ප්‍රහාරය සිදුවූ අවදියේදී ඇතැම් පිරිස් එවැනි අදහස් දැක්වීම සිදු කෙරුණද ඊට වැඩි පිළිගැනීමක් තිබුණේ නැති අතර මෙරට දේශපාලනික සම්බන්ධතා මත එම ප්‍රහාරය සිදුව ඇති බවට ඒ ඒ පාර්ශ්ව වෙතින් කරුණු කාරණා ඉදිරිපත් කෙරිණි.
කෙසේ නමුත් 2019 අප්‍රේල් මාසයේ සහ මැයි මාසයේ ඉන්දියාවේ මැතිවරණ සමයක් වීමත් පාලක පක්ෂය මුස්ලිම් විරෝධී හින්දු ආගමික හිතවාදීන් වීමත් මත එරට තුල මුස්ලිම් විරෝධයක් මතු කිරීම වෙනුවෙන් මෙම ප්‍රහාරය සැලසුම් කරන්නට ඇති බවටද උපකල්පනයකර තිබිණි. එසේම මෙම ප්‍රහාරයට සම්බන්ධ පිරිස් හා ඉන්දියාවේ ඉස්ලාම් ආගමික සංවිධාන සමඟ පැවැති පෙර සම්බන්ධතා ගැනද තොරතුරු හෙළි විය. මේ අතර මරාගෙන මැරුණු එක් ප්‍රහාරකයකුගේ බිරිඳක් නිරුපද්‍රිතව ඉන්දියාවට පැන යෑම ගැනද තොරතුරු හෙළිව තිබූ අතර එය පසුගියදා මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර විසින්ද තහවුරු කර තිබිණි. ඒ අනුවත් මෙය ඉන්දියාවේ සැලසුමක් වන්නට ඇති බවට සැකය වර්ධනය විය.
එමෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත් කළ විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජික ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා බීබීසී සිංහල සේවයට පවසා ඇත්තේ, ඔහුගේ විශ්වාසය අනුව ප්‍රහාරය පිටුපස සිටින්නේ ඉන්දියාව බවයි.
කාරක සභාවේ ඉදිරිපත් වූ සාක්ෂි හා තවත් විමර්ශනාත්මක කරුණු කිහිපයක් මත ඔහු මේ අදහස ඉදිරිපත් කර ඇත.
නලින්ද ජයතිස්ස හිටපු මන්ත්‍රීවරයා මතු කරන ප්‍රධාන කරුණු පහත පරිදි වේ.
* හදිසි මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල විය හැකි බවට 2019 අප්‍රේල් 04 වෙනි දින ඉන්දීය බුද්ධි අංශ මුලින්ම තොරතුරු ලබාදීම.
* කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ද ඉලක්කයක් බව බුද්ධි තොරතුරුවල සඳහන්ව තිබුණත් වැඩි ආරක්ෂාවක් ඉල්ලා සිටි බව හෝ ලබාදුන් බවක් ආනාවරණය නොවීම.
* 2019 අප්‍රේල් 08 වෙනි දින ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා ශ්‍රී ලංකාවේ හදිසි එක් දින සංචාරයක නිරත වූ අතර එදින ඔහු වෙනුවෙන් කිසිදු විශේෂ ආරක්ෂක විධිවිධානයක් යොදා නොතිබීම.
* කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ ප්‍රහාරකයාගේ බිරිඳ, ‘සාරා’ හෙවත් පුලස්තිනී ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දියාවට පලා යාම.
ඇය ශ්‍රී ලංකාවට කැඳවා ප්‍රශ්න කිරීමට ශ්‍රී ලංකා බලධාරීන්ගේ උනන්දුවක් නොතිබුණ අතර, ඉන්දියාව ද ඇය භාරදීමට සූදානම් බවක් නොපෙනීම.
පොලිසිය මෙතෙක් ‘සාරා’ ගෙන් ප්‍රශ්න කොට නැති අතර, ජනාධිපති කොමිසම ද ඒ ගැන උනන්දුවක් නොදැක්වීම.
* ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පැවති බවට නාමල් කුමාර නමැත්තා කළ බරපතළ ප්‍රකාශය සම්බන්ධ පරීක්ෂණ අතරමග ඇනහිටීම.
එම “ඝාතන ප්‍රයත්නයට” සම්බන්ධ බව පැවසුණු ඉන්දීය ජාතිකයා මානසික රෝගියෙකු ලෙස පවසා මුදා හැරීම.
* නාමල් කුමාර නමැත්තාගේ ප්‍රකාශය යොදා ගනිමින් සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීම පිණිස පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය පවත්වමින් සිටි විමර්ශනය නවතා දැමීම.
නලින්ද ජයතිස්ස හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ මෙවැනි දරුණු ප්‍රහාරයක් පිටුපස යුද තාක්ෂණයෙන් පරිපූර්ණ, හොඳ බුද්ධි තොරතුරු ජාලයක් මෙන්ම හොඳ අත්දැකීම් ඇති කණ්ඩායමක් සිටිය යුතු බවයි.
නමුත් සහරාන්ට එවැනි ජාලයක් තිබූ බවට කිසිදු සාක්ෂියක් නැතැයි, හිටපු මන්ත්‍රීවරයා බීබීසී සිංහල සේවය සමග වැඩිදුරටත් සඳහන් කර ඇත.
කෙසේ නමුත් මෙම ප්‍රහාරයට වලක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින ප්‍රබල දේශපාලනඥයෙක් මෙම ප්‍රහාරය තමන් ඇතුළු ආණ්ඩුව බලයෙන් පහ කිරීම සඳහා ඉන්දියාව විසින් සිදුකළ කුමන්ත්‍රණයක් බවට තොරතුරු සමාජගත කරමින් මෙම චෝදනාවෙන් ගැලවීම සඳහා මතයක් රෝපණය කිරීමට ගන්නා උත්සාහයක් ගැනද අප වෙත තොරතුරු වාර්ථා වේ. ඒ අනුව අද හෙටම මේ මතය තහවුරු කිරීම සඳහා ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත් කිරීමට නියමිත බවද දැන ගැනීමට තිබේ.
කොහොම නමුතු ඊයේ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී පාස්කු කොමිසම් වාර්ථාවේ නිරදේශයන් ගැන සාකච්ඡා කිරීමට නියමිතව තිබූ නමුත් එය සාකච්ඡාවට නොගත් බව කැබිනට් ප්‍රකාශකවරයා අද දැනුම් දී තිබිණි.