පාස්කු ප්‍රහාර වරදට අපරාධ නීතිය යටතේ නඩු පවරන්නේ කාටද ? තීරණය අප්‍රේල් 16

Published in පුවත්
Tuesday, 09 March 2021 09:40

පාස්කු ප්‍රහාරය වැළැක්වීමට පියවර නොගැනීමේ වරදට අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට අපේක්ෂා කරන පුද්ගලයන් ගැන තීරණයක් ගෙන ඒ පිළිබඳ වාර්තාවක් අප්‍රේල් 16 වැනිදාට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලෙස අගවිනිසුරුවරයා ඊයේ (8 වැනිදා) නීතිපතිවරයාට නියෝග කළේය.

අගවිනිසුරුවරයා එම නියෝගය නිකුත් කළේ සහරාන් හෂීම්ගේ අන්තවාදී මුස්ලිම් කල්ලියෙන් ඕනෑම මොහොතක කතෝලික පල්ලිවලට සහ ආර්ථික වශයෙන් වැදගත් ස්ථානවලට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට බුද්ධි අංශවලින් තොරතුරු ආරක්ෂක ප්‍රධානීන්ට ලබාදී තිබියදීත් දේපල හා ජනතාව ආරක්ෂා කිරීමට ඵලදායී පියවර නොගත් බවට චෝදනා කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඊයේ (8 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන, ජාතික පොලිස් බුද්ධි අංශයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන සහ තවත් රජයේ නිලධාරීන් කීපදෙනකු මෙම පෙත්සම්වල වගඋත්තකරුවන් ලෙස නම් කර තිබේ.

මේ අය අතුරෙන් අපරාධ නීතිය යට​තේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇති බව චෝදනා එල්ල කර මුලින්ම අධිකරණයක් හමුවේ නඩු පවරන්නේ කාටද යන්න නීතිපතිවරයා තීරණය කරනු ඇත.

නඩු පැවරීමට අපේක්ෂා කරන පුද්ගලයන් අතර පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙන පුද්ගලයන් සිටී නම් ඒ ගැන ඔවුන් දැනුවත් කරන ලෙසද අගවිනිසුරුවරයා නීතිපතිවරයාට දැනුම් දුන්නේය.

එම වගඋත්තරකරුවන්ට නීතිපති පෙනී නොසිටින බැවින් මූලික අයිතිවාසිකම් විභාගයේදී ඔවුනට පෞද්ගලික නීතිඥවරුන්ගේ සහය ලබා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට හැකිවනු ඇතැයිද අගවිනිසුරුවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකර තිබූ පෙත්සම් අගවිනිසුරු ඇතුළු සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ඊයේ (8 වැනිදා) විභාගයට ගැනීමට නියමිතව තිබුණි. එහෙත් නීතිපතිවරයා කර තිබූ ඉල්ලීමකට අනුව විභාගය මෙම මැයි 7, 8 සහ 9 යන දිනවලට කල් තබන ලදී. නීතිපතිවරයා එම ඉල්ලීම කර තිබුණේ ඉකුත් 04 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ගොනු කරමිනි.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොනුකර තිබෙන පෙත්සම් සම්බන්ධයෙන් නීතිපති දරන ස්ථාවරය දැනුම් දීමට පෙර පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂා කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අධ්‍යයනය කළ යුතු බවත් ඒ සඳහා අඩුම වශයෙන් සති 10ක් පමණ අවශ්‍ය වන බවත් නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබුණි.

පාස්කු ප්‍රහාරය වැළැක්වීමට පියවර නොගත් සහ රාජකාරි යුතුකම් සහ වගකීම් පැහැර හැරිය රජයේ නිලධාරීන් හා සෙසු අය කවුරුන්ද කොමිසමේ වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසුව තීරණයක් ගැනීමට අපේක්ෂා කරන බවද නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබූ මෝසමෙන් වැඩිදුරටත් දන්වා තිබේ.

අගවිනිසුරු ඇතුළු සත්පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඊයේ (8 වැනිදා) කැඳවූ අවස්ථාවේදී වගඋත්තකරුවන් කීපදෙනෙක් උසාවියට පැමිණ සිටි අතර හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් නීතිඥවරු පෙනී සිටියහ.

අගවිනිසුරුවරයා ඒ අවස්ථාවේදී සඳහන් කළේ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ විභාගය හැකි ඉක්මනින් අවසන් කර තීන්දුවක් ප්‍රකාශ කරන බවයි. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇති මෙම නඩු කටයුත්තට ප්‍රමුඛත්වය ලබාදෙන බවත්, සියලුම පෙත්සම්කරුවන්ට මෙන්ම වගඋත්තකරුවන්ටද නීතිඥයන් මගින් කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙන බවත් අගවිනිසුරුවරයා සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 12ක් ගොනු කර ඇත.

බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, එල්.ටී.ඩී. දෙහිදෙනි, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා, ගාමිණි අමරසේකර සත් පුද්ගල විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයන් වෙයි.

ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා, සංජීව ජයවර්ධන, ශනිල් පෙරේරා, අධිනීතිඥ ගාමිණි පෙරේරා ඇතුළු නීතිඥවරු පිරිසක් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

ජනාධිපති නීතිඥ පායිස් මුස්තාප හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන වෙනුවෙන්ද, අධිනීතිඥ සුරේන් ප්‍රනාන්දු හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන්ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් අධිනීතිඥ විරාත් කොරයාද පෙනී සිටියේය.

අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන නීතිපති වෙනුවෙන් කරුණු දැක්වීය.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us