමක් මෙහිදී සිදුවෙනවා. මෙවර අයවැය සැකසීමේදී අනවශ්‍ය වියදම් කපා හැරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් එකඟතා අනුව අයවැය ප්‍රමුඛතා සකස් වෙනවා."
ආයතනික අයවැය ජාතික අයවැය දෙපාර්තමේන්තුවට භාර දීම (අගෝස්තු මාසයේදී)
අයවැය සකස් කිරීමේ ප්‍රධාන වගකීම පැවරෙන්නේ, මුදල් අමාත්‍යංශය යටතේ ඇති ජාතික අයවැය දෙපාර්තමේන්තුවටය.
ඊට අමතරව, මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව සහ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව අයවැය සැකසීමේදී සහය දක්වයි.
අයවැය කැඳවීමෙන් පසු රාජ්‍ය ආයතනවල අයවැය යෝජනා අගෝස්තු මාසය වන විට ජාතික අයවැය දෙපාර්තමේන්තුවට භාර දිය යුතුය.
ඉන්පසු, මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවය සහ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව සමග එක්ව අදාළ යෝජනා විශ්ලේෂණය කර අයවැය යෝජනා සකස් කිරීම ඇරඹෙයි.
*පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම (ඔක්තෝබර් මාසයේදී)
අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ කාර්යය 'අයවැය පළමු වර කියවීම' යනුවෙන් හඳුන්වයි.
පසුගිය ඔක්තෝබර් 05 වන දා මෙවර අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවසීය.
"රටේ මූල්‍ය පාලනය සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම පැවරෙන්නේ පාර්ලිමේන්තුවට. ඒ නිසා තමයි මේ විසර්ජන පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වෙන්නේ. මේ අයවැය සකස් කරන්න රටේ මහ ජනතාවගේ අදහස් පවා සැලකිල්ලට ගන්නවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පස්සේ දෙවන වර කියවීම හරහා තමයි මේක පනතක් විදිහට පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමකින් පස්සේ සම්මත වෙන්නේ," නරේන්ද්‍ර ප්‍රනාන්දු බීබීසී සිංහල සේවයට පැවසීය.
*දෙවන වර කියවීම සහ ඉන්පසු සිදුවන ක්‍රියාවලිය (නොවැම්බර් හෝ දෙසැම්බර් මාසය සහ ඉන්පසු)
අයවැය පළමු වර කියවීමෙන් පසු දෙවන වර කියවීම වෙනුවෙන් දින නියම කර ගැනේ. බොහෝ විට දෙවන වර කියවීම නොවැම්බර් හෝ දෙසැම්බර් මාසයේ සිදුකෙරේ.
මෙවර එය යෙදී ඇත්තේ, නොවැම්බර් 13 වන දාටය. ඒ අනුව අද දහවල් 12.00ට මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඉන්පසු දින 7ක් අයවැය යෝජනා සම්බන්ධයෙන් වන විවාදයට වෙන් කෙරේ. එලෙස දින 7ක් විවාද කිරීමෙන් පසු හත් වන දින පස්වරු 6.00ට අයවැයට අදාළ ඡන්ද විමසීම පැවැත්වේ.
ඒ ඒ අමාත්‍යංශවලට අදාළ විෂයයන් සම්බන්ධයෙන් වෙන් කර ඇති මුදල් පිළිබඳව ඉන්පසු දින 19ක් පුරා කාරක සභා අවස්ථාව යටතේ විවාද පැවැත්වෙන බව වේත්‍රධාරීවරයා පැවසීය.
*තෙවන වර කියවීම සිදුවන්නේ ඉන්පසුවය.
තෙවන කියවීමෙන් පසු අයවැය අනුමත කර ගැනීමේ ක්‍රියාවලිය අවසන් වේ. ඉන්පසු ලබන වසරේ ජනවාරි 01 වන දා සිට දෙසැම්බර් 31 වන දා දක්වා අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සිදු කෙරේ.
අවසන් අදියර වන අයවැය අධීක්ෂණය විගණකාධිපති වාර්තාවක් මගින් සිදුකෙරේ.
*සම්ප්රදාය
පාර්ලිමේන්තු සම්ප්රදාය අනුව උත්සවාකාරයෙන් සිදුකෙරෙන පාර්ලිමේන්තු කාර්යයන් තුනක් ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි.
ඒ, නව සැසි වාරයක ආරම්භය, රාජ්‍ය නායකයින් පාර්ලිමේන්තු ඇමතීම සහ අයවැය දෙවන වර කියවීම යන අවස්ථාවලදීය.
-බීබීසී
-P.M