රුධිරයේ උණුසුමට වඩා උණුසුම් වූ ටයර් සෑයක්, සජීවී මිනිස් සිරුරු පණපිටින් ගිනිගෙන දැවෙන වග කෙසේනම් දැන ගන්නද? උණු වී වැගිරෙන රබර් සමඟ මුහු වූ පුළුටු ගඳ දැවෙන මිනිස් මේදය බව කෙසේ නම් දැන ගන්නද? රබර් දැවීමෙන් පසුව ගිනියම් වූ ලෝහ කම්බි මේ විනිවිදින්නේ සමාජ විප්ලවය වෙනුවෙන් දිවිපුදන විරුවෙකුගේ සිරුරක් බව කෙසේ නම් දැනගන්නද?
එකා පිට එකා දෙතිස් වධ පමුණවා මරණ සහතිකයක් තබා අවසන් වතාවත් කරන්නට නොහැකිව පුජ්‍ය පක්ෂය, පන්සල්, පල්ලි, දේවාල තුළ විපිළිසරව සිටින කළ ඇස් ඉස් මස් ලෙයින් තැනුණු එක සමාන සංවේදන, සංජානන ඇති තවත් මිනිසුන්ගේ මරණය ශෝකාලාපය තවත් මිනිස් කැලක් නොදත් කළ ඒ කිසිත් නොමැති අසංවේදී ටයර් සෑයක්, ගිනිගොඩක්, මූනිස්සමක් කෙසේනම් දැනගන්නද? ඉදින් තවදුරටත් බුදුන් බුදු කුටියේ කෙසේනම් වැඩ වසන්නද? දෙවියන් අල්තාරය දෙස කෙසේ බැලුම් හෙලන්නටද? එහෙත් කතාව එතැනින් අවසන් නැත.
ඉතිරි වෙද සිහිනයක් හෝ
එදා ටයර් සෑය මත දැවුණු කිසිවෙක් තමන් දැවෙන හේතුව දැන සිටියේ නැත. යමෙකු එය දන සිටියා නම් ඒ සමාජ විප්ලවය වෙනුවෙන් තමන් දිවි දෙන බව පමණය. ඔවුන් එදා මෙන්ම අද වන විටත් නොදැන සිටියේ කුමක්ද? එනම් ඇතුළතම වූ අසත්‍යය විසින් තමන්ට මේ ඉරණම උදාකර දෙනු ලැබ ඇති බවය. එනිසාම අවුරුදු 46ක් පුරා කැලැන්ඩර් දින දර්ශනයේ එන ‘බක්මහ විරුවන්’ සමරුවක මිස ඔවුන් පැතු ලොව ඉදිවන බවක් පෙනෙනතෙක් මානයක නොමැත. එනිසා කැලෙන්ඩර් දේශපාලනය අනුයමින් වසර 46ක් පුරා මේ හෙළමින් සිටින්නේ සැබෑ කඳුළුද? යන්න යළිත් විමසන්නට සිදුව ඇත. 71 විරුවන් පැතු ලොව ගොඩනඟන බව සපත වෙමින් තවත් වසර 4කින් එළඹෙන 71 නැගිටීමට අඩසිය වසක් ගෙවෙන තැනවත් ඒ ලොව තබා ඒ වැන්නක් කෙරෙහි සිහිනයක්වත් තබා ගන්නට හැකි තත්ත්වයක් උදාකර ගත යුතු නැද්ද?
ඒ වෙනුවෙන් වන ගමන ඇරඹිය යුත්තේ කොතැනින්ද? අපේ විශ්වාසය වන්නේ එය 71 නැගිටීමෙන් ඇරඹිය යුතු බවය. එහෙත් ඒ සුපුරුදු පරිදි 1971 අරගලයේ විශේෂතම ලක්ෂණය වූ රාජ්‍ය බලය පිළිබඳ ප්‍රශ්නය විප්ලවයේ මූලික ප්‍රශ්නය ලෙස ගෙන අරගලයේ ඉලක්කය වූ රාජ්‍යයට පහරදීම යාන්ත්‍රික ලෙස සාධාරණීකරණය කරන්නට නොවේය.
සැබැවින්ම විප්ලවීය නැගිටීමක් සඳහා අවශ්‍ය පූර්ව තත්ත්ව ගොඩනැඟී නොතිබූ තත්ත්වයක් තුළ, පන්තිය තුළ ගැඹුරු සක්‍රීයභාවයක් අවුළුවාලීමේ වැඩපිළිවෙළක් ද නැතිව ක්ෂණික පහරදීමකට යාම තුළ ඛේදවාචකය දරුණු වූ බව ඇත්තය. ක්ෂණික පහරදීමක් හරහා රාජ්‍ය බලය ලබා ගැනීම ඉලක්ක කරගත් අරගලයක දී වුවත් එය පොලිස් ස්ථානවලට පහරදීම දක්වා පටු වීම දියුණු දේශපාලන උපක්‍රමයක් නොවන බව ද ඇත්තය. එසේම සංවිධිත පක්ෂයක් ගොඩනැඟී නොතිබීම මෙන්ම ඊටත් වඩා එම ව්‍යාපාරය පවා ඉතාම ළදරු අවස්ථාවේ පැවතීමත් තුළ අවිගත් නැගිටීමක් තුළ රාජ්‍ය බලය ඇල්ලීමට සිතීම පරිණත දේශපාලන තීන්දුවක් නොවන බව ද ඇත්තය. ළදරු අවස්ථාවේ පවතී ව්‍යාපාරය තුළ කණ්ඩායම්වාදය ඇතුළු දුබලතා රැසක් තිබූ සහ සියලු අවාසිසහගත තත්ත්ව පිරිපහදු කරගන්නටත් පෙර මර්දනය කෲර ලෙස කඩා පැනීමක් වූ බව ද ඇත්තය. එසේම විප්ලවය යනු සමාජ ව්‍යුහයන්, පාලන තන්ත්‍ර හා රාජ්‍ය ආයතන පරිවර්තනය කිරීමක් පමණක් නොව සමාජ ඇගයුම් පද්ධති, සමාජ සබඳතා, චින්තනය සහ ආකල්ප ලෙස මිනිසාව ද පරිවර්තනය කර ගැනීමේ ව්‍යවහාරය ලෙස වටහා ගෙන නොසිටීමේ ප්‍රශ්නය 71 නැගිටීම තුළ ඕනෑවටත් වඩා දක්නට ඇති බව ඇත්තය. ඒ නිසාම 71 නැගිටීම පන්තියෙන් වියුක්ත වූ බවද ඇත්තය. අවසානයේ එය පීඩිතයා සහ පීඩකයා අතර වූ ගැටුමක් බවට පත්වූ බව ද ඇත්තය.
නමුත් ඒ සියලු ඇත්ත විසින් නිදහස් අරගලයක හෝ අත්දැකීමක් නොමැති බිමක අරගලයේ පළමු පාඩම අකුරු කළ ඒ පරම්පරාවේ කාර්යභාරය සහ ඒ තුළ සිදු කළ කැපකිරීම් ආදර්ශ කිසිවක් නිශේධනය වන්නේ නැත.
විප්ලවීය අනුරාගය
ඒ නිසාම තුවක්කුව හමුවේ තොපි මරන මරන කෙනෙක් පාසා, තොපි පළන පළන ඔළුවක් පාසා, තොපි අපව විනාශ කළත් අපි නඟපු හඬ කවදා හෝ මේ රටේ රතු ආණ් ඩුවක් ගොඩනඟනවා. කියා මාරු වැලඳගත් කෑගල්ලේ කණ් ණාඩි අබේ සහෝදරයාගේ මල්ලීගේ හඬ අපට ද අනුරාගීය. දකුණු අත විදුලි කියතකින් කපන විට ලාංකීය විප්ලවය දිනේවා ජනතා විමුක්ති පෙරමුණ දිනේවා මේ අතින් පිට වන රතු ලේවලින් රතු ආණ් ඩුවක් ඇති වේවා! කියා මරණයට මුහුණදුන් බද්දේගම කමලබන්දු සහෝදරයාගේ හඬ අපට අනුරාගීය. විදුලි කියතකින් පපුව පළා කකුල් දෙක කපන්නට පෙර යටියන්තොට ඇන්තනී සහෝදරයා කියූ
“ඔබ මියගිය සොහොන මත්තේ පුදන්නට
නෙක විසිතුරු මල් මාලා නැත අපට
ඇත්තේ සටන් කාමය නිති අවදි කොට
පුද දෙමි සොහොයුරාණෙනි ඔබගේ විරුනමට”
කවිය අපට ද අනුරාගීය. එහෙත් ඒ අනුරාගය ඔවුන්ගේ ඒ කැප කිරීමට, ඔවුන් දුටු සිහිනයට සාධාරණයක් ඉටු කරයිද? මේ ප්‍රශ්නය මෙවැනි කාලයක කිහිපවරක් වරනැගුව ද වැඩි නැති බව අපගේ අදහසය. සැබවින්ම අපේ විශ්වාසය නම් අරගල සහ ඊට මැදිහත් වූ අරගලකරුවන් පිළිබඳ විප්ලවවාදී වාග් පාඨ කොතරම් දෙඩවූවත් පළක් නැති බවය. ඒවා කොතරම් උද්යෝගී වුවත්, අනර්ඝ යැයි පෙනුණත්, සිත් ඇදගන්නා සුළු වුවත්, කොතරම් මත් කරවන සුළු වුවත් එම නන් දෙඩවිලි සහ සමරුවලට පදනමක් නැත.
එනිසාම, සුපුරුදු පරිදි “අපේ පන්තියට දේශපාලනය කිරීමට ඇති ශුද්ධ වූ අයිතිය වෙනුවෙන් තමන්ගේ දිවි පරදුවට තබා අරගල කළ වීරවරයන්, වීරවරියන් පිරිසක් සැමරීමට තමයි අද අපි මෙතනට එක් රොක් වෙලා ඉන්නේ. මෙලොව උපත ලබන ඕනෑම අයෙකුගේ ජීවිතය මරණයෙන් අවසන් වෙනවා. එවැනි මිනිසුන් අතරේ මරණයෙන් පසු නැවත උපත ලබන පිරිසක් තමයි 71 අප්‍රේල් විරුවන් කියන්නේ. තමන් මරණයෙන් පසු උපත ලැබුවා පමණක් නෙවෙයි මෙරට නිද්‍රාශීලීව සිටි ජනතාව එම නින්දෙන් අවදි කිරීමටත් අප්‍රේල් විරුවන් සමත් වුණා” යනුවෙන් වචන වෙනස් වුවත් අර්ථය වෙනස් නොවන කතා යළි යළිත් පුනරුච්චාරණය කිරීම ප්‍රතික්ෂේප කරන්නෙමු. ඒ වෙනුවට වල් ඇට ඉසි කල වල්ම මිස මල් නොපිපෙන බව දන්නා සහ එය විශ්වාස කරන අප 2017 බක් මස තවත් එක් “බක්මහ විරු සමරුවක්” වෙනුවට මෙසේ ආමන්ත්‍රණය කරන්නට සිතුවෙමු.
ශෝකාන්තය සිදුව හමාර මුත් යටගිය දවස යළි උත්කර්ෂයට නැගීම වෙනුවට ඊට වඩා එහා ගිය සමාජ යථාර්ථයක් අප හමුවේ ඇත. එනම් පළමුව 71 නැගිටීමට දිවිදුන් විරුවන් සැමරීම සේම ඔවුන් වෙනුවෙන් මිනීවල ගොඩ දැමීම වෙනුවට වඩාත් යහපත් හෙටක් වෙනුවෙන් අතීත අත්දැකීම් උගත් පාඩම් බවට ගෙන වර්තමානය සකස් කර ගැනීමය. ඒ වෙනුවෙන් අතීතය හුදු පෙරන්ගෑමක් වෙනුවට එය විනිවිදීමය. ඒ වෙනුවෙන් එක් මොහොතක පන්ති සගයකු වූ සහ නායකයන්ගේ නමින් ඉතිහාසයේ ද්‍රෝහියා සහ විරුවා භෞතීස්ම කරනු වෙනුවට පොළවේ ඇත්ත කතාව හෙළිකර ගැනීමය. ඒද යළි යළිත් 71 පහුරුගාමින් නොව 71 ට පසු මෙරට වමේ ඇතුළත වූ අසත්‍ය ගැන කතා කරන්නටය. ඒ වෙනුවෙන් වන කතිකාව එළඹෙන සතියෙන් අරඹන අතර ඒ කතිකාව සංවාදයට විවෘත ය.
වැඬේ ඇත්ත
එතෙක් 71 නැගිටීමේ චුදිතයෙක්වූ පසුකාලීනව ජවිපෙ විසින් ද්‍රෝහියකු ලෙස නම් කළ ලයනල් බෝපගේ පක්ෂයෙන් ඉවත්වන අවස්ථාවේ ඒ බව දැනුම් දෙමින් පක්ෂය වෙත ලියු ලිපියේ පරිච්ඡෙද කිහිපයක් අප ඔබේ අවධානයට යොමු කරන්නෙමු. ඒ තුළ මෙරට ජනප්‍රිය වමේ ඇතුළත වූ අසත්‍ය ගැන සංවාදය වර්තමානය සකස්කර ගැනීමටත් අනාගතය ගොඩනැඟීමටත් අදාළව කොපමණ වැදගත් ද යන්න ඔබට විනිශ්චය කරගන්නට හැකිවනු ඇත.
“1971 නොවැම්බර් දෙවනි දින රාත්‍රියේ එම්. බී රත්නායක සොයුරාගේ ගෙදර රැස්වූ පක්ෂයේ එවකට තිබූ දේශපාලන මණ්ඩලයට රෝහණ සොයුරා ඉදිරිපත් කළ දැවැන්ත ප්‍රචාරක වැඩපිළිවෙළට මා දැඩි ලෙස විරුද්ධ වූ බවත් එහෙත් බහුතරයේ එකඟතාවට අනුව එය දියත් කරන ලද බවත් ඔබට මතක ඇතැයි සිතමි. මා ඊට විරුද්ධ වූයේ ප්‍රචාරක හා සංවිධානාත්මක කටයුතු අතර නිශ්චිත ද්විඝටනාත්මක සම්බන්ධතාවකින් තොරව දිරවා ගැනීමට බැරි තරම් කා දැමීමේ ප්‍රචාරක වැඩපිළිවෙළක් තුළින් විප්ලවීය ව්‍යාපාරයේ සංවිධාන රටාව විනාශ කරන දමන හෙයිනි.
එතැන් සිට දියත් කරන ලද හැම ප්‍රචාරක වැඩපිළිවෙළක් විසින්ම සැබැවින්ම ඇති කරන ලද්දේ මෙම තත්ත්වයයි. ප්‍රචාරක වශයෙන් කරන ලද හැම කටයුත්තක්ම සංසන්දනාත්මක ලෙස සාර්ථක කරගනු ලැබූවත් එයින් පක්ෂය ක්ෂණික වේගයකින් ප්‍රමාණාත්මක ප්‍රසාරණයක් ලැබුවත් ප්‍රචාරක හා සංවිධාන කටයුතු අතර පැවතිය යුතු නිසාම පක්ෂයේ ප්‍රමාණාත්මක විපර්යාසය ගුණාත්මක වශයෙන් විප්ලවීය හා ජනතාත්මක් විපර්යාසයක් බවට පත්කර ගැනීමට අපට හැකියාවක් හෝ වැඩ පිළිවෙළක් නොවීය. එක්තරා ප්‍රමාණයක හෝ ගුණාත්මක වර්ධනයක් ඇතිකරලන්නට ඉවහල් වූ අධ්‍යාපන වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම විනාශ වී ගියේය. එම අධ්‍යාපන වැඩපිළිවෙළ හෝ අප ගෙනගිය සංවිධානය කිරීමේ ක්‍රමය පිළිබඳ මගේ එකඟතාවක් නොමැත. එහෙත් එවැනි අධ්‍යාපන වැඩපිළිවෙළක් නොමැති වීමේ ඵලය වශයෙන් සිදු වූයේ පක්ෂය තුළ ඇති වූ වේගවත් ප්‍රමාණාත්මක වර්ධනය විසින් පක්ෂ අරටුව දිරාපත් කරමින් පක්ෂය විනාශය කරා ගෙනයාමයි. ඇති වූ ගුණාත්මක වෙනස එයයි. පසුගිය කාලය පුරා පක්ෂය තුළ සුවකල නොහැකි ලෙස උඩුදුව ගිය රෝගයේ හරය මෙයයැයි. මම කල්පනා කරමි. එපමණක් නොව එවැනි අධ්‍යාපන හෝ සංවිධාන වැඩපිළිවෙළක් අපට නැත. අප පක්ෂයක එවැන්නක් ඉදිරියට ද ඇති නොවනු ඇත”
“පක්ෂ ප්‍රමාණාත්මක ලෙස පුළුල් කිරීමට අප දැක්වූ ප්‍රවණතාවය ක්‍රමාණුකූලව උත්සන්න වී අවසානයේ එය මැතිවරණ සංවිධාන ගොඩනැගීමේ විකාර සහගත ඉලක්ක හා අරමුණු සහිතව කරන්නක් බවට පත්වූයේය.
මැතිවරණ සංවිධානවලට පෝරම් පුරවා බඳවා ගනිමින් එසේ බැඳුණු ප්‍රමාණය ප්‍රසිද්ධ වේදිකාවේ විදහාපාමින් අප අප ගැනම ඉදිරිපත් කළ සාඩම්බර කරුණු විසින්ම අප අද අනාථභාවයකට හෙළා තිබෙනවා නොවේද? පසුගිය කාල පරිච්ඡේදය පුරාම අප සපුරා වෙහෙසුනේ මැතිවරණ කටයුතු ගැනයයි කිවහොත් එය නිවැරැදිය. වෙනත් නොයෙක් අංශ ගැන නොයෙකුත් වැඩකටයුතු ගැන ක්‍රියාමාර්ග ගැන, කලා මාධ්‍යයන් තුළින් කරන කටයුතු හා මානව අයිතීන් සුරැකීමේ කටයුතු ගැන ද අප කෙතරම් සාකච්ඡා කළ ද ඒවා අවසානයේ දී කතාවටම පමණක් සීමා වී ගියේය. විප්ලවවාදී සංවිධානයක් ලෙස අප අපම හඳුන්වා ගත්ත ද අපට ශේෂ වී තිබුණේ හැඟීම් දනවන වැඩ රටාවක් යයි පැවසූහොත් වඩා නිවරැදි වනවා ඇත.” “1971 ට පෙර අප තුළ ඇති වූ අතිවාම ප්‍රවණතාව 1977 න් පසු අති දක්ෂිණාංශික ප්‍රවණතාවක් බවට පරිවර්තනය වූ බව මට කිව හැකිය. එසේම යළිත් මෙම දක්ෂිණාංශික ප්‍රවණතාව අතිවාම ප්‍රවණතාවක් ලෙස පෙරට ආ හැකිය. අප ගොඩනඟන ලද අන්දමේ ව්‍යාපාරයට එවැනි සහිත ක්‍රියාකාරී ගමන් මඟක් ගැනීම නිසඟ ලක්ෂණයක් බව ජාත්‍යන්තර ඇත්දැකීම් තුළ ද දැකිය හැකිය. 1977 න් පසු අප දරන අසීමිත පරිශ්‍රමයේ ප්‍රතිඵලයක් ලෙස ගොඩනඟනු ලැබූ පක්ෂ හා බහු සංවිධාන ජනාධිපතිවරණයෙන් පසුත් 1983 ජූලි මස දියත් කළ මර්දනයෙන් පසුත් දිය වී ගොස් ජනතාව අතර අප සාතිශය සුළුතරයක් බවට සංවිධානමය වශයෙන් ඉතා දියාරු තත්ත්වයකට පත්වී තිබෙන මෙම අවස්ථාවේ එම තත්ත්වය ජනතාවගෙන්ද පක්ෂයේ ශේෂ වී සිටින සුළුතරයෙන් ද මිතුරු සංවිධානවලින් ද වසන් කොට යථාර්ථය සඟවා යළි අධිතක්සේරු කිරීම් හැම කෙනකු තුළම ජනිත කරවමින් ඔවුන්ගෙන් ආධාර ලබා ගැනීමටත් එසේම සුළුතරයක් විසින් අතිවාම ක්‍රියාවකින් ලාංකීය සමාජවාදී විප්ලවයට අතිභයානක හා විනාශයක් ඇති කරවන බව සක්සුදක් ලෙස පැහැදිලි බැවිනි. එවැනි ක්‍රියාවල නොයෙදෙන ලෙස ඔබෙන් අයැද සිටී. එසේ නොමැතිව අතිධාවනකාරී ලෙස ක්‍රියා කළහොත් එය පැහැදිලිවත් අව්‍යාජ ලෙසත් 1971 අප්‍රේල් අමතක කිරීමක් වනවා නොඅනුමානයි.”
සංජය ලියනගේ
(මතු සම්බන්ධයි)
sathhanda.lk