77 න් පසුව තේ නැතත් ගෙදර සීනි තිබෙන්නට ඕනෑය.. හොදි නැතත් ගෙදර මිරිස් තියෙන්නට ඕනෑය..කියමින් පිදුරු නොකෑවට පිදුරු තරම් වත් ගුණයක් නැති කෑම බීම ගෙදර ගොඩ ගහ ගත්හ.. ඒ මිනිස්සුන්ගේ හැටිය. මිනිස්සු පාරිභෝජනයට කැමතිය ගොඩ ගහ ගැනීමට කැමතිය.
දවසක් ඇඳිරි නීතිය පනවනවා කියන කොටම මාසෙකට බඩු ගොඩගසා ගැනීම කවදත් තිබුණු පුරුද්දකි. මේ දිනවලද අත් දකිමින් තිබෙන්නේද එයමය. බැරි එකාට හැමදාමත් එකම කල දසාවය. ඒක, මේ ක්‍රමය දුවන හැටියට තිබෙන විදිහකි.ඒ වෙනස් කිරීමට උත්තරයක් අදත් නැත.
වෙනදා ඇඳිරි නීතිය දැමීමට හේතු වූ කරුණට වඩා සපුරා වෙනස් තත්වයක් මත දැන් ඇඳිරි නීතිය පැනවී තිබේ. ඒත් මිනිස්සු පරණ පුරුදු විදිහට ඇඳිරි නීතිය ගනන් ගනිමින් තිබේ...පාලකයාද සිතමින් සිටින්නේ පරණ විදිහටමය. මිනිසුන් ගෙදර හිටියාම වෛරසය බෝ නොවන බව ඔවුන්ගේ වැටහීමය..එනම් ඇඳිරි නීතිය දැම්මාම වෛරසයත් ඒ නීතිය පිළිපදිමින් සිටිනවා යැයි ඔවුන් කල්පනා කරන බවය. ඇත්තය, මිනිස්සු එක් රැස් නොවෙන නිසා වෛරසයටද යන එනමන් නැත.
එහෙත් ඇඳිරි නීතිය දැම්මාම ප්‍රශ්නය කෙළවර වෙනු ඇතැයි කල්පනා කරන පාලකයා ඇඳිරි නිතියට පෙර එම වෛරසය මිනිසුන් විසින් ගෙදර අරගෙන යනු ඇතැයි කල්පනා කළේ නැත. ඇඳිරි නීතියට පෙර මිනිසුන් එකා මත එකා වැටී බඩු ගන්න පොර කෑ තරම.. බස් එකට දුම්රියට ගොඩ වෙන්න පඔර කෑ හැටියට මේ වෛරසය පාලනයකින් තොරව පැතිරීමට සියලු ඉඩ කඩ නිර්මාණය කර දී තිබිණි. යළි ඇඳිරි නීතිය යළි ඉවත් කරන නිමේශයේදී ගෙදර වැඩෙන වෛරසය යළි පැතිරෙන බව පාලකයාට කල්පනා වෙන කොට පරක්කු වැඩිය. මීටරේ තියාගෙන කඩේට ගොඩවෙන්න යැයි කිවද කඩේ ඇතුලෙදි ඒ මිටරේ තිබුණේ නැත.පෙලක් තැන්වල ඒ මීටරේ කොහොමත් බල නොපෑවේය. බොහොමයක් මිනිස්සු මීටර් කරගෙන හිටියේ කොහොම හරි බඩු පොදියක් රැගෙන ගෙදරට යෑම ගැන පමණි. ඒ මිනිසුන්ගේ හැටිය. මේ මිනිසුන් මී හරක් යැයි හන්වඩු ගැසීමට ඇතැමුන් ඉක්මන් වූවද ගැටළුව ඇත්තේ මේ මිනිසුන්ගේ නොවේ. පාලකයාගේය. මීහරකා පාලකයාය.
පාලකයට මිනිසුන් පාලනය කර ගැනීමේ හැකියාවක් නැති නම් මිනිස්සු පාලකයන් කියා කොටසක් පත් කර ගන්නේ නැත. මිනිස්සු ස්වයං පාලිතව හැසිරෙනු ඇත.. ස්වයං පාලිත සමාජ ගැන කියවෙන්නේ කොමියුනිස්ට් පාලන යුගයක් ගැන කියවෙන විටය. එහෙත් ඒවා හුදු සිහින පමණය. වත්මනෙහි ඇත්තේ පාරිභෝජනවාදය ඉහටත් උඩින් ගිය මජර සමාජයකි. එවන් සමයක කොන්ද පණ ඇති මොළයක් ඇති දැක්මක් ඇති පාලකයාට මිනිස්සු පාලනය කිරීමට දැඩි තීන්දු ගැනීමට සිදුවේ. ක්‍රමවත් රාජ්‍ය යාන්ත්‍රණයක් ඕනෑ වෙයි.. නීති රීති කප්පරක් ඕනෑ වෙයි..නීතිය රකින්න යාන්ත්‍රණයක් ඕනෑ වෙයි... ඒ මෙහෙය වීමට රාජ්‍ය මිලිටරි යාන්ත්‍රණයක් අවශ්‍ය වෙයි..එය තනි දේශපාලනික වචනයකින් කිව හොත් මර්දනය යන්නය.
මර්දනය ක්‍රියාත්මක වීමේදී මිනිසුන්ගේ යහපත පිණිසත් අයහපත පිණිසත් ක්‍රියාත්මක කළ හැකිය. එය පාලකයාගේ තේරීමය. අද වෛරසය හමුවේ ක්‍රියාත්මක විය යුත්තේ මිනිසුන්ගේ යහපත පිණිස වන මර්දනිය ක්‍රියා දාමයකි. මේ මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදය නිදහස අයිතිවාසිකම් යනාදිය අද වලංගු සටන් පාඨ නොවේ. මන්ද මිනිස් සමාජයේ පැවැත්මට හානියක් කරමින් සිටින්නේ මිනිස් පාලනයකින් තොර අජීවී වෛරසයක් නිසාය. මිනිස් ශිෂ්ඨාචාරය පුරා මිනිසා ලබා ගත් ජයග්‍රහණයන් කිසිවක් වෛරසයට අදාල නොවේ. ඒ අහන්නෙ නැත. මේ නිසා වෛරසය පාලනය කිරීමට මිනිස් සමාජය ආරක්ෂා කිරීමට නැතිනම් වෛරසයෙන් සඟවා තබන්නට සිදුව තිබේ. බංකර් ගත කරන්නට සිදුව තිබේ. ස්වයං පාලිතව මේ ආරක්ෂාව තහවුරු කර ගැනිමට මිනිසා අසමත් වන්නේ පවතින පාරිභෝජනවාදී සමාජ ක්‍රමය විසින් ඊට අවස්ථාවක් ලබා දී නැති බැවිණි. එසේනම් පාලකයාට සිදුවන්නේ මිනිසාව මර්දනීය පියවරයන් ඔස්සෙ හෝ ඒ පාලනය කිරීමටය. ඒ මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මිස දේශපාලන සතුරන් මර්දනය කරන පිලිවෙත අනුව නොවේ. මේ අලුත් තත්වය මිනිසුන්ට පුරුදු නැත. පාලකයාටද පුරුදු නැත. මේ ගැටලුව තවමත් දේශපාලනිකව තේරුම් බේරුම් කර ගැනීමට බොහො පිරිස් උත්සුක වන්නෙ ඒ නිසාය. ඉතා කැත නින්දිත ආකාරයෙන් මේ වන විට දේශපාලනික මෙහෙයුම් සිදු වෙමින් තිබේ.. නමුත් වෛරසයට ඒවා අදාල නැත.
පාලනාකාධිකාරයන් විසින් මේ තත්වයන් නිවැරදිව තේරුම් නොගැනීම මේ වෛරසය පාලනයකින් තොරව පැතිරීමට හේතුවනු ඇත. සීනි නැතිව තේ බොන්නම් මිරිස් නැතිව හොදි කන්නම් කියපු මිනිස්සු අද නැත. එහෙම මිනිස්සුන්ට ඉන්න නොහැකිය. වෛරසය පාලනයට ලොක් ඩවුන් කිරීම ශට් ඩවුන් කිරීම හෝ ඇඳිරි නීතිය දැම්මත් ප්‍රශ්නය කෙලවර නොවේ. මන්ද මිනිසාගේ බඩ පිරවීමේ ක්‍රමවේදයක් සකස්කිරීමකින් තොරව මේ කරන කියන කිසිම දෙයකින් වැඩක් නොවේ. වෛරසය පාලනයට, ලොක්ඩවුන් කරපාන් කියා ප්‍රමාණික විද්වතුන් කියන කොට ලොක්ඩවුන් කිරීමට පාලකයකු අවශ්‍ය නැත. එය මිලිටරි යාන්ත්‍රණයකටත් කළ හැකිය. ඇත්තටම දැන් සිදුව තිබෙන්නේත් එයමය. එහෙත් මහජනතාවගේ ඡන්දයෙන් පත් කර ගත් පාලකයන්ට එලෙස මරි මෝඩ ලෙස කටයුතු කළ නොහැක. තව කල්පනා කරන්න පැති ගනනාවක් තිබේ. රාජ්‍ය යාන්ත්‍රණයක් සකස් කර ඇත්තේ ඒ ගැටළු ජය ගැනීමටය. ඒ නොසලකා මිලිටරි යාන්ත්‍රණයක් මඟින් තනි මිනිසෙකුගේ නියෝග මත ගත් මරි මෝඩ තීන්දු නිසා මේ වන විටත් බොහෝ හානි සිදුකරගෙන අවසන්ය.
තව දුරටත්. මං තමයි මිනිහ..මං තමයි වීරයා.. කියමින් ජනාධිපති ගොටා සහ ඔහුගේ මිලිටරි ජුන්ටාව කටයුතු කරනවා නම් මේ රටේ මිනිසුන්ට දෙවියන්ගේ පිහිටයි කියනවා මිස මේ වෛරසයෙන් වෙන ගැලවීමක් නැත. අඩුම තරමින් අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මේ වෙනුවෙන් පාවිච්චි කළේ නැත. සෞඛ්‍ය විෂය භාර ඇමැතිවරිය ( මොන මෝඩ ගැහැනියක් වූවත්) ඇය යටතේ වන අමාත්‍යංශ යාන්ත්‍රණයවත් මෙයට සම්බන්ධ කර ගත්තේ නැත. දේශපාලන අත්දැකීමෙන් පරිණත අයෙකු වන අගමැති මහින්ද කල්පනා කර මේ ගැටළුවට මැදිහත් වුවහොත් ලොකු විනාශයක් සිදුවීම වැලැක්විය හැකිව තිබෙන බවත් අවධාරණය කරන්නේ රටක රාජ්‍ය යාන්ත්‍රණයක් තිබෙන බවත් ඒ ක්‍රියා කරන ආකාරය ගැනත් දැනුමක් ඔහුට ඇති නිසාය.
ජනාධිපති නියෝග මත එක එක තැනින් නිලධාරීන් ඇද ගනිමින් මිලිටරි ජුන්ටාව හරහා හිතුවක්කාර ලෙස කටයුතු කිරීම පමණක් මේ තාක් සිදුවිය. දැනටත් සිදු වෙමින් පවතින්නේ එයය. මේ තවත් පැහදිලි වන්නේ සෞඛය අමාත්‍යංශය යටතේ වන වසංගත රෝග විද්‍යා අංශය විසින් පසුගිය ජනවාරී මාසයේදීම මේ වෛරසය නිසා මහා ඛේදවාචකයකට මුහුණ දීමේ අවදානම ඇති බවත් එයින් ගැලවීමෙ මඟ යෝජනා කර ඇති විටෙකත් ඒවා බලු නොවටිනා ගානටා දමා පාලකයා කටයුතු කිරීමය. කොටින්ම කොහොම හරි මහ මැතිවරණයත් පවත්වන තැනට දැඩි තීන්දුවක් ගෙන තිබිණි. මැතිවරණ කොමිසම නොවන්න නියමිත පරිදි අප්‍රේල් 25 මහ මැතිවරණය පැවැත්වීම සිදු වීම නියතයක්ව තිබිණි.
කොහොම නමුත් දැන් කොරෝනා වෛරසයෙන් තම තමන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමෙ වගකීම මුළු මනින්ම මිනිසුන් මත පැටවී තිබේ. ආණ්ඩුවට කළ හැකි දේවල් වල සීමාව දැන් අහවරය. ලෙඩ්ඩු රොහල් වල ගොඩ ගහගන්වාට වඩා දෙයක් ඔවුන්ට කරන්න ඉතුරුව නැත. මිනිසුන්ගේ වාසනාවට හෝ අනෙකෙකුගේ මැදිහත් වීමෙන් ජීවිත බේරුනොත් හැර අපේ මිනිසුන්ට වෙන පිහිටක් කිසිවකුගෙන්වත් නැත.