මීට පෙර මෙම සඟරාවට මා ලියන ලද ලිපියකදී පෙන්වා දී ඇති පරිදි, වෙඩි වැදී සිටි අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා බැලීමට රෝහලට ගිය හිටපු අගමැති සර් ජෝන් කොතලාවල, තමා බලයේ සිටියදී බැඳ දැමූ බල්ලන්ව බණ්ඩාරනායක ලිහා හැරිය බවත් ඒ බල්ලන්ම බණ්ඩාරනායකව දැන් හපා කා ඇතැයි කී බවත් වාර්තා වී තිබේ. ඇත්තෙන්ම සර් ජෝන් කොතලාවල මෙවැන්නක් කියා තිබේද නැත්ද යන්න එතරම් වැදගත් නැත. වැදගත් වන්නේ, එම කතාවෙන් වර්තමාන ජනාධිපතිවරයාට ගත හැකි පාඩමයි. එනම්, මේ හයිරංකාර භික්ෂූන්ගේ නොසන්ඩාල හැසිරීම ඉවසා සිටීමෙන් රටක් වශයෙන් තවත් වාර්ගික අසමගියකට, දේශපාලනික අස්ථාවරත්වයකට සහ ආර්ථික ව්‍යසනයකට හෙමිහිට මුත් නිශ්චිතවම අප පිය නගමින් සිටින බවයි.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කුමක් ලියැවී තිබුණත් නැතත්, ශ්‍රී ලංකාව බෞද්ධ රටක් වන බවත්, වෙනත් සියලු ආගම් සහ ඔවුන්ගේ ඇදහිලි විශ්වාස ඉවසීමේ සහ ඒවාට ගරු කිරීමේ නොකැලැල් අතීතයක් ඇති රටක් බවත් ප්‍රතික්ෂේප කරන කෙනෙකු නැත. මගේ වාර්ගික දෘෂ්ටි කෝණයෙන් මීට පෙර කිහිප විටක්ම නැවත නැවතත් මා ලියා ඇති දෙයක් තිබේ. එනම්, අවුරුදු දහසකට අධික කාලයක් තිස්සේ ඉස්ලාම් භක්තිකයන්ටත්, මුස්ලිම් ජාතිකයන්ටත් ශ්‍රී ලංකාව ප්‍රදර්ශනය කොට ඇති ඉවසීම සහ ඔවුන් කෙරෙහි දක්වා ඇති ගෞරවය ආසියානු ඉතිහාස කලාපයේ වෙන කිසි රටක දැකිය නොහැකි ඓතිහාසික සත්‍යයකි. එසේම පුරාතන පරම්පරාවන් විසින් මහත් උනන්දුවෙන් ගොඩනංවා ආරක්ෂා කරගෙන ආ, බුද්ධාගම සහ ඉස්ලාම් දහම අතර පවතින ඒ ඓතිහාසික සංහිඳියාව පළුදු වන අයුරින් මගේම ජාතියේ ඇතැම් කොටස් හැසිරීම කෙරෙහි, ඉවසීම සහ ගෞරවයට හානි වන අයුරින් මගේම ජාතියේ ඇතැම් කොටස් හැසිරීම කෙරෙහි ඇති මගේ කෝපය සහ කණස්සල්ලත් මා කිසි විටෙක වසංගා නැත.
කරුණු එසේ වුවද, දැන් සිදුවෙමින් ඇති සහ 2009 සිට සිදුවීමට ඉඩ හරිමින් ඇති තත්වය ඉතා කණගාටුදායක ය. අසංවර කුඩා භික්ෂු කල්ලියක් නීතිය අතට ගෙන, මුස්ලිම් පල්ලිවලට පහර දෙමින්, මුස්ලිම් ගම්මාන මැද්දේ බුද්ධ රූප පිහිටුවමින්, සම්ප්‍රදායික මුස්ලිම් ගම් වැසියන්ට මරණ තර්ජන එල්ල කරමින් හැසිරීම දෙස ආණ්ඩුවක් බලා සිටින්නේ කෙසේද? වඩාත් බියකරු කාරණය වන්නේ, මොවුන් මෙවැනි ක්‍රියාවන්හි නිරත වන්නේ බොහෝ විට ආරක්ෂක අංශ ඉදිරියේම වීමයි. අම්පාර දිස්ත්‍රික්කයේ ඉරක්කමාම්, පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඕනගම, පානදුර සහ වැල්ලම්පිටිය යන ස්ථානවල මෑතකදී සිදුවූ දේවල් තුළින් පෙනී යන්නේ, නීතිය ක්‍රියාත්මක කරවන්නන්ගේ නොමද අනුග්‍රහයක් යටතේ මොවුන් මේ ක්‍රියාවන්හි යෙදෙන බවකි. ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව කෙටි කාලීන දේශපාලන වාසි තකා මොවුන් සමග අවබෝධතාවකින් සිටිනවාවත් ද?
ජනාධිපතිවරයා එසේ බියගුළු ආකාරයකින් කටයුතු කරන අතරේ මුස්ලිම් දේශපාලඥයන් කටයුතු කරන්නේ ද්‍රෝහී ආකාරයකිනි. මුස්ලිම් ජනතාවට උපරිම හානි පැමිණවීම සඳහා චේතනාන්විතව හැසිරෙන කොටස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට වන ආණ්ඩුවක ඇමතිකම් හෝ වෙනත් වරදාන භුක්ති විඳීමෙන්, එම තනතුරුවලට ඔවුන්ව පත්කර යැවූ මුස්ලිම් ජනතාවට අත්වන සුගතිය කුමක්ද? මෙවැනි දේශපාලනික නිවටයන් රැලක් වෙනුවෙන් තවදුරටත් මහජන මුදල් නාස්ති කළ යුත්තේ ඇයි? මුස්ලිම් ජනතාව වෙතින් තමන් කෙරෙහි එල්ල වන කෝපයක් තමන්ගේම වාසියට හරවා ගනිමින් ගැටුම තවත් වර්ධනය කර ගැනීමට සැදී පැහැදී බලා සිටින හයිරංකාර භික්ෂූන්ට එරෙහිව නොව, මුස්ලිම් ජනතාවගේ ඕනෑ එපාකම් නියෝජනය කරති යි කියමින් හුදෙක් තමන්ගේ වාසිය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පුටු රත් කරන මුස්ලිම් නියෝජිතයන්ට එරෙහිව ස්වකීය කෝපය සහ අප්‍රසාදය පළ කර සිටීමට මුස්ලිම් ජනතාව මෙය අවස්ථාවක් කර ගත යුතු නොවේද? එක පැත්තකින් මේ ‘කව්බෝයි’ භික්ෂූන්ගේ නොමනා හැසිරීම ගැනත්, අනිත් පැත්තෙන් ආණ්ඩුවේ බෙලහීනත්වය ගැනත් බලවත් අප්‍රසාදයට පත්ව සිටින බුද්ධිමත්තු, ආගමික නායකයෝ සහ දේශපාලඥයෝ සිංහල ප්‍රජාව අතරේ සහ දෙමළ ප්‍රජාව අතරේ අනන්තවත් සිටිත්. මුස්ලිම් වින්දිතයනුත් කළ යුත්තේ ඔවුන් සමග එක්ව, සකල සුළු ජාතික ප්‍රජාවන්ට එරෙහිව දියත් කෙරෙන සියලු අකටයුතුකම් සහ අසාධාරණයන්ට එරෙහිව මේ මොහොතේ හඬක් නැගීම නොවේද?
2017 මැයි 18 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ
Cowboy Monks & A Cowardly Presidency
නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි